Thursday, December 17, 2009

ඉල්ලාගත් කේතලය සහ රාජ්‍ය රහස් හෙළිකිරීම

සුදර්ශන ගුණවර්ධන

රාජ්‍ය රහස් හෙළිකිරීම
යුද්ධයේ අවසාන අදියරේදී එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායක නඬේසන්, සාම මහ ලේකම් කාර්යාලයේ නායක පුලිදේවන් සහ රමේෂ් ඇතුළු කණ්ඩායමක් සුදු කොඩි රැගෙන ශ‍්‍රී ලංකා හමුදාව වෙත යටත්වීමට පැමිණි බවත්, එසේ වුවද යටත් වීමට ඉඩ නොදී ඔවුන් ඝාතනය කරන ලද බවත් පිළිබඳ වූ කතා ප‍්‍රවෘත්තියට නැවත පණ ලැබී, තටු ගසා, ගුවන සිසාරා පැතිරෙන්නට වී ඇත.
මෙම කතාව කරළියට එන්නේ යුද ජයග‍්‍රහණය සඳහා වගකිවයුතු සේනාධිනායකයා වු මහරජතුමාද, සෙන්පතියා වූ ජෙනරාල්තුමාද ප‍්‍රතිමල්ලවයන් වශයෙන් ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇති පසුබිම තුළය.
සන්ඬේ ලීඩර් පුවත්පත සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජෙනරාල්තුමා මේ පිළිබඳව පළ කළා යැයි කියන අදහස් නිසා ඇති වූ තත්ත්වය දෙබර කූඩයකට ගල් ගැසුවා සේ විය. ‘මගෝ ඩිගො ඩයි’ චිත‍්‍රපටයේ චරිත නිරූපනයට පවා සුදුසුකම් දක්වන්නා වූ ආණ්ඩුවේ ප‍්‍රකාශකයන් බුරුත්තක්ම එම ප‍්‍රකාශයට විරුද්ධව ගුවන් තරංග මඟින් යුද්ධ ප‍්‍රකාශ කරන ලදි. ඔවුන් කියා සිටියේ එම ප‍්‍රකාශය යුද රහසක් හෙළිදරව් කිරීමක් බැවින් ජෙනරාල්තුමා දේශද්‍රෝහියෙකු බවයි. ආණ්ඩුවට හිතවත් නීතිඥවරුන් ප‍්‍රකාශ කළේ ජෙනරාල්තුමාට විරුද්ධ ව රාජ්‍ය රහස් පනත යටතේ නඩු පවරා ඔහු සිරගෙට වුවද යැවිය හැකි බවයි.
කෙසේ වුවද,තමා එවැනි ප‍්‍රකාශයක් නොකළ බවත්,තම ප‍්‍රකාශය සන්ඬේ ලීඩර් පුවත්පත විසින් විකෘති කොට පළ කොට ඇති බවත් පසුව පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී ජෙනරාල්තුමා ප‍්‍රකාශ කළේය. යුද්ධය මෙහෙයවූයේ තමා බැවින් එහි සියළු වගකීම් තමා භාරගන්නා බව ප‍්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් පැවසුවේ යුද්ධයේ අවසාන අදියරේදී කිසිවෙකුත් සුදු කොඩි රැගෙන යටත්වීමට නොපැමිණි බවයි.
ජෙනරාල්තුමා රාජ්‍ය රහස් හෙළිදරව් කර ඇතැයි රජයේ ඇමතිවරුන් විසින් ප‍්‍රකාශ කිරීම මඟින් ඉහත දැක්වෙන ආකාරයේ ඝාතනයක් සිදු වී ඇති බව රජය අනියම් ලෙස පිළිගෙන ඇතැයිද එය රටට අවාසිදායක යැයිද විදේශ ඇමතිවරයා කී බව වෙබ් අඩවියක පළ විය.තවත් වෙබ් අඩවියක පළ වූයේ ඉහත දැක්වෙන ආකාරයේ සිදුවීමක් නොවූ බව දැන් ජෙනරාල්තුමා විසින් ප‍්‍රකාශ කර ඇති බැවින් ප‍්‍රශ්නය මෙතනින් අවසන් කළ යුතු බව රජයේ ඇමතිවරුන් ප‍්‍රකාශ කර ඇති බවයි.
මෙහිදී පුරවැසියන් වශයෙන් අප විසින් ඇසිය යුතු ප‍්‍රශ්න කිහිපයක් වෙයි.
1. පසුගිය කාලයේ ලංකාවේ සියළුදෙනාම පාහේ දැනසිටි කරුණක් හදිසියේම රාජ්‍ය රහසක් බවට පත්වූයේ කෙසේද?
2. යුද්ධයේ අවසානය සිදු වූ ආකාරය රූපවාහිනි සහ වීඩියෝ දර්ශන ඔස්සේ හැමදෙනාම දන්නා තත්ත්වයක් යටතේ මේ ඊනියා රහස වසන් කරන්නට හදන්නේ කාගෙන්ද?
3. සෙසු මහජනයාට වඩා කලින් නිවැරදි තොරතුරු දැන ගැනීමට හැකියාවක් ඇති සත්ත්ව විශේෂයක් වන මාධ්‍යවේදීන් මේ ප‍්‍රශ්නයේදී කිසිවක් නොදන්නා ආකාරය අනුව ඔවුන් බබාලා පිරිසක්ද? (විශේෂයෙන්ම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී ෆෙඞ්රිකා ජෑන්ස් උක්කුං බබෙක්ද?)
4. මෙය අසා නින්දෙන් ඇහැරුනා සේ හැසිරෙන ඇමරිකාව, බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ ජාත්‍යන්තර ප‍්‍රජාව සිදු වූ කිසිවක් නොදන්නා තොත්ත බබාලා පිරිසක්ද?

ඉල්ලාගත් කේතලය
මෙහිදී අපගේ සිහියට එන්නේ ඇමරිකාව ප‍්‍රමුඛ මිත‍්‍ර හමුදා විසින් ඉරාකයට පහරදීම සාධාරණීයකරණය කිරීමට යොදාගත් තර්කනය පිළිබඳව ස්ලාවෝ ජිජැක්ගේ විග‍්‍රහයයි. සිග්මන් ෆ්‍රොයිඞ් සිහින තේරුම් කිරීම පිණිස යොදා ගත් ‘ඉල්ලාගත් කේතලය’ පිළිබඳව පැරණි විහිළු කතාවක් ජිජැක් මෙහිදී උපුටා දක්වයි.
කිසියම් පුද්ගලයෙකුගෙන් කේතලයක් ඉල්ලාගත් අයෙක් ඵ් පිළිබඳව පහත සඳහන් පිළිතුරු ලබා දෙයි.
1. මම කවදාවත් ඔබෙන් කේතලයක් ඉල්ලා ගත්තේ නැත.
2. මම කේතලය ආපසු දෙනවිට එය බිඳී තිබුණේ නැත.
3. මම ඔබෙන් කේතලය ඉල්ලා ගන්නා විටත් එය බිඳී තිබිණි.
මේ සෑම පිළිතුරකින්ම වසා දමන්නට තැත් කරන්නේ එක් කටුක සත්‍යයකි. එනම්, ඔබෙන් ඉල්ලාගත් කේතලය මා අතින් බිඳුණු බවයි. එකිනෙකට නොගැලපෙන මේ සියළු පිළිතුරු මඟින් උත්සාහ කරන්නේ අප දන්නා ඵ් සත්‍යය නොදැනුමක් බවට පත් කිරීමටය.
ස්ලාවෝ ජිජැක් ප‍්‍රකාශ කරන්නේ ඉහත දැක්වෙන එකිනෙකට නොගැලපෙන ස්වභාවය ඉරාකයට පහරදීම සාධාරණීයකරණය කිරීමට යොදාගත් තර්කයන්හිද පවතින බවයි.
පළමුව ප‍්‍රකාශ වූයේ ඉරාකයේ සදාම් හුසේන්ගේ රෙජීමය සහ අල්කයිඩා සංවිධානය අතර සබඳතාවයක් පවතින බැවින් ඉරාකයට පහරදිය යුතු බවයි. දෙවනුව, සමූල ඝාතක අවි (WMD) ඉරාකය සතුව තිබීම හේතුවෙන් මුළු ලොවටම සහ විශේෂයෙන්ම ඇමෙරිකාවට සහ බි‍්‍රතාන්‍යයට සදාම් හුසේන් රෙජීමය තර්ජනයක් බවයි. කිසිදු සමූලඝාතක අවියක් හමු නොවූ විට මිත‍්‍ර ජාතීන් ඉදිරිපත් කළ තර්කය වූයේ එවන් භයානක අවි හමු නොවූ බව සත්‍යයක් නමුත් සදාම් හුසේන් වැනි ප‍්‍රජා පීඩකයෙකු පෙරළා දැමීමට වෙනත් හේතු ඕනෑ තරම් පවතින බවයි.
සුදු කොඩි රැගෙන ආ පිරිසක් ඝාතනයට ලක්වීම පිළිබඳව කෙරෙන කතා බහ විමර්ශනය කරන විට ඵ් පිළිබඳව තර්ක ගොනු කිරීම සිදුවන්නේද ඉල්ලා ගත් කේතලය ආපසු දීමේදී නිදහසට කාරණා ඉදිරිපත් කළ පිළිවෙළටමය.එම හැම තර්කයකින්ම ප‍්‍රකාශ වන්නේ එමඟින් සඟවන්නට උත්සාහ දරන අප දන්නා කටුක සත්‍යයමය.
ප‍්‍රශ්නය වන්නේ කවුරුත් දන්නා මේ රහස සඟවන්නට උත්සාහ ගන්නේ ටී.ලොබ්සොං රම්පෝගේ ‘තෙවැනි ඇස’ වැනි අප දෙස බලා සිටින අදෘශ්‍යමාන බලවේගයකින්ද?

Back to home
View Pdf...

Monday, December 14, 2009

මඩෙන් එපා ගොඩෙන් එන්න

සුදර්ශන ගුණවර්ධන

ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්කිරීමත් සමඟ ම රාජ්‍ය මාධ්‍ය ද එම මාධ්‍ය හසුරුවන දැළි පිහි අතින් ගත් හෙංචයියන් පිරිසද තමා මෙතෙක් කලක් කරගෙන ගිය මඩ මෙහෙයුම දෙගුණ තෙගුණ කර තිබේ.
මේ මෙහෙයුම මෙසේ දියත් වන්නේ, ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයට කැඳවා ඡන්ද සටන මඩ ගැසීම් වලින් තොරව ගෙන යමු යැයි ප‍්‍රකාශ කොට තිබියදීය.
පසුගිය කාලය තිස්සේම විපක්ෂ නායකවරයාට, ආණ්ඩුවට විරුද්ධව කට අරින අතළොස්සක් වූ විපක්ෂ මන්ත‍්‍රීන්ට, ජනමාධ්‍ය ක‍්‍රියාකාරීන්ට සහ විසම්මුතික මත දරණ සිවිල් සංවිධාන නායකයින් වෙත ලෝබ නැතිව එල්ල කළ මඩ බාල්දි ප‍්‍රහාරය දැන් යුද්ධය දිනූ මහා සෙන්පතියා වෙත ද එල්ල කිරීමට පටන් ගෙන ඇත.
ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් සැලකුණේ ජනතාවට යථාර්ථය වටහා ගැනීමට අවශ්‍ය දැනුම හා තොරතුරු සපයන ඉදිරිගාමී පිරිසක් වශයෙනි. නමුත් ශීඝ‍්‍රයෙන් එම භුමිකාව වෙනස් වී ගොස් අද මාධ්‍යවේදියා යනු ජනතාවට විනෝදය සපයන්නෙකු බවට පත්වී ඇත. එදා ප‍්‍රවෘත්ති කියැවුවේ, ශ‍්‍රවණය කළේ, නැරඹුවේ තොරතුරු ලබා ගැනීමට නම් අද එය කරන්නේ විනෝදය පිණිසය. පොදුවේ ගත් කළ මාධ්‍යවේදියා තවදුරටත් සමාජය වෙත පරමාදර්ශයක් සපයන පුද්ගලයෙකු නොව මිහායිල් ෂොලහෝව් ගේ ‘පෙරළූ නැවුම් පසෙ’ හි එන ෂුකාර් සීයා වැනි චරිතයක් බවට පත්ව ඇත.
යුද්ධයේදී මිනිසුන් විශේෂයෙන් දෙමළ මිනිසුන් මිය යන විට, අතපය අහිමි වන විට, ඔවුන්ගේ ගේ දොර වතුපිටි විනාශ වන විට ඒ ගැන කිසිදු සඳහනක් නොකොට, යුද්ධය තලූ මරමින් පේ‍්‍රක්ෂකාගාරයට, ශ‍්‍රාවක සමාජයට සහ පාඨක සමාජයට ගෙන ආවේ මාධ්‍යවේදීහුය.
ආණ්ඩුවේ සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මේ ආකාරයේ මාධ්‍ය භාවිතයක යෙදීම ගැන අප පුදුම විය යුතු නැත. එයට හේතුව ආණ්ඩුව මෙහෙයවන අය ජීවත්වන්නේ ශිෂ්ඨාචාරයට පුර්ව යුගයේ බැවිනි. මානව ශිෂ්ඨාචාරය විසින් පිළිගෙන වර්ධනය කරන ලද මානව අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප තමන් තුට්ටුවකට මායිම් නොකරන බව ඔවුන් නැවත නැවතත් භාවිතයෙන් ම පෙන්නුම් කරන බැවිනි.
එහෙත්, විපක්ෂයෙන් එයට වඩා ඉහළ හැසිරීමක් බලාපොරොත්තුවීමට අපට අයිතියක් ඇති අතර, එය ඉටුකිරීමේ වගකීමක් විපක්ෂයට ඇතැයි අපි සිතමු. මක් නිසාද යත් ආණ්ඩුව මෙන් නොව විපක්ෂය මිනිස් ශිෂ්ඨාචාරයේ අග‍්‍ර ඵල වන මානව හිමිකම් සහ නීතියේ පාලනය පිළිගන්නා බවට පොරොන්දු වී ඇති බැවිනි.
ජනාධිපතිවරණ සටනේදී ආණ්ඩුව වෙනුවෙන් සටනට බැස සිටින චම්පික රණවක ඇමතිවරයාට ආපහාස වන ආකාරයට ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ යැයි හැෙඟන ආකාරයේ අශ්ලීල විස්තරයක් පසුගිය බදාදා එක්තරා වෙබ් අඩවියක පළ විය. ඡන්ද සටනේදී තම ප‍්‍රතිවාදියාගේ ආධාරකරුවකු ගේ යටි බඩට ඇණීම මඟින් බලාපොරොත්තු වනු ඇත්තේ ඔහුගේ විශ්වාසනීයභාවය බිඳ දැමීම හෝ ඔහු නිහඬ කිරීම විය හැකිය. එමඟින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ට වාසියක් සැලසීම එම ලිපිය ප‍්‍රකාශයට පත් කිරීමේ අරමුණ විය හැකිය.
චම්පික රණවක ඇමතිවරයා සහ ඔහු නියෝජනය කරන මතය පැරදවිය යුතුය. නමුත් එය කළ යුත්තේ මතවාදී අරගලයක් මඟිනි. එසේ නැතිව මෙවැනි අශ්ලීල පහරදීම් මඟින් නොවේ. සෑම මනුෂ්‍යයෙකුටම හිමි මානව අයිතිවාසිකමක් වන පවුල සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය චම්පික රණවක ඇමතිවරයාටත් හිමිවිය යුතු අතර සමාජය ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මාධ්‍යවේදීන් එම අයිතිය පැහැර ගැනීම හෙළා දැකිය යුතුය. එමඟින් එවැනි ක‍්‍රියා මින් ඉදිරියට සිදු කිරීමට යමෙකු ක‍්‍රියා කරන්නේ නම් එය අධෛර්යය කළ යුතුය.
ඉහත වෙබ් අඩවිය විසින් චම්පික රණවක ඇමතිවරයා ගේ පෞද්ගලික චරිත ඝාතනය කිරීම විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් හෙළා දැකිය යුතුය යි අපි යෝජනා කරමු. ආණ්ඩුව හා ආණ්ඩුවේ මාධ්‍ය වැටී තිබෙන පහත් තත්ත්වයට ප‍්‍රතික‍්‍රියා දැක්විය හැක්කේ, විපක්ෂය ද එම තත්ත්වයට වැටීමෙන් නොව ඊට වඩා ඉහළ පරමාදර්ශයන් වෙනුවෙන් පෙනී සිටීමෙනි. ශිෂ්ඨ සම්පන්න ශ‍්‍රී ලංකාවක් අපේක්ෂා කරන මහජනයා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් බලාපොරොත්තු වන්නේ එයයි.




Back to Home...
View Pdf...

Wednesday, October 28, 2009

සංක‍්‍රමණික ශ‍්‍රමය වහල් ශ‍්‍රමයක් නොවීමට නම්...

සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ පසු විපරම් කමිටුව පසුගියදා ජිනීවාහි දී රැස්වුවාය. එයට සිවිල් සමාජය නියෝජනය කරමින් නිදහසේ වේදිකාවේ කැඳවුම්කාරිනියක මෙන්ම සියළු වර්ගවාදයන්ට හා වෙනස්කම් කිරීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරයේ සභාපතිනිය වන ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු සහභාගී වූ අතර සමුළුව පිළිබඳ ඇය දැක්වූ අදහස් අද සමබිමෙන් අප ඔබ වෙත ගෙන එන්නෙමු.



රැකියාවන් සඳහා විදේශගත වන සෑම කෙනෙක්ම පාස්පෝට් සාදා ගන්නා හැටි දනිති. වීසා ලබා ගන්නා හැටිද දනිති. සමහරුන් පුද්ගලයන් හට රට රැකියා ලබා දීමෙහි විශේෂඥයෝය. එහෙත් රැකියා සඳහා සංක‍්‍රමණය වන්නන්ගේ අයිතිවාසිකම් උදෙසා ජාත්‍යන්තර සම්මුතියක් පවතින බව දන්නේ කීයෙන් කීදෙනාද?

ලංකා රජය මින් වසර පහකට පෙර සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියට අත්සන් කර ඇත. මෙම සම්මුතියෙන් රැකියා සඳහා යම් රටක සිට විදෙස් රටවලට යන සහ විදෙස් රටවලින් එම රට තුළට සේවය සඳහා පැමිණෙන සේවකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරනු ලබයි.

මේ සම්මුතිය ගැන මෙසේ කතා කරන්නට අපට සිදුවූයේ ඉකුත් සතියේ ජිනීවාහි දී රැස්වූ සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියෙහි පසු විපරම් කමිටුව සංක‍්‍රමණික සේවකයන් පිළිබඳ ලංකා රජයේ ප‍්‍රතිපත්තිය පිළිබඳ ප‍්‍රශ්න කළ බැවිනි. සිවිල් සමාජය නියෝජනය කරමින් අපද ඊට සහභාගී වුණෙමු.

මෙම පසු විපරම් කමිටුව ස්ථාපිත කර ඇත්තේ ලංකාව ඇතුළුව මෙයට අත්සන් තබා ඇති සෑම රටක්ම ඊට අත්සන් කිරීමෙන් පසු සම්මුතියට අනුකුලව සංක‍්‍රමණික සේවකයන් සම්බන්ධයෙන් කටයුතු කරන්නේද යන්න පිළිබඳ සොයා බැලීමටය. අත්සන් කර වසර දෙකකට පසු අදාළ රට වෙනුවෙන් රැස්වන කමිටුව ලංකාවේ සංක‍්‍රමණික සේවකයින්ගේ තත්ත්වය විභාග කිරීමට පසුගියදා රැස් වූයේ අත්සන් තබා වසර පහකට පසු පළමුවතාවටය. මෙය විවිධ රටවල් වලින් තෝරා ගත් විද්වතුන්ගෙන් සැදුම්ලත් ස්වාධීන කමිටුවකි. මෙම අත්සන් තැබීමත් සමඟ ලංකා රජය සම්මුතියේ ඇති ප‍්‍රතිපාදන භාවිතා කරමින් රැකියා සඳහා විදේශගත වන සියළුම ලාංකික සංක‍්‍රමණිකයන් හා මෙරට සිටින විදේශීය සංක‍්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නීත්‍යනුකූලව බැඳෙයි.

මෙහිදී පසු විපරම් කමිටුව ඉදිරියේ ලංකා රජයේ නියෝජිත පිරිස හා සිවිල් සංවිධාන විසින් කරුණු ඉදිරිපත් කරන ලදී. එහිදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.රුහුණගේ ඇතුළු මෙරට නියෝජිත පිරිස ලංකාවේ දැනට සංක‍්‍රමණික සේවකයන් වෙනුවෙන් පවත්නා නීති සහ එමඟින් ඔවුන්ගේ අයිතිවාසිකම් ප‍්‍රවර්ධනය කරනු ලබන්නේ කෙසේද යන්න පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කර ලංකා රජය වෙනුවෙන් කරුණු දැක්වූහ. සිවිල් සංවිධාන වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, සංක‍්‍රමණික අයිතිවාසිකම් පිළිබඳ ජාලය හා සියළු වර්ගවාදයන්ට හා වෙනස්කම් කිරීමට එරෙහි ජාත්‍යන්තර ව්‍යාපාරය විසින් ඊට ප‍්‍රතිචාර ලෙස විකල්ප වාර්තා ඉදිරිපත් කරමින් කරුණු දක්වන ලදී.

මෙහිදී රජයේ නියෝජිතයන් විසින් විවෘත ආර්ථිකය හේතුවෙන් පසුගිය කාලවකවානුව තුළ ශ‍්‍රම බලකායේ විශාල පිරිසක් විදේශවලට සංක‍්‍රමණය වීම හරහා මෙරට ආර්ථිකයට විශාල ප‍්‍රතිලාභයක් අත් වූ බව කියා සිටි අතර සිවිල් සංවිධාන විසින් එකී සංක‍්‍රමණයන් මෙරට දිළිඳුකම තුරන් කිරීමේ කාර්යයේදී මහත් පිටිවහලක් වූ බව වැඩිදුරටත් අවධාරණය කරන ලදී.මෙම කරුණු දැක්වීම් සියල්ලෙන් අනතුරුව කමිටුව අවධාරණය කළ විශේෂ කාරණා කිහිපයක්ම විය. එයින් ඔවුන් වැඩි අවධානයක් යොමු කරන ලද්දේ ලංකාව තුළ සිටින සියළුම සංක‍්‍රමණික සේවකයන්ගේ අයිතිවාසිකම් තහවුරු වන ආකාරයේ විශේෂ නීතියක් තවම ස්ථාපිත කර නොතිබීම හා දැනට පවත්නා කම්කරු අයිතිවාසිකම් පිළිබඳ නීති හා ව්‍යවස්ථාපිත නීතිවල රැකවරණය විදේශගතව සිටින සංක‍්‍රමණික සේවකයන් හට බලාත්මක කිරීමේ අවකාශයක් නොමැතිවීම කෙරෙහිය.විද්වත් මණ්ඩලය බොහෝ වාරයක් මතු කළ අනෙක් ගැටලූව වූයේ මැද පෙරදිග රාජ්‍යයන්හි පවතින ‘අල් කෆීලා’ නම් ක‍්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුව අනුගමනය කරන ප‍්‍රතිපත්තිය කුමක්ද යන්නය. හාම්පුතුන්ට තමන් යටතේ සිටින සේවකයින්ගේ සියළුම කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ ආධිපත්‍ය හිමි අල් කෆීලා සම්ප‍්‍රදාය වඩා සමීප වන්නේ වහල් සේවයටය.

එසේම මෙරට සිටින සංක‍්‍රමණික සේවකයින්ට සහන සලසන කම්කරු හෝ වෙනත් විශේෂ නීතියක් රජය විසින් ස්ථාපිත කර තිබේද යන්නද කමිටුවෙහි විමසුමට ලක් විය. 1977 සිට ලංකාව අනුගමනය කළ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය නිසා ලෝක බැංකුවේ ආර්ථික ප‍්‍රතිව්‍යුහකරණය සම්බන්ධයෙන් පවතින ප‍්‍රතිපත්තීන්ට අනුගතව ග‍්‍රාමීය කර්මාන්ත හා කෘෂිකර්මාන්තයට දී තිබූ සහන රාශියක් කප්පාදු කරන ලද තත්ත්වයක් තුළ වර්ධනය වූ ග‍්‍රාමීය දිළිඳුභාවය සහ රැකියා වියුක්තිය හේතුවෙන් ශ‍්‍රමිකයන්ට නිදහස් වෙළෙඳ කලාපය හා මැද පෙරදිග රැකියාවන් කරා පිටත්ව යන්නට සිදු විය.ගම දිළිඳු වීම ඇරඹෙත්ම ආර්ථිකය ජය ගැනීමේ අභියෝගය ප‍්‍රධාන වශයෙන්ම බාරගත්තේ කාන්තාවන්ය.

කාන්තාව මත පැටවුණු මෙම ආර්ථික භාරය පිළිබඳ සංවේදී වන සංක‍්‍රමණික සේවක නීති රීති නොමැතිකමත්, ඔවුන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ආරක්ෂණයක් හෝ ඒ විෂයෙහි මතු වන දුෂ්කරතා ආදිය පිළිබඳව මෙරට වාර්තාවේ කොතැනකවත් සඳහන්ව නොතිබුණි.විශේෂයෙන්ම මැද පෙරදිග රිමාන්ඞ් බාරයේ පසුවන රිෆානා දැරියගේ සිට මෑතකදී කොළඹ බෞද්ධාලෝක මාවතේ කුණු ඇලක ඝාතනය වී සිටි දෙමළ දැරියන් දෙදෙනා දක්වා සේවා සැපයීම තුළ කාන්තාවන් මුහුණපාන අකටයුතුකම්, ප‍්‍රචණ්ඩත්වයන් හා අනාරක්ෂිතභාවයන් සම්බන්ධයෙන් ලංකා ආණ්ඩුවට කිසිදු ප‍්‍රතිපත්තියක් නොමැතිකම මෙයින් හෙළිදරවු කරයි.මෙම ශ‍්‍රමිකයන් වෙනුවෙන් තමන් යම් යම් සුභ සාධනමය කටයුතු සිදු කරන්නේ යැයි රජය කියන විට අප අසන්නේ ඒ සිදුවන සුභ සාධනයෙන් ලබන ප‍්‍රතිලාභය හානිපූරණය කිරීමට ප‍්‍රමාණවත්ද යන්නයි. අපේ ස්ථාවරය නම් එය කිසිසේත් ගණනය කළ නොහැකි පිරිවැයක් බවයි. රජය කිසිදු පිරිවැයක් නොදරා නිරායාසයෙන් මෙරටට ගලා එන මෙම ශූද්ධ ලාභයෙන් නඩත්තු වන විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඇතුළු අනුබද්ධ ආයතනවලට පැවරී ඇති වගකීම පිළිබඳව මෙහිදී සිවිල් සමාජය විසින් වැඩිදුරටත් පෙන්වා දුන් අතර දෙපාර්ශ්වය දැක්වූ කරුණු විභාග කර කමිටුව විසින් මේ වන විට සිය නිර්දේශ සහ යෝජනා රාශියක් ලංකා රජය වෙත ඉදිරිපත් කර ඇත.

සාමාන්‍යයෙන් ලංකා රජය පසුගිය කාලය මුළුල්ලේ මෙරට සිවිල් සමාජය විසින් පෙන්වා දුන් සහ ජාත්‍යන්තර වශයෙන් කරන ලද නිර්දේශයන් නොසලකා හැරීම පුරුද්දක් බවට පත්කරගෙන සිටියත් මෙරටට වැඩිම විදේශ විනිමයක් ගෙන එන මෙම සංක‍්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නයේදී හෝ ඔවුන්ට සුභදායී පිළිවෙතක් අනුගමනය කිරීමට පෙළෙඔනු ඇතැයි සිවිල් සමාජය බලාපොරොත්තු වෙයි.

Tuesday, October 27, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ උත්සාහය රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් නෙවෙයි

ධර්මසිරි බණ්ඩාරනායක
සාකච්ඡා කළේ - චතුරි තරංගනී
ලංකාවට නිදහස ලැබෙන්න මූලිකවම බලපෑවේ ඉන්දියානු නිදහස් අරගලය. බි‍්‍රතාන්‍යයන් ඉන්දියාව අතහැර යන මොහොතේ ලංකාවටත් ඒ ආකාරයේම නිදහසක් දීලයි පිටව ගියේ. නමුත් ඉන්දියානු නිදහස් අරගලය දැවැන්ත අරගලයක්. මම හිතනවා කිසිම අරගලයකින් තොරව ලංකාවට නිදහස ලැබුණෙ ඉන්දියාවට නිදහස ලැබුණ නිසා කියලා.

ඉන්දියානු නිදහස් අරගලයේ අභ්‍යන්තරයට ගිහින් බැලූවොත් එහි කලාකරුවන් සාහිත්‍ය, නාට්‍ය, කවිය හා සංගීතය කියන සෑම ආකාරයකින්ම නිදහස් සටන මුවහත් කළා. ලාංකීය සමාජය තුළ එවැනි මුවහත් තැබීම් ඉතාමත් සීමිතයි. ඒ නිසා නිදහස ලැබුණට පස්සෙ අපේ ජනතාව ප‍්‍රධාන ගැටළුවකට මුහුණ දුන්නා. ඒ‘මේ නිදහස අපි රැක ගන්නේ කාගෙන්ද’ කියන අර්බුදයට.අද මේ රටේ ජීවත් වෙන කිසිම මිනිහෙක්ට සංස්කෘතික ජීවිතයක් නැහැ. ඒ ප‍්‍රශ්නය කලාකරුවන්ටත් පොදුයි. අපිට පේනවා පාලක පංතිය සෑම විටම නිර්මාණකරුවාගේ අදහස් ප‍්‍රකාශනයට එරෙහිව අවි දරමින් කලා කෘති නිශේධනය කිරීමක යෙදෙනවා. මේ තනි වීම, හුදකලා වීම නිසා කලාකරුවො පවා අපේක්‍ෂා භංගත්වයට පත් වෙනවා. ඊට පස්සෙ ඒ අපේක්ෂාවන්, අභිලාෂයන් ඉෂ්ඨ කර ගන්න දේශපාලකයින් පසුපස යා යුතුයි කියා කලාකරුවන් හිතනවා. ඊට හොඳම උදාහරණය වර්තමානය. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ සාත්‍රේලා, කැමූලා එදා සමාජයේ ඇති වූ හිඩැස මත දර්ශනවාදයක් ගොඩ නැඟූ ආකාරයටම දැන් ලාංකීය සමාජය තුළත් එවැනි දර්ශනවාදයක් ගොඩ නැඟීය යුතු අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා.

හැම අරගලයක්ම පරාජයට පත් වීම කියන්නේ තියෙන අභිලාෂයන් බිඳ වැටීමක්. අද මම හැම දේශපාලන කණ්ඩායමකම දකින්නේ බෙදී වෙන්වීම. ඔවුන් තුළ ජනතා අභිලාෂ ඉටු කිරීම සහ මිනිසුන්ට වැඩ කීරීමේ ශක්තිය හීන වෙලා. එය ඛේදවාචකයක්. අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගත හැක්කේ බිඳ වැටුණු බලාපොරොත්තු යළි දිනා ගැනීම මතයි. ඒක රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් නෙවෙයි. අද මානව හිමිකම් කියල දෙයක් මේ රටේ තියෙනවද කියලා පිරිසක් ප‍්‍රශ්න කරන කොට දැනුවත් භාවයෙන් තොර වූ තවත් පිරිසක් එය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයක ඉන්නේ. ඒක ජන සමාජයක් ඉතා දරුණුම තැනකට ඇද දමන භයානක විපතක්. මම හිතන හැටියට පාලක පන්තියෙන් ඈත් වෙලා අපිට මේ කථාව ගොඩ නඟන්න බැහැ. ඇත්ත වශයෙන්ම මෙයින් ජනයා ගැලවීමට නම් පාලක පන්තිය මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන ජනතාවට නැවත මානව හිමිකම් ප‍්‍රදානය කළ යුතුයි. අසූ හතේ දී සිදු වූ පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම්, ඝාතනය කිරීම් ඉදිරියේ සිවිල් සමාජය පෙරමුණ අරන් කටයුතු කරන කොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිය ආකාරය අපි දැක්කා. ඒවායින් ජනතාවට ශක්තියක් ලැබුණා.

හැබැයි අද ඒක ජනතාවට ශක්තියක් නොවන ආකාරයට ඉස්මත්තට ඇවිත් තියෙනවා. ඒකට හේතුව තිස් අවුරුදු යුද්ධය. එය බරපතල විනාශයක් ඇති කරල තියෙනවා. යුධ ජයග‍්‍රහණ වලින් පස්සේ ඒක අපට විපතක් ලෙස හඳුන්වන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් යම් නිශ්චිත අවසානයක් කරා පැමිණ තියෙනවා. අළුත් සංවාදයක් නැවත පටන් අරන් තියෙනවා. නමුත් අළුත් වුනාට ඒක පරණ එකක්. මාතෘකාව බලය බෙදා හැරීම. නැවත මේකට විරුද්ධ වෙන කණ්ඩායම් දකින්න ලැබෙනවා. මේ අද ඊයේ නෙවෙයි හැමදාම දකින්න තියෙන දෙයක්. දේශපාලනය තුළ වගේම සිවිල් සමාජයේත් මේ තත්ත්වය තියෙනවා. සිවිල් පුරවැසියෙක් විදිහට මේ සමාජය තුළ වර්තමානයේ සිදුවන හැම සිදුවීමකින්ම මම දැඩි කම්පනකට සහ කලකිරීමකට පත් වෙනවා. එක අවුරුද්දක් දෙකක් නෙවෙයි 71 කැරැල්ලේ සිට ජීවිත කාලෙම. මෙයට විසඳුමක් දීමේදී අවශ්‍ය කරන්නේ දෙමළ ජනයාටත් ඉහල සංස්කෘතික අංගෝපාංග තියෙන බව සිංහල ජනයාට ඒත්තු ගැන්වීම. ඒ වගේම සිංහල ජනයාගේ සංස්කෘතික ලක්‍ෂණත් දෙමළ ජනයාට ඒත්තු ගැන්වීම. මේක කලාව ඇතුළේ කල හැකි දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා මේ මොහොතේ මම උත්සාහයක නිරත වෙලා ඉන්නවා.

ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ මොහොතේ වඩාත්ම සංවේදී ජනතාව බවට දෙමළ ජනතාව පත් වී සිටිනවා. මේ මොහොතේ පුරවැසියා ඉදිරියට ප‍්‍රශ්නයක් දාලා තියෙනව ඔබ දේශ පේ‍්‍රමියෙක්ද දේශ ද්‍රෝහියෙක්ද කියල. අපි සිය කැමැත්තෙන් දේශද්‍රෝහීන් කියල කියන්න කැමති නැහැ. කවුරුහරි අපිව දේශද්‍රෝහීන් කියල නම් කරනව නම් ඒක කරන්න ඕන අපේ රූප දිහා බලලා නෙවෙයි. මේ ශ‍්‍රී ලාංකීය කලා නිර්මාණ ක‍්‍රියාවලියේ අපි කරපු නිර්මාණ පිළිබඳව තීන්දු කරලා. ඒක පුරවැසියාට තීන්දු කල හැකියි. යම් කෙනෙකුට නීතිඥයෙක් අරගෙන ගිහින් ‘මම දේශද්‍රෝහියෙක් නෙමෙයි’ කියල නිර්දෝශී වෙන්න පුළුවන් වුණත් මේ එහෙම තීන්දු කරන අවස්ථාවක් නෙවෙයි. නමුත් අපිට කිසියම් ආකාරයක වේදනාවක් ඇති වෙනවා අපි අපේ ජීවිතය කැප කළේ කුමක් සඳහාද කියලා. එහෙම දැනෙන තව කලාකාරයෝ කිහිපදෙනෙක් මේ සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි බහුතරය හිතනවා නම් අපි දේශපේ‍්‍රමීන් කියලා ඒ අය සැබෑ ලෙසම හිතට එකඟව කල්පනා කරල බලන්න ඕන ඔවුන් දේශද්‍රෝහීන් ලෙස නම් කරන කලාකරුවන් මේ සමාජයට කරලා තියෙන්නෙ මොනවද කියල.

Friday, October 23, 2009

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන

’නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කරු ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි පිළිබඳ ව පසුගිය දා කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද දේශනයක් ඇසුරෙනි.



ලංකාවෙ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නීති ගැන කතා කරන කොට ප‍්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් විශේෂයි.

1. මහජන ආරක්ෂක පනත හා හදිසි නීති රෙගුලාසි
2. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත

1947 අංක 25 දරණ මහජන ආරක්ෂක පනත පාර්ලිමේන්තුවේ සම්මත කළේ ලංකාවට නිදහස ලැබෙන්න මාස හයකට කලින්. ඒ කාලෙ හිටපු සමහර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මෙහි අනාගතය ගැන අනාවැකි කිව්වා. දකුණු කොළඹ මන්ත‍්‍රීවරයාව සිටි බර්නාඞ් සොයිසා මහතා කිව්වා සදාචාරයක් නැති ඇමතිවරුන් වගේම රාජ්‍ය නායකයින් මේ නීතිය පාවිච්චි කරල අහිංසක මිනිස්සු සිරභාරයට ගැනීම නවත්වන්න බැහැ කියලා. ඔහු එදා කියූ දේ කොතරම් හොඳට අද සිදුවෙනවද කියල පැහැදිලියි.

මහජන ආරක්ෂක පනත අනුවයි හදිසි නීති රෙගුලාසි පනවන්න පුළුවන්. හදිසි නීති රෙගුලාසි කියන්නෙ එම පනත යටතේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හදන රෙගුලාසි වලට.
අද පාර්ලිමේන්තුවේ හදිසි නීති රෙගුලාසි ගැන කතා කරන්නේ මාසයකට සැරයක් පමණයි. නමුත් ඉස්සර හදිසි නීති රෙගුලාසි අමුතුවෙන් සම්මත කරන්න අවශ්‍ය වුණේ නැහැ. ලංකාවේ හදිසි අවස්ථාවක් තියෙනවා කියල හදිසි නීති විවාදයේදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරල එම ප‍්‍රකාශය සම්මත කරගත් විට අනෙකුත් සියළුම නීතිත් ඉබේම ඒත් සමඟම සම්මත වෙනවා.

බොහෝ දෙනෙක් හිතනවා හදිසි නීතිය කියන්නෙ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ නීති කියල. ලංකාවෙ හදිසි නීති රෙගුලාසි පරීක්ෂා කරල බැලූවම පේනවා රාජ්‍ය ආරක්ෂාවට කිසිසේත්ම සම්බන්ධ නොවන බොහෝ නීති හදිසි නීතිය තියෙනතාක් දුරට රටේ නීති බවට පත් කරගෙන තියෙන බව. උදාහරණයකින් පැහැදිලි කළොත් හදිසි නීතිය යටතේ ලංකාවේ පළාත් සභා ඡන්ද කල් දැමීම හඳුන්වන්න පුළුවන්.

ඒවගේම හදිසි නීති රෙගුලාසි වෙනුවට පාර්ලිමේන්තුවේදී කතා කරන්නෙ ජනාධිපතිවරයා කරනු ලබන ප‍්‍රකාශනය ගැන. පාර්ලිමේන්තුවේ යම් කෙනෙක් හදිසි නීතියට විරුද්ධ වෙනව නම් ඒ විරුද්ධ වෙන්නෙ මේ ප‍්‍රකාශනයට. ඒත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පුළුවන් හදිසි නීති සංශෝධනය කරන්න. නමුත් මේ වෙනකම් මේ තියෙන රෙගුලාසි වෙනස් කරන්න කියල පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් ගෙනල්ල එවැනි උත්සාහයක් කරපු අවස්ථාවක්වත් අපි දැකල නැහැ.

හදිසි නීතිය නිසා රටට වෙන යහපත හෝ අයහපත ගැන පාර්ලිමේන්තු විවාදවල දකින්න නැහැ.ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පසුබිම ගැන කිව්වොත් 1978 අංක 16 දරණ පනතේ එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ එවැනි අනෙකුත් සංවිධාන තහනම් කිරීම කියල වගන්තියක් ගෙනාව. එහි අරමුණ වුණේ රට දෙකඩ කිරීමට යාපනය ප‍්‍රදේශයේ කැරළි ගසන සංවිධාන තහනම් කිරීම. මෙම පනත ගෙනාවෙ අවුරුද්දකට වලංගු කරමින්. එය සම්මත කරපු ගමන්ම එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බි‍්‍රගේඩියර් වීරතුංගව සියළු බලතල සහිතව යාපනයට යැව්වා. ඒ මෙම සංවිධාන සමූලඝාතනය කරල සාමය ගේන්න. නමුත් සාමය අවුරුද්දකින් ගේන්න බැරි වූ නිසා නැවත සංශෝධනයක් ගෙනැල්ලා මෙම පනත තවත් අවුරුද්දකට කල් දාගත්තා.

එය එසේ දීර්ඝ කර තිබියදීම 1979 ජුලි මාසයේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළා. එය සම්මත වූ පසුබිම සඳහන් කිරීමත් වැදගත්. එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සිටියේ එකසිය හැට අටයි. එදා හිටපු ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණා. මේ විවාදය වන කාලයේ ප‍්‍රධාන විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පාර්ලිමේන්තුව වර්ජනය කරල තිබුණේ. එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රිපාල සේනානායක මේ අළුත් පනතට විරුද්ධව ප‍්‍රකාශයක් කළා. එහිදී ඔහු ඇහුවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මහජන ආරක්ෂක පනත තිබියදී ඇයි තව එකක් ගේන්නෙ කියලා. 1971 දී ආණ්ඩුවට කොතරම් ප‍්‍රශ්න තිබුණත් වෙනත් පනත් ගෙනාවෙ නැහැ. ත‍්‍රස්තවාදී ව්‍යාපාරය සමූල ඝාතනය කළේ මහජන ආරක්ෂක පනත මඟින්. මෙම ප‍්‍රශ්නය යාපනයේ පමණක් තියෙන නිසා මෙම පනත යාපනය දිස්ත‍්‍රික්කයට පමණක් අදාළ කරන්න කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සංශෝධනයක් ගෙනාවා. නමුත් රජය එය පිළිගත්තේ නැහැ. මෙම පනත් කෙටුම්පත ගේන අවස්ථාවේ කැබිනට් මණ්ඩලය පිළිගත්තා එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ගැටෙන බව. ඒ නිසා ‘අපි මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කලාම ප‍්‍රශ්නයක් නැහැ’ කියල එදා ඔවුන් කිව්වා.

1979 දී මේ පනත ගේනකොට මෙම නීතිය ඉදිරි අවුරුදු තුනකට පමණක් වලංගුයි කියල එහි ප‍්‍රතිපාදනයක් තිබුණා. නමුත් 1982 දී ගෙනාපු සංශෝධනයක් මඟින් ඒ ප‍්‍රතිපාදනයත් ඉවත් කලා. එදා ඉඳන් අද දක්වාම මෙම නීතිය සාමාන්‍ය නීතියක් ලෙස ලංකාවෙ පවතිනවා.

රාජ්‍ය ආරක්ෂක පනත් යොදාගැනීම දී මතුවන එක් ප‍්‍රධාන ගැටළුවක් තමයි මේක මිනිස්සුන්ගේ නිදහසට කොහොමද බලපාන්නේ කියලා. මෙම රාජ්‍ය ආරක්ෂක නීති අයත් වෙන්නෙත් අපරාධ නීති අතරටමයි. මේ නීති සහ සාමාන්‍ය නීති අතර ප‍්‍රධාන වෙනස්කම් රාශියක් තියෙනවා. එකක් තමයි මේක යටතේ අත්අඩංගුවට ගත්තම ඇප ලබාගත නොහැකි වීම. එවිට අත්අඩංගුවට ගෙන අවුරුදු විස්සක් ගියත් නඩුව අහලා ඉවර වෙනකම් ඇප ලැබෙන්නෙ නැහැ.

දෙවෙනි කාරණය පොලිසියේදී දෙනු ලබන කටඋත්තරය. සෑම නඩුවකදීම පොලිසිය කටඋත්තර ගන්නවා. අපි හැමෝම දන්නවා පොලිසිය කටඋත්තර ගන්න ආකාරය. සමහර වෙලාවට කියන ඒවා ලියන්නෙ නැහැ. ලියන ඒව කියන්නෙ නැහැ. සමහර වෙලාවට හරියට ලියනවා වෙන්න පුළුවන්. නමුත් අපරාධ නීතියේ අවුරුදු සිය ගණනක් පරණ සිද්ධාන්තය තමයි පොලිසියේදී දෙන කට උත්තරය මත කෙනෙකු වැරදිකරුවෙකු කරන්න බැහැ කියන එක. එවැනි කට උත්තරයක් සාක්ෂියක් ලෙස යොදාගන්නේ නැහැ. එම කට උත්තර යොදා ගන්නේ තවත් අපරාධකරුවෙකු හොයා ගන්න. එහෙම නැත්නම් පරීක්ෂණ කටයුතු සඳහා පමණයි. අධිකරණ කටයුතු වලදී යොදාගන්න බැහැ. නමුත් අවාසනාවකට මේ නඩු වලදී පාපොච්චාරණය යොදා ගන්න පුළුවන්.

ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ නීතිය යටතේ අත්අඩංගුවට ගත්තම හරිද වැරදිද නොබලාම ඒ පුද්ගලයාගෙන් කට උත්තරයක් අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. එහිදි විත්තිකරුගේ ප‍්‍රකාශයම සාක්ෂි ලෙස ඔහුට එරෙහිව යොදා ගැනීම සිදු වෙනවා. එය මිනිස්සුන්ගේ නිදහසට අභියෝගයක්. දඞූවම් නියම කරනකොට සාමාන්‍ය නීතිවල සඳහන් වෙන්නේ උපරිම දඞූවම. උදාහරණයක් කිව්වොත් මිනීමැරීමකට දෙන උපරිම ද`ඩුවම මරණ දඞූවම. ස්ත‍්‍රී දුෂණයට අවුරුදු විස්සක සිරදඞූවම. නඩුවේ කරුණු අනුව දඞූවම අවුරුදු විස්සක් දෙනවද අවුරුද්දක් දෙනවද කියන එක තීරණය කරන්න විනිශ්චයකරුට අභිමතය තියෙනවා. නමුත් මේ කියන නඩුවල එවැනි කතන්දර නැහැ. මාධ්‍යවේදී තිස්සනායගම්ගේ නඩුව ගත්තොත් අවම දඞූවම අවුරුදු පහයි. උපරිම දඞූවම අවුරුදු විස්සයි. විනිශ්චයකරුට ඒක අවුරුද්දක් කරන්න බැහැ. ඒක තමයි මේ නීතියේ ස්වභාවය. මේ නඩු වලදී මුළු නඩුවම රඳා පවතින්නේ නීතිපති දෙපාර්තුමේන්තුව මත. ඒ නිසා එතුළ දේශපාලඥයන්ගේ ඉල්ලීම් වලට කටයුතු නොකරන, නීතියට අනුව කටයුතු කරන අවංක නීතිඥවරු සිටීම අත්‍යවශ්‍යයි.

අපි හැමදෙනාම නොදන්න කරුණක් මේ පනත යටතේ පවතිනවා. ඒ හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත දහස් ගණනක් අත්අඩංගුවට අරගෙන නඩු දාන්නෙ නැතුව අවුරුදු දෙක තුන හිරේ ඉඳලා ගෙදර යන බව. එවැනි අති විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. අත්අඩංගුවට අරන් කෙනෙකුගේ නිදහස සීමා කරන්න පුළුවන් අධිකරණ තීන්දුවක් මත පමණයි. නමුත් අද එය තීරණය කරන්නෙ ආරක්ෂක ලේකම්වරයා එනම් විධායකය විසින්. ජාත්‍යන්තරව පිළිගත් නීතිමය සිද්ධාන්තයට අනුව අත්අඩංගුවට ගත් කෙනෙකු රඳවාගත හැක්කේ සාමාන්‍ය නීතිය යටතේ පැය විසිහතරයි. නමුත් මෙම ත‍්‍රස්තවාදී පනත මෙන්ම හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය ආරක්ෂක ලේකම්ගේ අත්සන මත මාස තුනෙන් තුනට රඳවා ගන්න පුළුවන්. ඔවුන් රඳවන්නේ රිමාන්ඞ් බන්ධනාගාරවල නෙමෙයි. නමුත් වාසනාවකට වගේ අද දවස් අනූවකට වඩා රඳවා ගන්නා පුද්ගලයෙක් රැඳවිය යුත්තේ රිමාන්ඞ් බන්ධනාගාරවල. තිස්සනායගම් දවස් සීයක් පමණ උසාවියට ඉදිරිපත් නොකර පොලිසියේ රඳවාගෙන හිටියා. නමුත් නීතියට අනුව දවස් අනූවක් පමණයි පොලිසියේ රඳවගෙන ඉන්න පුළුවන්. පළමු දවස් තිහෙන් පස්සෙ උසාවියට ඉදිරිපත් කරන්න ඕන. එසේ කළ යුත්තේ ඔහු ඉන්න බව පෙන්වන්න විතරයි. නමුත් නිදහස් කරන්න බැහැ. නිදහස් කරන්න පුළුවන් නීතිපතිවරයාට. නැත්නම් නඩුව අවසන් වූ පසු මහාධිකරණ විනිසුරුවරයෙකුට පමණයි.

තිස්සනායගම් නඩුව පිළිබඳව අද යම්කිසි කතිකාවතක් ඇති වී තියෙනවා. මේ නීතිය යටතේ සිරගත වූ සහ රඳවාගෙන ඉන්න අතිවිශාල සංඛ්‍යාවක් ඳ්‍රවිඩ ජනතාව. එක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ අය. අපිට මේ පිළිබඳ හඩක් නැහැ. ඒ අපට මේ නීති අවශ්‍යද නැද්ද කියල ප‍්‍රතිපත්තීන් වශයෙන් අපි වැනෙන නිසා. මෙය අවශ්‍ය නම් ඒ මොන සංශෝධන වලට යටත්වද. අවශ්‍ය නැත්නම් ඒ ඇයි කියන තර්කය ගෙන ඒම අවශ්‍යයි. මගේ මතය නම් ලංකාවෙත් ලෝකයෙත් මෙම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලයෙ ඉන්න දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන පලිගැනීම් සහ උවමනාවන් වෙනුවෙන් ගෙන ආ දෙයක්. මේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන. මේ ප‍්‍රබල නීති ඉවත් කරන්න අපි පාරට බහින්න ඕන. ඒ සඳහා ප‍්‍රබල කැපවීමක් අවශ්‍යයි. අපි අද කතාකරන තිස්සනායගම් හිරේ ඉන්නේ මේ නීතිය තිබුණු නිසා. ඔහුගේ නඩු තීන්දුව බැලූවම පේනවා මෙම නීතිය මත සිදුකරන ලද පාපොච්චාරණයක් නොවෙන්න මේ පුද්ගලයා හිරේ යන්න කිසිම හැකියාවක් නැහැ කියලා. මේ ඉරණම අත් වූ පළමු තැනැත්තා හෝ අවසන් තැනැත්තා මොහු කියල මම විශ්වාස කරන්නෙ නැහැ.

Back to Home
View PDF

ලංකාවේ අතීත මාධ්‍ය වීරයන්ගේ වර්තමාන භූමිකාව සහ හිට්ලර් සමඟ එකතු වුණු මාෂල් පෙටෝන්

ආණ්ඩුව විසින් පුවත්පත් මණ්ඩලය යළි බලාත්මක කිරීම හරහා ජනමාධ්‍යවේදීන් හට ලියන්නට සහ කියන්නට ඇති අයිතිය උදුරා ගැනීමට එරෙහිව ජනමාධ්‍ය සංවිධාන හතක මූලිකත්වයෙන් සම්මන්ත‍්‍රණයක් පසුගිය 29 වෙනිදා කොළඹ ජයවර්ධන කේන්ද්‍රයේදී පැවැත්විණි.

‘පෙනෙන - නොපෙනෙන, දැනෙන - නොදැනෙන මාධ්‍ය මර්දනයට එරෙහිව’ යනුවෙන් නම් කර තිබූ මෙම සම්මන්ත‍්‍රණය ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය, ශ‍්‍රී ලංකා වෘත්තීය පත‍්‍ර කලාවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය, ශ‍්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සන්ධානය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය යන මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදී පුවත්පත් මණ්ඩලය වහා අහෝසි කරන්නැයි බල කර ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ වෙත යැවීමට සූදානම් කර තිබූ සංදේශයට ජනමාධ්‍ය ප‍්‍රධානීන් සහ විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරීය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජානතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, නව සිහළ උරුමය පක්‍ෂයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරුද, සිවිල් සංවිධාන කි‍්‍රයාකාරිකයින් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අත්සන් තැබූ අතර මෙම පෙත්සම ඉදිරියේදී ජනතාව ලවා අත්සන් කිරීමට ද නියමිතය.
පහත පළවන්නේ මෙම සම්මන්ත‍්‍රණයේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ විසින් පළකළ අදහස් වලින් උපුටා ගන්නා ලද කොටසකි.


මේ රටේ ජනතාවට තමන්ගෙ අදහස් ප‍්‍රකාශ කරන්න, කැමති එකක් ලියන්න, කැමති එකක් කියවන්න, කැමති එකක් කතා කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. පොත්පත් වලින් කියවන්න පුළුවන්. පුවත්පත් වලින් කියවන්න පුළුවන්. වෙබ් අඩවි වලින් කියවන්න පුළුවන්. එය තනියම කරන්න බැහැ. ඒ සඳහා තොරතුරු හුවමාරු කරගන්න හැකියාවක් තියෙන්න ඕන. මේ අයිතිය ලැබෙන්නෙ මාධ්‍ය මාර්ගයෙන්. තොරතුරු ලබා දෙන්නෙ මාධ්‍ය විසින්. හැම මාධ්‍යයටම හැම තොරතුරක්ම ලබා දෙන්න බැහැ. එක් එක් මාධ්‍ය තමන් දන්න තොරතුරු ලබා දෙනවා. ජනතාවට අයිතියක් තියෙනවා ඒ අදහස් ලබා ගන්න. ඒ නිසා මාධ්‍ය මර්දනය කරනවා කියන්නෙ ජනතාව මර්දනය කරනවා කියන එකයි.
අද මාධ්‍ය දිහා බැලූවම මට මතක් වෙනවා පිලිප් පෙටෝන් ගෙ කතාව. පළමුවෙනි ලෝක යුද්ධයෙදි ප‍්‍රංශ හමුදා නායකයා විදිහට ජර්මන් හමුදාව පරාජය කරන්න කටයුතු කළේ පිලිප් පෙටෝන්. ඒ ජයග‍්‍රහණය නිසා ජෙනරල් පිලිප් පෙටෝන්ට මාෂල් කියන තනතුර දුන්නා. ඔහුට කිව්වෙ ප‍්‍රංශයේ ආරක්ෂකයා කියලා.
දෙවන ලෝක යුද්දෙදි ජර්මනිය හමුවේ ප‍්‍රංශ හමුදා පසු බහිද්දි ප‍්‍රංශ පාර්ලිමේන්තුව ජර්මනියට විරුද්ධව මුහුණ දෙන්න ජාතික ආණ්ඩුවක් සෑදීමට තීරණය කළා. එහි අගමැති වශයෙන් මාෂල් පිලිප් පෙටෝන් ව පත් කළා. එයා සමඟ සටන මෙහෙයවපු නියෝජ්‍ය යුද්ධ ඇමති චාල්ස් ඩිගෝල්වත් පත් කළා. නමුත් මොකක්ද සිදුවුණේ? මාෂල් පෙටෝන් ප‍්‍රංශයේ නිදහස ආරක්ෂා කරන්නෙ නැතුව හිට්ලර් එක්ක එකතු වෙලා ප‍්‍රංශය පාවල දීල හිට්ලර්ට යටත් වුණා. පළමුවෙන් ප‍්‍රංශයෙන් බාගයක් හිට්ලර්ට දුන්නා. ඉන්පසු ඉතිරි බාගෙනුත් බාගයක් දුන්නා. අන්තිමේ මුළු ප‍්‍රංශයම පාවල දීල ‘හිට්ලර් තමයි අපේ නායකයා’ කියල කිව්වා. හොඳ වෙලාවට එයාගෙ ගෝලයා ව හිටපු චාල්ස් ඩිගෝල් එංගලන්තයට පැනල ගිහිල්ලා, ආපහු ඇවිත් ප‍්‍රංශය නිදහස් කරගෙන විමුක්තිය ලබල දුන්නා.
ඉතින් මාෂල් පෙටෝන් ගෙ කතාව තුළින් පේන්නෙ එදා ප‍්‍රංශයේ නිදහස ආරක්ෂා ව වෙනුවෙන් පෙරමුණේ හිටපු පුද්ගලයාම පස්සෙ කාලෙක ප‍්‍රංශ නිදහස පාවා දුන් බවයි. මට කණගාටුයි කියන්න. අද ලංකාවෙ මාධ්‍යවේදීන් අතරත් මාෂල් පෙටෝන් ලා ඉන්නවා.


