Friday, October 2, 2009

අනර්කලීගේ ආගමනය සමාජ ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.




අනර්කලීගේ ආගමනය සමාජ ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්
හසිනි හපුතන්ත‍්‍රි යොවුන් ලේඛිකා

ලාංකික ස්ත‍්‍රී දේශපාලනය තුළ ලංකාවෙ තීන්දු තීරණ ගන්නා ස්ථානයක ස්ත‍්‍රියගේ රික්තය පුරවන්න අනර්කලීට ඇති හැකියාව මට තාම පැහැදිලි නැහැ. ඇය වෙනත් ස්වරූපයකින් අපේ කම, ගමේ කම, සුචරිතවාදය මුල්කර ගත් සාම්ප‍්‍රදායික ස්ත‍්‍රී ආදර්ශයට අභියෝග කළ බව ඇත්ත. ඇඳුමෙන්, පැලඳුමෙන් හා ජීවන රටාවෙන් පමණක් නෙවෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලියි කියා අපි අඳුනන කාන්තාවන්ට පවා කළ නොහැකි විදිහට තම පෞද්ගලික ජීවිතය ගැන විවෘතවීමට ශක්තියත්, එය මතභේදයට තුඩුදුන් චරිතයක් සේ හැගෙන පරිදි යොදා ගැනීමේ හැකියාවත් ඇයට තිබුණා. නමුත් එය ප‍්‍රගතිශීලියි වගේ පේන්නෙ ඇගේ ස්ත‍්‍රී භාවය අල්ලගෙන එයට මඩ ගහන්න තරම් සමාජය පසුගාමී හා කුහක වීම නිසා මිසක් ඈ තුළ ප‍්‍රගතිශීලී අදහස් තිබෙන නිසා කියා මට පිළිගන්න බැහැ. අනික් අතින් අපේ කාලයේ සෙක්ස් සිම්බල් එකක් වන ඇය ඊට හාත්පසින් ම ප‍්‍රතිවිරුද්ධ මත නියෝජනය කරන ප‍්‍රවාහයක අපේක්ෂිකාවක් වීම ඉතාම පරස්පරයි. ඉහළින් අනුමත වෙනතාක් ඕන කෙනෙකුට ඕන දෙයක් වෙනුවෙන් එක එක කාලවලදී පෙනී සිටින්නට පුලූවන්. ස්ත‍්‍රී පුරුෂ භාවය ඊට අදාළ නැහැ. ඇය හසුරුවන අයගේ හා ක‍්‍රමයේ උවමනාවන් මත ටික දවසකින් අනර්කලී සාරියක් ඇඳගෙන ශ‍්‍රී ලාංකික කුල කාන්තාවක් බවට පත් වෙන්නත් පුළුවන්. ඕනෑම ස්ත‍්‍රියක් අඳුනන කෙනෙක් අඩ ගහපු නිසා දේශපාලනය කිරීම ස්ත‍්‍රී දේශපාලනය නෙවෙයි. ඇය ජනතා නියෝජිතවරියක් විය යුතුයි. පවත්නා ක‍්‍රමයේ රූකඩ ගැහැනියක් නොවී ඉන්න අවශ්‍ය දේශපාලන ඥනය, බුද්ධිය, ශූර භාවය ඇයට ලැබුණොත් හොඳයි. නමුත් තවම ඒ ලක්ෂණ අනර්කලීගෙන් මම දැකල නැහැ. ඒ නිසා අනර්කලීගේ දේශපාලන ආගමනය ස්ත‍්‍රී අරගලයේ ජයග‍්‍රහණයක් නෙවෙයි. ඒක ඇගේ ආසාර්ථකත්වයට වඩා මේ සමාජය අපි පවත්වාගෙන යන ක‍්‍රමයේ අසාර්ථකත්වයයි.

Back to Home
View pdf

දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කලී සාධකය

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.



කුටුම්භය තුළ අනර්කලීගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ

නිමල්කා ප‍්‍රනාන්දු
සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කාන්තා සන්ධානයේ කැඳවුම්කාරිය

