Thursday, December 17, 2009

ඉල්ලාගත් කේතලය සහ රාජ්‍ය රහස් හෙළිකිරීම

සුදර්ශන ගුණවර්ධන

රාජ්‍ය රහස් හෙළිකිරීම
යුද්ධයේ අවසාන අදියරේදී එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායක නඬේසන්, සාම මහ ලේකම් කාර්යාලයේ නායක පුලිදේවන් සහ රමේෂ් ඇතුළු කණ්ඩායමක් සුදු කොඩි රැගෙන ශ‍්‍රී ලංකා හමුදාව වෙත යටත්වීමට පැමිණි බවත්, එසේ වුවද යටත් වීමට ඉඩ නොදී ඔවුන් ඝාතනය කරන ලද බවත් පිළිබඳ වූ කතා ප‍්‍රවෘත්තියට නැවත පණ ලැබී, තටු ගසා, ගුවන සිසාරා පැතිරෙන්නට වී ඇත.
මෙම කතාව කරළියට එන්නේ යුද ජයග‍්‍රහණය සඳහා වගකිවයුතු සේනාධිනායකයා වු මහරජතුමාද, සෙන්පතියා වූ ජෙනරාල්තුමාද ප‍්‍රතිමල්ලවයන් වශයෙන් ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇති පසුබිම තුළය.
සන්ඬේ ලීඩර් පුවත්පත සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජෙනරාල්තුමා මේ පිළිබඳව පළ කළා යැයි කියන අදහස් නිසා ඇති වූ තත්ත්වය දෙබර කූඩයකට ගල් ගැසුවා සේ විය. ‘මගෝ ඩිගො ඩයි’ චිත‍්‍රපටයේ චරිත නිරූපනයට පවා සුදුසුකම් දක්වන්නා වූ ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් බුරුත්තක්ම එම ප‍්‍රකාශයට විරුද්ධව ගුවන් තරංග මඟින් යුද්ධ ප‍්‍රකාශ කරන ලදි. ඔවුන් කියා සිටියේ එම ප‍්‍රකාශය යුද රහසක් හෙළිදරව් කිරීමක් බැවින් ජෙනරාල්තුමා දේශද්‍රෝහියෙකු බවයි. ආණ්ඩුවට හිතවත් නීතිඥවරුන් ප‍්‍රකාශ කළේ ජෙනරාල්තුමාට විරුද්ධ ව රාජ්‍ය රහස් පනත යටතේ නඩු පවරා ඔහු සිරගෙට වුවද යැවිය හැකි බවයි.
කෙසේ වුවද,තමා එවැනි ප‍්‍රකාශයක් නොකළ බවත්,තම ප‍්‍රකාශය සන්ඬේ ලීඩර් පුවත්පත විසින් විකෘති කොට පළ කොට ඇති බවත් පසුව පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ජෙනරාල්තුමා ප‍්‍රකාශ කළේය. යුද්ධය මෙහෙයවූයේ තමා බැවින් එහි සියළු වගකීම් තමා භාරගන්නා බව ප‍්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් පැවසුවේ යුද්ධයේ අවසාන අදියරේදී කිසිවෙකුත් සුදු කොඩි රැගෙන යටත්වීමට නොපැමිණි බවයි.
ජෙනරාල්තුමා රාජ්‍ය රහස් හෙළිදරව් කර ඇතැයි රජයේ ඇමතිවරුන් විසින් ප‍්‍රකාශ කිරීම මඟින් ඉහත දැක්වෙන ආකාරයේ ඝාතනයක් සිදු වී ඇති බව රජය අනියම් ලෙස පිළිගෙන ඇතැයිද එය රටට අවාසිදායක යැයිද විදේශ ඇමතිවරයා කී බව වෙබ් අඩවියක පළ විය.තවත් වෙබ් අඩවියක පළ වූයේ ඉහත දැක්වෙන ආකාරයේ සිදුවීමක් නොවූ බව දැන් ජෙනරාල්තුමා විසින් ප‍්‍රකාශ කර ඇති බැවින් ප‍්‍රශ්නය මෙතනින් අවසන් කළ යුතු බව රජයේ ඇමතිවරුන් ප‍්‍රකාශ කර ඇති බවයි.
මෙහිදී පුරවැසියන් වශයෙන් අප විසින් ඇසිය යුතු ප‍්‍රශ්න කිහිපයක් වෙයි.
1. පසුගිය කාලයේ ලංකාවේ සියළුදෙනාම පාහේ දැනසිටි කරුණක් හදිසියේම රාජ්‍ය රහසක් බවට පත්වූයේ කෙසේද?
2. යුද්ධයේ අවසානය සිදු වූ ආකාරය රූපවාහිනි සහ වීඩියෝ දර්ශන ඔස්සේ හැමදෙනාම දන්නා තත්ත්වයක් යටතේ මේ ඊනියා රහස වසන් කරන්නට හදන්නේ කාගෙන්ද?
3. සෙසු මහජනයාට වඩා කලින් නිවැරදි තොරතුරු දැන ගැනීමට හැකියාවක් ඇති සත්ත්ව විශේෂයක් වන මාධ්‍යවේදීන් මේ ප‍්‍රශ්නයේදී කිසිවක් නොදන්නා ආකාරය අනුව ඔවුන් බබාලා පිරිසක්ද? (විශේෂයෙන්ම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී ෆෙඞ්රිකා ජෑන්ස් උක්කුං බබෙක්ද?)
4. මෙය අසා නින්දෙන් ඇහැරුනා සේ හැසිරෙන ඇමරිකාව, බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ ජාත්‍යන්තර ප‍්‍රජාව සිදු වූ කිසිවක් නොදන්නා තොත්ත බබාලා පිරිසක්ද?

ඉල්ලාගත් කේතලය
මෙහිදී අපගේ සිහියට එන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදා විසින් ඉරාකයට පහරදීම සාධාරණීයකරණය කිරීමට යොදාගත් තර්කනය පිළිබඳව ස්ලාවෝ ජිජැක්ගේ විග‍්‍රහයයි. සිග්මන් ෆ්‍රොයිඞ් සිහින තේරුම් කිරීම පිණිස යොදා ගත් ‘ඉල්ලාගත් කේතලය’ පිළිබඳව පැරණි විහිළු කතාවක් ජිජැක් මෙහිදී උපුටා දක්වයි.
කිසියම් පුද්ගලයෙකුගෙන් කේතලයක් ඉල්ලාගත් අයෙක් ඵ් පිළිබඳව පහත සඳහන් පිළිතුරු ලබා දෙයි.
1. මම කවදාවත් ඔබෙන් කේතලයක් ඉල්ලා ගත්තේ නැත.
2. මම කේතලය ආපසු දෙනවිට එය බිඳී තිබුණේ නැත.
3. මම ඔබෙන් කේතලය ඉල්ලා ගන්නා විටත් එය බිඳී තිබිණි.
මේ සෑම පිළිතුරකින්ම වසා දමන්නට තැත් කරන්නේ එක් කටුක සත්‍යයකි. එනම්, ඔබෙන් ඉල්ලාගත් කේතලය මා අතින් බිඳුණු බවයි. එකිනෙකට නොගැලපෙන මේ සියළු පිළිතුරු මඟින් උත්සාහ කරන්නේ අප දන්නා ඵ් සත්‍යය නොදැනුමක් බවට පත් කිරීමටය.
ස්ලාවෝ ජිජැක් ප‍්‍රකාශ කරන්නේ ඉහත දැක්වෙන එකිනෙකට නොගැලපෙන ස්වභාවය ඉරාකයට පහරදීම සාධාරණීයකරණය කිරීමට යොදාගත් තර්කයන්හිද පවතින බවයි.
පළමුව ප‍්‍රකාශ වූයේ ඉරාකයේ සදාම් හුසේන්ගේ රෙජීමය සහ අල්කයිඩා සංවිධානය අතර සබඳතාවයක් පවතින බැවින් ඉරාකයට පහරදිය යුතු බවයි. දෙවනුව, සමූල ඝාතක අවි (WMD) ඉරාකය සතුව තිබීම හේතුවෙන් මුළු ලොවටම සහ විශේෂයෙන්ම ඇමෙරිකාවට සහ බි‍්‍රතාන්‍යයට සදාම් හුසේන් රෙජීමය තර්ජනයක් බවයි. කිසිදු සමූලඝාතක අවියක් හමු නොවූ විට මිත‍්‍ර ජාතීන් ඉදිරිපත් කළ තර්කය වූයේ එවන් භයානක අවි හමු නොවූ බව සත්‍යයක් නමුත් සදාම් හුසේන් වැනි ප‍්‍රජා පීඩකයෙකු පෙරළා දැමීමට වෙනත් හේතු ඕනෑ තරම් පවතින බවයි.
සුදු කොඩි රැගෙන ආ පිරිසක් ඝාතනයට ලක්වීම පිළිබඳව කෙරෙන කතා බහ විමර්ශනය කරන විට ඵ් පිළිබඳව තර්ක ගොනු කිරීම සිදුවන්නේද ඉල්ලා ගත් කේතලය ආපසු දීමේදී නිදහසට කාරණා ඉදිරිපත් කළ පිළිවෙළටමය.එම හැම තර්කයකින්ම ප‍්‍රකාශ වන්නේ එමඟින් සඟවන්නට උත්සාහ දරන අප දන්නා කටුක සත්‍යයමය.
ප‍්‍රශ්නය වන්නේ කවුරුත් දන්නා මේ රහස සඟවන්නට උත්සාහ ගන්නේ ටී.ලොබ්සොං රම්පෝගේ ‘තෙවැනි ඇස’ වැනි අප දෙස බලා සිටින අදෘශ්‍යමාන බලවේගයකින්ද?

Back to home
View Pdf...

Monday, December 14, 2009

මඩෙන් එපා ගොඩෙන් එන්න

සුදර්ශන ගුණවර්ධන

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ ම රාජ්‍ය මාධ්‍ය ද එම මාධ්‍ය හසුරුවන දැළි පිහි අතින් ගත් හෙංචයියන් පිරිසද තමා මෙතෙක් කලක් කරගෙන ගිය මඩ මෙහෙයුම දෙගුණ තෙගුණ කර තිබේ.
මේ මෙහෙයුම මෙසේ දියත් වන්නේ, ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයට කැඳවා ඡන්ද සටන මඩ ගැසීම් වලින් තොරව ගෙන යමු යැයි ප‍්‍රකාශ කොට තිබියදීය.
පසුගිය කාලය තිස්සේම විපක්ෂ නායකවරයාට, ආණ්ඩුවට විරුද්ධව කට අරින අතළොස්සක් වූ විපක්ෂ මන්ත‍්‍රීන්ට, ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන්ට සහ විසම්මුතික මත දරණ සිවිල් සංවිධාන නායකයින් වෙත ලෝබ නැතිව එල්ල කළ මඩ බාල්දි ප‍්‍රහාරය දැන් යුද්ධය දිනූ මහා සෙන්පතියා වෙත ද එල්ල කිරීමට පටන් ගෙන ඇත.
ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් සැලකුණේ ජනතාවට යථාර්ථය වටහා ගැනීමට අවශ්‍ය දැනුම හා තොරතුරු සපයන ඉදිරිගාමී පිරිසක් වශයෙනි. නමුත් ශීඝ‍්‍රයෙන් එම භුමිකාව වෙනස් වී ගොස් අද මාධ්‍යවේදියා යනු ජනතාවට විනෝදය සපයන්නෙකු බවට පත්වී ඇත. එදා ප‍්‍රවෘත්ති කියැවුවේ, ශ‍්‍රවණය කළේ, නැරඹුවේ තොරතුරු ලබා ගැනීමට නම් අද එය කරන්නේ විනෝදය පිණිසය. පොදුවේ ගත් කළ මාධ්‍යවේදියා තවදුරටත් සමාජය වෙත පරමාදර්ශයක් සපයන පුද්ගලයෙකු නොව මිහායිල් ෂොලහෝව් ගේ ‘පෙරළූ නැවුම් පසෙ’ හි එන ෂුකාර් සීයා වැනි චරිතයක් බවට පත්ව ඇත.
යුද්ධයේදී මිනිසුන් විශේෂයෙන් දෙමළ මිනිසුන් මිය යන විට, අතපය අහිමි වන විට, ඔවුන්ගේ ගේ දොර වතුපිටි විනාශ වන විට ඒ ගැන කිසිදු සඳහනක් නොකොට, යුද්ධය තලූ මරමින් පේ‍්‍රක්ෂකාගාරයට, ශ‍්‍රාවක සමාජයට සහ පාඨක සමාජයට ගෙන ආවේ මාධ්‍යවේදීහුය.
ආණ්ඩුවේ සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මේ ආකාරයේ මාධ්‍ය භාවිතයක යෙදීම ගැන අප පුදුම විය යුතු නැත. එයට හේතුව ආණ්ඩුව මෙහෙයවන අය ජීවත්වන්නේ ශිෂ්ඨාචාරයට පුර්ව යුගයේ බැවිනි. මානව ශිෂ්ඨාචාරය විසින් පිළිගෙන වර්ධනය කරන ලද මානව අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප තමන් තුට්ටුවකට මායිම් නොකරන බව ඔවුන් නැවත නැවතත් භාවිතයෙන් ම පෙන්නුම් කරන බැවිනි.
එහෙත්, විපක්ෂයෙන් එයට වඩා ඉහළ හැසිරීමක් බලාපොරොත්තුවීමට අපට අයිතියක් ඇති අතර, එය ඉටුකිරීමේ වගකීමක් විපක්ෂයට ඇතැයි අපි සිතමු. මක් නිසාද යත් ආණ්ඩුව මෙන් නොව විපක්ෂය මිනිස් ශිෂ්ඨාචාරයේ අග‍්‍ර ඵල වන මානව හිමිකම් සහ නීතියේ පාලනය පිළිගන්නා බවට පොරොන්දු වී ඇති බැවිනි.
ජනාධිපතිවරණ සටනේදී ආණ්ඩුව වෙනුවෙන් සටනට බැස සිටින චම්පික රණවක ඇමතිවරයාට ආපහාස වන ආකාරයට ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ යැයි හැෙඟන ආකාරයේ අශ්ලීල විස්තරයක් පසුගිය බදාදා එක්තරා වෙබ් අඩවියක පළ විය. ඡන්ද සටනේදී තම ප‍්‍රතිවාදියාගේ ආධාරකරුවකු ගේ යටි බඩට ඇණීම මඟින් බලාපොරොත්තු වනු ඇත්තේ ඔහුගේ විශ්වාසනීයභාවය බිඳ දැමීම හෝ ඔහු නිහඬ කිරීම විය හැකිය. එමඟින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ට වාසියක් සැලසීම එම ලිපිය ප‍්‍රකාශයට පත් කිරීමේ අරමුණ විය හැකිය.
චම්පික රණවක ඇමතිවරයා සහ ඔහු නියෝජනය කරන මතය පැරදවිය යුතුය. නමුත් එය කළ යුත්තේ මතවාදී අරගලයක් මඟිනි. එසේ නැතිව මෙවැනි අශ්ලීල පහරදීම් මඟින් නොවේ. සෑම මනුෂ්‍යයෙකුටම හිමි මානව අයිතිවාසිකමක් වන පවුල සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය චම්පික රණවක ඇමතිවරයාටත් හිමිවිය යුතු අතර සමාජය ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මාධ්‍යවේදීන් එම අයිතිය පැහැර ගැනීම හෙළා දැකිය යුතුය. එමඟින් එවැනි ක‍්‍රියා මින් ඉදිරියට සිදු කිරීමට යමෙකු ක‍්‍රියා කරන්නේ නම් එය අධෛර්යය කළ යුතුය.
ඉහත වෙබ් අඩවිය විසින් චම්පික රණවක ඇමතිවරයා ගේ පෞද්ගලික චරිත ඝාතනය කිරීම විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් හෙළා දැකිය යුතුය යි අපි යෝජනා කරමු. ආණ්ඩුව හා ආණ්ඩුවේ මාධ්‍ය වැටී තිබෙන පහත් තත්ත්වයට ප‍්‍රතික‍්‍රියා දැක්විය හැක්කේ, විපක්ෂය ද එම තත්ත්වයට වැටීමෙන් නොව ඊට වඩා ඉහළ පරමාදර්ශයන් වෙනුවෙන් පෙනී සිටීමෙනි. ශිෂ්ඨ සම්පන්න ශ‍්‍රී ලංකාවක් අපේක්ෂා කරන මහජනයා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් බලාපොරොත්තු වන්නේ එයයි.




Back to Home...
View Pdf...

Wednesday, October 28, 2009

සංක‍්‍රමණික ශ‍්‍රමය වහල් ශ‍්‍රමයක් නොවීමට නම්...

සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පසු විපරම් කමිටුව පසුගියදා ජිනීවාහි දී රැස්වුවාය. එයට සිවිල් සමාජය නියෝජනය කරමින් නිදහසේ වේදිකාවේ කැඳවුම්කාරිනියක මෙන්ම සියළු වර්ගවාදයන්ට හා වෙනස්කම් කිරීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනිය වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු සහභාගී වූ අතර සමුළුව පිළිබඳ ඇය දැක්වූ අදහස් අද සමබිමෙන් අප ඔබ වෙත ගෙන එන්නෙමු.



රැකියාවන් සඳහා විදේශගත වන සෑම කෙනෙක්ම පාස්පෝට් සාදා ගන්නා හැටි දනිති. වීසා ලබා ගන්නා හැටිද දනිති. සමහරුන් පුද්ගලයන් හට රට රැකියා ලබා දීමෙහි විශේෂඥයෝය. එහෙත් රැකියා සඳහා සංක‍්‍රමණය වන්නන්ගේ අයිතිවාසිකම් උදෙසා ජාත්‍යන්තර සම්මුතියක් පවතින බව දන්නේ කීයෙන් කීදෙනාද?

ලංකා රජය මින් වසර පහකට පෙර සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් කර ඇත. මෙම සම්මුතියෙන් රැකියා සඳහා යම් රටක සිට විදෙස් රටවලට යන සහ විදෙස් රටවලින් එම රට තුළට සේවය සඳහා පැමිණෙන සේවකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරනු ලබයි.

මේ සම්මුතිය ගැන මෙසේ කතා කරන්නට අපට සිදුවූයේ ඉකුත් සතියේ ජිනීවාහි දී රැස්වූ සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පසු විපරම් කමිටුව සංක‍්‍රමණික සේවකයන් පිළිබඳ ලංකා රජයේ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්න කළ බැවිනි. සිවිල් සමාජය නියෝජනය කරමින් අපද ඊට සහභාගී වුණෙමු.

මෙම පසු විපරම් කමිටුව ස්ථාපිත කර ඇත්තේ ලංකාව ඇතුළුව මෙයට අත්සන් තබා ඇති සෑම රටක්ම ඊට අත්සන් කිරීමෙන් පසු සම්මුතියට අනුකුලව සංක‍්‍රමණික සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීමටය. අත්සන් කර වසර දෙකකට පසු අදාළ රට වෙනුවෙන් රැස්වන කමිටුව ලංකාවේ සංක‍්‍රමණික සේවකයින්ගේ තත්ත්වය විභාග කිරීමට පසුගියදා රැස් වූයේ අත්සන් තබා වසර පහකට පසු පළමුවතාවටය. මෙය විවිධ රටවල් වලින් තෝරා ගත් විද්වතුන්ගෙන් සැදුම්ලත් ස්වාධීන කමිටුවකි. මෙම අත්සන් තැබීමත් සමඟ ලංකා රජය සම්මුතියේ ඇති ප‍්‍රතිපාදන භාවිතා කරමින් රැකියා සඳහා විදේශගත වන සියළුම ලාංකික සංක‍්‍රමණිකයන් හා මෙරට සිටින විදේශීය සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නීත්‍යනුකූලව බැඳෙයි.

මෙහිදී පසු විපරම් කමිටුව ඉදිරියේ ලංකා රජයේ නියෝජිත පිරිස හා සිවිල් සංවිධාන විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.රුහුණගේ ඇතුළු මෙරට නියෝජිත පිරිස ලංකාවේ දැනට සංක‍්‍රමණික සේවකයන් වෙනුවෙන් පවත්නා නීති සහ එමඟින් ඔවුන්ගේ අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ලංකා රජය වෙනුවෙන් කරුණු දැක්වූහ. සිවිල් සංවිධාන වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ ජාලය හා සියළු වර්ගවාදයන්ට හා වෙනස්කම් කිරීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය විසින් ඊට ප‍්‍රතිචාර ලෙස විකල්ප වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දක්වන ලදී.

මෙහිදී රජයේ නියෝජිතයන් විසින් විවෘත ආර්ථිකය හේතුවෙන් පසුගිය කාලවකවානුව තුළ ශ‍්‍රම බලකායේ විශාල පිරිසක් විදේශවලට සංක‍්‍රමණය වීම හරහා මෙරට ආර්ථිකයට විශාල ප‍්‍රතිලාභයක් අත් වූ බව කියා සිටි අතර සිවිල් සංවිධාන විසින් එකී සංක‍්‍රමණයන් මෙරට දිළිඳුකම තුරන් කිරීමේ කාර්යයේදී මහත් පිටිවහලක් වූ බව වැඩිදුරටත් අවධාරණය කරන ලදී.මෙම කරුණු දැක්වීම් සියල්ලෙන් අනතුරුව කමිටුව අවධාරණය කළ විශේෂ කාරණා කිහිපයක්ම විය. එයින් ඔවුන් වැඩි අවධානයක් යොමු කරන ලද්දේ ලංකාව තුළ සිටින සියළුම සංක‍්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු වන ආකාරයේ විශේෂ නීතියක් තවම ස්ථාපිත කර නොතිබීම හා දැනට පවත්නා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ නීති හා ව්‍යවස්ථාපිත නීතිවල රැකවරණය විදේශගතව සිටින සංක‍්‍රමණික සේවකයන් හට බලාත්මක කිරීමේ අවකාශයක් නොමැතිවීම කෙරෙහිය.විද්වත් මණ්ඩලය බොහෝ වාරයක් මතු කළ අනෙක් ගැටලූව වූයේ මැද පෙරදිග රාජ්‍යයන්හි පවතින ‘අල් කෆීලා’ නම් ක‍්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය කුමක්ද යන්නය. හාම්පුතුන්ට තමන් යටතේ සිටින සේවකයින්ගේ සියළුම කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ ආධිපත්‍ය හිමි අල් කෆීලා සම්ප‍්‍රදාය වඩා සමීප වන්නේ වහල් සේවයටය.

එසේම මෙරට සිටින සංක‍්‍රමණික සේවකයින්ට සහන සලසන කම්කරු හෝ වෙනත් විශේෂ නීතියක් රජය විසින් ස්ථාපිත කර තිබේද යන්නද කමිටුවෙහි විමසුමට ලක් විය. 1977 සිට ලංකාව අනුගමනය කළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා ලෝක බැංකුවේ ආර්ථික ප‍්‍රතිව්‍යුහකරණය සම්බන්ධයෙන් පවතින ප‍්‍රතිපත්තීන්ට අනුගතව ග‍්‍රාමීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තයට දී තිබූ සහන රාශියක් කප්පාදු කරන ලද තත්ත්වයක් තුළ වර්ධනය වූ ග‍්‍රාමීය දිළිඳුභාවය සහ රැකියා වියුක්තිය හේතුවෙන් ශ‍්‍රමිකයන්ට නිදහස් වෙළෙඳ කලාපය හා මැද පෙරදිග රැකියාවන් කරා පිටත්ව යන්නට සිදු විය.ගම දිළිඳු වීම ඇරඹෙත්ම ආර්ථිකය ජය ගැනීමේ අභියෝගය ප‍්‍රධාන වශයෙන්ම බාරගත්තේ කාන්තාවන්ය.

කාන්තාව මත පැටවුණු මෙම ආර්ථික භාරය පිළිබඳ සංවේදී වන සංක‍්‍රමණික සේවක නීති රීති නොමැතිකමත්, ඔවුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ආරක්ෂණයක් හෝ ඒ විෂයෙහි මතු වන දුෂ්කරතා ආදිය පිළිබඳව මෙරට වාර්තාවේ කොතැනකවත් සඳහන්ව නොතිබුණි.විශේෂයෙන්ම මැද පෙරදිග රිමාන්ඞ් බාරයේ පසුවන රිෆානා දැරියගේ සිට මෑතකදී කොළඹ බෞද්ධාලෝක මාවතේ කුණු ඇලක ඝාතනය වී සිටි දෙමළ දැරියන් දෙදෙනා දක්වා සේවා සැපයීම තුළ කාන්තාවන් මුහුණපාන අකටයුතුකම්, ප‍්‍රචණ්ඩත්වයන් හා අනාරක්ෂිතභාවයන් සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට කිසිදු ප‍්‍රතිපත්තියක් නොමැතිකම මෙයින් හෙළිදරවු කරයි.මෙම ශ‍්‍රමිකයන් වෙනුවෙන් තමන් යම් යම් සුභ සාධනමය කටයුතු සිදු කරන්නේ යැයි රජය කියන විට අප අසන්නේ ඒ සිදුවන සුභ සාධනයෙන් ලබන ප‍්‍රතිලාභය හානිපූරණය කිරීමට ප‍්‍රමාණවත්ද යන්නයි. අපේ ස්ථාවරය නම් එය කිසිසේත් ගණනය කළ නොහැකි පිරිවැයක් බවයි. රජය කිසිදු පිරිවැයක් නොදරා නිරායාසයෙන් මෙරටට ගලා එන මෙම ශූද්ධ ලාභයෙන් නඩත්තු වන විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අනුබද්ධ ආයතනවලට පැවරී ඇති වගකීම පිළිබඳව මෙහිදී සිවිල් සමාජය විසින් වැඩිදුරටත් පෙන්වා දුන් අතර දෙපාර්ශ්වය දැක්වූ කරුණු විභාග කර කමිටුව විසින් මේ වන විට සිය නිර්දේශ සහ යෝජනා රාශියක් ලංකා රජය වෙත ඉදිරිපත් කර ඇත.

සාමාන්‍යයෙන් ලංකා රජය පසුගිය කාලය මුළුල්ලේ මෙරට සිවිල් සමාජය විසින් පෙන්වා දුන් සහ ජාත්‍යන්තර වශයෙන් කරන ලද නිර්දේශයන් නොසලකා හැරීම පුරුද්දක් බවට පත්කරගෙන සිටියත් මෙරටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන මෙම සංක‍්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයේදී හෝ ඔවුන්ට සුභදායී පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළෙඔනු ඇතැයි සිවිල් සමාජය බලාපොරොත්තු වෙයි.

Tuesday, October 27, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ උත්සාහය රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් නෙවෙයි

ධර්මසිරි බණ්ඩාරනායක
සාකච්ඡා කළේ - චතුරි තරංගනී
ලංකාවට නිදහස ලැබෙන්න මූලිකවම බලපෑවේ ඉන්දියානු නිදහස් අරගලය. බි‍්‍රතාන්‍යයන් ඉන්දියාව අතහැර යන මොහොතේ ලංකාවටත් ඒ ආකාරයේම නිදහසක් දීලයි පිටව ගියේ. නමුත් ඉන්දියානු නිදහස් අරගලය දැවැන්ත අරගලයක්. මම හිතනවා කිසිම අරගලයකින් තොරව ලංකාවට නිදහස ලැබුණෙ ඉන්දියාවට නිදහස ලැබුණ නිසා කියලා.