Back to Home
View PDF

Friday, October 2, 2009

දේශපාලනයට එන කාන්තාවන්ට ලිංගිකත්වය ඈදා ගෙන පහර ගැසීම හෙළා දැකිය යුතය

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
තාරා ශ‍්‍රී රාම්



කුමුදුනී සැමුවෙල්
අධ්‍යක්ෂිකාකාන්තාව හා මාධ්‍ය සාමුහිකය

ලංකා දේශපාලනය තුළ සංඛ්‍යාත්මකව කාන්තා නියෝජනය අඩුයි කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් ඒකට හේතුව පක්ෂවලින් ඉදිරිපත් කරන කාන්තාවො ජයග‍්‍රහණය කරන්නෙ නැහැ කියන ප‍්‍රකාශය සහමුලින්ම වැරදි තර්කයක්. අපි මෙතෙක් කරල තියෙන පර්යේෂණ සහ විශ්ලේෂණ වලට අනුව ප‍්‍රධාන ධාරාවේ පක්ෂ ගත්තම හැමදාම ඔවුන් කාන්තාවන්ට ලබා දී තිබෙන්නෙ සීයට පහකට අඩු අපේක්ෂකත්වයක්. දේශපාලනය කළ හැකි දේශපාලනයේ නියැලෙන ගැහැණු නැහැ කියන්නෙ සම්පූර්ණයෙන් ම පුහු තර්කයක්. ඉදිරිපත් කළොත් කාන්තාවො දිනනවා. අනර්කලීගේ සුදුසුකම් ගැන මම කතා කරන්නෙ නැහැ. කුමන සාධක මත හෝ ඇය ඡන්දෙට ඉදිරිපත් වුණා වෙන්න පුළුවන්. මගේ ප‍්‍රශ්නය අනර්කලී වගේ කෙනෙක් දේශපාලන කරලියට ඇවිත් ඡන්දයට ඉදිරිපත් වෙනකොට ඇයි ඇයට මරණ තර්ජන කරන්නේ. ලිංගිකත්වය ඉස්මතු කරගෙන ඉතාම අසික්කිත ලෙස ඇගේ චරිතය ඝාතනය කරන්නෙ. අපි මේ ක‍්‍රියා සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. දේශපාලනික වශයෙන් කාන්තාවන් මානසිකව හා ශාරීරිකව අඩපණ කිරීමේ උපක‍්‍රමයක් ලෙස අනර්කලීට විතරක් නෙවෙයි ලෝකෙ පළමු අගමැතිණිය වුණ සිරිමාවෝගේ පටන් ලිංගිකත්වය ඈදාගෙන පහර ගැසීම සිදු වුණා.අනර්කලී වෘත්තීය නිළියක්. ඈ අඳින්නෙ පළඳින්නෙ ඇගේ වෘත්තිය අනුව. ඒ මත පිහිටා දේශපාලනය තුළ ඇයව ගැරහීම අපි ප‍්‍රශ්න කළ යුතුයි. විජය සහ රන්ජන් කියන්නෙත් නළුවො. ඔවුන්ට මේ විදිහට අපහාස කළාද? මේවා ගෑණුන්ට කරන නින්දා. මට හිතාගන්න බැහැ ඇයි ප‍්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙක ගමේ මහිලා සමිතියේ, සමෘද්ධි සමිතියේ, මරණාධාර සමිතියේ ක‍්‍රියාකාරීව කටයුතු කරන දක්ෂ දේශපාලන ඉතිහාසයක් තියෙන කාන්තාවන් සිටිත්දී දේශපාලනයේ නියැළී නැති කාන්තාවො පිටින් ගෙනත් ඉදිරිපත් කරන්න කියල. මේක කාන්තාවන්ට විතරක් නෙවෙයි අදාළ. ප‍්‍රවණතාවක් විදිහට කතා කළොත් පක්ෂ තුළ ගතානුගතිකව කාලයක් වැඩ කළ ගැහැණුන්ට සහ පිරිමින් සිටියදී සම්පූර්ණයෙන් ම වෙනත් කටයුතුවල නියැළී සිටි අය ඡුන්ද ලැයිස්තුවට දානවා අපි දකිනවා. මම අහනවා මේ පක්ෂවලින් එවැනි ගැහැණු පිරිමි තෝරා ගත හැකි අභ්‍යන්තර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ඔබලාගේ පක්ෂවල නැද්ද කියලා. පිරිසිදු යහ පාලනයක් ගැන කතා කරනවා එය සිදුවිය යුතුමයි. මම කියන්නෙ නැහැ ඉදිරිපත් වෙන හැම කෙනෙකුටම සුදුසුකම් තියෙනව කියල. නමුත් සුදුසුකම් ඇති අය හොයා ගන්න පක්ෂවලට හැකිවිය යුතුයි. ඒ වගේම අධිෂ්ඨානයක් තිබිය යුතුයි. එහෙම නොකරන තාක් ඔවුන්ට සිදුවෙනවා පිටින් ගෙනාපු ගැහැණු පිරිමි ඡුන්ද ලැයිස්තුවලට ඇතුළත් කරන්න.

Back to Home
View pdf

අනර්කලීගේ ආගමනය සමාජ ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.




අනර්කලීගේ ආගමනය සමාජ ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්
හසිනි හපුතන්ත‍්‍රි යොවුන් ලේඛිකා

ලාංකික ස්ත‍්‍රී දේශපාලනය තුළ ලංකාවෙ තීන්දු තීරණ ගන්නා ස්ථානයක ස්ත‍්‍රියගේ රික්තය පුරවන්න අනර්කලීට ඇති හැකියාව මට තාම පැහැදිලි නැහැ. ඇය වෙනත් ස්වරූපයකින් අපේ කම, ගමේ කම, සුචරිතවාදය මුල්කර ගත් සාම්ප‍්‍රදායික ස්ත‍්‍රී ආදර්ශයට අභියෝග කළ බව ඇත්ත. ඇඳුමෙන්, පැලඳුමෙන් හා ජීවන රටාවෙන් පමණක් නෙවෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලියි කියා අපි අඳුනන කාන්තාවන්ට පවා කළ නොහැකි විදිහට තම පෞද්ගලික ජීවිතය ගැන විවෘතවීමට ශක්තියත්, එය මතභේදයට තුඩුදුන් චරිතයක් සේ හැගෙන පරිදි යොදා ගැනීමේ හැකියාවත් ඇයට තිබුණා. නමුත් එය ප‍්‍රගතිශීලියි වගේ පේන්නෙ ඇගේ ස්ත‍්‍රී භාවය අල්ලගෙන එයට මඩ ගහන්න තරම් සමාජය පසුගාමී හා කුහක වීම නිසා මිසක් ඈ තුළ ප‍්‍රගතිශීලී අදහස් තිබෙන නිසා කියා මට පිළිගන්න බැහැ. අනික් අතින් අපේ කාලයේ සෙක්ස් සිම්බල් එකක් වන ඇය ඊට හාත්පසින් ම ප‍්‍රතිවිරුද්ධ මත නියෝජනය කරන ප‍්‍රවාහයක අපේක්ෂිකාවක් වීම ඉතාම පරස්පරයි. ඉහළින් අනුමත වෙනතාක් ඕන කෙනෙකුට ඕන දෙයක් වෙනුවෙන් එක එක කාලවලදී පෙනී සිටින්නට පුලූවන්. ස්ත‍්‍රී පුරුෂ භාවය ඊට අදාළ නැහැ. ඇය හසුරුවන අයගේ හා ක‍්‍රමයේ උවමනාවන් මත ටික දවසකින් අනර්කලී සාරියක් ඇඳගෙන ශ‍්‍රී ලාංකික කුල කාන්තාවක් බවට පත් වෙන්නත් පුළුවන්. ඕනෑම ස්ත‍්‍රියක් අඳුනන කෙනෙක් අඩ ගහපු නිසා දේශපාලනය කිරීම ස්ත‍්‍රී දේශපාලනය නෙවෙයි. ඇය ජනතා නියෝජිතවරියක් විය යුතුයි. පවත්නා ක‍්‍රමයේ රූකඩ ගැහැනියක් නොවී ඉන්න අවශ්‍ය දේශපාලන ඥනය, බුද්ධිය, ශූර භාවය ඇයට ලැබුණොත් හොඳයි. නමුත් තවම ඒ ලක්ෂණ අනර්කලීගෙන් මම දැකල නැහැ. ඒ නිසා අනර්කලීගේ දේශපාලන ආගමනය ස්ත‍්‍රී අරගලයේ ජයග‍්‍රහණයක් නෙවෙයි. ඒක ඇගේ ආසාර්ථකත්වයට වඩා මේ සමාජය අපි පවත්වාගෙන යන ක‍්‍රමයේ අසාර්ථකත්වයයි.

Back to Home
View pdf

දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කලී සාධකය

අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.



කුටුම්භය තුළ අනර්කලීගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ

නිමල්කා ප‍්‍රනාන්දු
සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කාන්තා සන්ධානයේ කැඳවුම්කාරිය

ඉන්දියාවේ සමහර ජන සමාජවල කාන්තාවක් පිරිමියෙක් අතින් දුෂණයට ලක්වුණාම ඇයට මාවත් දෙකක් තිබෙනවා. එකක් නීතිය හමුවට ගොස් ඒ මාර්ගයෙන් කටයුතු කර දුෂකයාට දඬුවම් දීම. කාන්තාවක් දුෂණය වීම නීති විරෝධී දෙයක්. ඒ අනුව, ඇය තෝරා ගන්නා පළමු මාවතේදී දුෂණයට විරුද්ධව නීතිය ඉදිරියට ගොස් සටන් වැද යුක්තිය ඉටු කරවා ගැනීමට හැකිය. එය අභියෝගයකි. එමඟින් මෙවැනි නීති විරෝධී ක‍්‍රියා පුද්ගලයා හෝ සමාජය අනුමත නොකරන්නේය යන පණිවිඩය ලබාදෙයි.
දෙවැනි මාවත තමාට සිදු වූ අපරාධයට විරුද්ධව නීතිය හමුවට ගොස් යුක්තිය ඉටු කර ගැනීම පසෙකලා දුෂකයා සමඟ විවාහ වී අපරාධය යටපත් කර අපරාධකරු සමඟ සම්මුතියකට පැමිණීමයි. එමඟින් ඈ තමාට සිදු වු හානිය හානි පූරණය කරගෙන පුරුෂාධිපත්‍යයට යටත් වන්නීය.
කාන්තාවන් දේශපාලනයට පිවිසීම හා අනර්කලී කියන සාධකය ගත්තම ඇය මේ රඟ දක්වන භූමිකාව වටහා ගැනීමට ඉහත සිදුවීම අපට මඟ පෙන්වයි.
සමාජයේ කාන්තා දේශපාලන නියෝජනය වැඩිවිය යුතුයි යන හඬ නැඟී එන්නේ, පවතින සමාජය වඩා යහපත් ලෙස වෙනස් විය යුතුයි යන අරගලය හරහා. එසේම වරප‍්‍රසාද අහිමි වූ අයටත් සමාජයේ ඉදිරියට පැමිණීමට ඉඩ ප‍්‍රස්තාවන් ලැබිය යුතුයි යන සමානාත්මතා සංකල්පය හරහායි. එහිදී කාන්තාවන්ට එකී දේශපාලන නියෝජනය ලබා ගැනීම සහ සමානාත්මතාව ලබා ගැනීම යන කාරණාවේදී ඇය දේශපාලනික ලෙස බලමුළු ගැන්වීම සහ වෙනත් පීඩිත ජන කොටස්වල අරගලයන් සමඟ කාන්තා අරගලය ඒකාබද්ධ වීම සිදුවිය. ඒ අනුව මුල් යුගයේ අපි ඇයගේ අයිතීන් හඳුන ගෙන ඇයව සංවිධානය කර බල ගන්වලා ඈ සතු අයිතිය ලබා ගන්න අරගල කළා.
නමුත් පන්ති අරගලය යන කාරණය යටපත් වීමත් සමඟ පවතින සමාජය විපර්යාසයට ලක්කළ යුතුයි යන සංවාදය බොඳවී ගිහින් එය එසේම පවතිද්දි නීතිමය හා ව්‍යවස්ථානුකූල වෙනස්කම් ඇති කිරීම මඟින් කාන්තාවගේ තත්ත්වය වැඩි දියුණු කිරීමට හා ඇගේ භූමිකාව ප‍්‍රවර්ධනය කිරීමට මැදිහත්විය යුතුයි යන අදහස පෙරට ආවා. නමුත් එහිදී ඈ එතෙක් කළ අරගලය, විමුක්තිය කියන අංග නිලීන වී නීති රාමුව තුළ අයිතිවාසිකම් දිනාගැනීම නැමැති කරුණ ප‍්‍රමුඛ වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්ද දිනා ගැනීමට කටයුතු කළ යුතුය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කාන්තා දේශපාලන නායකත්වය ප‍්‍රවර්ධනය කළ යුතුය යන්න යටපත් වී සංඛ්‍යාත්මකව කාන්තාවන් කී දෙනෙක් නියෝජනය වෙනවාද යන සූත‍්‍රයට වැඩි වටිනාකමක් ලැබුණා. මේ නිසා කාන්තා දේශපාලඥවරියන් වෙනුවට තාක්ෂණවේදිනියන් නැත්නම් ටෙක්නොක්රැක්ට්ලා බිහිවුණා.
ඒඅනුවයි කාන්තාව දේශපාලනයට වැඩිපුර කැන්ඳගෙන එන්න පටන් ගත්තෙ. සංඛ්‍යාත්මක නියෝජනය කියන කාරණය ඉස්මතු වෙනකොට පාලකයො අපිට කියන්න පටන් ගත්තා ‘උඹලට ඕන ගෑනු නියෝජනය වැඩි කරන්නනේ. මෙන්න එහෙනම් ගෑනු. දැන් ඡන්දය දීපල්ලා’ කියල. කාන්තා දේශපාලන නියෝජනය වැඩි කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් තුළින්. තාක්ෂණවේදිනියන් බිහි කිරීමෙන් නෙවෙයි. ඒ නිසා අපි කියා සිටිනවා අපේ කාන්තාවො ඔය ඇම ගිලින්න ලැහැස්ති නොවිය යුතුයි කියලා.
අද මේ සූත‍්‍ර ක‍්‍රමයට වහල් වී බොහෝ දෙනෙක් කාන්තාවන් වැඩි පිරිසක් දේශපාලනයට පිවිසිය යුතුයි කියන මතය අනර්කලී කියන සාධකය හරහා සාධාරණීකරණය කරනවා. එසේම පුරුෂාධිපත්‍යය කියන සාධකයට දේශපාලනික ලෙස අභියෝග කළ හැක්කේ ඊට පරස්පර විරෝධීව කටයුතු කරන කාන්තාවන් එතුළට ගෙන ඒමෙන් යන කාරණය තෙක් සමාජය තල්ලූ වී ගොස් තිබෙනවා. නමුත් මෙයින් සිදු වෙන්නෙ කාන්තාවන් දේශපාලනයට පැමිණීම හා ක‍්‍රියාකාරී වීම ඉලක්කම් වලින් ගණනය කිරීම පමණයි. ඒ ඔස්සේ කෝටා එක කොපමණක් ද හා නියෝජනය කොපමණක්ද කියන ප‍්‍රමාණාත්මක කාරණා පස්සෙ දිවීමට පටන් ගත්තා මිස ගුණාත්මක කාරණා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කාන්තා දේශපාලනය ඉස්මතු වුණේහෝ වර්ධනය වුණේ නැහැ. එම පදනමෙන් ගත්තම කාන්තා නියෝජනය වැඩි වූවාට පවතින දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කිරීමට ඔවුන් සමත් වෙන්නෙ නැහැ.
ලංකාව වගේ වැඩවසම් පාලනයක් ක‍්‍රියාත්මක වෙන රටක කාන්තා දේශපාලනයට අනර්කලී වැනි චරිතයක් පැමිණීම ජනතාවට රස විඳින්නට ටොෆියක් ලබා දීමට සමානයි.
දේශපාලනය තුළට ලිංගිකත්වය යොදා ගැනීම ගැන අපිට බරපතල විවේචනයන් තියෙනවා. තමන්ට ප‍්‍රචණ්ඩත්වය එල්ල කළ පුද්ගලයින් සමඟම එකම දේශපාලන ව්‍යාපාරයක් තුළට එකතු වී කටයුතු කිරීම ඇතුළෙ බරපතල ව්‍යාජයක් තිබෙනවා. තමන්ට සිදු වුණු අපරාධයට යුක්තිය ඉටු කරවා ගන්නට හෝ හානි පූරණය කර ගන්නට ‘මටත් චාන්ස් එකක් දෙන්න’ කියා කේවල් කිරීමෙන් නීතිය පළ රහිත වෙනව. ඒ ස්ත‍්‍රී දේශපාලනයෙන් පළක් නැහැ. සමාජයේ හැම ස්ථරයකම මේ දේ සිදුවෙනව නම් දේශපාලනය කියන කාරණයේදීත් අපට වෙනවා ඒ ක‍්‍රමයම අනුගමනය කර ඉඩ පුරවා ගන්න.
අනර්කලී කියන ප‍්‍රතිරූපය පසුගාමී වැඩවසම් චින්තනයේ නිරූපණයක්. කුටුම්බය තුළ ඇගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ. ඇය කුටුම්බයේ නිරූපිත ප‍්‍රචණ්ඩත්වය අභියෝගයට ලක් කිරීම කියන මාවතේ නොගොස් අර ඇතැම් ඉන්දියානු කාන්තාවන් මෙන් හානි පූරණය කර ගැනීමට කේවල් කළ කාන්තාවක්. ඇය තමා කෙරේ මුදාහැරපු කුටුම්බ ප‍්‍රචණ්ඩත්වයට අභියෝග කරනවා නම් ඇගේ දේශපාලන ආගමනය සිදුවිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්. අද ඇය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ හැමදාම පුරුෂාධිපත්‍ය කුටුම්භය දේශපාලනගත කළ පක්ෂයක්.
ඒ නිසා අනර්කලීගේ දැක්ම වැරදියි. ඒක බය නැතුව කියන්න අපිට හයිය තියෙන්න ඕන. ඇයගේ දේශපාලන ආගමනයෙන් වෙන්නෙ මෙතෙක් අපේ කාන්තාවන් දිනාගත් අයිතීන් සුන්නද්ධුලි වී යාම. ඇයට ඡන්දය දෙන්න කියා සිටීමම පුරුෂාධිපත්‍යයට යටවීමක්. ඇයට දේශපාලන අපරාධයක් සිදුවෙලා තියෙනවා. ඇය දේශපාලනය නිසා අතරමං වූ, ඒ දේශපාලනයේම ගොදුරක් වූ කාන්තාවක්. එහෙනම් ඈ ගත යුතු වන්නේ විකල්ප මාවතක්.
ඇඳුමෙන් පැළඳුමෙන් ගැහැණියක් මොඩර්න් වෙන්නෙ නැහැ. ඊට වඩා ඔසරියක් ඇඳි ගැහැණියක් බොහෝ සෙයින් නවීන සිතුවිලි වලින් යුතු කෙනෙක් විය හැකියි. මේක ඇඳුමෙ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒ දැක්මෙන් ලඝු නොකළ යුතු දෙයක්. අපිට වැදගත් වෙන්නෙ කාන්තාවන් දේශපාලනයට පැමිණීම තුළින් අවදි වන ඔවුන්ගේ සමාජ හැසිරීම සහ ඔවුන් ප‍්‍රවර්ධනය කරන අයිතීන් යන කාරණායි.
එම නිසා අනර්කලීගෙ භූමිකාව විවේචනය කරන්න මම කිසිසේත් බය වෙන්නෙ නැහැ. මේක ගැරහීමක් නෙවෙයි. විවේචනයක්. විවේචනය දේශපාලනයට අත්‍යවශ්‍ය දෙයක්. ඇය චරිතයක් විදිහට දේශපාලන වාසි තකා ඉදිරිපත් වීමට අපි විරුද්ධයි. මේ අවස්ථාවේ රටේ පවතින පාලනය අපරාධකරුවන් පෝෂණය කරන ඒකාධිකාරී පාලනයක්. ඒ තුළ අනර්කලී කළේ එකී පාලනය තුළට පැමිණ කේවල් කරමින් එය අනුමත කිරීමක්. එය කාන්තා දේශපාලනය නෙවෙයි.

Back to Samabima

View pdf

Monday, September 28, 2009

මාස්ටර්ලට එක විදිහක් සාමාන්‍ය ජනතාවට තව විදිහක් ඇයි?

මට හිටියෙ දුවලා තුන් දෙනයි. ඒ තුන් දෙනාම දැන් අතුරුදහන්. මගේ දරුවන්ට වුණේ මොකක්ද කියල නොදැන මට ජීවත්වෙලා වැඩක් තියෙනවද?..

මේ කතාව ඇසුණේ ඉකුත් බදාදා කොළඹදී සිවිල් අධීක්ෂණ කොමිසම විසින් සියළු අතුරුදහන් වූ සහ නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා හිතවතුන්ගෙන් තොරතුරු රැස්කළ අවස්ථාවට පැමිණ සිටි වයස්ගත දෙමළ ජාතික මවකගේ මුවිනි. වවුනියාව, අනුරාධපුර, යාපනය, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල, කොළඹ, මූතූර්, කන්කසන්තුරේ හා පේදුරුතුඩුව වැනි ඉතා දුර බැහර සිට දෙදහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ඔවුන්ගේ තොරතුරු රැස්කිරීමෙන් අනතුරුව ප‍්‍රවෘත්ති සාකච්ඡුාවක් ද කැඳවා තිබුණි. ඉකුත් වසර කිහිපය තුළ මෙරට සිදු වූ අතුරුදහන් වීම්, ඝාතනය වීම්, නීති විරෝධී රඳවා තබා ගැනීම් ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ ජත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු සමස්ත ජාත්‍යන්තර ප‍්‍රජාව දැනුවත් කිරීම සඳහා සකස් කළ ලියවිල්ල ද මෙහිදී ප‍්‍රකාශයට පත් කරන ලදි. සිවිල් අධීක්ෂණ කොමිසමේ කැඳවුම්කරු මනෝ ගනේෂන්,විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, ජයලත් ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද, සිරිතුංග ජයසූරිය, එන්. කුමරගුරුබරන් හා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු බි‍්‍රටෝ ප‍්‍රනාන්දු යන පිරිස ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ. එහිදී ඔවුන් පළ කළ අදහස් වලින් කොටස් කිහිපයක් මෙවර සමබිමෙ හි පළ කිරීමට අපි අදහස් කළෙමු.






විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ
අද මනෝ ගනේෂන්, සිරිතුංග මේ අතුරුදහන්වීම් සහ මානව හිමිකම් කඩ කිරීම් ගැන කියන්න ලෝකෙ වටේ යන්න ලෑස්තියි. ඔවුන් ඒව ලෝකෙට රැගෙන යාම ගැන මම කිසිවක් කියන්නෙ නැහැ. මොකද, මෙවැනි කාරණා ලෝකෙට කියන්න මුලින් ම පුරුදු කළෙත්, ඒව අරගෙන ලෝකෙ වටේ යන සම්ප‍්‍රදාය ඇති කළෙත් මහින්ද රාජපක්ෂ. එදා ඔහු කිව්වෙ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා වලට විතරක් නෙවෙයි නරකාදියටත් යන්න තමන් ලෑස්තියි කියල. අද රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වේගයෙන් පිරිහීගෙන යනවා. නීතියට පිටින් කිසිවෙකුට කටයුතු කරන්න බැහැ. ඒ වෙනුවෙන් ජනතාව අවදි විය යුතුයි.

සිවිල් අධීක්ෂණ කොමිසමේ කැඳවුම්කරු හා බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්
අද එල්.ටී.ටී.ඊ එකේ කරුණාඅම්මාන් පාර්ලිමේන්තුවේ ඇමති වරප‍්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. ඔහු ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයකට අවතීර්ණ වීම ගැන අපිට ප‍්‍රශ්නයක් නැහැ. ජෝර්ජ් මාස්ටර්ට, දයා මාස්ටර්ට අධිකරණයෙන් ඇප දුන්නම ඉන්ටකූලර්වලින් ඇවිත් ඔවුන් එක්කරගෙන යනවා. ඒ මාස්ටර්ලට එහෙම සලකන්න පුලූවන්නම් චෝදනා ඔප්පු වී නැති මේ අහිංසක දෙමළ ජනතාවට සාධාරණයක් කරන්න බැරි ඇයි? ඒ නිසා මොවුන්ට සිදු කරන දේශපාලන පළි ගැනීම් වහා වැළැක්විය යුතුයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර
මීට සති දෙකකට පෙර වවුනියාවෙ දිස්ත‍්‍රික් ලේකම්වරිය කිව්වා අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින අයගෙන් දහ දාහක් අතුරුදහන් කියලා. ඒත් රජය කිව්වෙ මේ දහ දාහ අතුරුදහන් වෙලා නෙවෙයි පැනල ගිහින් කියල. කෙනෙකුට පැනල යන්න අවශ්‍ය වෙන්නෙ බලෙන් රඳවාගෙන ඉන්නවා නම් විතරයි. ඒ නිසා රජය තමන් කළ මේ ප‍්‍රකාශය තුළින්ම පිළි අරගෙන තියෙනවා අවතැන් ජනතාව ඔවුන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව.

එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය
යුද්ධෙ දිනුවට පස්සෙ ගෝල්ෆේස් පිට්ටනියෙ මහ රැළියක් තියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා මේ රටේ සියළු ජනතාවගේ තාත්තා එයා කියල. එහෙම කිව්ව තාත්තගෙ දරුවො තමයි අද මේ අතුරුදහන් වෙලා නැත්නම් හිරගෙවල්වල, වධකාගාරවල රඳවාගෙන ඉන්නෙ. ඒ නිසා ජනාධිපති තාත්තට අපි කියනවා මෙතනට ඇවිත් මේ අසරණ ජනතාවගේ කඳුළු වලට උත්තර දෙන්න තාත්තේ කියලා.

Back to samabima
Back to platform

Thursday, September 17, 2009

ගෙදර ගියොත් අඹු නසී - මඟ සිටියොත් තෝ නසී

ලංකාවේ දෙවෙනි විශාලම නගරය වවුනියාවද ?
තාරා ශ‍්‍රී රාම්

යුධ ගැටුම්වලට මැදි වී සිට ආරාධනා ලැබ රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි ලක්ෂ තුනකට ආසන්න ජනගහනයක් ගැන රජය දක්වන අවම මට්ටමේ සැලකිල්ල පිළිබඳ ව ඉතා අල්ප ප‍්‍රමාණයෙන් හෝ මාධ්‍ය, සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලනඥයින් විසින් හෙළිදරව් කරමින් සිටිති.

මේ වන විට වවුනියාව හා මන්නාරම් ප‍්‍රදේශ වලට ඇද හැලෙන මෝසම් වර්ෂාවට හසු වී කූඩාරම් කඩා වැටීම්, කඳවුරු භූමි තුළ අපද්‍රව්‍යය සහිත ජලය පිරී බොහෝ පිරිසක් රෝගී වීම් හා වතුර බැස යන තෙක් පැය ගණන් හිටගෙන සිටින්නට සිදු වීම් ඔවුන් ගැන අසන්නට ලැබෙන ආසන්නතම ප‍්‍රවෘත්තියයි.

අවතැන් ජනතාව මේ වන විට අත්විඳින දුෂ්කරතාවන් හා ඒ සම්බන්ධයෙන් රජයේ පිළිවෙත කුමක්ද යන්න පිළිබඳ ප‍්‍රශ්න කරමින් පසුගිය සැප්තැම්බර් තුන්වෙනිදා නිදහසේ වේදිකාව විසින් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවීය. එයට සිවිල් සංවිධාන නියෝජිතයින් ලෙස ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, හර්මන් කුමාර සහ විපක්ෂ දේශපාලන නායකයින් වන රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, සිරිතුංග ජයසූරිය සහ මනෝ ගනේසන් සහභාගී වූහ. එහිදී ඔවුන් දීර්ඝ ලෙස උතුරේ අවතැන් ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතාවන් හෙළිදරව් කළහ.

වර්තමාන ලංකාවේ දෙවන විශාලතම නගරය බවට පත්ව ඇති වව්නියාවේ මැණික් ෆාම් ප‍්‍රදේශය තුළ සත්‍ය වශයෙන්ම සිටින ජනගහනය කොපමණදැයි අපට තවමත් නිශ්චය කරගත නොහැකිව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන ගණනය කිරීම් අනුව දෙදාස් අටේ ඔක්තෝම්බර් මාසයට පෙර වන්නි ප‍්‍රදේශයෙන් පුද්ගලයින් දෙ ලක්ෂ හැට අටදාස් පස් දෙනෙකු අවතැන් වී ඇත. කෙසේ හෝ එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශවල සිට ගැටුම් අතරමැද දී ගොඩබිමෙන් හා මුහුදු මාර්ගවලින් ලක්ෂ දෙකක් ඉක්ම වූ පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණියහ. ඒ කොපමණ ප‍්‍රමාණයක් ද කියා නිශ්චිත නැත.

තවමත් විසඳා නැති බරපතල ගණයේ ගැටළු කිහිපයක් මෙම කඳවුරුවල පවතී. මූලිකම කාරණය නම් මේවාහි ජීවත් වන ජනතාව නිසි ක‍්‍රමවේදයකට ගණනය කර ලියාපදිංචි කිරීමට රජය තවමත් අපොහොසත් වීමය. රජය පවසන සහන සැලසීම, යළි පදිංචි කිරීම ඇතුළු සියළු වගකීම්වල සහ පොරොන්දුවල හරය එයින්ම බිඳී යයි. එසේම කාන්තාර මෙන් වූ භූමියක රෙදිවලින්, ටකරන්වලින් හා පොල් අතු වලින් එකකට එකක් අලවා ඉදිකර ඇති කූඩාරම් තුළ එකක මිනිසුන් දහ දෙනෙකු ජීවත් වෙති. ඒ එක කූඩාරමක ජීවත් විය යුත්තේ කවුද කියා තීරණය කරන්නට ඔවුන්ට අයිතියක් නැත. එකිනෙකා නාඳුනන ගැහැණු, පිරිමි හා දරුවන් දහ දෙනෙකු එක කූඩාරමක ජීවත්වීමෙන් කාන්තාවන්ට හා දරුවන්ට ලිංගික අතවර, අඩත්තේට්ටම් සිදුවිය හැකි බව වටහා ගැනීමට බලධාරීන්ට නොහැකි වුණේද?

වතුර බූලියක් ගන්නට, වැසිකිළි යන්නට හෝ වෙන ඕනෑම අවශ්‍යතාවක් සඳහා පැය ගණනක් පෝලිමේ ඉන්නා අවතැන් ජනතාවක් සිටින කඳවුරුවල මල් වවන, ගස් සිටුවන, පැළ තවාන් දමන අයත් සිටී යැයි කීමට ඇතැම් මාධ්‍ය පසුගිය කාලයේ දැක් වූ උත්සාහය හා ගෙන ආ තර්කවල පදනම දැන් බිඳවැටෙමින් පවතී. එවන් කඳවුරක සේයාවක් හෝ තිබේනම් ඒ කදිරගාමර් (ZONE - 0) කඳවුරේ පමණි. එ තුළ මුදල් ඇත්නම් සොසේජස් ද කෝකාකෝලාද මිලදී ගැනීමට හැකිය. දුරකථන සේවා ඇත. විවිධ සමාගම් විසින් පැමිණ සංගීත සංදර්ශනද පවත්වති. එනිසාම මෙහි එන එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් තෝරා ගත් මාධ්‍ය සමඟ එතුළට කැන්දාගෙන යාමට රජය කිසි විටෙක මැලි නොවෙයි. නමුත් මේ ජනතාව හමුවීමට වෙනත් කිසිවෙකුට අවසර නැත. විශේෂයෙන්ම විරුද්ධ දේශපාලන පක්ෂ නියෝජිතයින්, මාධ්‍යවේදීන්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් හා සහන සේවකයින්ට එම ප‍්‍රදේශ තහනම් කලාපයකි.

දැනට මෙම කඳවුරුවල සේවය කිරීමට පැමිණ සිටින දේශසීමා රහිත වෛද්‍යවරුන් (MSF) පවසනුයේ ගත වූ මාස පහ තුළ පමණක් ඔවුන් සිදුකළ ශල්‍යකර්ම ගණන පන්දහසක් ඉක්ම වූ බවත්, ඉතා සීමිත පිරිසක් වන තම කණ්ඩායම අවම පහසුකම් යටතේ දිනකට රෝගීන් තුන්සීයකට ආසන්න පිරිසක් පරීක්ෂා කරන බවත්ය. එසේම තම සහෝදර වෛද්‍යවරු බොහෝ පිරිසක් මෙම කඳවුරුවල සේවය කිරීමට මෙරටට පැමිණීමට කැමැත්ත ප‍්‍රකාශ කර තිබෙන මුත් රජයෙන් ඊට අවසර ලැබෙන තෙක් බලා සිටින බවද ඔවුහු කියා සිටියහ. තත්ත්වය මෙසේ වුවද රජය තවමත් කියා සිටින්නේ මේවා සහන කඳවුරු බවය. කටු කම්බි වටකර, අඩි විස්සෙන් විස්සට ආයුධ සන්නද්ධ භටයින් යෙඳූ සහන කඳවුරු තිබෙන්නේ ලෝකයේ කවර රටකද කියා අපි නොදන්නෙමු. මෙම කඳවුරුවල තත්ත්වය වඩා සමීප වන්නේ සිරකඳවුරු වලට යැයි ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර කළ ප‍්‍රකාශය අපට පහසුවෙන් බැහැර කළ නොහැක.

පසුගිය දිනෙක වවුනියාවේ දිස්ත‍්‍රික් ලේකම්වරිය කියූ පරිදි මෙම කඳවුරුවලින් දස දහසක පමණ පිරිසක් පැන ගොස් ඇත. මෙතරම් රැකවල්ලාගෙන සිටින කඳවුරු වලින් මේ පිරිස පැන යාම, නිසියාකාරව ගණනය කර ලියාපදිංචි නොකළ පිරිසක් අතරින් පැන ගිය පිරිස දස දහසක් යැයි නිශ්චිතවම කීම, කඳවුරු ප‍්‍රදේශය පුරා රඳවා සිටින සිය ගණනක් වූ හමුදා භටයන්ගේ ඇස් වලට වැලි ගසා මේ අය පැන යාම ගැටළුවකි.

අවතැන් ජනතාව තවදුරටත් මෙසේ රඳවා තබා ගැනීම මේ වන විට රජයද පිළිතුරු සොයන ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ එකක් විසඳා අත පිසදා ගැනීමට නොහැකි තරම් ප‍්‍රශ්න කන්දරාවක් එකකට එකක් ඇමිණී ඔවුන් හමුවේ පවතින බැවිනි. එසේම තම සහෝදර පිරිසක් අවතැන් කඳවුරු තුළ අපා දුක් විඳින බව දැන් දකුණේ ජනතාවට යථාර්ථයක් වෙමින්, ඔවුන් කෙමෙන් කෙමෙන් ප‍්‍රශ්න ඇසීම ආරම්භ කර ඇත.දෙදාස් හතරේ ඇතිවූ සුනාමියෙන්ද මෙරට බොහෝ පිරිසක් උන්හිටි තැන් නොමැතිව අවතැන් වූ බව ඔබට මතක ඇති. එදා ඒ ජනතාවට කඳවුරු වලින් පිට වී තම ඥතීන් වෙත යාමට කිසිදු බාධාවක් නොතිබුණි. ඔවුන් හමුවීමට කිසිවෙකුට තහනමක්ද පැන නොණැගුණි. එසේනම් අද උතුරේ අවතැන් ජනතාව වෙනුවෙන් පමණක් මේ සියළු තහනම් පැන වෙන්නේ මන්ද?

නමුත් රජය පවසන ආකාරයට මේ ජනතාව යළි පදිංචි කරවිය නොහැක්කේ මූලික කාරණා දෙකක් හේතුවෙනි. පළමු කාරණය ඔවුන්ගේ ගම් බිම්වල වළලා ඇති බිම් බෝම්බ තවම ඉවත් කර නැත. අනෙක මේ පිරිස අතර තවමත් එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ පිරිස් සිටිති.අපටත් ඇතැම් අවස්ථාවල අනාවැකි කීමේ හැකියාවක් ඇත. ඒ අනුව, රජයට ඉදිරි මැතිවරණ සියල්ල අවසන් වනතුරු මෙම ‘බිම් බෝම්බ කතන්දරය’ තව ටික දවසක් මේ විදිහටම අල්ලාගෙන සිටිය හැක. ඊළඟට කඳවුරු තුළ දැනට කොපමණ පිරිසක් එල්.ටී.ටී.ඊ යැයි හඳුනාගෙන තිබේද, හඳුනාගත් අයට සිදුවන්නේ කුමක්ද කියා නිකමට වාගේ කවුරුන් හෝ ඇහුවොත් ඒ අයට මෙසේ කිව හැක. ඒ කඳවුරු තුළ සිටි එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ පිරිස් කෙසේ හෝ උප්පරවැට්ටි යොදා තවත් මරාගෙන මැරෙන සැලසුමකට කොළඹට පැනගෙන ඇති බවය.

Tuesday, September 8, 2009

අසභ්‍ය ප‍්‍රකාශන සහ අපරාධ අතර සම්බන්ධයක් නැහැ

වැඩිහිටියන් විසින් පරිහරණය කරන කලා කෘති තහනම් කිරීමට නීතිගෙන එන බවට සංස්කෘතික ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කිරීමත් සමඟ ම ඒ පිළිබඳ ආන්දෝලනයක් ඇතිවිය. ඒ පිළිබඳ කලාකරුවන්ගේ අදහස් පළ කිරීමට ‘සමබිම’ අපිද කටයුතු කළෙමු.අනතුරුව ඇති වු කතා බහක ප‍්‍රතිඵලයක් වශයෙන් ‘සංස්කෘතික දේශපාලන හා ප‍්‍රතිපත්ති’ මැයෙන් සාකච්ඡා සභාවක් අගෝස්තු 26 දා සවස කොළඹදී පැවැත්විණි.නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන විසින් මෙහෙයවන ලද මෙම සභාවේදී නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු නීතිඥ ජේ.සී වැලිඅමුණ සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අදහස් දැක්වූහ.
ධර්මසිරි බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල, එස්.ජී. පුංචිහේවා, චන්ද්‍රගුප්ත තේනුවර, සිරිමල් විජේසිංහ, සෞම්‍ය ලියනගේ, රාජිත දිසානායක ඇතුළු කලාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරගෙන යාම සඳහා ක‍්‍රියාකාරී කමිටුවක් ද පත් කර ගන්නා ලදි.පහත පළවන්නේ එම සාකච්ඡාවේදී
වැලිඅමුණ මහතා ඉදිරිපත් කළ අදහස් වලින් කොටසකි.



ලෝකය පුරාම භාෂණයේ නිදහස නැත්නම් කථා කිරීමට තියෙන නිදහස පිළිබඳ නෛතික සංකල්පයක් මුලින්ම ගෙනාවෙ ඇමෙරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින්. ඒ මඟින් නීතියක් ලෙස සංශෝධනයක් ගෙනාවා කොන්ග‍්‍රස් මණ්ඩලයට භාෂණයේ නිදහස සීමා කරන ආකාරයේ නීති පැනවිය නොහැකිය කියලා.
මේ සංශෝධනය තමයි ලෝකෙ භාෂණයේ නිදහස ආරක්ෂා කරන නීතිමය රටාවක් දැකිය හැකි පළමුවැනි වතාව. ඒ සංශෝධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මොකක්ද භාෂණයේ නිදහස කියන්නෙ කියල යම්කිසි කතිකාවතක් ඇතිවුණා. එහිදී මතු වුණා අදහසක්, සාමාන්‍යයෙන් භාෂණයේ නිදහස ගැන කථා කරන කොට දේශපාලනමය භාෂණයේ නිදහස ගැන විතරද සිතිය යුත්තේ කියල. ඉන් පසුව දේශපාලනමය භාෂණයේ නිදහසට අමතරව අනිකුත් අදහස් ප‍්‍රකාශ කිරීම්ද මේ අයිතිවාසිකම තුළට යටත් කියලා පිළිගන්න ටික කාලයක් ගියා. එ්කට පාදක වුණේ ඇත්ත වශයෙන්ම භාෂණයේ නිදහස පිළිබඳ ඓතිහාසික අධ්‍යයන. ඒ ඓතිහාසික අධ්‍යයන පසුකාලීනව නීතියේ පදනම් බවට පත්වුණා. දැන් භාෂණයේ නිදහස යන්නෙන් අඩු තරමින් අංග තුනක් ගැන කියවෙන බව පිළිගන්නවා. නමුත් මේවා කාලයෙන් කාලයට දියුණුවෙලා ආපු අදහස්.
අසභ්‍ය ප‍්‍රකාශන වලට එරෙහිව නැගෙන සමාජමය කතිකාවත තුළ සාකච්ඡා වෙනවා අසභ්‍ය ප‍්‍රකාශන සහ කලා කෘති සමාජයට අහිතකරද, එහෙම නැත්නම් සැහැසිකම් වලට හෝ අපරාධ වලට පිටුවහලක් සපයනවද කියල. මේ පිළිබඳව ලියැවී තියෙන නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ වලින් එක දෙයක් පැහැදිලි වී තියෙනවා. අසභ්‍ය ප‍්‍රකාශන හා කාම දර්ශන හේතුවෙන් කාම අපරාධ හෝ සමාජ විරෝධී ක‍්‍රියාකාරකම් වෙන බවට කිසිම සාක්‍ෂියක් කිසිදු විද්‍යාත්මක සමීක්‍ෂණයකින් හෝ පරීක්‍ෂණයකින් මෙතෙක් හොයාගෙන නැහැ. අසභ්‍ය ප‍්‍රකාශන හා අපරාධ අතර සම්බන්ධය හොයන්න 1967 දී ඇමෙරිකාවෙ ජනාධිපති ජොන්සන් කොමිසමක් පත්කළා. ඒ කොමිසම මේ පිළිබඳව දත්ත විශාල සංඛ්‍යාවක් රැස් කළා. එම පර්යේෂණ වලින් පෙනී ගියේ මේ කාරණා දෙක අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි. ඒ වගේම ඔවුන් එම පරීක්ෂණය අවසානයේ සොයාගත්තා සමාජයේ ඇති වී තියෙන ප‍්‍රශ්නය කාමුක චිත්ත රූප නිසා හටගත් එකක් නෙවෙයි, ඍජුව ලිංගික කටයුතු වලට මැදිහත් වීමට දක්වන මැලිකම නිසා හටගත් එකක් බව. ඒක මේ කොමිසමේ එක නිගමනයක්ද වුණා. ඉතිහාසය තුළ අසභ්‍ය ප‍්‍රකාශන හා වාරණය සම්බන්ධයෙන් සමාජය නොයෙක් විට විවිධාකාරයෙන් ප‍්‍රතිචාර දක්වා තියෙනවා. මම හිතන්නෙ පාලකයින් අතාර්කික සහ අවිද්‍යාත්මක පදනම් මත ඉදගෙන නීතිය සහ බලය හැසිරවීමේ ප‍්‍රතිඵල විදිහටයි මෙවැනි වාරණයන් ඇතිවන්නේ. ඒ වගේම කිව යුතුයි, මෙවැනි වාරණයන් පැනවීම සුදුසුකම් නැති මහජන නියෝජිතයින්ගේ ප‍්‍රශ්නයක් විතරක්ම නෙවෙයි. ජනතාවගේ උනන්දුවක් නොමැතිවීම, කලාකරුවන් සහ මාධ්‍යවල ඉන්න පිරිස් අතර තියෙන බෙදීම් වගේ කාරණාත් මීට බලපානවා.

Thursday, August 13, 2009

පහුගිය කාලයේ ගොඩක් මාධ්‍ය ජාතිවාදය මාකට් කළා

නුවන් ලියනගේ
නෙත් FM
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
වැඩසටහන්
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්

මාධ්‍ය නිදහස කියන්නේ මොකක්ද?
මම සිතන දෙයින් වැඩි ප‍්‍රතිශතයක් අනිත් අයට දැනෙන විදිහට ප‍්‍රකාශ කරන්න මා සහ මගේ අවට පරිසරය විසින් මට නිර්මාණය කරල දෙන අවස්ථාව මාධ්‍ය නිදහස කියල මම අර්ථකථනය කරනවා. දෙවනුව වඩා මානුෂික, වඩා සදාචාර සම්පන්න, වඩා මිනිසුන් ගැන හිතන සමාජයක් කරා මගේ සමාජය ගෙනයන්න මා සහ මගේ පරිසරය තුළින් නිර්මාණය කර දෙන නිදහස මාධ්‍ය නිදහස කියල අර්ථ දක්වන්න පුළුවන්.

ලංකාවෙ ඔය කියන මාධ්‍ය නිදහස තියෙනව කියල ඔබ විශ්වාස කරනවද?
එතනදි මුලින්ම මට ගැටළුවක් පැන නඟිනවා. මගේ ප‍්‍රශ්නය අවංකවම සමාජයට මුදාහරින්න පෞද්ගලිකව මම සූදානම්ද කියන එක? ඇත්තටම මං දන්න තරමින් අපේ රටේ දැන් මාධ්‍යවේදීන් නැහැ. ඉන්නෙ මාධ්‍යකරුවන්.

අද අපි දකිනවා මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ, මාධ්‍යවේදීන් හෙළා දකින්නේ මාධ්‍යවේදීන්මයි. මෙහෙම ගහනකොට මාධ්‍යවේදියාගේ භූමිකාවට මොකක්ද වෙන්නේ ?
වෙන දේ තව අවුරුදු පහකින් විතර බලාගන්න පුළුවන්. පහුගිය දශක කිහිපයක් ගත්තොත්, කාලයක් තිබුණා මාධ්‍යවේදීන්ට බලයක් තිබුණේ නැහැ. 80 දශකය අග භාගයත් එක්ක මාධ්‍යවේදීන්ට ලොකු සිවිල් බලයක් ලැබුණා. ඔවුන් තමයි සමාජය දේශපාලන වෙනසක් කරා අරගෙන ගියේ. ඒ කියන්නේ අපි තමයි දේශපාලනඥයන්ට ගහ හොලවලා දුන්නෙ ගෙඩි අහුලා ගන්න. දැන් ඒ ගහ හොල්ලලා දුන්න කට්ටියට තමයි ගහන්නේ. සමාජය වෙනස් කරන්න මාධ්‍යයට පැවරුවේ සමාජය විසින්මයි. දැන් මාධ්‍යයට දීල තියෙන ඒ සිවිල් බලය මාධ්‍යය විසින් ම නැති කර ගන්නවා නම් වැරදියි.

මාධ්‍ය අපක්ෂපාතී විය යුතුයි කියනවා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ ?
ඒක අමූලික බොරුවක්. මම නම් එහෙම කියන්නෙ නැහැ. මම කියන්නෙ මාධ්‍ය කිසිවිටෙකත් අපක්ෂපාතී විය යුතු නැහැ. මාධ්‍ය පක්ෂග‍්‍රාහී විය යුතුමයි. අපක්ෂපාතී වෙනව කියන්නෙ හරිම ලේසි දෙයක්. මොකද එ් පැත්තෙන් ටිකක් ගත්තා. මේ පැත්තෙන් ටිකක් ගත්තා. දෙන්න හප්පනවා. ඊට පස්සෙ කියනවා ජනතාවට තීරණය කරන්න කියලා. ඕක බී.බී.සී සම්ප‍්‍රදාය.

මාධ්‍ය පක්ෂපාතී විය යුත්තේ කාටද?
ජනතාවට. මාධ්‍ය අනිවාර්යයෙන්ම ජනතාවගේ පැත්ත ගත යුතුයි. මනෝ විද්‍යාත්මකවම අපි යම්කිසි පැත්තකට වැටෙන මිනිස්සු. මාධ්‍යවේදීන් අපක්ෂපාතී වෙනව කියන්නෙ ඔහුට කොන්දක් නැත්නම් විතරයි. ඒ කියන්නෙ අවංකව ම මේක හරි මේක වැරදියි කියල කියන්න බැරි මිනිස්සුයි අපක්ෂපාතියි කියන්නේ. අපිට සමාජයේ මොකක් හරි වැරැද්දක් වෙනවා නම් කෙලින්ම ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් වෙන්න ඕන ‘තමුසෙ ඔය කරන දේ වැරදියි’ කියලා.
මෑත කාලයේ සමහර මාධ්‍යවේදීන් ජාතිවාදියි කියා චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ඔබේ මතය මොකක්ද?
මට තියෙන ප‍්‍රශ්නය මාධ්‍යවේදීන්ට අවංකවම ජාතිවාදී වෙන්න පුළුවන්ද කියලා සහ එහෙම වෙච්ච අය මාධ්‍යවේදීන්ද කියලයි.

ජනාධිපතිවරයා කියනවා ලංකාවෙ ඉන්නේ ජාතීන් දෙකයි. ඒ රටට ආදරය කරන ජාතිය හා නොකරන ජාතිය. මේ කියමන මාධ්‍යවේදීන්ටත් වලංගුයි. ඔබ අයත් මෙයින් කොයි ගොඩටද ?
ජනාධිපතිතුමාගේ කතාව ඉතා වැදගත් කතාවක්. මම ඒ කතාවට කැමතියි. ජනාධිපතිතුමා කිව්වේ හරි ලස්සන වචනයක්. මේ රටට ආදරය කරන ජාතිය හා නොකරන ජාතිය කියලා. මම මේ රටට ආදරය කරන මනුස්සයෙක්.
අද ලංකාවෙ මාධ්‍යවේදීන්ගෙන් පිරිසක් දේශද්‍රෝහී මාධ්‍යවේදීන් ලෙස නම් කර ලැයිස්තු ගත කර තියෙනවා.
මට මාර කණගාටුවක් තියෙනව මගේ රට ගැන. ඔය ලිස්ට් එක හදන්නෙ කවුද? ඔය ලිස්ට් එකේ ඉන්න බොහෝ මාධ්‍යවේදීන් මට දේශප්‍රේමී මාධ්‍යවේදීන්. රට යහපත් තැනකට ගෙනයන්න කටයුතු කරපු අය. ඔවුන් ලැයිස්තු ගතකළ අය එහෙම කරන්න ඇත්තේ සමහර විට පුද්ගලික තරහවල් හෝ ඊර්ෂ්‍යාවන් නිසා වෙන්න පුළුවන්. ඒ මාධ්‍යවේදීන් පාවිච්චි කරපු විධි ක‍්‍රම පිළිබඳ, දේශපාලනය ගැන සමාජයට සහ තවත් අයට විවේචන තියෙන්නත් පුළුවන්. හැබැයි ඔවුන්ට උවමනාවක් තිබුණා අපේ රට මීට වඩා දියුණු තත්ත්වයකට, මානුෂීය තත්ත්වයකට ගෙන එන්න. ඔය අතරතුර බිස්නස් කරගත්ත කට්ටියත් හිටියා. ඒ ගොල්ලො මාධ්‍යවේදීන් කියල මම කියන්නෙ නැහැ. මට තියෙන්නෙ කවුරුවත් හදපු ලිස්ට් එකක් නෙවෙයි. මම හදා ගත්ත ලිස්ට් එකක්. මම ඒ නම් කියන්න කැමති නැහැ.

පසුගිය කාලයේ බොහෝ මාධ්‍ය ජනතාව ඉල්ලන දේ නැත්නම් වෙළඳපල ඉල්ලූම අනුව සිය මාධ්‍ය භාවිතයේ යෙදවූවා. ඒ අනුව ඇතැම් මාධ්‍ය ජාතිවාදී අදහස් වැපිරීමට වැඩි උනන්දුවක් ගත්තා. ජාතිවාදය ඇත්තටම යමක් මාකට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අපි පහුගිය කාලෙ දැක්කා විවිධ අය ඒක පාවිච්චි කරනවා. ජාතික හැඟීම කියන එක මාකටින් එක්ක හොඳට පාවිච්චි කරල රටක් විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන්. හැබැයි ඒ ටෙ‍්‍රන්ඞ් එක හරිම පරිස්සමින් කරන්න ඕන. බැරිවෙලාවත් ජාතිවාදය මාකට් වුණොත් වෙන්නෙ රටක් අවගමනයට ගමන් කරන එක. රටක් ගෝත‍්‍රික වෙන එක. ජාතික හැඟීම් ඇති කරල කොහොම කතා කළත් වෙළෙඳපොළ අපිව යම් මට්ටමකින් පාලනය කරනවා. මෙහෙයවනවා.

ලංකාව මේ දෙකෙන් කොතනද ඉන්නේ ?
ඇත්තටම මම බය වුණා මේකෙ අවසානය ජාතිවාදය කියන තැනට ගමන් කරයි කියල. වාසනාවකට සීයට විසිපහක් විතර ජාතිවාදය දිහාට ගමන් කර නැවත හැරිල ජාතිකත්වය කියන සුභවාදී පැත්තට එය ගමන් ඇරඹුවා.

වඩා ජනතා හිතවාදී පාලනයක් බිහි කරන්න රජයකට බල කිරීමේ වගකීමක් මාධ්‍යයට තියෙනවා කියා පිළිගන්නවද?
මම හැමදාම කැමති මිනිස්සුන්ට මාළු දෙනවට වඩා මිනිස්සුන්ට මාළු අල්ලන්න උගන්වන එකට. මිනිස්සුන්ට මාළු දුන්නොත් මාළු දුන්න මනුස්සයා මැරුණු දවසට ගත්ත මනුස්සයා බඩ ගින්නේ. මාළු අල්ලන්න ඉගැන්නුවොත් කොහේ හරි තොටුපළකට ගිහින් මාළු අල්ලගන්නවා. පවතින රජය අවදි කරන එක හැමදාම මාධ්‍ය මඟින් කෙරෙනවා. වැඩි හරියක් ගත්තොත් මාධ්‍ය මඟින් කරන්නෙ රජයට යම් යම් දේ පෙන්නලා දෙන එක. ඒක විය යුතු කාරණයක්. නමුත් ඊටත් වැඩිය රටේ ජනතාව රට වැසියන් බවට පත් කිරීමේ වගකීම වැඩියි. ට්‍රොට්ස්කි කියපු දෙයක් මම හැමදාම කියනවා. ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට ගැලපෙන නායකයෙක්.

නමුත් ඔබ කියන ජනතා හිතවාදී මාධ්‍යයට බොහෝ විට ජනතාව වෙනුවෙන් අවදි වෙන්න මතක් වෙන්නේ සමාජයේ ගැටළුවක් ඇතිවුණාට පස්සේ? ඊට කලින් ක‍්‍රියාත්මක වීමේ වගකීමක් මාධ්‍යයට තියෙනවා නේද?
ඔය දෙකම වෙන්න පුළුවන්. මම නම් වඩා කැමති දුර දක්නයකින් ඉදිරිය දකින මාධ්‍යක් තියෙනවට. අපි බොහොම ක්ෂුද්‍ර වෙළඳපොළක්. එ් නිසා සමහර විට නැට්ට විසින් බල්ලා නටවන තත්ත්වයට පත්වෙනවා. ඉන්දියාව වගේ රටවල පුළුවන් බල්ලා විසින් නැට්ට නටවන්න. රටේ ආර්ථික ප‍්‍රශ්නයි, ලෝක ආර්ථික උණුසුමයි අනුව අවංක උවමනාවක් තිබ්බත් දුරදක්නා නුවණකින් සමාජය දිහා බලන්න ඉස්පාසුවක් නැති වෙලා තියෙනවා. නමුත් එ් මොහොතේ වෙන ප‍්‍රශ්න වලට අවධානය යොමු කරලා මෙහෙයවන මාධ්‍ය වගේම, යමක් වෙන්න කලින් අවධානය යොමු කරලා මෙහෙයවන මාධ්‍ය යන දෙකම සහිත මාධ්‍ය කලාවක් බිහි වේවා කියල ප‍්‍රාර්ථනයක් මට තියෙනවා.

