Thursday, September 17, 2009

ගෙදර ගියොත් අඹු නසී - මඟ සිටියොත් තෝ නසී

ලංකාවේ දෙවෙනි විශාලම නගරය වවුනියාවද ?
තාරා ශ‍්‍රී රාම්

යුධ ගැටුම්වලට මැදි වී සිට ආරාධනා ලැබ රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණි ලක්ෂ තුනකට ආසන්න ජනගහනයක් ගැන රජය දක්වන අවම මට්ටමේ සැලකිල්ල පිළිබඳ ව ඉතා අල්ප ප‍්‍රමාණයෙන් හෝ මාධ්‍ය, සිවිල් සංවිධාන හා ඇතැම් දේශපාලනඥයින් විසින් හෙළිදරව් කරමින් සිටිති.

මේ වන විට වවුනියාව හා මන්නාරම් ප‍්‍රදේශ වලට ඇද හැලෙන මෝසම් වර්ෂාවට හසු වී කූඩාරම් කඩා වැටීම්, කඳවුරු භූමි තුළ අපද්‍රව්‍යය සහිත ජලය පිරී බොහෝ පිරිසක් රෝගී වීම් හා වතුර බැස යන තෙක් පැය ගණන් හිටගෙන සිටින්නට සිදු වීම් ඔවුන් ගැන අසන්නට ලැබෙන ආසන්නතම ප‍්‍රවෘත්තියයි.

අවතැන් ජනතාව මේ වන විට අත්විඳින දුෂ්කරතාවන් හා ඒ සම්බන්ධයෙන් රජයේ පිළිවෙත කුමක්ද යන්න පිළිබඳ ප‍්‍රශ්න කරමින් පසුගිය සැප්තැම්බර් තුන්වෙනිදා නිදහසේ වේදිකාව විසින් කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවීය. එයට සිවිල් සංවිධාන නියෝජිතයින් ලෙස ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු, හර්මන් කුමාර සහ විපක්ෂ දේශපාලන නායකයින් වන රනිල් වික‍්‍රමසිංහ, මංගල සමරවීර, සිරිතුංග ජයසූරිය සහ මනෝ ගනේසන් සහභාගී වූහ. එහිදී ඔවුන් දීර්ඝ ලෙස උතුරේ අවතැන් ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතාවන් හෙළිදරව් කළහ.

වර්තමාන ලංකාවේ දෙවන විශාලතම නගරය බවට පත්ව ඇති වව්නියාවේ මැණික් ෆාම් ප‍්‍රදේශය තුළ සත්‍ය වශයෙන්ම සිටින ජනගහනය කොපමණදැයි අපට තවමත් නිශ්චය කරගත නොහැකිව ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් කරන ගණනය කිරීම් අනුව දෙදාස් අටේ ඔක්තෝම්බර් මාසයට පෙර වන්නි ප‍්‍රදේශයෙන් පුද්ගලයින් දෙ ලක්ෂ හැට අටදාස් පස් දෙනෙකු අවතැන් වී ඇත. කෙසේ හෝ එල්.ටී.ටී.ඊ පාලන ප‍්‍රදේශවල සිට ගැටුම් අතරමැද දී ගොඩබිමෙන් හා මුහුදු මාර්ගවලින් ලක්ෂ දෙකක් ඉක්ම වූ පිරිසක් රජයේ පාලන ප‍්‍රදේශවලට පැමිණියහ. ඒ කොපමණ ප‍්‍රමාණයක් ද කියා නිශ්චිත නැත.

තවමත් විසඳා නැති බරපතල ගණයේ ගැටළු කිහිපයක් මෙම කඳවුරුවල පවතී. මූලිකම කාරණය නම් මේවාහි ජීවත් වන ජනතාව නිසි ක‍්‍රමවේදයකට ගණනය කර ලියාපදිංචි කිරීමට රජය තවමත් අපොහොසත් වීමය. රජය පවසන සහන සැලසීම, යළි පදිංචි කිරීම ඇතුළු සියළු වගකීම්වල සහ පොරොන්දුවල හරය එයින්ම බිඳී යයි. එසේම කාන්තාර මෙන් වූ භූමියක රෙදිවලින්, ටකරන්වලින් හා පොල් අතු වලින් එකකට එකක් අලවා ඉදිකර ඇති කූඩාරම් තුළ එකක මිනිසුන් දහ දෙනෙකු ජීවත් වෙති. ඒ එක කූඩාරමක ජීවත් විය යුත්තේ කවුද කියා තීරණය කරන්නට ඔවුන්ට අයිතියක් නැත. එකිනෙකා නාඳුනන ගැහැණු, පිරිමි හා දරුවන් දහ දෙනෙකු එක කූඩාරමක ජීවත්වීමෙන් කාන්තාවන්ට හා දරුවන්ට ලිංගික අතවර, අඩත්තේට්ටම් සිදුවිය හැකි බව වටහා ගැනීමට බලධාරීන්ට නොහැකි වුණේද?

වතුර බූලියක් ගන්නට, වැසිකිළි යන්නට හෝ වෙන ඕනෑම අවශ්‍යතාවක් සඳහා පැය ගණනක් පෝලිමේ ඉන්නා අවතැන් ජනතාවක් සිටින කඳවුරුවල මල් වවන, ගස් සිටුවන, පැළ තවාන් දමන අයත් සිටී යැයි කීමට ඇතැම් මාධ්‍ය පසුගිය කාලයේ දැක් වූ උත්සාහය හා ගෙන ආ තර්කවල පදනම දැන් බිඳවැටෙමින් පවතී. එවන් කඳවුරක සේයාවක් හෝ තිබේනම් ඒ කදිරගාමර් (ZONE - 0) කඳවුරේ පමණි. එ තුළ මුදල් ඇත්නම් සොසේජස් ද කෝකාකෝලාද මිලදී ගැනීමට හැකිය. දුරකථන සේවා ඇත. විවිධ සමාගම් විසින් පැමිණ සංගීත සංදර්ශනද පවත්වති. එනිසාම මෙහි එන එක්සත් ජාතීන්ගේ නියෝජිතයින් තෝරා ගත් මාධ්‍ය සමඟ එතුළට කැන්දාගෙන යාමට රජය කිසි විටෙක මැලි නොවෙයි. නමුත් මේ ජනතාව හමුවීමට වෙනත් කිසිවෙකුට අවසර නැත. විශේෂයෙන්ම විරුද්ධ දේශපාලන පක්ෂ නියෝජිතයින්, මාධ්‍යවේදීන්, ආගමික නායකයින්, සිවිල් සංවිධාන නියෝජිතයින් හා සහන සේවකයින්ට එම ප‍්‍රදේශ තහනම් කලාපයකි.

දැනට මෙම කඳවුරුවල සේවය කිරීමට පැමිණ සිටින දේශසීමා රහිත වෛද්‍යවරුන් (MSF) පවසනුයේ ගත වූ මාස පහ තුළ පමණක් ඔවුන් සිදුකළ ශල්‍යකර්ම ගණන පන්දහසක් ඉක්ම වූ බවත්, ඉතා සීමිත පිරිසක් වන තම කණ්ඩායම අවම පහසුකම් යටතේ දිනකට රෝගීන් තුන්සීයකට ආසන්න පිරිසක් පරීක්ෂා කරන බවත්ය. එසේම තම සහෝදර වෛද්‍යවරු බොහෝ පිරිසක් මෙම කඳවුරුවල සේවය කිරීමට මෙරටට පැමිණීමට කැමැත්ත ප‍්‍රකාශ කර තිබෙන මුත් රජයෙන් ඊට අවසර ලැබෙන තෙක් බලා සිටින බවද ඔවුහු කියා සිටියහ. තත්ත්වය මෙසේ වුවද රජය තවමත් කියා සිටින්නේ මේවා සහන කඳවුරු බවය. කටු කම්බි වටකර, අඩි විස්සෙන් විස්සට ආයුධ සන්නද්ධ භටයින් යෙඳූ සහන කඳවුරු තිබෙන්නේ ලෝකයේ කවර රටකද කියා අපි නොදන්නෙමු. මෙම කඳවුරුවල තත්ත්වය වඩා සමීප වන්නේ සිරකඳවුරු වලට යැයි ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර කළ ප‍්‍රකාශය අපට පහසුවෙන් බැහැර කළ නොහැක.