ඉන්දියානු නිදහස් අරගලයේ අභ්‍යන්තරයට ගිහින් බැලූවොත් එහි කලාකරුවන් සාහිත්‍ය, නාට්‍ය, කවිය හා සංගීතය කියන සෑම ආකාරයකින්ම නිදහස් සටන මුවහත් කළා. ලාංකීය සමාජය තුළ එවැනි මුවහත් තැබීම් ඉතාමත් සීමිතයි. ඒ නිසා නිදහස ලැබුණට පස්සෙ අපේ ජනතාව ප‍්‍රධාන ගැටළුවකට මුහුණ දුන්නා. ඒ‘මේ නිදහස අපි රැක ගන්නේ කාගෙන්ද’ කියන අර්බුදයට.අද මේ රටේ ජීවත් වෙන කිසිම මිනිහෙක්ට සංස්කෘතික ජීවිතයක් නැහැ. ඒ ප‍්‍රශ්නය කලාකරුවන්ටත් පොදුයි. අපිට පේනවා පාලක පංතිය සෑම විටම නිර්මාණකරුවාගේ අදහස් ප‍්‍රකාශනයට එරෙහිව අවි දරමින් කලා කෘති නිශේධනය කිරීමක යෙදෙනවා. මේ තනි වීම, හුදකලා වීම නිසා කලාකරුවො පවා අපේක්‍ෂා භංගත්වයට පත් වෙනවා. ඊට පස්සෙ ඒ අපේක්ෂාවන්, අභිලාෂයන් ඉෂ්ඨ කර ගන්න දේශපාලකයින් පසුපස යා යුතුයි කියා කලාකරුවන් හිතනවා. ඊට හොඳම උදාහරණය වර්තමානය. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ සාත්‍රේලා, කැමූලා එදා සමාජයේ ඇති වූ හිඩැස මත දර්ශනවාදයක් ගොඩ නැඟූ ආකාරයටම දැන් ලාංකීය සමාජය තුළත් එවැනි දර්ශනවාදයක් ගොඩ නැඟීය යුතු අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා.

හැම අරගලයක්ම පරාජයට පත් වීම කියන්නේ තියෙන අභිලාෂයන් බිඳ වැටීමක්. අද මම හැම දේශපාලන කණ්ඩායමකම දකින්නේ බෙදී වෙන්වීම. ඔවුන් තුළ ජනතා අභිලාෂ ඉටු කිරීම සහ මිනිසුන්ට වැඩ කීරීමේ ශක්තිය හීන වෙලා. එය ඛේදවාචකයක්. අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගත හැක්කේ බිඳ වැටුණු බලාපොරොත්තු යළි දිනා ගැනීම මතයි. ඒක රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් නෙවෙයි. අද මානව හිමිකම් කියල දෙයක් මේ රටේ තියෙනවද කියලා පිරිසක් ප‍්‍රශ්න කරන කොට දැනුවත් භාවයෙන් තොර වූ තවත් පිරිසක් එය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයක ඉන්නේ. ඒක ජන සමාජයක් ඉතා දරුණුම තැනකට ඇද දමන භයානක විපතක්. මම හිතන හැටියට පාලක පන්තියෙන් ඈත් වෙලා අපිට මේ කථාව ගොඩ නඟන්න බැහැ. ඇත්ත වශයෙන්ම මෙයින් ජනයා ගැලවීමට නම් පාලක පන්තිය මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන ජනතාවට නැවත මානව හිමිකම් ප‍්‍රදානය කළ යුතුයි. අසූ හතේ දී සිදු වූ පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම්, ඝාතනය කිරීම් ඉදිරියේ සිවිල් සමාජය පෙරමුණ අරන් කටයුතු කරන කොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිය ආකාරය අපි දැක්කා. ඒවායින් ජනතාවට ශක්තියක් ලැබුණා.

හැබැයි අද ඒක ජනතාවට ශක්තියක් නොවන ආකාරයට ඉස්මත්තට ඇවිත් තියෙනවා. ඒකට හේතුව තිස් අවුරුදු යුද්ධය. එය බරපතල විනාශයක් ඇති කරල තියෙනවා. යුධ ජයග‍්‍රහණ වලින් පස්සේ ඒක අපට විපතක් ලෙස හඳුන්වන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් යම් නිශ්චිත අවසානයක් කරා පැමිණ තියෙනවා. අළුත් සංවාදයක් නැවත පටන් අරන් තියෙනවා. නමුත් අළුත් වුනාට ඒක පරණ එකක්. මාතෘකාව බලය බෙදා හැරීම. නැවත මේකට විරුද්ධ වෙන කණ්ඩායම් දකින්න ලැබෙනවා. මේ අද ඊයේ නෙවෙයි හැමදාම දකින්න තියෙන දෙයක්. දේශපාලනය තුළ වගේම සිවිල් සමාජයේත් මේ තත්ත්වය තියෙනවා. සිවිල් පුරවැසියෙක් විදිහට මේ සමාජය තුළ වර්තමානයේ සිදුවන හැම සිදුවීමකින්ම මම දැඩි කම්පනකට සහ කලකිරීමකට පත් වෙනවා. එක අවුරුද්දක් දෙකක් නෙවෙයි 71 කැරැල්ලේ සිට ජීවිත කාලෙම. මෙයට විසඳුමක් දීමේදී අවශ්‍ය කරන්නේ දෙමළ ජනයාටත් ඉහල සංස්කෘතික අංගෝපාංග තියෙන බව සිංහල ජනයාට ඒත්තු ගැන්වීම. ඒ වගේම සිංහල ජනයාගේ සංස්කෘතික ලක්‍ෂණත් දෙමළ ජනයාට ඒත්තු ගැන්වීම. මේක කලාව ඇතුළේ කල හැකි දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා මේ මොහොතේ මම උත්සාහයක නිරත වෙලා ඉන්නවා.

ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ මොහොතේ වඩාත්ම සංවේදී ජනතාව බවට දෙමළ ජනතාව පත් වී සිටිනවා. මේ මොහොතේ පුරවැසියා ඉදිරියට ප‍්‍රශ්නයක් දාලා තියෙනව ඔබ දේශ පේ‍්‍රමියෙක්ද දේශ ද්‍රෝහියෙක්ද කියල. අපි සිය කැමැත්තෙන් දේශද්‍රෝහීන් කියල කියන්න කැමති නැහැ. කවුරුහරි අපිව දේශද්‍රෝහීන් කියල නම් කරනව නම් ඒක කරන්න ඕන අපේ රූප දිහා බලලා නෙවෙයි. මේ ශ‍්‍රී ලාංකීය කලා නිර්මාණ ක‍්‍රියාවලියේ අපි කරපු නිර්මාණ පිළිබඳව තීන්දු කරලා. ඒක පුරවැසියාට තීන්දු කල හැකියි. යම් කෙනෙකුට නීතිඥයෙක් අරගෙන ගිහින් ‘මම දේශද්‍රෝහියෙක් නෙමෙයි’ කියල නිර්දෝශී වෙන්න පුළුවන් වුණත් මේ එහෙම තීන්දු කරන අවස්ථාවක් නෙවෙයි. නමුත් අපිට කිසියම් ආකාරයක වේදනාවක් ඇති වෙනවා අපි අපේ ජීවිතය කැප කළේ කුමක් සඳහාද කියලා. එහෙම දැනෙන තව කලාකාරයෝ කිහිපදෙනෙක් මේ සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි බහුතරය හිතනවා නම් අපි දේශපේ‍්‍රමීන් කියලා ඒ අය සැබෑ ලෙසම හිතට එකඟව කල්පනා කරල බලන්න ඕන ඔවුන් දේශද්‍රෝහීන් ලෙස නම් කරන කලාකරුවන් මේ සමාජයට කරලා තියෙන්නෙ මොනවද කියල.

Friday, October 23, 2009

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන

’නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කරු ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි පිළිබඳ ව පසුගිය දා කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද දේශනයක් ඇසුරෙනි.



ලංකාවෙ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නීති ගැන කතා කරන කොට ප‍්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් විශේෂයි.

1. මහජන ආරක්ෂක පනත හා හදිසි නීති රෙගුලාසි
2. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත

1947 අංක 25 දරණ මහජන ආරක්ෂක පනත පාර්ලිමේන්තුවේ සම්මත කළේ ලංකාවට නිදහස ලැබෙන්න මාස හයකට කලින්. ඒ කාලෙ හිටපු සමහර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මෙහි අනාගතය ගැන අනාවැකි කිව්වා. දකුණු කොළඹ මන්ත‍්‍රීවරයාව සිටි බර්නාඞ් සොයිසා මහතා කිව්වා සදාචාරයක් නැති ඇමතිවරුන් වගේම රාජ්‍ය නායකයින් මේ නීතිය පාවිච්චි කරල අහිංසක මිනිස්සු සිරභාරයට ගැනීම නවත්වන්න බැහැ කියලා. ඔහු එදා කියූ දේ කොතරම් හොඳට අද සිදුවෙනවද කියල පැහැදිලියි.

මහජන ආරක්ෂක පනත අනුවයි හදිසි නීති රෙගුලාසි පනවන්න පුළුවන්. හදිසි නීති රෙගුලාසි කියන්නෙ එම පනත යටතේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හදන රෙගුලාසි වලට.
අද පාර්ලිමේන්තුවේ හදිසි නීති රෙගුලාසි ගැන කතා කරන්නේ මාසයකට සැරයක් පමණයි. නමුත් ඉස්සර හදිසි නීති රෙගුලාසි අමුතුවෙන් සම්මත කරන්න අවශ්‍ය වුණේ නැහැ. ලංකාවේ හදිසි අවස්ථාවක් තියෙනවා කියල හදිසි නීති විවාදයේදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරල එම ප‍්‍රකාශය සම්මත කරගත් විට අනෙකුත් සියළුම නීතිත් ඉබේම ඒත් සමඟම සම්මත වෙනවා.

බොහෝ දෙනෙක් හිතනවා හදිසි නීතිය කියන්නෙ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ නීති කියල. ලංකාවෙ හදිසි නීති රෙගුලාසි පරීක්ෂා කරල බැලූවම පේනවා රාජ්‍ය ආරක්ෂාවට කිසිසේත්ම සම්බන්ධ නොවන බොහෝ නීති හදිසි නීතිය තියෙනතාක් දුරට රටේ නීති බවට පත් කරගෙන තියෙන බව. උදාහරණයකින් පැහැදිලි කළොත් හදිසි නීතිය යටතේ ලංකාවේ පළාත් සභා ඡන්ද කල් දැමීම හඳුන්වන්න පුළුවන්.

ඒවගේම හදිසි නීති රෙගුලාසි වෙනුවට පාර්ලිමේන්තුවේදී කතා කරන්නෙ ජනාධිපතිවරයා කරනු ලබන ප‍්‍රකාශනය ගැන. පාර්ලිමේන්තුවේ යම් කෙනෙක් හදිසි නීතියට විරුද්ධ වෙනව නම් ඒ විරුද්ධ වෙන්නෙ මේ ප‍්‍රකාශනයට. ඒත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පුළුවන් හදිසි නීති සංශෝධනය කරන්න. නමුත් මේ වෙනකම් මේ තියෙන රෙගුලාසි වෙනස් කරන්න කියල පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් ගෙනල්ල එවැනි උත්සාහයක් කරපු අවස්ථාවක්වත් අපි දැකල නැහැ.

හදිසි නීතිය නිසා රටට වෙන යහපත හෝ අයහපත ගැන පාර්ලිමේන්තු විවාදවල දකින්න නැහැ.ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පසුබිම ගැන කිව්වොත් 1978 අංක 16 දරණ පනතේ එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ එවැනි අනෙකුත් සංවිධාන තහනම් කිරීම කියල වගන්තියක් ගෙනාව. එහි අරමුණ වුණේ රට දෙකඩ කිරීමට යාපනය ප‍්‍රදේශයේ කැරළි ගසන සංවිධාන තහනම් කිරීම. මෙම පනත ගෙනාවෙ අවුරුද්දකට වලංගු කරමින්. එය සම්මත කරපු ගමන්ම එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බි‍්‍රගේඩියර් වීරතුංගව සියළු බලතල සහිතව යාපනයට යැව්වා. ඒ මෙම සංවිධාන සමූලඝාතනය කරල සාමය ගේන්න. නමුත් සාමය අවුරුද්දකින් ගේන්න බැරි වූ නිසා නැවත සංශෝධනයක් ගෙනැල්ලා මෙම පනත තවත් අවුරුද්දකට කල් දාගත්තා.

එය එසේ දීර්ඝ කර තිබියදීම 1979 ජුලි මාසයේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළා. එය සම්මත වූ පසුබිම සඳහන් කිරීමත් වැදගත්. එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සිටියේ එකසිය හැට අටයි. එදා හිටපු ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණා. මේ විවාදය වන කාලයේ ප‍්‍රධාන විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පාර්ලිමේන්තුව වර්ජනය කරල තිබුණේ. එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රිපාල සේනානායක මේ අළුත් පනතට විරුද්ධව ප‍්‍රකාශයක් කළා. එහිදී ඔහු ඇහුවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මහජන ආරක්ෂක පනත තිබියදී ඇයි තව එකක් ගේන්නෙ කියලා. 1971 දී ආණ්ඩුවට කොතරම් ප‍්‍රශ්න තිබුණත් වෙනත් පනත් ගෙනාවෙ නැහැ. ත‍්‍රස්තවාදී ව්‍යාපාරය සමූල ඝාතනය කළේ මහජන ආරක්ෂක පනත මඟින්. මෙම ප‍්‍රශ්නය යාපනයේ පමණක් තියෙන නිසා මෙම පනත යාපනය දිස්ත‍්‍රික්කයට පමණක් අදාළ කරන්න කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සංශෝධනයක් ගෙනාවා. නමුත් රජය එය පිළිගත්තේ නැහැ. මෙම පනත් කෙටුම්පත ගේන අවස්ථාවේ කැබිනට් මණ්ඩලය පිළිගත්තා එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ගැටෙන බව. ඒ නිසා ‘අපි මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කලාම ප‍්‍රශ්නයක් නැහැ’ කියල එදා ඔවුන් කිව්වා.

1979 දී මේ පනත ගේනකොට මෙම නීතිය ඉදිරි අවුරුදු තුනකට පමණක් වලංගුයි කියල එහි ප‍්‍රතිපාදනයක් තිබුණා. නමුත් 1982 දී ගෙනාපු සංශෝධනයක් මඟින් ඒ ප‍්‍රතිපාදනයත් ඉවත් කලා. එදා ඉඳන් අද දක්වාම මෙම නීතිය සාමාන්‍ය නීතියක් ලෙස ලංකාවෙ පවතිනවා.

රාජ්‍ය ආරක්ෂක පනත් යොදාගැනීම දී මතුවන එක් ප‍්‍රධාන ගැටළුවක් තමයි මේක මිනිස්සුන්ගේ නිදහසට කොහොමද බලපාන්නේ කියලා. මෙම රාජ්‍ය ආරක්ෂක නීති අයත් වෙන්නෙත් අපරාධ නීති අතරටමයි. මේ නීති සහ සාමාන්‍ය නීති අතර ප‍්‍රධාන වෙනස්කම් රාශියක් තියෙනවා. එකක් තමයි මේක යටතේ අත්අඩංගුවට ගත්තම ඇප ලබාගත නොහැකි වීම. එවිට අත්අඩංගුවට ගෙන අවුරුදු විස්සක් ගියත් නඩුව අහලා ඉවර වෙනකම් ඇප ලැබෙන්නෙ නැහැ.

දෙවෙනි කාරණය පොලිසියේදී දෙනු ලබන කටඋත්තරය. සෑම නඩුවකදීම පොලිසිය කටඋත්තර ගන්නවා. අපි හැමෝම දන්නවා පොලිසිය කටඋත්තර ගන්න ආකාරය. සමහර වෙලාවට කියන ඒවා ලියන්නෙ නැහැ. ලියන ඒව කියන්නෙ නැහැ. සමහර වෙලාවට හරියට ලියනවා වෙන්න පුළුවන්. නමුත් අපරාධ නීතියේ අවුරුදු සිය ගණනක් පරණ සිද්ධාන්තය තමයි පොලිසියේදී දෙන කට උත්තරය මත කෙනෙකු වැරදිකරුවෙකු කරන්න බැහැ කියන එක. එවැනි කට උත්තරයක් සාක්ෂියක් ලෙස යොදාගන්නේ නැහැ. එම කට උත්තර යොදා ගන්නේ තවත් අපරාධකරුවෙකු හොයා ගන්න. එහෙම නැත්නම් පරීක්ෂණ කටයුතු සඳහා පමණයි. අධිකරණ කටයුතු වලදී යොදාගන්න බැහැ. නමුත් අවාසනාවකට මේ නඩු වලදී පාපොච්චාරණය යොදා ගන්න පුළුවන්.

ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ නීතිය යටතේ අත්අඩංගුවට ගත්තම හරිද වැරදිද නොබලාම ඒ පුද්ගලයාගෙන් කට උත්තරයක් අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. එහිදි විත්තිකරුගේ ප‍්‍රකාශයම සාක්ෂි ලෙස ඔහුට එරෙහිව යොදා ගැනීම සිදු වෙනවා. එය මිනිස්සුන්ගේ නිදහසට අභියෝගයක්. දඞූවම් නියම කරනකොට සාමාන්‍ය නීතිවල සඳහන් වෙන්නේ උපරිම දඞූවම. උදාහරණයක් කිව්වොත් මිනීමැරීමකට දෙන උපරිම ද`ඩුවම මරණ දඞූවම. ස්ත‍්‍රී දුෂණයට අවුරුදු විස්සක සිරදඞූවම. නඩුවේ කරුණු අනුව දඞූවම අවුරුදු විස්සක් දෙනවද අවුරුද්දක් දෙනවද කියන එක තීරණය කරන්න විනිශ්චයකරුට අභිමතය තියෙනවා. නමුත් මේ කියන නඩුවල එවැනි කතන්දර නැහැ. මාධ්‍යවේදී තිස්සනායගම්ගේ නඩුව ගත්තොත් අවම දඞූවම අවුරුදු පහයි. උපරිම දඞූවම අවුරුදු විස්සයි. විනිශ්චයකරුට ඒක අවුරුද්දක් කරන්න බැහැ. ඒක තමයි මේ නීතියේ ස්වභාවය. මේ නඩු වලදී මුළු නඩුවම රඳා පවතින්නේ නීතිපති දෙපාර්තුමේන්තුව මත. ඒ නිසා එතුළ දේශපාලඥයන්ගේ ඉල්ලීම් වලට කටයුතු නොකරන, නීතියට අනුව කටයුතු කරන අවංක නීතිඥවරු සිටීම අත්‍යවශ්‍යයි.

අපි හැමදෙනාම නොදන්න කරුණක් මේ පනත යටතේ පවතිනවා. ඒ හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත දහස් ගණනක් අත්අඩංගුවට අරගෙන නඩු දාන්නෙ නැතුව අවුරුදු දෙක තුන හිරේ ඉඳලා ගෙදර යන බව. එවැනි අති විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. අත්අඩංගුවට අරන් කෙනෙකුගේ නිදහස සීමා කරන්න පුළුවන් අධිකරණ තීන්දුවක් මත පමණයි. නමුත් අද එය තීරණය කරන්නෙ ආරක්ෂක ලේකම්වරයා එනම් විධායකය විසින්. ජාත්‍යන්තරව පිළිගත් නීතිමය සිද්ධාන්තයට අනුව අත්අඩංගුවට ගත් කෙනෙකු රඳවාගත හැක්කේ සාමාන්‍ය නීතිය යටතේ පැය විසිහතරයි. නමුත් මෙම ත‍්‍රස්තවාදී පනත මෙන්ම හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය ආරක්ෂක ලේකම්ගේ අත්සන මත මාස තුනෙන් තුනට රඳවා ගන්න පුළුවන්. ඔවුන් රඳවන්නේ රිමාන්ඞ් බන්ධනාගාරවල නෙමෙයි. නමුත් වාසනාවකට වගේ අද දවස් අනූවකට වඩා රඳවා ගන්නා පුද්ගලයෙක් රැඳවිය යුත්තේ රිමාන්ඞ් බන්ධනාගාරවල. තිස්සනායගම් දවස් සීයක් පමණ උසාවියට ඉදිරිපත් නොකර පොලිසියේ රඳවාගෙන හිටියා. නමුත් නීතියට අනුව දවස් අනූවක් පමණයි පොලිසියේ රඳවගෙන ඉන්න පුළුවන්. පළමු දවස් තිහෙන් පස්සෙ උසාවියට ඉදිරිපත් කරන්න ඕන. එසේ කළ යුත්තේ ඔහු ඉන්න බව පෙන්වන්න විතරයි. නමුත් නිදහස් කරන්න බැහැ. නිදහස් කරන්න පුළුවන් නීතිපතිවරයාට. නැත්නම් නඩුව අවසන් වූ පසු මහාධිකරණ විනිසුරුවරයෙකුට පමණයි.

තිස්සනායගම් නඩුව පිළිබඳව අද යම්කිසි කතිකාවතක් ඇති වී තියෙනවා. මේ නීතිය යටතේ සිරගත වූ සහ රඳවාගෙන ඉන්න අතිවිශාල සංඛ්‍යාවක් ඳ්‍රවිඩ ජනතාව. එක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ අය. අපිට මේ පිළිබඳ හඩක් නැහැ. ඒ අපට මේ නීති අවශ්‍යද නැද්ද කියල ප‍්‍රතිපත්තීන් වශයෙන් අපි වැනෙන නිසා. මෙය අවශ්‍ය නම් ඒ මොන සංශෝධන වලට යටත්වද. අවශ්‍ය නැත්නම් ඒ ඇයි කියන තර්කය ගෙන ඒම අවශ්‍යයි. මගේ මතය නම් ලංකාවෙත් ලෝකයෙත් මෙම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලයෙ ඉන්න දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන පලිගැනීම් සහ උවමනාවන් වෙනුවෙන් ගෙන ආ දෙයක්. මේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන. මේ ප‍්‍රබල නීති ඉවත් කරන්න අපි පාරට බහින්න ඕන. ඒ සඳහා ප‍්‍රබල කැපවීමක් අවශ්‍යයි. අපි අද කතාකරන තිස්සනායගම් හිරේ ඉන්නේ මේ නීතිය තිබුණු නිසා. ඔහුගේ නඩු තීන්දුව බැලූවම පේනවා මෙම නීතිය මත සිදුකරන ලද පාපොච්චාරණයක් නොවෙන්න මේ පුද්ගලයා හිරේ යන්න කිසිම හැකියාවක් නැහැ කියලා. මේ ඉරණම අත් වූ පළමු තැනැත්තා හෝ අවසන් තැනැත්තා මොහු කියල මම විශ්වාස කරන්නෙ නැහැ.

Back to Home
View PDF

ලංකාවේ අතීත මාධ්‍ය වීරයන්ගේ වර්තමාන භූමිකාව සහ හිට්ලර් සමඟ එකතු වුණු මාෂල් පෙටෝන්

ආණ්ඩුව විසින් පුවත්පත් මණ්ඩලය යළි බලාත්මක කිරීම හරහා ජනමාධ්‍යවේදීන් හට ලියන්නට සහ කියන්නට ඇති අයිතිය උදුරා ගැනීමට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන හතක මූලිකත්වයෙන් සම්මන්ත‍්‍රණයක් පසුගිය 29 වෙනිදා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.

‘පෙනෙන - නොපෙනෙන, දැනෙන - නොදැනෙන මාධ්‍ය මර්දනයට එරෙහිව’ යනුවෙන් නම් කර තිබූ මෙම සම්මන්ත‍්‍රණය ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය, ශ‍්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සන්ධානය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය යන මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදී පුවත්පත් මණ්ඩලය වහා අහෝසි කරන්නැයි බල කර ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත යැවීමට සූදානම් කර තිබූ සංදේශයට ජනමාධ්‍ය ප‍්‍රධානීන් සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරීය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජානතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, නව සිහළ උරුමය පක්‍ෂයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරුද, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයින් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අත්සන් තැබූ අතර මෙම පෙත්සම ඉදිරියේදී ජනතාව ලවා අත්සන් කිරීමට ද නියමිතය.
පහත පළවන්නේ මෙම සම්මන්ත‍්‍රණයේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විසින් පළකළ අදහස් වලින් උපුටා ගන්නා ලද කොටසකි.


මේ රටේ ජනතාවට තමන්ගෙ අදහස් ප‍්‍රකාශ කරන්න, කැමති එකක් ලියන්න, කැමති එකක් කියවන්න, කැමති එකක් කතා කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. පොත්පත් වලින් කියවන්න පුළුවන්. පුවත්පත් වලින් කියවන්න පුළුවන්. වෙබ් අඩවි වලින් කියවන්න පුළුවන්. එය තනියම කරන්න බැහැ. ඒ සඳහා තොරතුරු හුවමාරු කරගන්න හැකියාවක් තියෙන්න ඕන. මේ අයිතිය ලැබෙන්නෙ මාධ්‍ය මාර්ගයෙන්. තොරතුරු ලබා දෙන්නෙ මාධ්‍ය විසින්. හැම මාධ්‍යයටම හැම තොරතුරක්ම ලබා දෙන්න බැහැ. එක් එක් මාධ්‍ය තමන් දන්න තොරතුරු ලබා දෙනවා. ජනතාවට අයිතියක් තියෙනවා ඒ අදහස් ලබා ගන්න. ඒ නිසා මාධ්‍ය මර්දනය කරනවා කියන්නෙ ජනතාව මර්දනය කරනවා කියන එකයි.
අද මාධ්‍ය දිහා බැලූවම මට මතක් වෙනවා පිලිප් පෙටෝන් ගෙ කතාව. පළමුවෙනි ලෝක යුද්ධයෙදි ප‍්‍රංශ හමුදා නායකයා විදිහට ජර්මන් හමුදාව පරාජය කරන්න කටයුතු කළේ පිලිප් පෙටෝන්. ඒ ජයග‍්‍රහණය නිසා ජෙනරල් පිලිප් පෙටෝන්ට මාෂල් කියන තනතුර දුන්නා. ඔහුට කිව්වෙ ප‍්‍රංශයේ ආරක්ෂකයා කියලා.
දෙවන ලෝක යුද්දෙදි ජර්මනිය හමුවේ ප‍්‍රංශ හමුදා පසු බහිද්දි ප‍්‍රංශ පාර්ලිමේන්තුව ජර්මනියට විරුද්ධව මුහුණ දෙන්න ජාතික ආණ්ඩුවක් සෑදීමට තීරණය කළා. එහි අගමැති වශයෙන් මාෂල් පිලිප් පෙටෝන් ව පත් කළා. එයා සමඟ සටන මෙහෙයවපු නියෝජ්‍ය යුද්ධ ඇමති චාල්ස් ඩිගෝල්වත් පත් කළා. නමුත් මොකක්ද සිදුවුණේ? මාෂල් පෙටෝන් ප‍්‍රංශයේ නිදහස ආරක්ෂා කරන්නෙ නැතුව හිට්ලර් එක්ක එකතු වෙලා ප‍්‍රංශය පාවල දීල හිට්ලර්ට යටත් වුණා. පළමුවෙන් ප‍්‍රංශයෙන් බාගයක් හිට්ලර්ට දුන්නා. ඉන්පසු ඉතිරි බාගෙනුත් බාගයක් දුන්නා. අන්තිමේ මුළු ප‍්‍රංශයම පාවල දීල ‘හිට්ලර් තමයි අපේ නායකයා’ කියල කිව්වා. හොඳ වෙලාවට එයාගෙ ගෝලයා ව හිටපු චාල්ස් ඩිගෝල් එංගලන්තයට පැනල ගිහිල්ලා, ආපහු ඇවිත් ප‍්‍රංශය නිදහස් කරගෙන විමුක්තිය ලබල දුන්නා.
ඉතින් මාෂල් පෙටෝන් ගෙ කතාව තුළින් පේන්නෙ එදා ප‍්‍රංශයේ නිදහස ආරක්ෂා ව වෙනුවෙන් පෙරමුණේ හිටපු පුද්ගලයාම පස්සෙ කාලෙක ප‍්‍රංශ නිදහස පාවා දුන් බවයි. මට කණගාටුයි කියන්න. අද ලංකාවෙ මාධ්‍යවේදීන් අතරත් මාෂල් පෙටෝන් ලා ඉන්නවා.


Back to Home
View PDF