උතුරේ අවතැන් වූවන්ගේ සැබෑ පසුබිම හෙළි කරන්න ඇතැම් මාධ්‍යවේදීන් කැමැත්තෙන් ඉන්නවා. නමුත් රජය ඊට ඉඩ ලබා දෙන්නේ නැහැ. මොකක්ද ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ ?
උතුරේ කඳවුරුවල ඉන්නෙත් අපේ ජනතාව. අපේ නෑදැයෝ. උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න මඟ හැරුණ නිසයි ජනතාව ඒකට වෙන විදිහකින් කතා කරන්න පටන් ගත්තේ. දැන් රට මොන විදිහකින් හරි සන්ධිස්ථානයකට ඇවිල්ල තියෙනවා. මම සෑහෙන්න කාලයක් උතුරේ අවතැන් ජනතාවත් එක්ක හිටිය. මම පිළිගන්නවා ඒ ජනතාවගේ ප‍්‍රශ්න මාධ්‍ය වගේම විශේෂයෙන්ම් දේශපාලනඥයන් විසින් කතා කළ යුතුයි. නමුත් ඒ පරිසරය බොහොම සංවේදී පරිසරයක්. ඒ තත්ත්වය තුළ මේක මීඩියා කානිවල් එකක් බවට පත් කරගන්න නරකයි. සත්ව උද්‍යානයක් බලන්න යනවා නෙවෙයි. හදවතක් තියෙන මනුස්සයෙක් එතනට ගිහිල්ලා කඳුලක් එන්නෙ නැත්නම් ඌ කාලකණ්ණියෙක්.

ඒත් දකුණේ ජනතාවට පහුගිය කාලය පුරාම මාධ්‍ය පෙන්නුවේ ඔවුන්ගේ ජීවිතවල සුන්දර පැත්තක් විතරයි නේද?
ඔව්. සාමාන්‍ය ජනතාව බොහෝ දේ දන්නෙ නැහැ. නමුත් මාධ්‍යයට ඒ පරිසරය විවෘත කරන්න ඕන ඉතාම පරිස්සමෙන්. ඇත්තටම මාධ්‍ය ගැන විශ්වාසයක් ඔවුන්ට නැහැ. ඔවුන්ට තමන්ගේ අභිමානය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා.

ඔබට අනුව මේ ප‍්‍රශ්නයට දිය යුතු විසඳුම මොකක්ද?
සෑම ජනතාවකටම ඔවුන්ගේ අනන්‍යතාව හා අයිතිවාසිකම් රැකෙන පරිදි නිවැරදි පාලන ව්‍යුහයක් සකස් විය යුතුයි. ජනතාවට බලතල දීල ඔවුන්ගේ ප‍්‍රශ්න ඔවුන්ගේ නියෝජිතයන් ලවා විසඳවාගන්න පුළුවන් කියල අපි හිතුවද? ඒ සංකල්පය අපි තවම ක‍්‍රියාත්මක කරල නැහැනේ. මට හිතෙනවා එහෙම අත්හදා බැලීමකට යා යුතුයි කියල.

බහුතරය නියෝජනය කරන ඔබට ලංකාවෙ මාධ්‍ය සම්බන්ධයෙන් ප‍්‍රශ්න නැද්ද ?
තියෙනවා. ප‍්‍රධාන ප‍්‍රශ්නෙ තමයි මාධ්‍යවේදීන් වන අපි මේ තියෙන හතර මායිමේ මඤ්ඤොක්කා උගුල්ලා ගන්නවද කියන එක. තියෙන තත්ත්වය තුළ අපිට කරන්න පුළුවන් උපරිමය කරනවද කියන එක.

Thursday, August 6, 2009

අනේ අපේ ජනතාවට ගෙදර යන්න ඉඩ දෙන්න


මනෝ ගනේෂන්
බස්නාහිර ජනතා පෙරමුණ

අවතැන් වූ ජනතාවගේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඔබගේ විග‍්‍රහය මොකක්ද?
ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා මේ අනාථ කඳවුරු නරකාදියක් වගේ කියල ප‍්‍රකාශ කළා. ඒ වගේම හිටපු අගවිනිසුරු ඒවා එළිමහන් සිර කඳවුරු වගේ කිවුවා. මමත් මේවට ඊටත් වඩා සුදුසු තවත් වචනයක් සිංහල ශබ්ද කෝෂයේ තියෙනවද කියල හොයමින් ඉන්නේ. ඇත්තටම මේ අනාථ කඳවුරු පවත්වාගෙන යන්නේ දේශීය හා ජාත්‍යන්තර පිළිගත් සියළු නීති උල්ලංඝනය කරමින්. ඒ වගේම ප්‍රෞඩ ඉතිහාසයක් සහ සංස්කෘතියක් තියෙන අපේ ජාතියට අවමානයක් වන ආකාරයෙන්.

වතුර බෝතල්, ඇඳුම් පැළඳුම්, කෑම පාර්සල් යවනවට වඩා යමක් අවතැන් අය වෙනුවෙන් දකුණේ ජනතාව කළ යුතුයි කියල ඔබ හිතනවද?
ඇත්තටම මේ ජනතාව හංගන්නන් නෙවෙයි. ඔවුන් තමන්ගේ ජීවිකාව ගෞරවාන්විතව කරමින්, තම ගම්මානවල වසර දහස් ගාණක් තිස්සේ පාරම්පරිකව ජීවත් වූ පිරිසක්. මේ ජාතික ප‍්‍රශ්නය වතුර බෝතල්, ඇඳුම් පැළඳුම් හෝ කෑම පාර්සල් වැනි දේවල් වලට සීමා නොකළ යුතුයි. ඒ වගේම මේ ද්‍රව්‍ය සපයන ආකාරය පෙන්වන අප‍්‍රසන්න මාධ්‍ය ප‍්‍රචාරයන් මඟින් ආණ්ඩුව තමන්ගේ නිරුවත වසා ගන්න දරණ උත්සාහය දකින කොට මට පිළිකුලක් ඇති වෙනවා. ඒ නිසා අපේ මේ ජනතාව යැපෙන්නන් විදිහට පෙන්වන්න රජය ගන්නා මේ විලිලැජ්ජා නැති උත්සාහය වහාම නවත්වා ඔවුන්ට තමන්ගේ ගම්මානවල නිදහසේ ජීවත් වීමට ඇති නිත්‍යනුකූල අයිතිය ලබාදිය යුතුයි. මා මේ ආයාචනය කරන්නේ මගේ සහෝදර සිංහල, බෞද්ධ ජනතා හදවත් වලටයි. මේ මානුෂික ප‍්‍රශ්නය යට ගැසීමට ආණ්ඩුව දරණ නිර්ලැජ්ජී උත්සාහය පරාජය කරන්න දකුණේ ජනතාව ඒකරාශී විය යුතුයි.
අවතැන්වූවන් සම්බන්ධයෙන් රජය ක‍්‍රියාකල ආකාරය ගැන ඔබගේ හැගීම කුමක්ද?
මුල සිටම රජය ක‍්‍රියා කළ ආකාරය අප‍්‍රසන්නයි. නීත්‍යනුකූලව පත් වූ රජයකට ත‍්‍රස්ත කල්ලියක් සේ හැසිරීමට කිසිදු ශීලාචාර අයිතියක් නැහැ. එදා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් උල්ලංඝනය කළ සියළු පිළිගත් මානුෂීය අයිතීන් ආණ්ඩුව විසින් ඒ ආකාරයෙන්ම සහ ඊටත් වඩා දරුණු විදිහට සිදු කළා. තවමත් සිදු කරමින් ඉන්නවා. මා විශ්වාස කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ රාජ්‍ය නොවන ත‍්‍රස්තවාදය අවසන් බවයි. එහෙත් මේ ආණ්ඩුවේ රාජ්‍ය ත‍්‍රස්තවාදය අඛණ්ඩව පවතිනවා. මේ වන විට ලක්ෂ තුනකට වඩා අපේ ජනතාවක් කටු කම්බි කොටුවක සිර කර ඔවුන්ගේ නිදහස සීමා කරමින් සිටීම රාජ්‍ය ත‍්‍රස්තවාදය නෙවෙයි ද? රජයේ ගණන් හිලව් වලට අනුව හැත්තෑදාහක් පමණ යැයි කියූ ජනතාව ලක්ෂ තුන දක්වා ඉහළ ගියා. එදා රජය ගුවනින් පත‍්‍රිකා නිකුත් කරමින් පාලන ප‍්‍රදේශවලට එන්න කියල ආරාධනා කළා. මිනිස්සු ආවා. නමුත් මේ පිරිසට අවම යටිතල පහසුකමවත් ලබා දීමට රජයට හැකියාවක් නැහැ. එය කවදාවත් රජයට කරන්න පුලූවන්කමක් ලැබෙන්නෙත් නැහැ. මේ නිසා දිනපතා ම ජනතාව ශාරීරිකව හා මානසිකව ලෙඩ වෙනවා. ලෙඞ්ඩු මැරෙනවා. ඇතැම් අය සිය දිවි නසා ගන්නවා. දූ දරුවන්, කාන්තාවන්, වැඩිහිටියන් ආනාථ වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන් අනාරක්ෂිත තත්ත්වයට පත් වී සිටිනවා. උදේ පාන්දර ඉඳන් වැසිකිළියට, වතුරට, කෑමට, නෑමට, බෙහෙත්වලට, පෝලිම්වල පැය විසිහතර පුරාම ලගින්න වෙලා. මේ අඩුපාඩු පෙනීම වළක්වාගන්න ආණ්ඩුව ඉතාමත් කැත විදිහට හැසිරෙනවා. මේ පිරිස බලන්න ජනතා නියෝජිතයන්ට සහ මාධ්‍යට ස්වාධීනව යන්න දෙන්නෙ නැහැ. මෙච්චර අමානුෂික තහංචි ලෝකෙ කිසිම අනාථ කඳවුරක දක්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසයි මේව ආණ්ඩුවේ එළිමහන් සිර කඳවුරු මිස අනාථ කවුරු නෙවෙයි කියල මම අර්ථ දක්වන්නේ.

ඇතැම් පිරිස් රජය අවතැන්වූවන් සම්බන්ධයෙන් ක‍්‍රියා කළ ආකාරය වැරදියි කියන අතරම තවත් පිරිසක් රජයේ ක‍්‍රියා කලාපය අනුමත කරනවා. ඔබට අනුව මෙවැනි තත්ත්වයකදී වගකිව යුතු රජයක් කි‍්‍රයාකළ යුත්තේ කොහොමද?
මේ වගේ අමානුෂික ක‍්‍රියාවන් අනුමත කරන්නේ, වෛරී දේශපාලනය කරන මිනිස්සු හා ජාතිවාදයෙන් හිස උදුම්මාගත් පිස්සන් පමණයි. සුළු පිරිසක් මාධ්‍ය හරහා මේක බහුතර මතය කියල පෙන්නන්න උත්සාහ ගන්නවා. නමුත් සිංහල බෞද්ධ බහුතර ජනතාව මේක අනුමත කරන්නෙ නැහැ. මුලින්ම ආණ්ඩුව තේරුම් ගන්න ඕන මෙය ආණ්ඩුවේ පෞද්ගලික ප‍්‍රශ්නයක් නොවන බව. ඒ වගේම ආණ්ඩුව ඉදිරිපත් කරන දේශපාලන සහ මිලිටරි න්‍යාය පත‍්‍රයට සීමා නොකළ යුතුයි. ලෝකෙ කොතැනකවත් නැති විදිහට ලක්ෂ තුනකට වඩා වැඩි අනාථ වුණ විශාල ජනතාවකගේ ප‍්‍රශ්නය අපේ ජාතික ප‍්‍රශ්නයක් බව ආණ්ඩුව තේරුම් ගන්න ඕන. මේ අවස්ථාවෙදි රජය වහාම සර්ව පාර්ශ්වික කමිටුවක් පත් කර ඒ කමිටුවට ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ ලබා දිය යුතුයි. ආණ්ඩුවේ විධායක තීන්දු හා ක‍්‍රියාවන් පිළිබඳ විනිවිදභාවය ලබා ගන්න මේ කමිටුවට බලය තිබිය යුතුයි. අපට ලැබෙන වාර්ථා අනුව ලක්ෂ දෙකහමාරක් වැඩි ජනතාවක් ස්වාධීනව ගිහින් තමන්ගේ ගම් බිම්වල පදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ පිරිසට ආණ්ඩුවේ කිසිම උදව්වක් අවශ්‍ය නැහැ. මේ ජනතාව මෙහෙම ඉල්ලීම් කරන්නෙ අවුරුදු දහස් ගාණකට හිමිකම් කියමින් ජීවත් වූ ජාතියක් හැටියට අපේ ජනතාවගේ ඒ පාරම්පරික අයිතිය උල්ලංඝනය කරන්න ආණ්ඩුවට හෝ වෙනයම් කෙනෙකුට කිසිම අයිතියක් නැති බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ආණ්ඩුව නිර්මාණය කරන්න උත්සාහ දරන නව ගම්මාන බිහිකිරීම හෙවත් ජන සංයුතිය විකෘති කිරීම අපි කිසිසේත් පිළිගන්නෙ නැහැ. ආණ්ඩුව තමන්ගේ පටු දේශපාලන උවමනාවල් සපුරා ගැනීමේ අවශ්‍යතාව නිසා මේ ප‍්‍ර‍්‍රශ්නය විශාල කර පෙන්වනවා. මම තවදුරටත් පැහැදිළි කරන්න උත්සාහ ගන්නේ ආණ්ඩුව මේ අනාථ වුණ ජනතාව වැසිකිළි යෑමේ සිට නිදි ඇඳ දක්වා, උපතේ සිට මරණය දක්වා වූ සියළුම පෞද්ගලික ජීවන රටාවන් අතට ගනිමින් ඔවුන් පාලනය කිරීම ඉතා නින්දා සහගත බවයි. මේ ජනතාව නැවත පදිංචි කිරීම ආණ්ඩුව උවමනාවෙන්ම කල් දානවා. ආණ්ඩුව පුන පුනා කියන බිම්බෝම්බ ඉවත් කිරීමේ මන්තරය මම පිළිගන්නෙ නැහැ. අපේ හමුදාව වන්නි මෙහෙයුමේදි හතර දිසාවෙන් ගමන් කළේ බිම් බෝම්බ ඉවත් කර ගනිමිනුයි. බුද්ධිමත් ජනතා දැනුම අනුව බිම් බෝම්බ තියෙන්නෙ ඒ බිමෙන් සීයට දහයක් විතරයි. මම ඒ සඳහන් කරපු කරුණු වලට අනුව මේ මොහොතේ සිදුවිය යුතු සහ අද සැළකිල්ලට ලක් කළ යුතු එකම කරුණ අපේ මිනිස්සුන්ට ගෙදර යන්න ඉඩ දීමයි. මම පළවැනිව, දෙවැනිව හා තුන්වැනිවත් ඉල්ලා සිටින්නේ ‘අනේ අපේ ජනතාවට ගෙදර යන්න ඉඩ දෙන්න’ කියන ඉල්ලිමයි.

අද උතුරේ ජනතාවගේ මෙන්ම දකුණේ ජනතාවගේත් ජීවත්වීමේ සහ අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතීන් සීමා වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඔබගේ මැදිහත්වීම කවරාකාරද?
මම දකුණෙ ජීවත් වන්නෙක්. නමුත් මම උතුරෙ ජීවත්වීමේ හා අදහස් ප‍්‍රකාශ කිරීමේ අයිතීන් උල්ලංඝනයන්ට අත්පුඩි ගැසූ කෙනෙක් නෙවෙයි. මම නොබෙදුනු ශ‍්‍රී ලංකාවාදියෙක්. නිරන්තරයෙන් අපගේ ජාතික කොඩියට උපරිම ගෞරව දක්වන්නෙක්. නමුත් උතුරේ ඔබ සඳහන් කළ අයිතීන් ප‍්‍රසිද්ධියේ උල්ලංඝනය වෙද්දි ජාතික කොඩිය උස්සගෙන ඊට අපහාස කරපු එකෙක් නෙවෙයි. ඒකාධිපතිවාදය ඔබේ ෙදාරට තට්ටු කරන තෙක් බලා නොසිට අවදියෙන් ඉන්න. සාමූහිකවන්න. අත්වැල් බැඳ ගන්න. ඒකයි මම ඉල්ලා සිටින්නෙ.

Wednesday, May 13, 2009

දෙමළ මිනිසුන් කොළඹින් පිට මං කළ විට අධිකරණය මැදිහත් වුණු හැටි

අධිකරණයේ මෑත දී ඇති වු වෙනස්කම් හා එයින් නීතියේ ආධිපත්‍යය කෙරෙහි ඇතිවන බලපෑම් යන තේමාව යටතේ නීතිඥ සුන්දරී ද අල්විස් මහත්මිය විසින් ලියන ලද පත‍්‍රිකාවක් 2009 අපේ‍්‍රල් සාම විමර්ශී සඟරාවේ පළ විය. එම ලිපියේ තෝරාගත් කොටස් කිහිපයක් මෙම කලාපයේ සිට සමබිම පාඨකයන් වෙත ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු .

හැඳින්වීම
ශ‍්‍රී ලංකාවේ අධිකරණයේ මෑත ප‍්‍රවණතා ගැන අධ්‍යනයක් කිරීමේ දී එක් අතකින් සාධනීය ක‍්‍රියාකාරීත්වයක් ද අනික් අතින් විනිශ්චයක කඩිමුඩිය හා නොගැලපීම නිසා හානිකර ප‍්‍රවණතාවක් ද දැකිය හැකිය. මෙම ලේඛනයෙන් 2007-2008 ප‍්‍රධාන නඩු තීන්දු කෙරෙහි අවධානය යොමු කෙරෙමින් අධිකරණ ආකල්ප ගැන කරුණු රැස් කිරීමට උත්සාහ ගැනේ. කෙටියෙන් කියතොත් මෙම කාලය තුළ දෙන ලද ප‍්‍රධාන තීන්දුවලින් යහපාලනය හා නීතියේ ආධිපත්‍යය සම්බන්ධ මූලධර්ම ශක්තිමත්වීමක් යම් ප‍්‍රමාණයකට සිදුවී ඇත.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවෙන් රටවැසියන් වෙත සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් බල ගන්වන ඉතා වැදගත් තීන්දු ගණනාවක්ම දී තිබේ. මෙයින් වැඩි ප‍්‍රමාණයක් ආණ්ඩුව විසින් කරන ලද උල්ලංඝනයන් සම්බන්ධයෙනි. එමඟින් අධිකරණය ජාතික ආරක්ෂාව යටතේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමේ අවස්ථාවන්හි දී ඊට සීමා පනවා තිබේ.

දෙමළ ජනයා හා ජාතික ආරක්ෂාව
කොළඹ නගරයේ ලැගුම් හල් වලින් දෙමළ ජනයා පිට මං කිරීම පිළිබඳ නඩුව ඉතා වැදගත් එකකි. එහිදී ජාතික ආරක්ෂාව සහ මුලික අයිතිවාසිකම් අතර සමබරතාව ඇති කිරීම ගැන අධිකරණයේ ස්ථාවරය පැහැදිලි විය. විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1), 13(2) සහ 14(1)(ඌ) ව්‍යවස්ථා උල්ලංඝනය වන බවට පැමිණිලි කළෝය. (SCFR 177/2007)මෙහිදී අධිකරණය විමසා බැලූවේ, 2007 ජුනි 07 වැනිදා, හමුදා සහ පොලිස් නිලධරයන් විසින් කොළඹ ලැගුම්හල් වලින් දෙමළ ජනයා බලහත්කාරයෙන් ඉවත් කිරීම පිළිබඳ පැමිණිල්ල ය. අලූයම කාලයේ දී ම ඔවුන්ගේ බඩු පොදිත් රැගෙන බස්වලට පැටවීම සඳහා දී තිබුණේ පැය භාගයක කාලයකි. මෙම චෝදනාව කෙලින් ම එල්ල වුයේ පොලිස්පති විසින් කරන ලද ප‍්‍රකාශයක් කෙරෙහි ය; එනම්, ‘‘දෙමළ ජනයාට වලංගු හේතුවක් නැතිව කොළඹ නැවතී සිටිය නොහැකි ය.’’ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර තිබුණු චක‍්‍ර ලේඛයක, ‘උතුරු නැගෙනහිර පළාත්වලින් බස්නාහිර පළාතට එන දෙමළ ජනයා ඉවත් කරන ලෙස දී ඇති නියමය’ ගැන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය අවධානය යොමු කළේය. මෙම පෙත්සම විභාග කොට අවසන් වනතුරු දෙමළ ජනයා කොළඹ නැවතී සිටීම සහ කොළඹට ඇතුළුවීම වැළැක්වීම හෝ ඔවුන් ඉවත් කිරීම නොකරන ලෙස අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය 2008 මැයි 05 වැනි දා, කොළඹින් සමූහ වශයෙන් දෙමළ ජනයා ඉවත් කිරීම සම්බන්ධ පැමිණිලි විභාගය නිම කරමින් අග විනිසුරු සරත්. එන්. සිල්වා මහතා ප‍්‍රකාශ කළේ, පුද්ගලයන් ඉවත් කළ හැක්කේ පවතින නීතියට එකඟව අධිකරණ නියෝගයක් අනුව පමණක් බවය. අවසන් තීන්දුවෙන් පැවසුණේ මින් මතු මෙවැනි ක‍්‍රියා සිදු නොවන බවට නීතිපති වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විසින් සහතික විය යුතු බව ය. එසේ වුවද මේ නඩුවේ ඉදිරිපත් වු අයිතිවාසිකම් උල්ලංඝනයන් ගැන තීන්දුවක් දීම සිදු නොවීය. ඊට ගොදුරු වුවන්ට සහන සැලසීමෙන් හෝ එම වරද කළවුන් නම් කිරීමෙන් සිතා මතා ම මග හැරිය බවක් පෙනී යයි.


Monday, May 4, 2009

සරණාගත මහ කොමසාරිස් සිවිල් ජනතාව ගැන මෙසේ කියයි.

ස්වීට්සර්ලන්නයේ ජිනීවා නුවර පැලේ ඩි නේෂන්ස් හිදි අපේ‍්‍රල් 28 දින පැවති මාධ්‍ය හමුවකදී සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්ගේ මාධ්‍ය ප‍්‍රකාශක විසින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කරන ලදි.
01. දස දහස් ගණනින් සිවිල් ජනයා ගැටුම් පවතින ප‍්‍රදේශයෙන් ඉවතට පැමිණෙමින් සිටින අතරතුර, සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR)ශ‍්‍රී ලංකාවේ උතුරු ප‍්‍රදේශයෙහි උග‍්‍ර වෙමින් පවතින හදිසි තත්ත්වයට ප‍්‍රතිචාර දක්වමින් සිටියි. මේ දක්වා 160,000ක් දෙනා ගැටුම් හේතුවෙන් රජයේ පාලන ප‍්‍රදේශයට අවතැන් වී ඇති අතර, එයින් 140,000 කට වැඩි පිරිසක් වවුනියාවෙහි ස්ථාන 32ක නවාතැන් ගෙන සිටී. තවත් 11,000ක් යාපනයට ද, 5000ක් පමණ ත‍්‍රිකුණාමලයට පැමිණ සිටිති.

ඩුබායිහි ඇති අපගේ ගබඩාවල සිට අවතැන්වුවන් සඳහා අවශ්‍ය වන කූඩාරම් ගුවනින් ප‍්‍රවාහනය කිරීම අපි ඊයේ ආරම්භ කළෙමු. පළමු යානය කූඩාරම් 3000ක් පමණ රැගෙන ආ අතර දෙවැනි යානය මෙට්රික් ටොන් 103 ක් පමණ වන ආහාර සහනාධාර ද තවත් කූඩාරම් 2000ක් පමණ ද රැගෙන ආවෙමු. මේ සියළු සහනාධාර උතුරු ප‍්‍රදේශයෙහි බෙදා හැරීම පිණිස වහාම යවනු ලැබේ.

අවතැන් වු ජනතාව නැවතී සිටින ස්ථානය ආරක්ෂාව නිරීක්ෂණය කිරීම සඳහා වැඩි වැඩියෙන් කාර්ය මණ්ඩල එම ස්ථානවල යොදවමින් සිටිමු. එම ස්ථානවල නේවාසික ධාරිතාවය වැඩි දියුණු කිරීම සඳහා සැහැල්ලූ කූඩාරම් ඉදිකිරීමට ද අපි කටයුතු කරමු.

අවතැන් වු ජනතාව සිටින ස්ථානවල තත්ත්වය බරපතළ බව අපගේ කාර්ය මණ්ඩල වාර්තා කරයි. එම ස්ථාන වලට දරාගත නොහැකි තරමට පිරිස් පැමිණ ඇති අතර, පවතින මානුෂවාදී සේවාවන්ට එමඟින් තදබල තෙරපුමක් ඇති ව තිබේ. හිසට වහළක් නොමැති මිනිසුන් ගිනි ගහණ අව්වේ එළිමහනේ කාලය ගත කරයි.
ආණ්ඩුවේ පාලන ප‍්‍රදේශයට පළා එන මිනිසුන්ට ශාරීරික පහරදීම් සිදුකරන බවට වාර්තා අපට ලැබී ඇත්තේය. තම සිවිල් ජනයාගේ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි තමාට ඇති වගකීම පිළිබඳ ආණ්ඩුවට සිහිපත් කරදීමට අපි කැමැත්තෙමු. ඉහත දැක්වු ආකාරයේ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව යුක්තිය ඉෂ්ඨ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

මෙම හදිසි තත්ත්වයට ප‍්‍රතිචාර දක්වනු වස් වැඩි වැඩියෙන් සම්පත් යොදවන ලෙසත්, මේ අතිවිශාල සංඛ්‍යාවක් වු සිවිල් ජන සමූහයෙහි නවාතැන් සඳහා රජයේ ගොඩනැඟිලි සහ පාවිච්චියට ගත හැකි ඉඩම් වහාම ලබාදෙන ලෙසත් අපි ආණ්ඩුවෙන් ඉල්ලමු.

හිටපු සටන්කාමීන් සිවිල් ජනතාව වෙතින් වහාම ඈත් කොට ඔවුන් ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුකූලව පුනරුත්ථාපනය කළ හැකිවන සේ වෙනත් ස්ථානයන්හි රඳවන ලෙසත් අපි තවදුරටත් ඉල්ලමු.
ශ‍්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා අමතර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක් වැය කිරීම පිණිස මහ කොමසාරිස් අන්තෝනියෝ ගුටියරේම් අවසර දී ඇත. මේ අමතර අරමුදල් උතුරේ ගැටුම් කලාපයෙන් පළා එන සිවිල් වැසියන්ට නවාතැන්, ආරක්ෂාව සහ වෙනත් ආධාර සැපයීමට යොදා ගනු ඇත.

Wednesday, April 29, 2009

හුණුවටයේ කතාව

පොතේ ගුරු- අසනු මැන දැන් අයුරු විසඳුව විභාගය නඩු ළදරුවා ගැන කවුද යන වග නියම මෑණීය උපකාරයෙන් හුණු වළල්ලේ.............

නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.

පළමු නීතිඥයා - මහාධිකරණ තුමනි, පැරණි කියමනක් තියෙනවා රුධිරය ජලයට වඩා දැඩිය කියලා. මේ මහඟු කියමන ....

අසඩක් - ඊට කලින් මහාධිකරණය දැන ගැනීමට ඕනි මුන්නැහැගේ ගාස්තුව කීයද කියල.පළමු නීතිඥයා - මේ ප‍්‍රශ්නය ටිකක් අසාමාන්‍ය ප‍්‍රශ්නයක් මහාධිකරණ තුමනි. ඒ ගැන දැනගන්න අවශ්‍ය ම නම් මගේ ගාස්තුව රීදි 500යි.

අසඩක් - දැන ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් ! හ්ම්, දැන් කියමු අර රුධිරය ගැන කතාව.

පළමු නීතිඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, සෑම බැම්මකට ම වඩා තද බැම්මක් තමයි රුධිර බැම්ම. මවකුත් දරුවෙකුත් අතර ඇති රුධිර බැම්ම! ඊට වඩා උත්තරීතර බැම්මක් මුළු ලෝක ධාතුවේම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති. මහාධිකරණතුමනි, ඇයගේ ඇකයෙන් දරුවෙක් උදුරා ගැනීමට පුළුවන්ද? දරා සිටිය හැකි ක‍්‍රියාවක්ද එය ? මහාධිකරණ තුමනි, වනයේ සැරි සරන කෲරතර ව්‍යාඝ‍්‍ර ධේනුව පවා සිය දරුවා නැතිවු විට ශෝක ගින්න දරා ගනු බැරිව කෑළෑව දෙවනත් කරනවාලූ. මුළු ස්වභාව ධර්මයාම ........

අසඩක්- (කතාව නවතමින් ගෲෂාට) මොනවාද මේ වැල් වටාරම් ගැන යුෂ්මතියට කියන්න තියෙන්නෙ?

ගෲෂා - දරුවා මගේ

අසඩක් - හ්ම්, එච්චරද කියන්න තියෙන්නෙ? යුෂ්මතියට ඒක ඔප්පු කරන්න පුළුවන් වේවි කියල මම බලාපොරොත්තු වෙනව.

ගෲෂා - මම මට පුළුවන් හැටියට දැරුව ව බලාගත්තා. මම බඩගින්නේ තිබ්බේ නැහැ දරුවව. පුළුවන් දෙයක් කන්න බොන්න දුන්නා. හැමතිස්සේම වගේ කොහේහරි වහලක් යට ඉන්න සැලැස්සුවා. මම උණ බටවලින් සෙල්ලම් බඩු හදා දුන්නා දරුවාට. මගේ අතේ තිබුනු තුට්ටු දෙක වියදම් කරලා කිරි ටික අරන් දුන්නා.

පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි ඔබතුමාට පේනවා ඇති මේ තැනැත්තිය මේ දරුවා සම්බන්ධව කිසිම ලේ නෑකමකට හිමිකම් නොකියන බව.

අසඩක් - ඔව්,ඔව්, මට පේනවා.

පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි, මම තමුන්නාන්සෙගේන් බැගෑපත් ව ඉල්ලා සිටිනවා මේ දරුවාගේ මවට - මේ සියුමැලි කාන්තාවට- වචනයක් කතා කරන්න ඉඩ දෙන්න කියලා.

නටාලියා- (සෙමින්) මට අත් වී ඇති දරුණු ඉරණමින් මීදීමට මේ දරුවා නැවත ලබාදෙන ලෙස ඔබ තුමාගෙන් යටහත්ව ඉල්ලා සිටිනව නඩුකාරතුමනි. මවක් වශයෙන් මම වින්ද වේදනා හිරිහැර! නිදි නැතිව ගත කළ..

දෙවන නීතීඥයා- (කඩා පනිමින්) මේ ස්ත‍්‍රියට සලකන හැටි ඉතාම නින්දිතයි. මියගිය ඇගේ ස්වාමි පුරුෂයාගේ මාළිගාවටත් ඇතුළු වෙන්න ඉඩක් නැහැ මේ ස්ත‍්‍රියට ! වතු පිට වල ආදායම් ඇහිරිලා! කිසිම හිතක් පපුවක් නැතිව එයාට කියනවා ඔටුන්න හිමි කුමාරයා නැතිව ඒ කිසි දෙයක් ඇයට දෙන්න බැහැ කියලා. කිසිම දෙයක් කරගන්න බැහැ මේ මනුෂ්‍යාට කොලූ පැටියා නැති හින්දා! නීතීඥයන්ටවත් ගේවා ගන්න විදිහක් නැහැ

( ඒ වචන වලින් කලබව වු පළමු නීතිඥයා ඔහු වැළකීමට අතින් සංඥ කරන විට) මගේ මිත‍්‍ර ...... ඉලෝ සුබොලාඞ්සේ මොකද අපි මේ කාරණාව එළි කළාම ඇති වැරුද්ද? අබෂ්විල්ලි වතුපිටි වලට අයිතියක් නැද්ද ඔය කොලූ පැටියට වගේම මේ මනුස්සයට?

පළමු නීතීඥයා - කරුණාකර ඉඳ ගන්න සන්දො ඔබොලාඞ්සේ ! මේ ගැන සඳහන් නොකරන්න අපි එකඟ වුණා. මහාධිකරණ තුමනි, අබෂ්විල්ලි වතුපිටි සම්බන්ධ ප‍්‍රශ්ණයකුත් තියෙනවා තමයි මේ නඩුවේ තීන්දුව උඩ. ඒත් ඊට වඩා පෙරමුණේ තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේ මවක් පිළිබඳ ඇති මානුෂික ඛේදවාචකයයි.



අසඩක් - කරුණාකර පොඞ්ඩකට නවතින්න. වතුපිටි වල ඛේදවාචකය ගැන කතා කරන කොට මහාධිකරණ තුමාගේ පපුව පත්තු වෙනවා. පිරිසිදු මනුෂ්‍ය හැඟීම පිළිබඳ සංකේතයක්!

දෙවන නීතීඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, දරුවන් රැගෙන ගිය මෙම ස්ත‍්‍රිය දරුවගේ මව නොවන බව ඔප්පු කිරීමට මම සුදානම්. මහාධිකරණය ඉදිරියේ අපේ කරුණු දැන් ඉදිරිපත් කරනව..............................................

අසඩක් - (ගෲෂා අසලට කැඳවා) උඹ බොහෝම අපූරු කතාවක් කළා. ඒත් මේ දරුවා උඹේ නෙමෙයි බව මට පේනවා. ඉතින් උඹේ වුනායි කියලා යෝදියේ උඹ කැමති නැද්ද දරුවා පොහොසත් වෙනවට? උඹ මේ දරුවා උඹේ නෙමෙයි කියලා කියපු හැටියේ දරුවාට රජ මාලිගාවක් හම්බ වෙනවා. අස්ගාලේ අස්පයො ලැබෙනව! දොරකඬ හිඟන්නො ලැබෙනව! යුද්දෙට හේවායො ලැබෙනව! මිදුලෙ පෙත්සම් කාරයො ලැබෙනව. මොකද කියන්නෙ? උඹ කැමති නැද්ද දරුවා පෝසත් වෙනවට?

ගෲෂා- (හිටි හැටියේ උස් හඬින්) මම දෙන්නෙ නැ මගේ දරු පැටියව! මමයි ඌ හැදුවෙ! ඌ මාව අඳුනනව! (ෂවුවා දරුවා රැගෙන එයි.)

අසඩක්- විත්තියෙනුත් පැමිණිල්ලෙනුත් ඉදිරිපත් කළ කාරණාවලට මෙම අධිකරණය බොහොම ප‍්‍රවේසමෙන් ඇහුම්කන් දුන්න. ඒත් තීරණයකට එළඹෙන්න බැරි වුණා. අධිකරණයේ විනිශ්චයකරු වශයෙන් මෙම දරුවාට මවක් තෝරා දීම අපේ යුතුකමක්. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට.

ෂවුවා, හුණු කෑල්ලක් අරගෙන විනිශ්චය ශාලාව මැද හුණු වටයක් අදිමු. දැන් දරුවා හුණු වටය මැද්දේන් තියමු. (ෂවුවා එසේ කරයි. වටය මැද සිට දරුවා ගෲෂා හා සිනාසෙයි.) දැන් මේ ස්ත‍්‍රීන් දෙදෙනා හුණු වටය දෙපැත්තෙන් හිට ගනිමු. (ස්ත‍්‍රීහු දෙදෙනා එසේ කරති.) දරුවා හුණු වටයෙන් එළියට ඇද ගන්නට පුළුවන් තැනැත්තිය නියම මව හැටියට අපි විනිශ්චය කරනවා.

දෙවන නීතිඥයා - මහාධිකරණ තුමනි, මම මේ පරීක්ෂණයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරනව. ඔටුන්න හිමි කුමාරයා වශයෙන් අබෂ්විල්ලි වතුපිටි මාළිගා ධන ධාන්‍ය ආදී සියල්ලක් ම මේ දරුවා සමඟ බැඳී තියෙනව. එම ධන සම්භාරය මෙවැනි අවිනිශ්චිත පොරයක් මත විසඳීම අයුක්ති සහගත බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ඒ ඇරුණූ කොට අත පයේ වැඩ පළ කර පුරුදු විත්තිකාරියට තරම් සවි ශක්තියක් මේ සියුමැලි පැමිණිලිකාරියට ඇත්දැයි හිතා ගන්න අමාරුයි!

අසඩක් - එහෙම සෝමාරිකමක් පේන්නේ නෑ මට ! හ්ම්, අදිමු.
(නටාලියා තම පැත්තට දරුවා ඇද ගනී. දරුවා අතහරින ගෲෂා බිය පත්ව බලා සිටියි.) මොකද වෙලා තියෙන්නෙ? මම දැක්කේ නෑ අදිනවා.

ගෲෂා - මට හරියට අල්ල ගන්න බැරි වුණා.

පළමු නීතිඥයා - (නටාලියාට අතට අත දෙමින්) මොකද මම කිව්වෙ ? ලේ වල බැම්ම!

අසඩක් - හොඳයි මම තව එක සැරයක් මෙම පරීක්ෂණය පවත්වනව, හරියට ම දැන ගන්න. (ස්ත‍්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.)හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.)

ගෲෂා - (අසරණ ව ) මමයි හැදුවෙ ! දරුව දෙකට ඉරන්නද මට කියන්නෙ? මට බෑ එහෙම කරන්න!

උපුටා ගැනීම බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ කොකේසියන් චෝක් සර්කල් ඇසුරින් හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ හුණුවටයේ කතාව නාට්‍ය පිටපතෙනි.