පසුගිය දිනෙක වවුනියාවේ දිස්ත‍්‍රික් ලේකම්වරිය කියූ පරිදි මෙම කඳවුරුවලින් දස දහසක පමණ පිරිසක් පැන ගොස් ඇත. මෙතරම් රැකවල්ලාගෙන සිටින කඳවුරු වලින් මේ පිරිස පැන යාම, නිසියාකාරව ගණනය කර ලියාපදිංචි නොකළ පිරිසක් අතරින් පැන ගිය පිරිස දස දහසක් යැයි නිශ්චිතවම කීම, කඳවුරු ප‍්‍රදේශය පුරා රඳවා සිටින සිය ගණනක් වූ හමුදා භටයන්ගේ ඇස් වලට වැලි ගසා මේ අය පැන යාම ගැටළුවකි.

අවතැන් ජනතාව තවදුරටත් මෙසේ රඳවා තබා ගැනීම මේ වන විට රජයද පිළිතුරු සොයන ප‍්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඒ එකක් විසඳා අත පිසදා ගැනීමට නොහැකි තරම් ප‍්‍රශ්න කන්දරාවක් එකකට එකක් ඇමිණී ඔවුන් හමුවේ පවතින බැවිනි. එසේම තම සහෝදර පිරිසක් අවතැන් කඳවුරු තුළ අපා දුක් විඳින බව දැන් දකුණේ ජනතාවට යථාර්ථයක් වෙමින්, ඔවුන් කෙමෙන් කෙමෙන් ප‍්‍රශ්න ඇසීම ආරම්භ කර ඇත.දෙදාස් හතරේ ඇතිවූ සුනාමියෙන්ද මෙරට බොහෝ පිරිසක් උන්හිටි තැන් නොමැතිව අවතැන් වූ බව ඔබට මතක ඇති. එදා ඒ ජනතාවට කඳවුරු වලින් පිට වී තම ඥතීන් වෙත යාමට කිසිදු බාධාවක් නොතිබුණි. ඔවුන් හමුවීමට කිසිවෙකුට තහනමක්ද පැන නොණැගුණි. එසේනම් අද උතුරේ අවතැන් ජනතාව වෙනුවෙන් පමණක් මේ සියළු තහනම් පැන වෙන්නේ මන්ද?

නමුත් රජය පවසන ආකාරයට මේ ජනතාව යළි පදිංචි කරවිය නොහැක්කේ මූලික කාරණා දෙකක් හේතුවෙනි. පළමු කාරණය ඔවුන්ගේ ගම් බිම්වල වළලා ඇති බිම් බෝම්බ තවම ඉවත් කර නැත. අනෙක මේ පිරිස අතර තවමත් එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ පිරිස් සිටිති.අපටත් ඇතැම් අවස්ථාවල අනාවැකි කීමේ හැකියාවක් ඇත. ඒ අනුව, රජයට ඉදිරි මැතිවරණ සියල්ල අවසන් වනතුරු මෙම ‘බිම් බෝම්බ කතන්දරය’ තව ටික දවසක් මේ විදිහටම අල්ලාගෙන සිටිය හැක. ඊළඟට කඳවුරු තුළ දැනට කොපමණ පිරිසක් එල්.ටී.ටී.ඊ යැයි හඳුනාගෙන තිබේද, හඳුනාගත් අයට සිදුවන්නේ කුමක්ද කියා නිකමට වාගේ කවුරුන් හෝ ඇහුවොත් ඒ අයට මෙසේ කිව හැක. ඒ කඳවුරු තුළ සිටි එල්.ටී.ටී.ඊ යට සම්බන්ධ පිරිස් කෙසේ හෝ උප්පරවැට්ටි යොදා තවත් මරාගෙන මැරෙන සැලසුමකට කොළඹට පැනගෙන ඇති බවය.

No comments: