Friday, April 3, 2009

අපි වෙනුවෙන් උන්

තුෂාර විතාරණ

ශ‍්‍රී ලංකාව මේ මොහොත වන විට දරුණු යුධමය වාතාවරණයක පසුවීම කණගාටුවට කරුණකි. නමුත් මේ යුධමය තත්වය තුළ විවිධ පාර්ශවයන් යුධමය සහ දේශපාලනික වාසි ලබාගනු වස් අදිසි ක‍්‍රියාන්විතයන්ද ආරම්භ කර ඇත. එසේ සඟවා ගැසිය යුතු තුරුම්පුවක් ශ‍්‍රී ලංකා රජය එළිපිටම ගසා ඇත. ඒ වූ කලී ‘අපි’ සහ ‘උන්’ ලෙස බෙදා හඳුනා ගැනීමක් ජනිත කරවීමයි. මින් සිදු වනුයේ ඕනෑම අවස්ථාවක, සිද්ධියක, ස්ථානයක සහ තත්වයකදීම තමා අයිති වන කණ්ඩායම ‘අපි’ ලෙසත් අනෙක් අය ‘උන්’ ලෙසත් බෙදාගත් සංජානනයකට හුරුවීමයි.

දැන් මේ තත්වය වත්මන් ශ‍්‍රී ලංකාවේ යුධමය වාතාවරණය සමග සමපාත කර බැලිය හැකිය. මෙහි අපි වනුයේ රජයේ පාර්ශවයයි. උන් වනුයේ එල්.ටී.ටී.ඊ පාර්ශවයයි. මෙලෙස බෙදා සංජානනයට හුරු කරවීම හරහා සිංහල-බෞද්ධ ජනතාවගේ ජාතිකානුරාගී හැඟීම් පුබුදු වන බවත් ත‍්‍රස්තවාදීන් මුලිනුපුටා දැමිය හැකි බවත් පවසමින් ශ‍්‍රී ලංකා රජය මහජනතාව නම් පොඩිඑකාට කොකා පෙන්නා ඇත. මහජනතාවද මේ ඇටිකෙහෙල් ගෙඩිය රස කරමින් ගිලදමනුයේ හවසට වෙන හදිය දැන හෝ නොදැන විය හැකිය.

පළමුවෙන්ම රජය පවසන අපි යනු කවුරුන්දැයි ප‍්‍රත්‍යක්ෂ කරගත යුතුය. ජාතික හෙළ උරුමය, විමල් වීරවංශ සහ ගුණදාස අමරසේකරට අනූව අපි යනු සිංහල-බෞද්ධ ජනතාවයි. විමල් වීරවංශ ඉවත් වීමට පෙර ජෙ.වි.පෙ.(ජාතික විමල් පෙරමුණ- විමල් වීරවංශ ජෙ.වි.පෙ. වන් මෑන් ෂෝ කරපු සමය) මතයද මෙයම විය. මොවුන් මෑත කාලීනව පැහැදිලි ස්ථාවරයක සිට අදහස් ප‍්‍රකාශ කළද රටේ රජ්ජුරුවන්ට (කෙරවලපිටිය විවෘත කරන අවස්ථාවේ අමාත්‍යංශ ලේකම් ජනාධිපතිතුමන්ට ආමන්ත‍්‍රණය කළ පරිදි) අනුව නම් උන් විටින් විට වෙනස් වෙයි. යුද්ධය තුළදී එල්.ටී.ටී.ඊ ය උන්ය. මිග් ටෙන්ඩර් ගැන කථා කරන්නන් උන්ය. රජය ප‍්‍රශ්ණ කරන මාධ්‍යවේදීන් උන්ය. සාමය, මානව හිමිකම් ගැන කථා කරන්නන්ද උන්ය. පලාත් සභා මැතිවරණ වලදී විපක්ෂ අපේක්ෂකයන් උන්ය. ඔවුන්ගේ ආධාරකරුවන්ද උන්ය. විපක්ෂයට ඡන්දය භාවිතා කරන ජනතාවද උන්ය. තෙල් මිල පිළිබඳව ඇඟිල්ල දිගුකරන්නන්ද උන්ය. හාල් මිල අහස උසට යන විට කතා කරන්නන්ද උන්ය. සංවර්ධනය පිළිබඳ හාර අවුස්සන්ද උන්ය. පාර්ලිමේන්තුව තුළ විපක්ෂය උන්ය. මෙලෙස මේ ලැයිස්තුව ඕනෑ තරම් දිගුකළ හැකිය. මේ අනුව බලන කල අපිද කුමන හෝ අවස්ථාවක උන්ගේ ගොඩට වැටෙයි. මෙලෙස මහින්ද රාජපක්ෂ තුමන් බලයට ගෙනා රටේ ජනතාව එතුමා විසින්ම උන් කර හමාරය.

රාජපක්ෂතුමන් මෑතදී පැනිලි බහුල ශ‍්‍රී ලංකාව තුළ සිදුවූ ඓතිහාසික පැනිල්ලකට අත දුන්නේය. ඒ කරුණාරත්න (කරුණා+රත්න - කරුණා රජයට මැණිකක් වූ නිසාය.) මහතාගේ පැනිල්ලය. කරුණා යනු 2008ට පෙර උන්ගෙන් කෙනෙකි. ඔහු උන්ගෙන් කෙනෙකි නොව ඇත්තවශයෙන්ම කිවහොත් උන්ගේ පොරය. අරන්තලා භික්ෂු ඝාතනය ඇතුළුව නැගෙනහිර දහස් ගණන් හමුදා සෙබලූන් ඝාතනය කළ උන්ගේ මෙහෙයුම් වල නිර්මාතෘවරයාය. ඒ අනුව එදා ඔහු උන්ගෙන් කෙනෙක් බව අපටද මහින්ද රාජපක්ෂතුමන්ටද ප‍්‍රශ්ණයක් නැත. නමුත් ඔහු දැන් අපේ කෙනෙක් බව මහින්ද රාජපක්ෂ පවසයි. මේ රාජ ආඥව අසන ජනතාව පොඩි කසුකුසුවක් නගති. (කසුකුසුවක් කීවාට කනට නෑසෙන තරම් එකකි.) කමක් නැත. රාජ උදහසට ලක්විය හැකි බැවින් එයද පිළිගත්තා යැයි කියමු. (මක්නිසාදයත් රටේ ජනතාවගේ හැටියට තමයි ජනාධිපති පත්වන්නේ) ප‍්‍රශ්ණය ඇත්තේ එතැන නොවේ.

කරුණාරත්න අපේ නම් අරන්තලාවේදී ඝාතනය කෙරුණු භික්ෂූන්වහන්සේලා කාගේද? උන්වහන්සේලා (සිංහල-බෞද්ධ) අපේද? උන්ගේද?
අලිමංකඩ, මුලතිව් බංකර තුළ අවසන් හුස්ම හෙළු ජාතියේ මුරදේවතාවන් අපේද? උන්ගේද?

Back to Home

1 comment:

Sankha said...

Thats great, keep it up wel,
අපි සහ උන් කතිකාව මේ මොහොතෙදි ගොඩාක් වැදගත්. මොකද මේ වන විට ආන්ඩුව තමන්ගේ පැවැත්ම සදහා මෙවැනි අධිපති වාදී කතිකාවක් සමාජයට මුදාහරිනවා. ඇමරිකාවෙදි ලිබරල් මිනිස්සු මෙය ප්‍රතික්ෂේප කළත්, ලංකා‍ව වැනි වැඩවසම් ලක්ෂන සහිත විඥානයක් සහිත මිනිස්සු මේක දණගහලා වැලද ගන්නවා.