Wednesday, April 29, 2009

හුණුවටයේ කතාව

පොතේ ගුරු- අසනු මැන දැන් අයුරු විසඳුව විභාගය නඩු ළදරුවා ගැන කවුද යන වග නියම මෑණීය උපකාරයෙන් හුණු වළල්ලේ.............

නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.

පළමු නීතිඥයා - මහාධිකරණ තුමනි, පැරණි කියමනක් තියෙනවා රුධිරය ජලයට වඩා දැඩිය කියලා. මේ මහඟු කියමන ....

අසඩක් - ඊට කලින් මහාධිකරණය දැන ගැනීමට ඕනි මුන්නැහැගේ ගාස්තුව කීයද කියල.පළමු නීතිඥයා - මේ ප‍්‍රශ්නය ටිකක් අසාමාන්‍ය ප‍්‍රශ්නයක් මහාධිකරණ තුමනි. ඒ ගැන දැනගන්න අවශ්‍ය ම නම් මගේ ගාස්තුව රීදි 500යි.

අසඩක් - දැන ගැනීමට අත්‍යවශ්‍ය කාරණයක් ! හ්ම්, දැන් කියමු අර රුධිරය ගැන කතාව.

පළමු නීතිඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, සෑම බැම්මකට ම වඩා තද බැම්මක් තමයි රුධිර බැම්ම. මවකුත් දරුවෙකුත් අතර ඇති රුධිර බැම්ම! ඊට වඩා උත්තරීතර බැම්මක් මුළු ලෝක ධාතුවේම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති. මහාධිකරණතුමනි, ඇයගේ ඇකයෙන් දරුවෙක් උදුරා ගැනීමට පුළුවන්ද? දරා සිටිය හැකි ක‍්‍රියාවක්ද එය ? මහාධිකරණ තුමනි, වනයේ සැරි සරන කෲරතර ව්‍යාඝ‍්‍ර ධේනුව පවා සිය දරුවා නැතිවු විට ශෝක ගින්න දරා ගනු බැරිව කෑළෑව දෙවනත් කරනවාලූ. මුළු ස්වභාව ධර්මයාම ........

අසඩක්- (කතාව නවතමින් ගෲෂාට) මොනවාද මේ වැල් වටාරම් ගැන යුෂ්මතියට කියන්න තියෙන්නෙ?

ගෲෂා - දරුවා මගේ

අසඩක් - හ්ම්, එච්චරද කියන්න තියෙන්නෙ? යුෂ්මතියට ඒක ඔප්පු කරන්න පුළුවන් වේවි කියල මම බලාපොරොත්තු වෙනව.

ගෲෂා - මම මට පුළුවන් හැටියට දැරුව ව බලාගත්තා. මම බඩගින්නේ තිබ්බේ නැහැ දරුවව. පුළුවන් දෙයක් කන්න බොන්න දුන්නා. හැමතිස්සේම වගේ කොහේහරි වහලක් යට ඉන්න සැලැස්සුවා. මම උණ බටවලින් සෙල්ලම් බඩු හදා දුන්නා දරුවාට. මගේ අතේ තිබුනු තුට්ටු දෙක වියදම් කරලා කිරි ටික අරන් දුන්නා.

පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි ඔබතුමාට පේනවා ඇති මේ තැනැත්තිය මේ දරුවා සම්බන්ධව කිසිම ලේ නෑකමකට හිමිකම් නොකියන බව.

අසඩක් - ඔව්,ඔව්, මට පේනවා.

පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි, මම තමුන්නාන්සෙගේන් බැගෑපත් ව ඉල්ලා සිටිනවා මේ දරුවාගේ මවට - මේ සියුමැලි කාන්තාවට- වචනයක් කතා කරන්න ඉඩ දෙන්න කියලා.

නටාලියා- (සෙමින්) මට අත් වී ඇති දරුණු ඉරණමින් මීදීමට මේ දරුවා නැවත ලබාදෙන ලෙස ඔබ තුමාගෙන් යටහත්ව ඉල්ලා සිටිනව නඩුකාරතුමනි. මවක් වශයෙන් මම වින්ද වේදනා හිරිහැර! නිදි නැතිව ගත කළ..

දෙවන නීතීඥයා- (කඩා පනිමින්) මේ ස්ත‍්‍රියට සලකන හැටි ඉතාම නින්දිතයි. මියගිය ඇගේ ස්වාමි පුරුෂයාගේ මාළිගාවටත් ඇතුළු වෙන්න ඉඩක් නැහැ මේ ස්ත‍්‍රියට ! වතු පිට වල ආදායම් ඇහිරිලා! කිසිම හිතක් පපුවක් නැතිව එයාට කියනවා ඔටුන්න හිමි කුමාරයා නැතිව ඒ කිසි දෙයක් ඇයට දෙන්න බැහැ කියලා. කිසිම දෙයක් කරගන්න බැහැ මේ මනුෂ්‍යාට කොලූ පැටියා නැති හින්දා! නීතීඥයන්ටවත් ගේවා ගන්න විදිහක් නැහැ

( ඒ වචන වලින් කලබව වු පළමු නීතිඥයා ඔහු වැළකීමට අතින් සංඥ කරන විට) මගේ මිත‍්‍ර ...... ඉලෝ සුබොලාඞ්සේ මොකද අපි මේ කාරණාව එළි කළාම ඇති වැරුද්ද? අබෂ්විල්ලි වතුපිටි වලට අයිතියක් නැද්ද ඔය කොලූ පැටියට වගේම මේ මනුස්සයට?

පළමු නීතීඥයා - කරුණාකර ඉඳ ගන්න සන්දො ඔබොලාඞ්සේ ! මේ ගැන සඳහන් නොකරන්න අපි එකඟ වුණා. මහාධිකරණ තුමනි, අබෂ්විල්ලි වතුපිටි සම්බන්ධ ප‍්‍රශ්ණයකුත් තියෙනවා තමයි මේ නඩුවේ තීන්දුව උඩ. ඒත් ඊට වඩා පෙරමුණේ තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේ මවක් පිළිබඳ ඇති මානුෂික ඛේදවාචකයයි.



අසඩක් - කරුණාකර පොඞ්ඩකට නවතින්න. වතුපිටි වල ඛේදවාචකය ගැන කතා කරන කොට මහාධිකරණ තුමාගේ පපුව පත්තු වෙනවා. පිරිසිදු මනුෂ්‍ය හැඟීම පිළිබඳ සංකේතයක්!

දෙවන නීතීඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, දරුවන් රැගෙන ගිය මෙම ස්ත‍්‍රිය දරුවගේ මව නොවන බව ඔප්පු කිරීමට මම සුදානම්. මහාධිකරණය ඉදිරියේ අපේ කරුණු දැන් ඉදිරිපත් කරනව..............................................

අසඩක් - (ගෲෂා අසලට කැඳවා) උඹ බොහෝම අපූරු කතාවක් කළා. ඒත් මේ දරුවා උඹේ නෙමෙයි බව මට පේනවා. ඉතින් උඹේ වුනායි කියලා යෝදියේ උඹ කැමති නැද්ද දරුවා පොහොසත් වෙනවට? උඹ මේ දරුවා උඹේ නෙමෙයි කියලා කියපු හැටියේ දරුවාට රජ මාලිගාවක් හම්බ වෙනවා. අස්ගාලේ අස්පයො ලැබෙනව! දොරකඬ හිඟන්නො ලැබෙනව! යුද්දෙට හේවායො ලැබෙනව! මිදුලෙ පෙත්සම් කාරයො ලැබෙනව. මොකද කියන්නෙ? උඹ කැමති නැද්ද දරුවා පෝසත් වෙනවට?

ගෲෂා- (හිටි හැටියේ උස් හඬින්) මම දෙන්නෙ නැ මගේ දරු පැටියව! මමයි ඌ හැදුවෙ! ඌ මාව අඳුනනව! (ෂවුවා දරුවා රැගෙන එයි.)

අසඩක්- විත්තියෙනුත් පැමිණිල්ලෙනුත් ඉදිරිපත් කළ කාරණාවලට මෙම අධිකරණය බොහොම ප‍්‍රවේසමෙන් ඇහුම්කන් දුන්න. ඒත් තීරණයකට එළඹෙන්න බැරි වුණා. අධිකරණයේ විනිශ්චයකරු වශයෙන් මෙම දරුවාට මවක් තෝරා දීම අපේ යුතුකමක්. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට.

ෂවුවා, හුණු කෑල්ලක් අරගෙන විනිශ්චය ශාලාව මැද හුණු වටයක් අදිමු. දැන් දරුවා හුණු වටය මැද්දේන් තියමු. (ෂවුවා එසේ කරයි. වටය මැද සිට දරුවා ගෲෂා හා සිනාසෙයි.) දැන් මේ ස්ත‍්‍රීන් දෙදෙනා හුණු වටය දෙපැත්තෙන් හිට ගනිමු. (ස්ත‍්‍රීහු දෙදෙනා එසේ කරති.) දරුවා හුණු වටයෙන් එළියට ඇද ගන්නට පුළුවන් තැනැත්තිය නියම මව හැටියට අපි විනිශ්චය කරනවා.

දෙවන නීතිඥයා - මහාධිකරණ තුමනි, මම මේ පරීක්ෂණයට විරුද්ධත්වය ප‍්‍රකාශ කරනව. ඔටුන්න හිමි කුමාරයා වශයෙන් අබෂ්විල්ලි වතුපිටි මාළිගා ධන ධාන්‍ය ආදී සියල්ලක් ම මේ දරුවා සමඟ බැඳී තියෙනව. එම ධන සම්භාරය මෙවැනි අවිනිශ්චිත පොරයක් මත විසඳීම අයුක්ති සහගත බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ඒ ඇරුණූ කොට අත පයේ වැඩ පළ කර පුරුදු විත්තිකාරියට තරම් සවි ශක්තියක් මේ සියුමැලි පැමිණිලිකාරියට ඇත්දැයි හිතා ගන්න අමාරුයි!

අසඩක් - එහෙම සෝමාරිකමක් පේන්නේ නෑ මට ! හ්ම්, අදිමු.
(නටාලියා තම පැත්තට දරුවා ඇද ගනී. දරුවා අතහරින ගෲෂා බිය පත්ව බලා සිටියි.) මොකද වෙලා තියෙන්නෙ? මම දැක්කේ නෑ අදිනවා.

ගෲෂා - මට හරියට අල්ල ගන්න බැරි වුණා.

පළමු නීතිඥයා - (නටාලියාට අතට අත දෙමින්) මොකද මම කිව්වෙ ? ලේ වල බැම්ම!

අසඩක් - හොඳයි මම තව එක සැරයක් මෙම පරීක්ෂණය පවත්වනව, හරියට ම දැන ගන්න. (ස්ත‍්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.)හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.)

ගෲෂා - (අසරණ ව ) මමයි හැදුවෙ ! දරුව දෙකට ඉරන්නද මට කියන්නෙ? මට බෑ එහෙම කරන්න!

උපුටා ගැනීම බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් ගේ කොකේසියන් චෝක් සර්කල් ඇසුරින් හෙන්රි ජයසේන නිෂ්පාදනය කළ හුණුවටයේ කතාව නාට්‍ය පිටපතෙනි.

Monday, April 20, 2009

ගැටුමට මැදිවූ සිවිල් ජනතාව බේරා ගැනීමට එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් අවශ්‍යයි.


අචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු
විධායක අධ්‍යක්ෂ
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය

ශ‍්‍රි ලංකාවේ රජය සහ එල්ටීටීඊ සංවිධානය අතර පවතින සන්නද්ධ ගැටුමට මැදිව සිටින සිවිල් ජනතාව පිළිබද ප‍්‍රශ්නය මේ වන විට විශාල වශයෙන් ජාත්‍යන්තර අවදානය දිනා ගැනීමට සමත්ව ඇත. ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබද මාධ්‍ය මධ්‍යස්තානය ට අනුව බොහෝ දෙනෙක් කල්පනා කරන්නේ දැන් රජයේ හමුදාව ආරක්ෂිත කලාපය හැර අනෙක් සියළු ප‍්‍රදේශ තම පාළනය යටතට ගෙන ඇති නිසා ඉතිරිව ඇති කොටස සිම්පල් ප්ලෑන් එකක් බවයි. ශබ්ද විකාශන යන්ත‍්‍ර මගින් සිවිල් ජනයාට අදාල ප‍්‍රදේශයෙන් පිටතට එන ලෙස නිවේදනය කර ඉන් අනතුරුව ඉතිරිව ඇති එල්ටීටීඊ සටන් කාමීන් විනාශ කිරීම එම සිම්පල් ප්ලෑන් එකයි. නමුත් එම සැලසුම ක‍්‍රියාත්මක කිරීම හිතන තරම් සිම්පල් නැති බව මේ වන විට පෙනී ගොස් ඇති අතර ලොව පුරා ජීවත් වන දෙමළ ජනතාව, මානූෂීය අධාර සපයන සංවිධාන, මානව හිමිකම් සංවිධාන පමණක් නොව ජාත්‍යන්තර ප‍්‍රජාවද මෙය බර පතල ප‍්‍රශ්ණයක් ලෙස සළකන බව පෙනේ. ඇම්නස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය කොළඹ විකල්ප ප‍්‍රතිපත්ති කෙන්ද්‍රයේ විදායක අධ්‍යක්ෂ ආචාර්ය පාක්‍යසෝති සර්වනමුත්තු මහතා සමග ගැටුමට මැදිවි වූ සිවිල් ජනතාව පිලිබඳ කරන ලද සාකච්චාවක පරිවර්ථනයක් පහත දැක්වේ.

එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව රජයේ හමුදාව කරගෙන යනු ලබන මෙහෙයුම්වල ප‍්‍රතිඵලයක් ලෙස මානව හිමිකම් අර්බුදයක් වන්නි ප‍්‍රදේශයේ පැන නැඟී ඇත. රජයේ සංඛ්‍යා ලේඛණවලට අනුව 70000ක පිරිසක් මේ ප‍්‍රදේශයේ සිරවී සිටින අතර ජාත්‍යන්තර ආයතන දක්වන සංඛ්‍යා ලේඛන වලට අනුව එය 152000 සිට 200,000 දක්වා වෙයි. එම ප‍්‍රදේශයෙන් ඉවත් වී යාමට තැත් කරන සිවිල් ජනතාව වෙත එල්.ටී.ටී.ඊ සංවිධානය වෙඩි තබන බවට ඉතා විශ්වාසනීය ආරංචි මාර්ගවලින් තහවුරු වී ඇත. එලෙස රජය මඟින් යුධ මුක්ත කලාපය ලෙස නම් කරන ලද භූමි තීරුවට රජයේ හමුදා කාල තුවක්කු ප‍්‍රහාර එල්ල කරන බවට සාක්ෂි ඇත. ප‍්‍රධාන අවශ්‍යතා වන ආහාර සහ ඖෂධ ප‍්‍රමාණවත් අයුරින් සැපයීම පිළිබඳ විශේෂ අවධානයක් යොමුකළ යුතුව ඇත. බැලූ බැල්මට ආයුධ සන්නද්ධ පාර්ශ්ව දෙකම මෙම තත්ත්වය තුළ සිවිල් ජනතාව තම ඉලක්කය බවට පත් කරගෙන ඇති බව පෙනී යයි.

ප‍්‍රශ්නය - සිවිල් ජනතාවට ඉන් ඉවත්වීමට කළ හැක්කේ කුමක්ද?
සිවිල් ජනතාව ඉවත්වීමට කළහැකි දේ සලකා බලන විට මුලින්ම පාර්ශ්වයන් දෙකම ඔවුන්ගේ කුමන වෙනස්කම් තිබුනද සිවිල් ජනතාව යනු එක් අතකින් මිනිස් බිලි ලෙස නොසැළකිය යුතු බව අවබෝධ කරගත යුතුය. ඔවුන්ට සටන් විරාමයකට එකඟවිය නොහැකි නම් තුන්වන හෝ බහු පාර්ශ්වයක් සමහර විට එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ප‍්‍රදේශයට ගොස් ඔවුන් පිටතට රැගෙන ඒම කළ යුතුයි.

ප‍්‍රශ්නය- මේ වන විට යුද්ධය පවතින ප‍්‍රදේශවල සිට 40000කට වැඩි සිවිල් ජනතාවක් රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණ ඇත. අපට විස්තර කරන්න පුලුවන්ද මෙසේ පැමිණි ජනතාවට සපයා ඇති නිවාස පහසුකම් සහ ඔවුන්ට ඇති කොන්දේසි මොනවාද කියලා?
ඔවුන් ජීවත් වන්නේ කුමන කොන්දේසි යටතේද කියා ඔබයට කිව හැකිද ඔවුන් රඳවා ගෙන සිටින ප‍්‍රදේශය අධික ලෙස මිලිටරීකරණය වු ප‍්‍රදේශයක්. හුවමාරු කඳවුරු, සුභ සාධක කඳවුරු කියනු ලබන ඒවා රැඳවුම් කඳවුරුවලට සමාන බවට චෝදනා එල්ල වී තිබෙනවා. නැවත පදිංචි කිරීමේ වැඩසටහනක් පිළිබඳව සෑහිමකට පත්විය හැකි ආකාරයේ කිසිඳු සැලැස්මක් තවමත් නැහැ. අතුරු හමුදාවන් මෙම කඳවුරු තුළ සැරිසරනවා. එල්.ටී.ටී.ඊ සංවිධානයට සහය දෙන්නන් සහ අනුග‍්‍රහකයන් ලෙස හඳුන ගන්නා අය අතුරුදහන් කරවීම සිදුවෙනවා.

ප‍්‍රශ්නය- ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය අවතැන් වී රජයේ පාලන ප‍්‍රදේශයට පැමිණෙන සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහ රැකවරණය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කර ඇත. ප‍්‍රධාන සාධකය ලෙස මතු වී ඇත්තේ රජය සත්‍ය වශයෙන්ම මෙම ජනතාව ආරක්ෂා කරන්නේද යන්න. අපට මෙම අවස්ථාව වන විට අවබෝධ වෙලා තියෙනවා නිසි ලියාපදිංචි කිරීමේ ක‍්‍රමවේදයක් සිවිල් ජනතාව වෙනුවෙන් නොමැති බව. ඒක සත්‍යය ද?
මෙතෙක් කාලයක් දුරට සිවිල් ජනතාව ලියාපදිංචි කිරීමට නිවැරදි යාන්ත‍්‍රණයක් පිළියෙල කරලා නොමැති බව අපිට පැහැදිලියි. එමනිසා සත්‍ය ලෙසම ජාත්‍යන්තර නිරීක්ෂණ සහිත ස්ථානයකට භාරදිය යුතුය. රජය විසින් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක ජොන් හෝම්ස් හට සහතික වී තිබෙනවා. ජාත්‍යන්තර නිරීක්ෂණ ආයතන විසින් මෙම සහතිකයන් එලෙස ක‍්‍රියාත්මක කරනවාදැයි පරීක්ෂා කර බැලිය යුතුයි. ------

Back to Home

Friday, April 3, 2009

අපි වෙනුවෙන් උන්

තුෂාර විතාරණ

ශ‍්‍රී ලංකාව මේ මොහොත වන විට දරුණු යුධමය වාතාවරණයක පසුවීම කණගාටුවට කරුණකි. නමුත් මේ යුධමය තත්වය තුළ විවිධ පාර්ශවයන් යුධමය සහ දේශපාලනික වාසි ලබාගනු වස් අදිසි ක‍්‍රියාන්විතයන්ද ආරම්භ කර ඇත. එසේ සඟවා ගැසිය යුතු තුරුම්පුවක් ශ‍්‍රී ලංකා රජය එළිපිටම ගසා ඇත. ඒ වූ කලී ‘අපි’ සහ ‘උන්’ ලෙස බෙදා හඳුනා ගැනීමක් ජනිත කරවීමයි. මින් සිදු වනුයේ ඕනෑම අවස්ථාවක, සිද්ධියක, ස්ථානයක සහ තත්වයකදීම තමා අයිති වන කණ්ඩායම ‘අපි’ ලෙසත් අනෙක් අය ‘උන්’ ලෙසත් බෙදාගත් සංජානනයකට හුරුවීමයි.

දැන් මේ තත්වය වත්මන් ශ‍්‍රී ලංකාවේ යුධමය වාතාවරණය සමග සමපාත කර බැලිය හැකිය. මෙහි අපි වනුයේ රජයේ පාර්ශවයයි. උන් වනුයේ එල්.ටී.ටී.ඊ පාර්ශවයයි. මෙලෙස බෙදා සංජානනයට හුරු කරවීම හරහා සිංහල-බෞද්ධ ජනතාවගේ ජාතිකානුරාගී හැඟීම් පුබුදු වන බවත් ත‍්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිය හැකි බවත් පවසමින් ශ‍්‍රී ලංකා රජය මහජනතාව නම් පොඩිඑකාට කොකා පෙන්නා ඇත. මහජනතාවද මේ ඇටිකෙහෙල් ගෙඩිය රස කරමින් ගිලදමනුයේ හවසට වෙන හදිය දැන හෝ නොදැන විය හැකිය.

පළමුවෙන්ම රජය පවසන අපි යනු කවුරුන්දැයි ප‍්‍රත්‍යක්ෂ කරගත යුතුය. ජාතික හෙළ උරුමය, විමල් වීරවංශ සහ ගුණදාස අමරසේකරට අනූව අපි යනු සිංහල-බෞද්ධ ජනතාවයි. විමල් වීරවංශ ඉවත් වීමට පෙර ජෙ.වි.පෙ.(ජාතික විමල් පෙරමුණ- විමල් වීරවංශ ජෙ.වි.පෙ. වන් මෑන් ෂෝ කරපු සමය) මතයද මෙයම විය. මොවුන් මෑත කාලීනව පැහැදිලි ස්ථාවරයක සිට අදහස් ප‍්‍රකාශ කළද රටේ රජ්ජුරුවන්ට (කෙරවලපිටිය විවෘත කරන අවස්ථාවේ අමාත්‍යංශ ලේකම් ජනාධිපතිතුමන්ට ආමන්ත‍්‍රණය කළ පරිදි) අනුව නම් උන් විටින් විට වෙනස් වෙයි. යුද්ධය තුළදී එල්.ටී.ටී.ඊ ය උන්ය. මිග් ටෙන්ඩර් ගැන කථා කරන්නන් උන්ය. රජය ප‍්‍රශ්ණ කරන මාධ්‍යවේදීන් උන්ය. සාමය, මානව හිමිකම් ගැන කථා කරන්නන්ද උන්ය. පලාත් සභා මැතිවරණ වලදී විපක්ෂ අපේක්ෂකයන් උන්ය. ඔවුන්ගේ ආධාරකරුවන්ද උන්ය. විපක්ෂයට ඡන්දය භාවිතා කරන ජනතාවද උන්ය. තෙල් මිල පිළිබඳව ඇඟිල්ල දිගුකරන්නන්ද උන්ය. හාල් මිල අහස උසට යන විට කතා කරන්නන්ද උන්ය. සංවර්ධනය පිළිබඳ හාර අවුස්සන්ද උන්ය. පාර්ලිමේන්තුව තුළ විපක්ෂය උන්ය. මෙලෙස මේ ලැයිස්තුව ඕනෑ තරම් දිගුකළ හැකිය. මේ අනුව බලන කල අපිද කුමන හෝ අවස්ථාවක උන්ගේ ගොඩට වැටෙයි. මෙලෙස මහින්ද රාජපක්ෂ තුමන් බලයට ගෙනා රටේ ජනතාව එතුමා විසින්ම උන් කර හමාරය.

රාජපක්ෂතුමන් මෑතදී පැනිලි බහුල ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ ඓතිහාසික පැනිල්ලකට අත දුන්නේය. ඒ කරුණාරත්න (කරුණා+රත්න - කරුණා රජයට මැණිකක් වූ නිසාය.) මහතාගේ පැනිල්ලය. කරුණා යනු 2008ට පෙර උන්ගෙන් කෙනෙකි. ඔහු උන්ගෙන් කෙනෙකි නොව ඇත්තවශයෙන්ම කිවහොත් උන්ගේ පොරය. අරන්තලා භික්ෂු ඝාතනය ඇතුළුව නැගෙනහිර දහස් ගණන් හමුදා සෙබලූන් ඝාතනය කළ උන්ගේ මෙහෙයුම් වල නිර්මාතෘවරයාය. ඒ අනුව එදා ඔහු උන්ගෙන් කෙනෙක් බව අපටද මහින්ද රාජපක්ෂතුමන්ටද ප‍්‍රශ්ණයක් නැත. නමුත් ඔහු දැන් අපේ කෙනෙක් බව මහින්ද රාජපක්ෂ පවසයි. මේ රාජ ආඥව අසන ජනතාව පොඩි කසුකුසුවක් නගති. (කසුකුසුවක් කීවාට කනට නෑසෙන තරම් එකකි.) කමක් නැත. රාජ උදහසට ලක්විය හැකි බැවින් එයද පිළිගත්තා යැයි කියමු. (මක්නිසාදයත් රටේ ජනතාවගේ හැටියට තමයි ජනාධිපති පත්වන්නේ) ප‍්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ.

කරුණාරත්න අපේ නම් අරන්තලාවේදී ඝාතනය කෙරුණු භික්ෂූන්වහන්සේලා කාගේද? උන්වහන්සේලා (සිංහල-බෞද්ධ) අපේද? උන්ගේද?
අලිමංකඩ, මුලතිව් බංකර තුළ අවසන් හුස්ම හෙළු ජාතියේ මුරදේවතාවන් අපේද? උන්ගේද?

Back to Home