ඉන්දියාවේ සමහර ජන සමාජවල කාන්තාවක් පිරිමියෙක් අතින් දුෂණයට ලක්වුණාම ඇයට මාවත් දෙකක් තිබෙනවා. එකක් නීතිය හමුවට ගොස් ඒ මාර්ගයෙන් කටයුතු කර දුෂකයාට දඬුවම් දීම. කාන්තාවක් දුෂණය වීම නීති විරෝධී දෙයක්. ඒ අනුව, ඇය තෝරා ගන්නා පළමු මාවතේදී දුෂණයට විරුද්ධව නීතිය ඉදිරියට ගොස් සටන් වැද යුක්තිය ඉටු කරවා ගැනීමට හැකිය. එය අභියෝගයකි. එමඟින් මෙවැනි නීති විරෝධී ක‍්‍රියා පුද්ගලයා හෝ සමාජය අනුමත නොකරන්නේය යන පණිවිඩය ලබාදෙයි.
දෙවැනි මාවත තමාට සිදු වූ අපරාධයට විරුද්ධව නීතිය හමුවට ගොස් යුක්තිය ඉටු කර ගැනීම පසෙකලා දුෂකයා සමඟ විවාහ වී අපරාධය යටපත් කර අපරාධකරු සමඟ සම්මුතියකට පැමිණීමයි. එමඟින් ඈ තමාට සිදු වු හානිය හානි පූරණය කරගෙන පුරුෂාධිපත්‍යයට යටත් වන්නීය.
කාන්තාවන් දේශපාලනයට පිවිසීම හා අනර්කලී කියන සාධකය ගත්තම ඇය මේ රඟ දක්වන භූමිකාව වටහා ගැනීමට ඉහත සිදුවීම අපට මඟ පෙන්වයි.
සමාජයේ කාන්තා දේශපාලන නියෝජනය වැඩිවිය යුතුයි යන හඬ නැඟී එන්නේ, පවතින සමාජය වඩා යහපත් ලෙස වෙනස් විය යුතුයි යන අරගලය හරහා. එසේම වරප‍්‍රසාද අහිමි වූ අයටත් සමාජයේ ඉදිරියට පැමිණීමට ඉඩ ප‍්‍රස්තාවන් ලැබිය යුතුයි යන සමානාත්මතා සංකල්පය හරහායි. එහිදී කාන්තාවන්ට එකී දේශපාලන නියෝජනය ලබා ගැනීම සහ සමානාත්මතාව ලබා ගැනීම යන කාරණාවේදී ඇය දේශපාලනික ලෙස බලමුළු ගැන්වීම සහ වෙනත් පීඩිත ජන කොටස්වල අරගලයන් සමඟ කාන්තා අරගලය ඒකාබද්ධ වීම සිදුවිය. ඒ අනුව මුල් යුගයේ අපි ඇයගේ අයිතීන් හඳුන ගෙන ඇයව සංවිධානය කර බල ගන්වලා ඈ සතු අයිතිය ලබා ගන්න අරගල කළා.
නමුත් පන්ති අරගලය යන කාරණය යටපත් වීමත් සමඟ පවතින සමාජය විපර්යාසයට ලක්කළ යුතුයි යන සංවාදය බොඳවී ගිහින් එය එසේම පවතිද්දි නීතිමය හා ව්‍යවස්ථානුකූල වෙනස්කම් ඇති කිරීම මඟින් කාන්තාවගේ තත්ත්වය වැඩි දියුණු කිරීමට හා ඇගේ භූමිකාව ප‍්‍රවර්ධනය කිරීමට මැදිහත්විය යුතුයි යන අදහස පෙරට ආවා. නමුත් එහිදී ඈ එතෙක් කළ අරගලය, විමුක්තිය කියන අංග නිලීන වී නීති රාමුව තුළ අයිතිවාසිකම් දිනාගැනීම නැමැති කරුණ ප‍්‍රමුඛ වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්ද දිනා ගැනීමට කටයුතු කළ යුතුය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කාන්තා දේශපාලන නායකත්වය ප‍්‍රවර්ධනය කළ යුතුය යන්න යටපත් වී සංඛ්‍යාත්මකව කාන්තාවන් කී දෙනෙක් නියෝජනය වෙනවාද යන සූත‍්‍රයට වැඩි වටිනාකමක් ලැබුණා. මේ නිසා කාන්තා දේශපාලඥවරියන් වෙනුවට තාක්ෂණවේදිනියන් නැත්නම් ටෙක්නොක්රැක්ට්ලා බිහිවුණා.
ඒඅනුවයි කාන්තාව දේශපාලනයට වැඩිපුර කැන්ඳගෙන එන්න පටන් ගත්තෙ. සංඛ්‍යාත්මක නියෝජනය කියන කාරණය ඉස්මතු වෙනකොට පාලකයො අපිට කියන්න පටන් ගත්තා ‘උඹලට ඕන ගෑනු නියෝජනය වැඩි කරන්නනේ. මෙන්න එහෙනම් ගෑනු. දැන් ඡන්දය දීපල්ලා’ කියල. කාන්තා දේශපාලන නියෝජනය වැඩි කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් තුළින්. තාක්ෂණවේදිනියන් බිහි කිරීමෙන් නෙවෙයි. ඒ නිසා අපි කියා සිටිනවා අපේ කාන්තාවො ඔය ඇම ගිලින්න ලැහැස්ති නොවිය යුතුයි කියලා.
අද මේ සූත‍්‍ර ක‍්‍රමයට වහල් වී බොහෝ දෙනෙක් කාන්තාවන් වැඩි පිරිසක් දේශපාලනයට පිවිසිය යුතුයි කියන මතය අනර්කලී කියන සාධකය හරහා සාධාරණීකරණය කරනවා. එසේම පුරුෂාධිපත්‍යය කියන සාධකයට දේශපාලනික ලෙස අභියෝග කළ හැක්කේ ඊට පරස්පර විරෝධීව කටයුතු කරන කාන්තාවන් එතුළට ගෙන ඒමෙන් යන කාරණය තෙක් සමාජය තල්ලූ වී ගොස් තිබෙනවා. නමුත් මෙයින් සිදු වෙන්නෙ කාන්තාවන් දේශපාලනයට පැමිණීම හා ක‍්‍රියාකාරී වීම ඉලක්කම් වලින් ගණනය කිරීම පමණයි. ඒ ඔස්සේ කෝටා එක කොපමණක් ද හා නියෝජනය කොපමණක්ද කියන ප‍්‍රමාණාත්මක කාරණා පස්සෙ දිවීමට පටන් ගත්තා මිස ගුණාත්මක කාරණා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කාන්තා දේශපාලනය ඉස්මතු වුණේහෝ වර්ධනය වුණේ නැහැ. එම පදනමෙන් ගත්තම කාන්තා නියෝජනය වැඩි වූවාට පවතින දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කිරීමට ඔවුන් සමත් වෙන්නෙ නැහැ.
ලංකාව වගේ වැඩවසම් පාලනයක් ක‍්‍රියාත්මක වෙන රටක කාන්තා දේශපාලනයට අනර්කලී වැනි චරිතයක් පැමිණීම ජනතාවට රස විඳින්නට ටොෆියක් ලබා දීමට සමානයි.
දේශපාලනය තුළට ලිංගිකත්වය යොදා ගැනීම ගැන අපිට බරපතල විවේචනයන් තියෙනවා. තමන්ට ප‍්‍රචණ්ඩත්වය එල්ල කළ පුද්ගලයින් සමඟම එකම දේශපාලන ව්‍යාපාරයක් තුළට එකතු වී කටයුතු කිරීම ඇතුළෙ බරපතල ව්‍යාජයක් තිබෙනවා. තමන්ට සිදු වුණු අපරාධයට යුක්තිය ඉටු කරවා ගන්නට හෝ හානි පූරණය කර ගන්නට ‘මටත් චාන්ස් එකක් දෙන්න’ කියා කේවල් කිරීමෙන් නීතිය පළ රහිත වෙනව. ඒ ස්ත‍්‍රී දේශපාලනයෙන් පළක් නැහැ. සමාජයේ හැම ස්ථරයකම මේ දේ සිදුවෙනව නම් දේශපාලනය කියන කාරණයේදීත් අපට වෙනවා ඒ ක‍්‍රමයම අනුගමනය කර ඉඩ පුරවා ගන්න.
අනර්කලී කියන ප‍්‍රතිරූපය පසුගාමී වැඩවසම් චින්තනයේ නිරූපණයක්. කුටුම්බය තුළ ඇගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ. ඇය කුටුම්බයේ නිරූපිත ප‍්‍රචණ්ඩත්වය අභියෝගයට ලක් කිරීම කියන මාවතේ නොගොස් අර ඇතැම් ඉන්දියානු කාන්තාවන් මෙන් හානි පූරණය කර ගැනීමට කේවල් කළ කාන්තාවක්. ඇය තමා කෙරේ මුදාහැරපු කුටුම්බ ප‍්‍රචණ්ඩත්වයට අභියෝග කරනවා නම් ඇගේ දේශපාලන ආගමනය සිදුවිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්. අද ඇය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ හැමදාම පුරුෂාධිපත්‍ය කුටුම්භය දේශපාලනගත කළ පක්ෂයක්.
ඒ නිසා අනර්කලීගේ දැක්ම වැරදියි. ඒක බය නැතුව කියන්න අපිට හයිය තියෙන්න ඕන. ඇයගේ දේශපාලන ආගමනයෙන් වෙන්නෙ මෙතෙක් අපේ කාන්තාවන් දිනාගත් අයිතීන් සුන්නද්ධුලි වී යාම. ඇයට ඡන්දය දෙන්න කියා සිටීමම පුරුෂාධිපත්‍යයට යටවීමක්. ඇයට දේශපාලන අපරාධයක් සිදුවෙලා තියෙනවා. ඇය දේශපාලනය නිසා අතරමං වූ, ඒ දේශපාලනයේම ගොදුරක් වූ කාන්තාවක්. එහෙනම් ඈ ගත යුතු වන්නේ විකල්ප මාවතක්.
ඇඳුමෙන් පැළඳුමෙන් ගැහැණියක් මොඩර්න් වෙන්නෙ නැහැ. ඊට වඩා ඔසරියක් ඇඳි ගැහැණියක් බොහෝ සෙයින් නවීන සිතුවිලි වලින් යුතු කෙනෙක් විය හැකියි. මේක ඇඳුමෙ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒ දැක්මෙන් ලඝු නොකළ යුතු දෙයක්. අපිට වැදගත් වෙන්නෙ කාන්තාවන් දේශපාලනයට පැමිණීම තුළින් අවදි වන ඔවුන්ගේ සමාජ හැසිරීම සහ ඔවුන් ප‍්‍රවර්ධනය කරන අයිතීන් යන කාරණායි.
එම නිසා අනර්කලීගෙ භූමිකාව විවේචනය කරන්න මම කිසිසේත් බය වෙන්නෙ නැහැ. මේක ගැරහීමක් නෙවෙයි. විවේචනයක්. විවේචනය දේශපාලනයට අත්‍යවශ්‍ය දෙයක්. ඇය චරිතයක් විදිහට දේශපාලන වාසි තකා ඉදිරිපත් වීමට අපි විරුද්ධයි. මේ අවස්ථාවේ රටේ පවතින පාලනය අපරාධකරුවන් පෝෂණය කරන ඒකාධිකාරී පාලනයක්. ඒ තුළ අනර්කලී කළේ එකී පාලනය තුළට පැමිණ කේවල් කරමින් එය අනුමත කිරීමක්. එය කාන්තා දේශපාලනය නෙවෙයි.

Back to Samabima

View pdf

Monday, September 28, 2009

මාස්ටර්ලට එක විදිහක් සාමාන්‍ය ජනතාවට තව විදිහක් ඇයි?

මට හිටියෙ දුවලා තුන් දෙනයි. ඒ තුන් දෙනාම දැන් අතුරුදහන්. මගේ දරුවන්ට වුණේ මොකක්ද කියල නොදැන මට ජීවත්වෙලා වැඩක් තියෙනවද?..

මේ කතාව ඇසුණේ ඉකුත් බදාදා කොළඹදී සිවිල් අධීක්ෂණ කොමිසම විසින් සියළු අතුරුදහන් වූ සහ නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා හිතවතුන්ගෙන් තොරතුරු රැස්කළ අවස්ථාවට පැමිණ සිටි වයස්ගත දෙමළ ජාතික මවකගේ මුවිනි. වවුනියාව, අනුරාධපුර, යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල, කොළඹ, මූතූර්, කන්කසන්තුරේ හා පේදුරුතුඩුව වැනි ඉතා දුර බැහර සිට දෙදහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ඔවුන්ගේ තොරතුරු රැස්කිරීමෙන් අනතුරුව ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් ද කැඳවා තිබුණි. ඉකුත් වසර කිහිපය තුළ මෙරට සිදු වූ අතුරුදහන් වීම්, ඝාතනය වීම්, නීති විරෝධී රඳවා තබා ගැනීම් ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ ජත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු සමස්ත ජාත්‍යන්තර ප‍්‍රජාව දැනුවත් කිරීම සඳහා සකස් කළ ලියවිල්ල ද මෙහිදී ප‍්‍රකාශයට පත් කරන ලදි. සිවිල් අධීක්ෂණ කොමිසමේ කැඳවුම්කරු මනෝ ගනේෂන්,විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, ජයලත් ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, සිරිතුංග ජයසූරිය, එන්. කුමරගුරුබරන් හා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු යන පිරිස ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ. එහිදී ඔවුන් පළ කළ අදහස් වලින් කොටස් කිහිපයක් මෙවර සමබිමෙ හි පළ කිරීමට අපි අදහස් කළෙමු.






විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ
අද මනෝ ගනේෂන්, සිරිතුංග මේ අතුරුදහන්වීම් සහ මානව හිමිකම් කඩ කිරීම් ගැන කියන්න ලෝකෙ වටේ යන්න ලෑස්තියි. ඔවුන් ඒව ලෝකෙට රැගෙන යාම ගැන මම කිසිවක් කියන්නෙ නැහැ. මොකද, මෙවැනි කාරණා ලෝකෙට කියන්න මුලින් ම පුරුදු කළෙත්, ඒව අරගෙන ලෝකෙ වටේ යන සම්ප‍්‍රදාය ඇති කළෙත් මහින්ද රාජපක්ෂ. එදා ඔහු කිව්වෙ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා වලට විතරක් නෙවෙයි නරකාදියටත් යන්න තමන් ලෑස්තියි කියල. අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වේගයෙන් පිරිහීගෙන යනවා. නීතියට පිටින් කිසිවෙකුට කටයුතු කරන්න බැහැ. ඒ වෙනුවෙන් ජනතාව අවදි විය යුතුයි.

සිවිල් අධීක්ෂණ කොමිසමේ කැඳවුම්කරු හා බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්
අද එල්.ටී.ටී.ඊ එකේ කරුණාඅම්මාන් පාර්ලිමේන්තුවේ ඇමති වරප‍්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට අවතීර්ණ වීම ගැන අපිට ප‍්‍රශ්නයක් නැහැ. ජෝර්ජ් මාස්ටර්ට, දයා මාස්ටර්ට අධිකරණයෙන් ඇප දුන්නම ඉන්ටකූලර්වලින් ඇවිත් ඔවුන් එක්කරගෙන යනවා. ඒ මාස්ටර්ලට එහෙම සලකන්න පුලූවන්නම් චෝදනා ඔප්පු වී නැති මේ අහිංසක දෙමළ ජනතාවට සාධාරණයක් කරන්න බැරි ඇයි? ඒ නිසා මොවුන්ට සිදු කරන දේශපාලන පළි ගැනීම් වහා වැළැක්විය යුතුයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර
මීට සති දෙකකට පෙර වවුනියාවෙ දිස්ත‍්‍රික් ලේකම්වරිය කිව්වා අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින අයගෙන් දහ දාහක් අතුරුදහන් කියලා. ඒත් රජය කිව්වෙ මේ දහ දාහ අතුරුදහන් වෙලා නෙවෙයි පැනල ගිහින් කියල. කෙනෙකුට පැනල යන්න අවශ්‍ය වෙන්නෙ බලෙන් රඳවාගෙන ඉන්නවා නම් විතරයි. ඒ නිසා රජය තමන් කළ මේ ප‍්‍රකාශය තුළින්ම පිළි අරගෙන තියෙනවා අවතැන් ජනතාව ඔවුන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව.

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය
යුද්ධෙ දිනුවට පස්සෙ ගෝල්ෆේස් පිට්ටනියෙ මහ රැළියක් තියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා මේ රටේ සියළු ජනතාවගේ තාත්තා එයා කියල. එහෙම කිව්ව තාත්තගෙ දරුවො තමයි අද මේ අතුරුදහන් වෙලා නැත්නම් හිරගෙවල්වල, වධකාගාරවල රඳවාගෙන ඉන්නෙ. ඒ නිසා ජනාධිපති තාත්තට අපි කියනවා මෙතනට ඇවිත් මේ අසරණ ජනතාවගේ කඳුළු වලට උත්තර දෙන්න තාත්තේ කියලා.

Back to samabima
Back to platform

Thursday, September 17, 2009

ගෙදර ගියොත් අඹු නසී - මඟ සිටියොත් තෝ නසී

ලංකාවේ දෙවෙනි විශාලම නගරය වවුනියාවද ?
තාරා ශ‍්‍රී රාම්

යුධ ගැටුම්වලට මැදි වී සිට ආරාධනා ලැබ රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි ලක්ෂ තුනකට ආසන්න ජනගහනයක් ගැන රජය දක්වන අවම මට්ටමේ සැලකිල්ල පිළිබඳ ව ඉතා අල්ප ප‍්‍රමාණයෙන් හෝ මාධ්‍ය, සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලනඥයින් විසින් හෙළිදරව් කරමින් සිටිති.

මේ වන විට වවුනියාව හා මන්නාරම් ප‍්‍රදේශ වලට ඇද හැලෙන මෝසම් වර්ෂාවට හසු වී කූඩාරම් කඩා වැටීම්, කඳවුරු භූමි තුළ අපද්‍රව්‍යය සහිත ජලය පිරී බොහෝ පිරිසක් රෝගී වීම් හා වතුර බැස යන තෙක් පැය ගණන් හිටගෙන සිටින්නට සිදු වීම් ඔවුන් ගැන අසන්නට ලැබෙන ආසන්නතම ප‍්‍රවෘත්තියයි.

අවතැන් ජනතාව මේ වන විට අත්විඳින දුෂ්කරතාවන් හා ඒ සම්බන්ධයෙන් රජයේ පිළිවෙත කුමක්ද යන්න පිළිබඳ ප‍්‍රශ්න කරමින් පසුගිය සැප්තැම්බර් තුන්වෙනිදා නිදහසේ වේදිකාව විසින් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවීය. එයට සිවිල් සංවිධාන නියෝජිතයින් ලෙස ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, හර්මන් කුමාර සහ විපක්ෂ දේශපාලන නායකයින් වන රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, සිරිතුංග ජයසූරිය සහ මනෝ ගනේසන් සහභාගී වූහ. එහිදී ඔවුන් දීර්ඝ ලෙස උතුරේ අවතැන් ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතාවන් හෙළිදරව් කළහ.

වර්තමාන ලංකාවේ දෙවන විශාලතම නගරය බවට පත්ව ඇති වව්නියාවේ මැණික් ෆාම් ප‍්‍රදේශය තුළ සත්‍ය වශයෙන්ම සිටින ජනගහනය කොපමණදැයි අපට තවමත් නිශ්චය කරගත නොහැකිව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන ගණනය කිරීම් අනුව දෙදාස් අටේ ඔක්තෝම්බර් මාසයට පෙර වන්නි ප‍්‍රදේශයෙන් පුද්ගලයින් දෙ ලක්ෂ හැට අටදාස් පස් දෙනෙකු අවතැන් වී ඇත. කෙසේ හෝ එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශවල සිට ගැටුම් අතරමැද දී ගොඩබිමෙන් හා මුහුදු මාර්ගවලින් ලක්ෂ දෙකක් ඉක්ම වූ පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණියහ. ඒ කොපමණ ප‍්‍රමාණයක් ද කියා නිශ්චිත නැත.

තවමත් විසඳා නැති බරපතල ගණයේ ගැටළු කිහිපයක් මෙම කඳවුරුවල පවතී. මූලිකම කාරණය නම් මේවාහි ජීවත් වන ජනතාව නිසි ක‍්‍රමවේදයකට ගණනය කර ලියාපදිංචි කිරීමට රජය තවමත් අපොහොසත් වීමය. රජය පවසන සහන සැලසීම, යළි පදිංචි කිරීම ඇතුළු සියළු වගකීම්වල සහ පොරොන්දුවල හරය එයින්ම බිඳී යයි. එසේම කාන්තාර මෙන් වූ භූමියක රෙදිවලින්, ටකරන්වලින් හා පොල් අතු වලින් එකකට එකක් අලවා ඉදිකර ඇති කූඩාරම් තුළ එකක මිනිසුන් දහ දෙනෙකු ජීවත් වෙති. ඒ එක කූඩාරමක ජීවත් විය යුත්තේ කවුද කියා තීරණය කරන්නට ඔවුන්ට අයිතියක් නැත. එකිනෙකා නාඳුනන ගැහැණු, පිරිමි හා දරුවන් දහ දෙනෙකු එක කූඩාරමක ජීවත්වීමෙන් කාන්තාවන්ට හා දරුවන්ට ලිංගික අතවර, අඩත්තේට්ටම් සිදුවිය හැකි බව වටහා ගැනීමට බලධාරීන්ට නොහැකි වුණේද?

වතුර බූලියක් ගන්නට, වැසිකිළි යන්නට හෝ වෙන ඕනෑම අවශ්‍යතාවක් සඳහා පැය ගණනක් පෝලිමේ ඉන්නා අවතැන් ජනතාවක් සිටින කඳවුරුවල මල් වවන, ගස් සිටුවන, පැළ තවාන් දමන අයත් සිටී යැයි කීමට ඇතැම් මාධ්‍ය පසුගිය කාලයේ දැක් වූ උත්සාහය හා ගෙන ආ තර්කවල පදනම දැන් බිඳවැටෙමින් පවතී. එවන් කඳවුරක සේයාවක් හෝ තිබේනම් ඒ කදිරගාමර් (ZONE - 0) කඳවුරේ පමණි. එ තුළ මුදල් ඇත්නම් සොසේජස් ද කෝකාකෝලාද මිලදී ගැනීමට හැකිය. දුරකථන සේවා ඇත. විවිධ සමාගම් විසින් පැමිණ සංගීත සංදර්ශනද පවත්වති. එනිසාම මෙහි එන එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් තෝරා ගත් මාධ්‍ය සමඟ එතුළට කැන්දාගෙන යාමට රජය කිසි විටෙක මැලි නොවෙයි. නමුත් මේ ජනතාව හමුවීමට වෙනත් කිසිවෙකුට අවසර නැත. විශේෂයෙන්ම විරුද්ධ දේශපාලන පක්ෂ නියෝජිතයින්, මාධ්‍යවේදීන්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් හා සහන සේවකයින්ට එම ප‍්‍රදේශ තහනම් කලාපයකි.

දැනට මෙම කඳවුරුවල සේවය කිරීමට පැමිණ සිටින දේශසීමා රහිත වෛද්‍යවරුන් (MSF) පවසනුයේ ගත වූ මාස පහ තුළ පමණක් ඔවුන් සිදුකළ ශල්‍යකර්ම ගණන පන්දහසක් ඉක්ම වූ බවත්, ඉතා සීමිත පිරිසක් වන තම කණ්ඩායම අවම පහසුකම් යටතේ දිනකට රෝගීන් තුන්සීයකට ආසන්න පිරිසක් පරීක්ෂා කරන බවත්ය. එසේම තම සහෝදර වෛද්‍යවරු බොහෝ පිරිසක් මෙම කඳවුරුවල සේවය කිරීමට මෙරටට පැමිණීමට කැමැත්ත ප‍්‍රකාශ කර තිබෙන මුත් රජයෙන් ඊට අවසර ලැබෙන තෙක් බලා සිටින බවද ඔවුහු කියා සිටියහ. තත්ත්වය මෙසේ වුවද රජය තවමත් කියා සිටින්නේ මේවා සහන කඳවුරු බවය. කටු කම්බි වටකර, අඩි විස්සෙන් විස්සට ආයුධ සන්නද්ධ භටයින් යෙඳූ සහන කඳවුරු තිබෙන්නේ ලෝකයේ කවර රටකද කියා අපි නොදන්නෙමු. මෙම කඳවුරුවල තත්ත්වය වඩා සමීප වන්නේ සිරකඳවුරු වලට යැයි ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර කළ ප‍්‍රකාශය අපට පහසුවෙන් බැහැර කළ නොහැක.

පසුගිය දිනෙක වවුනියාවේ දිස්ත‍්‍රික් ලේකම්වරිය කියූ පරිදි මෙම කඳවුරුවලින් දස දහසක පමණ පිරිසක් පැන ගොස් ඇත. මෙතරම් රැකවල්ලාගෙන සිටින කඳවුරු වලින් මේ පිරිස පැන යාම, නිසියාකාරව ගණනය කර ලියාපදිංචි නොකළ පිරිසක් අතරින් පැන ගිය පිරිස දස දහසක් යැයි නිශ්චිතවම කීම, කඳවුරු ප‍්‍රදේශය පුරා රඳවා සිටින සිය ගණනක් වූ හමුදා භටයන්ගේ ඇස් වලට වැලි ගසා මේ අය පැන යාම ගැටළුවකි.

අවතැන් ජනතාව තවදුරටත් මෙසේ රඳවා තබා ගැනීම මේ වන විට රජයද පිළිතුරු සොයන ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ එකක් විසඳා අත පිසදා ගැනීමට නොහැකි තරම් ප‍්‍රශ්න කන්දරාවක් එකකට එකක් ඇමිණී ඔවුන් හමුවේ පවතින බැවිනි. එසේම තම සහෝදර පිරිසක් අවතැන් කඳවුරු තුළ අපා දුක් විඳින බව දැන් දකුණේ ජනතාවට යථාර්ථයක් වෙමින්, ඔවුන් කෙමෙන් කෙමෙන් ප‍්‍රශ්න ඇසීම ආරම්භ කර ඇත.දෙදාස් හතරේ ඇතිවූ සුනාමියෙන්ද මෙරට බොහෝ පිරිසක් උන්හිටි තැන් නොමැතිව අවතැන් වූ බව ඔබට මතක ඇති. එදා ඒ ජනතාවට කඳවුරු වලින් පිට වී තම ඥතීන් වෙත යාමට කිසිදු බාධාවක් නොතිබුණි. ඔවුන් හමුවීමට කිසිවෙකුට තහනමක්ද පැන නොණැගුණි. එසේනම් අද උතුරේ අවතැන් ජනතාව වෙනුවෙන් පමණක් මේ සියළු තහනම් පැන වෙන්නේ මන්ද?

නමුත් රජය පවසන ආකාරයට මේ ජනතාව යළි පදිංචි කරවිය නොහැක්කේ මූලික කාරණා දෙකක් හේතුවෙනි. පළමු කාරණය ඔවුන්ගේ ගම් බිම්වල වළලා ඇති බිම් බෝම්බ තවම ඉවත් කර නැත. අනෙක මේ පිරිස අතර තවමත් එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ පිරිස් සිටිති.අපටත් ඇතැම් අවස්ථාවල අනාවැකි කීමේ හැකියාවක් ඇත. ඒ අනුව, රජයට ඉදිරි මැතිවරණ සියල්ල අවසන් වනතුරු මෙම ‘බිම් බෝම්බ කතන්දරය’ තව ටික දවසක් මේ විදිහටම අල්ලාගෙන සිටිය හැක. ඊළඟට කඳවුරු තුළ දැනට කොපමණ පිරිසක් එල්.ටී.ටී.ඊ යැයි හඳුනාගෙන තිබේද, හඳුනාගත් අයට සිදුවන්නේ කුමක්ද කියා නිකමට වාගේ කවුරුන් හෝ ඇහුවොත් ඒ අයට මෙසේ කිව හැක. ඒ කඳවුරු තුළ සිටි එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ පිරිස් කෙසේ හෝ උප්පරවැට්ටි යොදා තවත් මරාගෙන මැරෙන සැලසුමකට කොළඹට පැනගෙන ඇති බවය.

Tuesday, September 8, 2009

අසභ්‍ය ප‍්‍රකාශන සහ අපරාධ අතර සම්බන්ධයක් නැහැ

වැඩිහිටියන් විසින් පරිහරණය කරන කලා කෘති තහනම් කිරීමට නීතිගෙන එන බවට සංස්කෘතික ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කිරීමත් සමඟ ම ඒ පිළිබඳ ආන්දෝලනයක් ඇතිවිය. ඒ පිළිබඳ කලාකරුවන්ගේ අදහස් පළ කිරීමට ‘සමබිම’ අපිද කටයුතු කළෙමු.අනතුරුව ඇති වු කතා බහක ප‍්‍රතිඵලයක් වශයෙන් ‘සංස්කෘතික දේශපාලන හා ප‍්‍රතිපත්ති’ මැයෙන් සාකච්ඡා සභාවක් අගෝස්තු 26 දා සවස කොළඹදී පැවැත්විණි.නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන විසින් මෙහෙයවන ලද මෙම සභාවේදී නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු නීතිඥ ජේ.සී වැලිඅමුණ සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අදහස් දැක්වූහ.
ධර්මසිරි බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල, එස්.ජී. පුංචිහේවා, චන්ද්‍රගුප්ත තේනුවර, සිරිමල් විජේසිංහ, සෞම්‍ය ලියනගේ, රාජිත දිසානායක ඇතුළු කලාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරගෙන යාම සඳහා ක‍්‍රියාකාරී කමිටුවක් ද පත් කර ගන්නා ලදි.පහත පළවන්නේ එම සාකච්ඡාවේදී
වැලිඅමුණ මහතා ඉදිරිපත් කළ අදහස් වලින් කොටසකි.



ලෝකය පුරාම භාෂණයේ නිදහස නැත්නම් කථා කිරීමට තියෙන නිදහස පිළිබඳ නෛතික සංකල්පයක් මුලින්ම ගෙනාවෙ ඇමෙරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින්. ඒ මඟින් නීතියක් ලෙස සංශෝධනයක් ගෙනාවා කොන්ග‍්‍රස් මණ්ඩලයට භාෂණයේ නිදහස සීමා කරන ආකාරයේ නීති පැනවිය නොහැකිය කියලා.
මේ සංශෝධනය තමයි ලෝකෙ භාෂණයේ නිදහස ආරක්ෂා කරන නීතිමය රටාවක් දැකිය හැකි පළමුවැනි වතාව. ඒ සංශෝධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මොකක්ද භාෂණයේ නිදහස කියන්නෙ කියල යම්කිසි කතිකාවතක් ඇතිවුණා. එහිදී මතු වුණා අදහසක්, සාමාන්‍යයෙන් භාෂණයේ නිදහස ගැන කථා කරන කොට දේශපාලනමය භාෂණයේ නිදහස ගැන විතරද සිතිය යුත්තේ කියල. ඉන් පසුව දේශපාලනමය භාෂණයේ නිදහසට අමතරව අනිකුත් අදහස් ප‍්‍රකාශ කිරීම්ද මේ අයිතිවාසිකම තුළට යටත් කියලා පිළිගන්න ටික කාලයක් ගියා. එ්කට පාදක වුණේ ඇත්ත වශයෙන්ම භාෂණයේ නිදහස පිළිබඳ ඓතිහාසික අධ්‍යයන. ඒ ඓතිහාසික අධ්‍යයන පසුකාලීනව නීතියේ පදනම් බවට පත්වුණා. දැන් භාෂණයේ නිදහස යන්නෙන් අඩු තරමින් අංග තුනක් ගැන කියවෙන බව පිළිගන්නවා. නමුත් මේවා කාලයෙන් කාලයට දියුණුවෙලා ආපු අදහස්.
අසභ්‍ය ප‍්‍රකාශන වලට එරෙහිව නැගෙන සමාජමය කතිකාවත තුළ සාකච්ඡා වෙනවා අසභ්‍ය ප‍්‍රකාශන සහ කලා කෘති සමාජයට අහිතකරද, එහෙම නැත්නම් සැහැසිකම් වලට හෝ අපරාධ වලට පිටුවහලක් සපයනවද කියල. මේ පිළිබඳව ලියැවී තියෙන නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ වලින් එක දෙයක් පැහැදිලි වී තියෙනවා. අසභ්‍ය ප‍්‍රකාශන හා කාම දර්ශන හේතුවෙන් කාම අපරාධ හෝ සමාජ විරෝධී ක‍්‍රියාකාරකම් වෙන බවට කිසිම සාක්‍ෂියක් කිසිදු විද්‍යාත්මක සමීක්‍ෂණයකින් හෝ පරීක්‍ෂණයකින් මෙතෙක් හොයාගෙන නැහැ. අසභ්‍ය ප‍්‍රකාශන හා අපරාධ අතර සම්බන්ධය හොයන්න 1967 දී ඇමෙරිකාවෙ ජනාධිපති ජොන්සන් කොමිසමක් පත්කළා. ඒ කොමිසම මේ පිළිබඳව දත්ත විශාල සංඛ්‍යාවක් රැස් කළා. එම පර්යේෂණ වලින් පෙනී ගියේ මේ කාරණා දෙක අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි. ඒ වගේම ඔවුන් එම පරීක්ෂණය අවසානයේ සොයාගත්තා සමාජයේ ඇති වී තියෙන ප‍්‍රශ්නය කාමුක චිත්ත රූප නිසා හටගත් එකක් නෙවෙයි, ඍජුව ලිංගික කටයුතු වලට මැදිහත් වීමට දක්වන මැලිකම නිසා හටගත් එකක් බව. ඒක මේ කොමිසමේ එක නිගමනයක්ද වුණා. ඉතිහාසය තුළ අසභ්‍ය ප‍්‍රකාශන හා වාරණය සම්බන්ධයෙන් සමාජය නොයෙක් විට විවිධාකාරයෙන් ප‍්‍රතිචාර දක්වා තියෙනවා. මම හිතන්නෙ පාලකයින් අතාර්කික සහ අවිද්‍යාත්මක පදනම් මත ඉදගෙන නීතිය සහ බලය හැසිරවීමේ ප‍්‍රතිඵල විදිහටයි මෙවැනි වාරණයන් ඇතිවන්නේ. ඒ වගේම කිව යුතුයි, මෙවැනි වාරණයන් පැනවීම සුදුසුකම් නැති මහජන නියෝජිතයින්ගේ ප‍්‍රශ්නයක් විතරක්ම නෙවෙයි. ජනතාවගේ උනන්දුවක් නොමැතිවීම, කලාකරුවන් සහ මාධ්‍යවල ඉන්න පිරිස් අතර තියෙන බෙදීම් වගේ කාරණාත් මීට බලපානවා.

Thursday, August 13, 2009

පහුගිය කාලයේ ගොඩක් මාධ්‍ය ජාතිවාදය මාකට් කළා

නුවන් ලියනගේ
නෙත් FM
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
වැඩසටහන්
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

මාධ්‍ය නිදහස කියන්නේ මොකක්ද?
මම සිතන දෙයින් වැඩි ප‍්‍රතිශතයක් අනිත් අයට දැනෙන විදිහට ප‍්‍රකාශ කරන්න මා සහ මගේ අවට පරිසරය විසින් මට නිර්මාණය කරල දෙන අවස්ථාව මාධ්‍ය නිදහස කියල මම අර්ථකථනය කරනවා. දෙවනුව වඩා මානුෂික, වඩා සදාචාර සම්පන්න, වඩා මිනිසුන් ගැන හිතන සමාජයක් කරා මගේ සමාජය ගෙනයන්න මා සහ මගේ පරිසරය තුළින් නිර්මාණය කර දෙන නිදහස මාධ්‍ය නිදහස කියල අර්ථ දක්වන්න පුළුවන්.

ලංකාවෙ ඔය කියන මාධ්‍ය නිදහස තියෙනව කියල ඔබ විශ්වාස කරනවද?
එතනදි මුලින්ම මට ගැටළුවක් පැන නඟිනවා. මගේ ප‍්‍රශ්නය අවංකවම සමාජයට මුදාහරින්න පෞද්ගලිකව මම සූදානම්ද කියන එක? ඇත්තටම මං දන්න තරමින් අපේ රටේ දැන් මාධ්‍යවේදීන් නැහැ. ඉන්නෙ මාධ්‍යකරුවන්.

අද අපි දකිනවා මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ, මාධ්‍යවේදීන් හෙළා දකින්නේ මාධ්‍යවේදීන්මයි. මෙහෙම ගහනකොට මාධ්‍යවේදියාගේ භූමිකාවට මොකක්ද වෙන්නේ ?
වෙන දේ තව අවුරුදු පහකින් විතර බලාගන්න පුළුවන්. පහුගිය දශක කිහිපයක් ගත්තොත්, කාලයක් තිබුණා මාධ්‍යවේදීන්ට බලයක් තිබුණේ නැහැ. 80 දශකය අග භාගයත් එක්ක මාධ්‍යවේදීන්ට ලොකු සිවිල් බලයක් ලැබුණා. ඔවුන් තමයි සමාජය දේශපාලන වෙනසක් කරා අරගෙන ගියේ. ඒ කියන්නේ අපි තමයි දේශපාලනඥයන්ට ගහ හොලවලා දුන්නෙ ගෙඩි අහුලා ගන්න. දැන් ඒ ගහ හොල්ලලා දුන්න කට්ටියට තමයි ගහන්නේ. සමාජය වෙනස් කරන්න මාධ්‍යයට පැවරුවේ සමාජය විසින්මයි. දැන් මාධ්‍යයට දීල තියෙන ඒ සිවිල් බලය මාධ්‍යය විසින් ම නැති කර ගන්නවා නම් වැරදියි.

මාධ්‍ය අපක්ෂපාතී විය යුතුයි කියනවා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ ?
ඒක අමූලික බොරුවක්. මම නම් එහෙම කියන්නෙ නැහැ. මම කියන්නෙ මාධ්‍ය කිසිවිටෙකත් අපක්ෂපාතී විය යුතු නැහැ. මාධ්‍ය පක්ෂග‍්‍රාහී විය යුතුමයි. අපක්ෂපාතී වෙනව කියන්නෙ හරිම ලේසි දෙයක්. මොකද එ් පැත්තෙන් ටිකක් ගත්තා. මේ පැත්තෙන් ටිකක් ගත්තා. දෙන්න හප්පනවා. ඊට පස්සෙ කියනවා ජනතාවට තීරණය කරන්න කියලා. ඕක බී.බී.සී සම්ප‍්‍රදාය.

මාධ්‍ය පක්ෂපාතී විය යුත්තේ කාටද?
ජනතාවට. මාධ්‍ය අනිවාර්යයෙන්ම ජනතාවගේ පැත්ත ගත යුතුයි. මනෝ විද්‍යාත්මකවම අපි යම්කිසි පැත්තකට වැටෙන මිනිස්සු. මාධ්‍යවේදීන් අපක්ෂපාතී වෙනව කියන්නෙ ඔහුට කොන්දක් නැත්නම් විතරයි. ඒ කියන්නෙ අවංකව ම මේක හරි මේක වැරදියි කියල කියන්න බැරි මිනිස්සුයි අපක්ෂපාතියි කියන්නේ. අපිට සමාජයේ මොකක් හරි වැරැද්දක් වෙනවා නම් කෙලින්ම ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් වෙන්න ඕන ‘තමුසෙ ඔය කරන දේ වැරදියි’ කියලා.
මෑත කාලයේ සමහර මාධ්‍යවේදීන් ජාතිවාදියි කියා චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ඔබේ මතය මොකක්ද?
මට තියෙන ප‍්‍රශ්නය මාධ්‍යවේදීන්ට අවංකවම ජාතිවාදී වෙන්න පුළුවන්ද කියලා සහ එහෙම වෙච්ච අය මාධ්‍යවේදීන්ද කියලයි.

ජනාධිපතිවරයා කියනවා ලංකාවෙ ඉන්නේ ජාතීන් දෙකයි. ඒ රටට ආදරය කරන ජාතිය හා නොකරන ජාතිය. මේ කියමන මාධ්‍යවේදීන්ටත් වලංගුයි. ඔබ අයත් මෙයින් කොයි ගොඩටද ?
ජනාධිපතිතුමාගේ කතාව ඉතා වැදගත් කතාවක්. මම ඒ කතාවට කැමතියි. ජනාධිපතිතුමා කිව්වේ හරි ලස්සන වචනයක්. මේ රටට ආදරය කරන ජාතිය හා නොකරන ජාතිය කියලා. මම මේ රටට ආදරය කරන මනුස්සයෙක්.
අද ලංකාවෙ මාධ්‍යවේදීන්ගෙන් පිරිසක් දේශද්‍රෝහී මාධ්‍යවේදීන් ලෙස නම් කර ලැයිස්තු ගත කර තියෙනවා.
මට මාර කණගාටුවක් තියෙනව මගේ රට ගැන. ඔය ලිස්ට් එක හදන්නෙ කවුද? ඔය ලිස්ට් එකේ ඉන්න බොහෝ මාධ්‍යවේදීන් මට දේශප්‍රේමී මාධ්‍යවේදීන්. රට යහපත් තැනකට ගෙනයන්න කටයුතු කරපු අය. ඔවුන් ලැයිස්තු ගතකළ අය එහෙම කරන්න ඇත්තේ සමහර විට පුද්ගලික තරහවල් හෝ ඊර්ෂ්‍යාවන් නිසා වෙන්න පුළුවන්. ඒ මාධ්‍යවේදීන් පාවිච්චි කරපු විධි ක‍්‍රම පිළිබඳ, දේශපාලනය ගැන සමාජයට සහ තවත් අයට විවේචන තියෙන්නත් පුළුවන්. හැබැයි ඔවුන්ට උවමනාවක් තිබුණා අපේ රට මීට වඩා දියුණු තත්ත්වයකට, මානුෂීය තත්ත්වයකට ගෙන එන්න. ඔය අතරතුර බිස්නස් කරගත්ත කට්ටියත් හිටියා. ඒ ගොල්ලො මාධ්‍යවේදීන් කියල මම කියන්නෙ නැහැ. මට තියෙන්නෙ කවුරුවත් හදපු ලිස්ට් එකක් නෙවෙයි. මම හදා ගත්ත ලිස්ට් එකක්. මම ඒ නම් කියන්න කැමති නැහැ.

පසුගිය කාලයේ බොහෝ මාධ්‍ය ජනතාව ඉල්ලන දේ නැත්නම් වෙළඳපල ඉල්ලූම අනුව සිය මාධ්‍ය භාවිතයේ යෙදවූවා. ඒ අනුව ඇතැම් මාධ්‍ය ජාතිවාදී අදහස් වැපිරීමට වැඩි උනන්දුවක් ගත්තා. ජාතිවාදය ඇත්තටම යමක් මාකට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අපි පහුගිය කාලෙ දැක්කා විවිධ අය ඒක පාවිච්චි කරනවා. ජාතික හැඟීම කියන එක මාකටින් එක්ක හොඳට පාවිච්චි කරල රටක් විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන්. හැබැයි ඒ ටෙ‍්‍රන්ඞ් එක හරිම පරිස්සමින් කරන්න ඕන. බැරිවෙලාවත් ජාතිවාදය මාකට් වුණොත් වෙන්නෙ රටක් අවගමනයට ගමන් කරන එක. රටක් ගෝත‍්‍රික වෙන එක. ජාතික හැඟීම් ඇති කරල කොහොම කතා කළත් වෙළෙඳපොළ අපිව යම් මට්ටමකින් පාලනය කරනවා. මෙහෙයවනවා.

ලංකාව මේ දෙකෙන් කොතනද ඉන්නේ ?
ඇත්තටම මම බය වුණා මේකෙ අවසානය ජාතිවාදය කියන තැනට ගමන් කරයි කියල. වාසනාවකට සීයට විසිපහක් විතර ජාතිවාදය දිහාට ගමන් කර නැවත හැරිල ජාතිකත්වය කියන සුභවාදී පැත්තට එය ගමන් ඇරඹුවා.

වඩා ජනතා හිතවාදී පාලනයක් බිහි කරන්න රජයකට බල කිරීමේ වගකීමක් මාධ්‍යයට තියෙනවා කියා පිළිගන්නවද?
මම හැමදාම කැමති මිනිස්සුන්ට මාළු දෙනවට වඩා මිනිස්සුන්ට මාළු අල්ලන්න උගන්වන එකට. මිනිස්සුන්ට මාළු දුන්නොත් මාළු දුන්න මනුස්සයා මැරුණු දවසට ගත්ත මනුස්සයා බඩ ගින්නේ. මාළු අල්ලන්න ඉගැන්නුවොත් කොහේ හරි තොටුපළකට ගිහින් මාළු අල්ලගන්නවා. පවතින රජය අවදි කරන එක හැමදාම මාධ්‍ය මඟින් කෙරෙනවා. වැඩි හරියක් ගත්තොත් මාධ්‍ය මඟින් කරන්නෙ රජයට යම් යම් දේ පෙන්නලා දෙන එක. ඒක විය යුතු කාරණයක්. නමුත් ඊටත් වැඩිය රටේ ජනතාව රට වැසියන් බවට පත් කිරීමේ වගකීම වැඩියි. ට්‍රොට්ස්කි කියපු දෙයක් මම හැමදාම කියනවා. ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට ගැලපෙන නායකයෙක්.

නමුත් ඔබ කියන ජනතා හිතවාදී මාධ්‍යයට බොහෝ විට ජනතාව වෙනුවෙන් අවදි වෙන්න මතක් වෙන්නේ සමාජයේ ගැටළුවක් ඇතිවුණාට පස්සේ? ඊට කලින් ක‍්‍රියාත්මක වීමේ වගකීමක් මාධ්‍යයට තියෙනවා නේද?
ඔය දෙකම වෙන්න පුළුවන්. මම නම් වඩා කැමති දුර දක්නයකින් ඉදිරිය දකින මාධ්‍යක් තියෙනවට. අපි බොහොම ක්ෂුද්‍ර වෙළඳපොළක්. එ් නිසා සමහර විට නැට්ට විසින් බල්ලා නටවන තත්ත්වයට පත්වෙනවා. ඉන්දියාව වගේ රටවල පුළුවන් බල්ලා විසින් නැට්ට නටවන්න. රටේ ආර්ථික ප‍්‍රශ්නයි, ලෝක ආර්ථික උණුසුමයි අනුව අවංක උවමනාවක් තිබ්බත් දුරදක්නා නුවණකින් සමාජය දිහා බලන්න ඉස්පාසුවක් නැති වෙලා තියෙනවා. නමුත් එ් මොහොතේ වෙන ප‍්‍රශ්න වලට අවධානය යොමු කරලා මෙහෙයවන මාධ්‍ය වගේම, යමක් වෙන්න කලින් අවධානය යොමු කරලා මෙහෙයවන මාධ්‍ය යන දෙකම සහිත මාධ්‍ය කලාවක් බිහි වේවා කියල ප‍්‍රාර්ථනයක් මට තියෙනවා.

උතුරේ අවතැන් වූවන්ගේ සැබෑ පසුබිම හෙළි කරන්න ඇතැම් මාධ්‍යවේදීන් කැමැත්තෙන් ඉන්නවා. නමුත් රජය ඊට ඉඩ ලබා දෙන්නේ නැහැ. මොකක්ද ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ ?
උතුරේ කඳවුරුවල ඉන්නෙත් අපේ ජනතාව. අපේ නෑදැයෝ. උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න මඟ හැරුණ නිසයි ජනතාව ඒකට වෙන විදිහකින් කතා කරන්න පටන් ගත්තේ. දැන් රට මොන විදිහකින් හරි සන්ධිස්ථානයකට ඇවිල්ල තියෙනවා. මම සෑහෙන්න කාලයක් උතුරේ අවතැන් ජනතාවත් එක්ක හිටිය. මම පිළිගන්නවා ඒ ජනතාවගේ ප‍්‍රශ්න මාධ්‍ය වගේම විශේෂයෙන්ම් දේශපාලනඥයන් විසින් කතා කළ යුතුයි. නමුත් ඒ පරිසරය බොහොම සංවේදී පරිසරයක්. ඒ තත්ත්වය තුළ මේක මීඩියා කානිවල් එකක් බවට පත් කරගන්න නරකයි. සත්ව උද්‍යානයක් බලන්න යනවා නෙවෙයි. හදවතක් තියෙන මනුස්සයෙක් එතනට ගිහිල්ලා කඳුලක් එන්නෙ නැත්නම් ඌ කාලකණ්ණියෙක්.

ඒත් දකුණේ ජනතාවට පහුගිය කාලය පුරාම මාධ්‍ය පෙන්නුවේ ඔවුන්ගේ ජීවිතවල සුන්දර පැත්තක් විතරයි නේද?
ඔව්. සාමාන්‍ය ජනතාව බොහෝ දේ දන්නෙ නැහැ. නමුත් මාධ්‍යයට ඒ පරිසරය විවෘත කරන්න ඕන ඉතාම පරිස්සමෙන්. ඇත්තටම මාධ්‍ය ගැන විශ්වාසයක් ඔවුන්ට නැහැ. ඔවුන්ට තමන්ගේ අභිමානය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා.

ඔබට අනුව මේ ප‍්‍රශ්නයට දිය යුතු විසඳුම මොකක්ද?
සෑම ජනතාවකටම ඔවුන්ගේ අනන්‍යතාව හා අයිතිවාසිකම් රැකෙන පරිදි නිවැරදි පාලන ව්‍යුහයක් සකස් විය යුතුයි. ජනතාවට බලතල දීල ඔවුන්ගේ ප‍්‍රශ්න ඔවුන්ගේ නියෝජිතයන් ලවා විසඳවාගන්න පුළුවන් කියල අපි හිතුවද? ඒ සංකල්පය අපි තවම ක‍්‍රියාත්මක කරල නැහැනේ. මට හිතෙනවා එහෙම අත්හදා බැලීමකට යා යුතුයි කියල.

බහුතරය නියෝජනය කරන ඔබට ලංකාවෙ මාධ්‍ය සම්බන්ධයෙන් ප‍්‍රශ්න නැද්ද ?
තියෙනවා. ප‍්‍රධාන ප‍්‍රශ්නෙ තමයි මාධ්‍යවේදීන් වන අපි මේ තියෙන හතර මායිමේ මඤ්ඤොක්කා උගුල්ලා ගන්නවද කියන එක. තියෙන තත්ත්වය තුළ අපිට කරන්න පුළුවන් උපරිමය කරනවද කියන එක.

Thursday, August 6, 2009

අනේ අපේ ජනතාවට ගෙදර යන්න ඉඩ දෙන්න


මනෝ ගනේෂන්
බස්නාහිර ජනතා පෙරමුණ

අවතැන් වූ ජනතාවගේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඔබගේ විග‍්‍රහය මොකක්ද?
ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා මේ අනාථ කඳවුරු නරකාදියක් වගේ කියල ප‍්‍රකාශ කළා. ඒ වගේම හිටපු අගවිනිසුරු ඒවා එළිමහන් සිර කඳවුරු වගේ කිවුවා. මමත් මේවට ඊටත් වඩා සුදුසු තවත් වචනයක් සිංහල ශබ්ද කෝෂයේ තියෙනවද කියල හොයමින් ඉන්නේ. ඇත්තටම මේ අනාථ කඳවුරු පවත්වාගෙන යන්නේ දේශීය හා ජාත්‍යන්තර පිළිගත් සියළු නීති උල්ලංඝනය කරමින්. ඒ වගේම ප්‍රෞඩ ඉතිහාසයක් සහ සංස්කෘතියක් තියෙන අපේ ජාතියට අවමානයක් වන ආකාරයෙන්.

වතුර බෝතල්, ඇඳුම් පැළඳුම්, කෑම පාර්සල් යවනවට වඩා යමක් අවතැන් අය වෙනුවෙන් දකුණේ ජනතාව කළ යුතුයි කියල ඔබ හිතනවද?
ඇත්තටම මේ ජනතාව හංගන්නන් නෙවෙයි. ඔවුන් තමන්ගේ ජීවිකාව ගෞරවාන්විතව කරමින්, තම ගම්මානවල වසර දහස් ගාණක් තිස්සේ පාරම්පරිකව ජීවත් වූ පිරිසක්. මේ ජාතික ප‍්‍රශ්නය වතුර බෝතල්, ඇඳුම් පැළඳුම් හෝ කෑම පාර්සල් වැනි දේවල් වලට සීමා නොකළ යුතුයි. ඒ වගේම මේ ද්‍රව්‍ය සපයන ආකාරය පෙන්වන අප‍්‍රසන්න මාධ්‍ය ප‍්‍රචාරයන් මඟින් ආණ්ඩුව තමන්ගේ නිරුවත වසා ගන්න දරණ උත්සාහය දකින කොට මට පිළිකුලක් ඇති වෙනවා. ඒ නිසා අපේ මේ ජනතාව යැපෙන්නන් විදිහට පෙන්වන්න රජය ගන්නා මේ විලිලැජ්ජා නැති උත්සාහය වහාම නවත්වා ඔවුන්ට තමන්ගේ ගම්මානවල නිදහසේ ජීවත් වීමට ඇති නිත්‍යනුකූල අයිතිය ලබාදිය යුතුයි. මා මේ ආයාචනය කරන්නේ මගේ සහෝදර සිංහල, බෞද්ධ ජනතා හදවත් වලටයි. මේ මානුෂික ප‍්‍රශ්නය යට ගැසීමට ආණ්ඩුව දරණ නිර්ලැජ්ජී උත්සාහය පරාජය කරන්න දකුණේ ජනතාව ඒකරාශී විය යුතුයි.
අවතැන්වූවන් සම්බන්ධයෙන් රජය ක‍්‍රියාකල ආකාරය ගැන ඔබගේ හැගීම කුමක්ද?
මුල සිටම රජය ක‍්‍රියා කළ ආකාරය අප‍්‍රසන්නයි. නීත්‍යනුකූලව පත් වූ රජයකට ත‍්‍රස්ත කල්ලියක් සේ හැසිරීමට කිසිදු ශීලාචාර අයිතියක් නැහැ. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් උල්ලංඝනය කළ සියළු පිළිගත් මානුෂීය අයිතීන් ආණ්ඩුව විසින් ඒ ආකාරයෙන්ම සහ ඊටත් වඩා දරුණු විදිහට සිදු කළා. තවමත් සිදු කරමින් ඉන්නවා. මා විශ්වාස කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ රාජ්‍ය නොවන ත‍්‍රස්තවාදය අවසන් බවයි. එහෙත් මේ ආණ්ඩුවේ රාජ්‍ය ත‍්‍රස්තවාදය අඛණ්ඩව පවතිනවා. මේ වන විට ලක්ෂ තුනකට වඩා අපේ ජනතාවක් කටු කම්බි කොටුවක සිර කර ඔවුන්ගේ නිදහස සීමා කරමින් සිටීම රාජ්‍ය ත‍්‍රස්තවාදය නෙවෙයි ද? රජයේ ගණන් හිලව් වලට අනුව හැත්තෑදාහක් පමණ යැයි කියූ ජනතාව ලක්ෂ තුන දක්වා ඉහළ ගියා. එදා රජය ගුවනින් පත‍්‍රිකා නිකුත් කරමින් පාලන ප‍්‍රදේශවලට එන්න කියල ආරාධනා කළා. මිනිස්සු ආවා. නමුත් මේ පිරිසට අවම යටිතල පහසුකමවත් ලබා දීමට රජයට හැකියාවක් නැහැ. එය කවදාවත් රජයට කරන්න පුලූවන්කමක් ලැබෙන්නෙත් නැහැ. මේ නිසා දිනපතා ම ජනතාව ශාරීරිකව හා මානසිකව ලෙඩ වෙනවා. ලෙඞ්ඩු මැරෙනවා. ඇතැම් අය සිය දිවි නසා ගන්නවා. දූ දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් ආනාථ වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයට පත් වී සිටිනවා. උදේ පාන්දර ඉඳන් වැසිකිළියට, වතුරට, කෑමට, නෑමට, බෙහෙත්වලට, පෝලිම්වල පැය විසිහතර පුරාම ලගින්න වෙලා. මේ අඩුපාඩු පෙනීම වළක්වාගන්න ආණ්ඩුව ඉතාමත් කැත විදිහට හැසිරෙනවා. මේ පිරිස බලන්න ජනතා නියෝජිතයන්ට සහ මාධ්‍යට ස්වාධීනව යන්න දෙන්නෙ නැහැ. මෙච්චර අමානුෂික තහංචි ලෝකෙ කිසිම අනාථ කඳවුරක දක්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසයි මේව ආණ්ඩුවේ එළිමහන් සිර කඳවුරු මිස අනාථ කවුරු නෙවෙයි කියල මම අර්ථ දක්වන්නේ.

ඇතැම් පිරිස් රජය අවතැන්වූවන් සම්බන්ධයෙන් ක‍්‍රියා කළ ආකාරය වැරදියි කියන අතරම තවත් පිරිසක් රජයේ ක‍්‍රියා කලාපය අනුමත කරනවා. ඔබට අනුව මෙවැනි තත්ත්වයකදී වගකිව යුතු රජයක් කි‍්‍රයාකළ යුත්තේ කොහොමද?
මේ වගේ අමානුෂික ක‍්‍රියාවන් අනුමත කරන්නේ, වෛරී දේශපාලනය කරන මිනිස්සු හා ජාතිවාදයෙන් හිස උදුම්මාගත් පිස්සන් පමණයි. සුළු පිරිසක් මාධ්‍ය හරහා මේක බහුතර මතය කියල පෙන්නන්න උත්සාහ ගන්නවා. නමුත් සිංහල බෞද්ධ බහුතර ජනතාව මේක අනුමත කරන්නෙ නැහැ. මුලින්ම ආණ්ඩුව තේරුම් ගන්න ඕන මෙය ආණ්ඩුවේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නොවන බව. ඒ වගේම ආණ්ඩුව ඉදිරිපත් කරන දේශපාලන සහ මිලිටරි න්‍යාය පත‍්‍රයට සීමා නොකළ යුතුයි. ලෝකෙ කොතැනකවත් නැති විදිහට ලක්ෂ තුනකට වඩා වැඩි අනාථ වුණ විශාල ජනතාවකගේ ප‍්‍රශ්නය අපේ ජාතික ප‍්‍රශ්නයක් බව ආණ්ඩුව තේරුම් ගන්න ඕන. මේ අවස්ථාවෙදි රජය වහාම සර්ව පාර්ශ්වික කමිටුවක් පත් කර ඒ කමිටුවට ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ ලබා දිය යුතුයි. ආණ්ඩුවේ විධායක තීන්දු හා ක‍්‍රියාවන් පිළිබඳ විනිවිදභාවය ලබා ගන්න මේ කමිටුවට බලය තිබිය යුතුයි. අපට ලැබෙන වාර්ථා අනුව ලක්ෂ දෙකහමාරක් වැඩි ජනතාවක් ස්වාධීනව ගිහින් තමන්ගේ ගම් බිම්වල පදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ පිරිසට ආණ්ඩුවේ කිසිම උදව්වක් අවශ්‍ය නැහැ. මේ ජනතාව මෙහෙම ඉල්ලීම් කරන්නෙ අවුරුදු දහස් ගාණකට හිමිකම් කියමින් ජීවත් වූ ජාතියක් හැටියට අපේ ජනතාවගේ ඒ පාරම්පරික අයිතිය උල්ලංඝනය කරන්න ආණ්ඩුවට හෝ වෙනයම් කෙනෙකුට කිසිම අයිතියක් නැති බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ආණ්ඩුව නිර්මාණය කරන්න උත්සාහ දරන නව ගම්මාන බිහිකිරීම හෙවත් ජන සංයුතිය විකෘති කිරීම අපි කිසිසේත් පිළිගන්නෙ නැහැ. ආණ්ඩුව තමන්ගේ පටු දේශපාලන උවමනාවල් සපුරා ගැනීමේ අවශ්‍යතාව නිසා මේ ප‍්‍ර‍්‍රශ්නය විශාල කර පෙන්වනවා. මම තවදුරටත් පැහැදිළි කරන්න උත්සාහ ගන්නේ ආණ්ඩුව මේ අනාථ වුණ ජනතාව වැසිකිළි යෑමේ සිට නිදි ඇඳ දක්වා, උපතේ සිට මරණය දක්වා වූ සියළුම පෞද්ගලික ජීවන රටාවන් අතට ගනිමින් ඔවුන් පාලනය කිරීම ඉතා නින්දා සහගත බවයි. මේ ජනතාව නැවත පදිංචි කිරීම ආණ්ඩුව උවමනාවෙන්ම කල් දානවා. ආණ්ඩුව පුන පුනා කියන බිම්බෝම්බ ඉවත් කිරීමේ මන්තරය මම පිළිගන්නෙ නැහැ. අපේ හමුදාව වන්නි මෙහෙයුමේදි හතර දිසාවෙන් ගමන් කළේ බිම් බෝම්බ ඉවත් කර ගනිමිනුයි. බුද්ධිමත් ජනතා දැනුම අනුව බිම් බෝම්බ තියෙන්නෙ ඒ බිමෙන් සීයට දහයක් විතරයි. මම ඒ සඳහන් කරපු කරුණු වලට අනුව මේ මොහොතේ සිදුවිය යුතු සහ අද සැළකිල්ලට ලක් කළ යුතු එකම කරුණ අපේ මිනිස්සුන්ට ගෙදර යන්න ඉඩ දීමයි. මම පළවැනිව, දෙවැනිව හා තුන්වැනිවත් ඉල්ලා සිටින්නේ ‘අනේ අපේ ජනතාවට ගෙදර යන්න ඉඩ දෙන්න’ කියන ඉල්ලිමයි.

අද උතුරේ ජනතාවගේ මෙන්ම දකුණේ ජනතාවගේත් ජීවත්වීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතීන් සීමා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ මැදිහත්වීම කවරාකාරද?
මම දකුණෙ ජීවත් වන්නෙක්. නමුත් මම උතුරෙ ජීවත්වීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතීන් උල්ලංඝනයන්ට අත්පුඩි ගැසූ කෙනෙක් නෙවෙයි. මම නොබෙදුනු ශ‍්‍රී ලංකාවාදියෙක්. නිරන්තරයෙන් අපගේ ජාතික කොඩියට උපරිම ගෞරව දක්වන්නෙක්. නමුත් උතුරේ ඔබ සඳහන් කළ අයිතීන් ප‍්‍රසිද්ධියේ උල්ලංඝනය වෙද්දි ජාතික කොඩිය උස්සගෙන ඊට අපහාස කරපු එකෙක් නෙවෙයි. ඒකාධිපතිවාදය ඔබේ ෙදාරට තට්ටු කරන තෙක් බලා නොසිට අවදියෙන් ඉන්න. සාමූහිකවන්න. අත්වැල් බැඳ ගන්න. ඒකයි මම ඉල්ලා සිටින්නෙ.