Thursday, September 11, 2008
මට තියෙන ප‍්‍රශ්න වලට හේතුව අල්ලපු ගෙදර මිනිහා නෙවෙයි
ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න
සාකච්ඡා කළේ- තාරා ශ‍්‍රී රාම්
පසුගියදා පැවති පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුව පැහැදිලි ජයග‍්‍රහණයක් අත්කර ගත්තා. එම ජයග‍්‍රහණය ඔබ අර්ථ නිරූපණය කරන්නේ කොහොමද?
මෙය ජාතිවාදී, යුධවාදී, මතවාදී ආධිපත්‍යයක් සමාජය තුළ දැඩි ලෙස තහවුරු කරලා විශේෂයෙන්ම ව්‍යාජ තොරතුරු, තැති ගැන්වීම් ගණනාවක් කරලා ලබා ගත්ත ජයග‍්‍රහණයක්. ඡන්දය දිනයේදී නිහඬව කටයුතු කලත් සියළුම බිය වැද්දීම් ඊට පෙර ගණනාවක් කරලා තිබුනා. ඒ අනුව ඒගොල්ලන්ට අවශ්‍ය ප‍්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වුණා. එහිදී මිනිස්සු තුළ යුද්ධය පිළිබඳ දැඩි කම්පාවක්, විශ්වාසයක් ඇති කලා. ඒ අනුව යුද්ධය වෙනුවෙන් පෙනී නොසිටින සෑම අයෙක්ම දේශ ද්‍රෝහියෙක්, ජාතිවාදියෙක් වන බව ප‍්‍රකාශ කළා. ඒනිසා ඊට සම්පුර්ණ සහාය දිය යුතුයි කිවූ අතර එයට විරුද්ධව කටයුතු කල ප‍්‍රබල කොටස්වලට ඒ ඒ පළාත්වලදී පහර දීම් කරමින්, විවිධ හානි කරමින් ඔවුන්ව යටපත් කළා. එය ඡන්දයට මාසයකට, සති තුනකට විතර පෙර සිදු කළා. ඒ විදිහට සමාජය ජාතිවාදී, යුධවාදී ආධිපත්‍ය තුළ හසුරුවා ගත්තා. ඒ නිසා මැතිවරණය එදිනට සාධාරණව පැවැත්වුණා කිව්වත් සමස්ත මැතිවරණ ක‍්‍රියාවලිය තුළ එයට වඩා ගැඹුරු යටිතලයේ බිය වැද්දීම් පැවතුණා.
මේ ජයග‍්‍රහණය ජනාධිපති ඇතුළු ජාතිවාදීන්ගේ මතවාදය තවත් ශක්තිමත් කළා. එහිදී ඔබේ මතය දැරූ පාර්ශ්වය ඊට අභියෝග කරන්නේ කොහොමද?
කුඩා පක්ෂයක් විදිහට අපි දිගින් දිගටම අභියෝග කලා. මෙහිදී ෆෙඩරල්වාදී අදහස් දරණ කිසිවෙක් මේ මැතිවරණය තුළ කිසිම අභියෝගයක් කළේ නැහැ. විශේෂයෙන්ම යූ.එන්.පී ය දිගටම ප‍්‍රකාශ කළේ යුද්ධය හොඳින් කළ යුතුයි කියලා. ඔවුන් ජෙනරාල් හමුදාපති කෙනෙක් පත් කරගෙන ප‍්‍රකාශ කළේ තමුන් බලයට පැමිණියොත් මීටත් වඩා හොඳින් යුද්ධය සිදු කරන බවයි. ඒ වගේම යුද්ධය ප‍්‍රශ්නයක් නොවන බවත් එය සිදුකල යුතු බවත් ඔවුන් ප‍්‍රකාශ කලා. ජ.වි.පෙ. ප‍්‍රකාශ කර සිටියේ උතුරු නැගෙනහිර වෙන් කලේ තමන් බවත්, එය ඔවුන් ලද ජයග‍්‍රහණයක් බවත්, නැගෙනහිර ප‍්‍රාන්ත බලයක් ගැන ජනාධිපතිත් අද කතා කරන්නේ ඒ මත සිට බවත්. මේ විදිහට ඔවුන් යුද්ධයට ඉතා පක්ෂව කතා කලා. ඇත්තවශයෙන්ම මේකට විෂය බද්ධ අභියෝගයක් තියෙනවා. ඊට ජාතිවාදීව නතුවූ පක්ෂයක් තමයි ජ.වි.පෙ. ඔවුන් විෂය බද්ධව ජනතාවගේ උද්ඝෝෂණ වලට සහභාගී වෙනවා. විශේෂයෙන්ම අසාධාරණ වලට ලක්වීම නිසාම වතුකරයේ ජනතාවටත් මේවාට මුහුණ දිය යුතු බවට විෂය බද්ධ වුවමනාවක් තියෙනවා. නමුත් මතවාදයක් නැහැ. මතවාදයක් ගොඩක් පරිස්සමෙන් ගොඩ නගන්න සිදුවෙලා තියෙනවා. අපි කියන තරම් දුරට මැදිහත් වෙන්න කවුරුත් කැමති නැහැ. ඒ නිසා සාමය ගැන ඉතා පහළ මට්ටමෙන් හරි කතා කරන අය හා එකතු වෙලා ඉතා පුළුල් විශ්වසනීය ව්‍යාපාරයක් ගොඩනැගීමට අප සිතා සිටි විරුද්ධත්වයක් රටේ නැහැ. ඒ නිසා මිනිස්සුන්ට මේ ගැන ප‍්‍රවේශමෙන් කියාදිය යුතු බව මම හිතනවා. එතෙක් මේ ආධිපත්‍ය ප‍්‍රබලයි. මීට විසඳුමක් දීමට, අභියෝග කිරීමට තනියම අමාරුයි.
ආණ්ඩුව පසුගිය නැගෙනහිර ඡන්දය දිනුවා. ඒ වගේම සබරගමුව හා උතුරු මැද පළාත් ඡන්දය දිනුවා. මින් ඇත්තටම අදහස් වෙනවාද රජය මේ ගෙනයන වැඩපිළිවෙල රටේ සිංහල හා දෙමළ ජනතාව අනුමත කරනවා කියලා.
ඔවුන් කෙටිකාලීනව කියනවා මේ ත‍්‍රස්තවාදය ඉවර කරනවා කියලා. බෝම්බ පුපුරන කොට, තව තව හිරිහැර වෙනකොට යුද්ධය ඉවරවෙනවා කියන එකට මිනිස්සු හරි කැමතියි. ඒක එක්තරා විසඳූමක්නේ. මිනිස්සු අමුඩයක් ගහලා කරන්න බැරි නම් බෙහෙත් බීලා හරි අතීසාරය නවත්තගන්න බලනවා. ඒ වගේ සාමාන්‍ය ජනතාවගේ තර්කය මෙය ඉක්මනින් ඉවර වෙන්න ඕන කියන එක. ඉන් අදහස් වෙන්නෙ නැහැ ඒගොල්ලෝ ඊට එකඟයි කියන එක. රජය එකඟත්වයක් අරන් තියෙනවා. එකඟවෙන්න සිදුවෙන තත්ත්වයක් හදලා තියෙනවා. යම්කිසි නීතිමය තත්වයක් මත කටයුතු කලොත්, විශේෂ උපක‍්‍රම ටිකක් භාවිතා කලොත් ඕන කෙනෙක් එවැනි එකඟත්වයකට පත් කරගන්න පුලූවන්.
අද ආණ්ඩුවේ තර්කය නැගෙනහිර මුදාගත්තාට පසු එහි ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කලා වගේ අනෙක් ප‍්‍රදේශවලත් යුද්ධය අවසන් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කරනවා කියලා.
ඔව් එහෙම කරයි. එහෙ තියෙනවනෙ මාර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්. ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියල ඔක්කොම විකුණනවා. එහෙ තියෙන විශ්ව විද්‍යාල සිංහලකරණය කරන්න ඒකට සිංහල ළමයි ටිකක් දාල. අද එයින් එක ළමයෙක් මැරිල. ඒ වැඩෙන් සිංහල ළමයින්ට වැඩකුත් නැහැ. දෙමළ ළමයින්ට වැඩකුත් නැහැ. මිනී මරන්නේ කවුද කියල අපි දන්නෙ නැහැ. හමුදාව ඉන්නවා. පොලීසිය ඉන්නවා. මුස්ලිම් අයට නිරායුධ වෙන්න කියලා තියෙනවා. පිල්ලෙයාන් කියලා වැඩ කරන කෙනෙක් පත් කරගෙන ඒ ගොල්ලන්ගෙ දෘෂ්ටිවාදයක් හදාගෙන ඒ අනුව වැඩ කරනවා. ඒක කොමා දෙකක් යටතේ තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදයක්.
ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායකට අනුව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මතය පදනම් වෙලා තියෙන්නේ ජාතිය හා පංතිය මත. නමුත් මැතිවරණයෙන් පස්සේ විමල් වීරවංශ ප‍්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණේ අන්ත පරාජයට හේතු වුණේ ඔවුන් ජාතිය අමතක කර පංතිය සමඟ දේශපාලනයේ යෙදීම නිසා කියලා.
පංතිය පදනම් වෙච්ච වාමාංශික පක්ෂයක් ජාතියක් හැටියට ජාතික ප‍්‍රශ්නයක් සම්බන්ධයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී තලයේ සිටිය යුතුයි. ධනේෂ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉක්මවා යන්න ඕන සමාජවාදී පංති සහිත සමාජයක් ගොඩනඟන්න. නමුත් සිංහල ජාතියේ විමුක්තිය කියන්නේ දෙමළ ජාතිය මැරීම නෙවෙයි. දැන් ඔය පටලවා ගෙන තියෙන්නෙ ජාතික විමුක්තිය නෙවෙයි. සිංහල ජාතිය විමුක්තියක් ලබා ගත යුතුයි කියන එක ගැන කිසිම තර්කයක් නැහැ. සිංහල ජාතියත් ලෝකයේ ඉතාම පෑගෙන ජාතියක්. ඒ ජාතිය නිදහස් කරගැනීම සඳහා සටනක් කළ යුතුයි. නමුත් ගෝලීය බලවතුන්, නැත්නම් ඉන්දියාව හෝ බහු ජාතික සමාගම් සමඟයි සිංහලයාගේ භාෂා හෝ ඉඩම් හෝ ඕනම අයිතියක් සම්බන්ධව සටන් කරන්න වෙලා තියෙන්නෙ. නැතුව අසල්වාසි දෙමළ ජනතාව සමඟ නෙවෙයි. හැම වෙලාවෙම හිතන්නේ දෙමලූන්ගෙන් තමයි මේ ප‍්‍රශ්ණේ සිංහලයන්ට ඇතිවෙලා තියෙන්නේ කියලා. මේක සිල්ලර අදහසක්. හරියට මට තියෙන ප‍්‍රශ්න වලට හේතුව අල්ලපු ගෙදර මිනිහා කියනවා වගේ. වරක් ඔවුන් කිව්වා මේ ත‍්‍රස්තවාදය දෙමළ නෙවෙයි ඇමෙරිකන් ත‍්‍රස්තවාදය කියලා. ඕක සී.අයි.ඒ වැඩක් කියලා. සිංහලයන් මර්ධනය කිරීමේ ඇමෙරිකන් බළල් අතක් කියලා. ඒත් පස්සේ බැලූවාම ඇමෙරිකන්කාරයෝ ආණ්ඩුව පැත්තේ. ආණ්ඩුවට යුධ ආයුධ ඔක්කෝම දෙන්නේ ඇමෙරිකන්කාරයෝ. ඔවුන් සම්පුර්ණයෙන් එකඟයි ත‍්‍රස්තවාදය මර්දනය කරන්න. නැත්නම් දෙමළු මරන්න. එතකොට ඒගොල්ලො කතාව මාරු කරලා ආපහු කිව්වා මේක ඉන්දියාවෙ වැඩක්. දකුණු ඉන්දියාව ආණ්ඩුවට සපෝට්. කරුණානිධි ආණ්ඩුවට සපෝට්. නමුත් දෙමළ තරුණයන් අතර ඉන් එහාට පෙන්නන්න කිසිම දෙයක් නැහැ. එතකොට මොකක්ද මේ අධිරාජ්‍යවාදය කියන්නේ? මොකක්ද සිංහලයන් මැඞීමට තියෙන බල අධිකාරිය. ඒවට ජ.වි.පෙ දැන් ඉන්න නායකයන්ට පිළිතුරක් නැහැ. කාටවත් අපිත් එක්ක එකට උද්ඝෝෂණ කරන්න බැහැ. ඔවුන්ට කොටියා කියනවා. ඕක තමයි ඒගොල්ලන්ගේ පංති ස්වරූපය. කොයි පංතිය කිව්වත් ඕක සිංහල සුළු ධනේශ්වර පංතියේ තියෙන ඛේදවාචකයක්. ඕක පංතිය හා ජාතිය පිළිබඳ න්‍යායාත්මත ප‍්‍රශ්ණයක් නෙවෙයි.
එතකොට පංතිය පදනම් කරගෙන ගමන් කරපු ඔබේ දේශපාලනය ඉස්මතු නොවුනෙ ඇයි?
අපේ සමහර උපාය මාර්ගයන්, නායකත්වයන් දුර්වල ඇති. ඒවගේම අපි භාවිතා කරන මාධ්‍යයන්, උපකරණ වැනි දේ තුළ අඩුපාඩුකම් තියෙනවා. ඊට අමතරව පැහැදිලිවම මේ රටේ සිංහල ජාතිවාදය හරිම ශක්තිමත්. ඒක මේ රටේ විශේෂත්වයකුත් වෙනවා. ලෝකයේ මේ තරම් දිග වංශ කතාවක් කාටවත් නැහැ. අවුරුදු 2500 ක අඛණ්ඩ වංශ කතාවක් අපට තියෙනවා. ඉතින් බොහොම ලෙහෙසියෙන් මුලක් ඇඳගෙන, ඕක උඩ ඉඳගෙන ලොකු මතවාදයන් හදා ගන්නවා. මේ මතවාදයේ ඉන්න සංඝයා වහන්සේලාත් ඒකට ජනකතා රාශියක් කියනවා. මේක හරි ප‍්‍රබල ප‍්‍රශ්ණයක්. ඒක කොච්චරද කියනවා නම් අබා වගේ චිත‍්‍රපටියක් ගත්තොත් මෙහි පෙන්නන්නේ සිංහල රාජ්‍ය වංශයට විරුද්ධව යක්ෂ ගෝත‍්‍රිකයන්ගේ චින්තන. මහාවංශයෙත් තියෙන්නේ එහෙම. ගවේෂණ වලිනුත් පෙනෙන්නේ ඒක. ඒකේ අබා කියන්නේ ද්‍රවිඩයින් වෙනුවෙන් පෙනී සිටි කුමාරයෙක්. මෙය ගම්සභා ක‍්‍රමයක් පිහිටුවලා ද්‍රවිඩයන් රාජවංශ කතාවට අභියෝග කරපු තැනක්. ඒක දැන් හැමෝම හදාගෙන තියෙනවා මේ සිංහලයන්ගේ නැගිටීමක් කියලා. එහෙම කියලා ඒකත් තමන්ගේ සාක්කුවේ දාගන්නවා. අපිට ද්‍රවිඩ කියන එකේ ප‍්‍රශ්ණයක් නැහැ. අපිට ජන වාර්ගික ප‍්‍රශ්ණයක් නැහැ. මොකද වාර්ගිකත්වය අනුව අපි ඔක්කොම එකයි. මෙතන තියෙන්නේ මෑත කාලීන ජාතික ප‍්‍රශ්ණයක්. අද අපිට මේ බැරෑරුම් අභියෝගය ජය ගන්න අමාරු වෙලා තියෙනවා. සියයට සියයක් සිංහල හමුදාවක් සියයට සියයක් දෙමළ ජනතාවක් ඉන්න ප‍්‍රදේශවලට ගිහින් යටකර ගන්නවා කියන එක විහිළු කතාවක්. සියයට සියයක් දෙමළ අයට පුළුවන්ද සියයට සියයක් සිංහල ප‍්‍රදේශයක් යටත් කර ගන්න. ඒ නිසා ඕක බොරු වැඩක්. නමුත් ඒක තේරුම් කර දීම අමාරු වෙලා තියෙනවා. අපිට එය විග‍්‍රහ කරන්න බැරි ඒකයි. නමුත් අපිත් එක්ක යම් දියුණු කොටසක් ඉන්නවා. ඒවගේම අපිත් එක්ක මතවාදීව විවාද කරන්න ලේසි නැහැ. අපි ඒවායින් ජය අරන් තියෙනවා. ඒවගේම අපිට අනතුරු කරන්නත් අපේ සතුරෝ බයයි. මොකද මම කියන දේවල් ඇත්ත වුනොත් කියලා හිතෙන හින්දා වෙන්න ඇති. ඒ විදිහට සමාජය තුළ අපි යම් කටයුත්තක් කරලා තියෙනවා. ඒත් ප‍්‍රමාණවත් නැහැ.
ඔබ මානව අයිතිවාසිකම් වෙනුවෙන් ප‍්‍රබල හඬක් න්ගපු කෙනෙක්. ඒ අනුව බලන විට අද රටේ පවතින මානව හිමිකම් තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
මේ මානව හිමිකම් ප‍්‍රශ්ණයට තදින් ඈදිලා තියෙනවා යුද්ධය. යුද්ධය නැතුව මානව හිමිකම් ගත්තොත් අපි හුඟක් දියුණුයි. අනෙක් රටවල තරම් අපේ තත්වය දරුණු නැහැ. ළමයින්, කාන්තාවන්, සමලිංගිකයින් සම්බන්ධයෙන් ගත්තත් අපි අනික් රටවලට වඩා ඉදිරියෙන් ඉඳලා තියෙනවා. නමුත් මේ යුද්ධය නිසා බිහිසුණු අපරාධ වෙනවා. ඒ නිසා අපි ඉතාම පහළට වැටිලා තියෙනවා. මේ නිසා මානව හිමිකම් තත්ත්වය පිළිබඳ තියෙන ප‍්‍රධාන ප‍්‍රශ්නය යුද්ධය. යුද්ධය නවත්තන්නේ නැතිව ඒකෙන් වෙන බිහිසුණු බිඳ වැටීම ගොඩ නගන්න බැහැ. ඒක පැත්තකින් තියලා අපි කරන මානව හිමිකම් ගැන උද්ඝෝෂණ එතරම් ඵලදායි නැහැ. ගෘහස්ථ හිංසනය, ළමා හිංසනය වගේම හුඟක් කිට්ටුවෙන් බැඳිලා තියෙනවා යුධ මානසිකත්වය.
පසුගිය මැතිවරණ ජයග‍්‍රහණයත් සමඟම ආණ්ඩුවේ යුධ මානසිකත්වය එන්න එන්නම වර්ධනය වීම නිසා ඉදිරියේදී මානව හිමිකම් වලට ඇතිවෙන්න පුළුවන් අවදානම කුමක්ද?
බරපතලයි. අද තියෙන තත්ත්වය අනුව දැන් මානව හිමිකම් කඩවීම් වැඩිවුණ තත්ත්වයක් මේ ඡන්දයට පස්සෙත් පේනවා. උදාහරණ වශයෙන් දැන් දෙමළ අය වුනත් පාරේදී සිංහලෙන් කථා කරන්න උත්සාහ කරනවා. දෙමළෙන් අයදුම්පතක් ඉල්ලන්න බයයි. එතකොට හමුදා නිලධාරීන් ආවත් ඒගොල්ලන්ට ඉක්මනින් පහසුකම් සපයලා දෙනවා. ඒ වගේ ආධිපත්‍යයක් ගොඩ නැගිල තියෙනවා. මේ වාතාවරණය තුළින්ම මානව අයිතිවාසිකම් යටපත් වෙන තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
මේ අවදානමට අප මුහුණ දෙන්න ඕන කොහොමද?
අපිට දියුණු මානව හිමිකම් තත්වයන් ගැන පමණක් කතා කරලා සෑහීමට පත් වෙන්න බැහැ. සමහර විට මානව හිමිකම් අර්ධ එකතු වෙලා පුළුල් මතවාදයක් සමාජයේ ගොඩනගන්න ඕන. කල්පනාවෙන් සෑම සම්පතක්ම ගොඩ නැගිය යුතුයි. අපි ජාත්‍යන්තර වශයෙන් පුළුල් පියවරකට යා යුතුයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment