Tuesday, September 8, 2009

අසභ්‍ය ප‍්‍රකාශන සහ අපරාධ අතර සම්බන්ධයක් නැහැ

වැඩිහිටියන් විසින් පරිහරණය කරන කලා කෘති තහනම් කිරීමට නීතිගෙන එන බවට සංස්කෘතික ඇමතිවරයා විසින් ප‍්‍රකාශ කිරීමත් සමඟ ම ඒ පිළිබඳ ආන්දෝලනයක් ඇතිවිය. ඒ පිළිබඳ කලාකරුවන්ගේ අදහස් පළ කිරීමට ‘සමබිම’ අපිද කටයුතු කළෙමු.අනතුරුව ඇති වු කතා බහක ප‍්‍රතිඵලයක් වශයෙන් ‘සංස්කෘතික දේශපාලන හා ප‍්‍රතිපත්ති’ මැයෙන් සාකච්ඡා සභාවක් අගෝස්තු 26 දා සවස කොළඹදී පැවැත්විණි.නීතිඥ කේ.ඩබ්ලිව්.ජනරංජන විසින් මෙහෙයවන ලද මෙම සභාවේදී නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු නීතිඥ ජේ.සී වැලිඅමුණ සහ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන අදහස් දැක්වූහ.
ධර්මසිරි බණ්ඩාරනායක, පරාක‍්‍රම නිරිඇල්ල, එස්.ජී. පුංචිහේවා, චන්ද්‍රගුප්ත තේනුවර, සිරිමල් විජේසිංහ, සෞම්‍ය ලියනගේ, රාජිත දිසානායක ඇතුළු කලාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරගෙන යාම සඳහා ක‍්‍රියාකාරී කමිටුවක් ද පත් කර ගන්නා ලදි.පහත පළවන්නේ එම සාකච්ඡාවේදී
වැලිඅමුණ මහතා ඉදිරිපත් කළ අදහස් වලින් කොටසකි.



ලෝකය පුරාම භාෂණයේ නිදහස නැත්නම් කථා කිරීමට තියෙන නිදහස පිළිබඳ නෛතික සංකල්පයක් මුලින්ම ගෙනාවෙ ඇමෙරිකානු ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින්. ඒ මඟින් නීතියක් ලෙස සංශෝධනයක් ගෙනාවා කොන්ග‍්‍රස් මණ්ඩලයට භාෂණයේ නිදහස සීමා කරන ආකාරයේ නීති පැනවිය නොහැකිය කියලා.
මේ සංශෝධනය තමයි ලෝකෙ භාෂණයේ නිදහස ආරක්ෂා කරන නීතිමය රටාවක් දැකිය හැකි පළමුවැනි වතාව. ඒ සංශෝධනයේ ප‍්‍රතිඵලයක් වශයෙන් මොකක්ද භාෂණයේ නිදහස කියන්නෙ කියල යම්කිසි කතිකාවතක් ඇතිවුණා. එහිදී මතු වුණා අදහසක්, සාමාන්‍යයෙන් භාෂණයේ නිදහස ගැන කථා කරන කොට දේශපාලනමය භාෂණයේ නිදහස ගැන විතරද සිතිය යුත්තේ කියල. ඉන් පසුව දේශපාලනමය භාෂණයේ නිදහසට අමතරව අනිකුත් අදහස් ප‍්‍රකාශ කිරීම්ද මේ අයිතිවාසිකම තුළට යටත් කියලා පිළිගන්න ටික කාලයක් ගියා. එ්කට පාදක වුණේ ඇත්ත වශයෙන්ම භාෂණයේ නිදහස පිළිබඳ ඓතිහාසික අධ්‍යයන. ඒ ඓතිහාසික අධ්‍යයන පසුකාලීනව නීතියේ පදනම් බවට පත්වුණා. දැන් භාෂණයේ නිදහස යන්නෙන් අඩු තරමින් අංග තුනක් ගැන කියවෙන බව පිළිගන්නවා. නමුත් මේවා කාලයෙන් කාලයට දියුණුවෙලා ආපු අදහස්.
අසභ්‍ය ප‍්‍රකාශන වලට එරෙහිව නැගෙන සමාජමය කතිකාවත තුළ සාකච්ඡා වෙනවා අසභ්‍ය ප‍්‍රකාශන සහ කලා කෘති සමාජයට අහිතකරද, එහෙම නැත්නම් සැහැසිකම් වලට හෝ අපරාධ වලට පිටුවහලක් සපයනවද කියල. මේ පිළිබඳව ලියැවී තියෙන නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ වලින් එක දෙයක් පැහැදිලි වී තියෙනවා. අසභ්‍ය ප‍්‍රකාශන හා කාම දර්ශන හේතුවෙන් කාම අපරාධ හෝ සමාජ විරෝධී ක‍්‍රියාකාරකම් වෙන බවට කිසිම සාක්‍ෂියක් කිසිදු විද්‍යාත්මක සමීක්‍ෂණයකින් හෝ පරීක්‍ෂණයකින් මෙතෙක් හොයාගෙන නැහැ. අසභ්‍ය ප‍්‍රකාශන හා අපරාධ අතර සම්බන්ධය හොයන්න 1967 දී ඇමෙරිකාවෙ ජනාධිපති ජොන්සන් කොමිසමක් පත්කළා. ඒ කොමිසම මේ පිළිබඳව දත්ත විශාල සංඛ්‍යාවක් රැස් කළා. එම පර්යේෂණ වලින් පෙනී ගියේ මේ කාරණා දෙක අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි. ඒ වගේම ඔවුන් එම පරීක්ෂණය අවසානයේ සොයාගත්තා සමාජයේ ඇති වී තියෙන ප‍්‍රශ්නය කාමුක චිත්ත රූප නිසා හටගත් එකක් නෙවෙයි, ඍජුව ලිංගික කටයුතු වලට මැදිහත් වීමට දක්වන මැලිකම නිසා හටගත් එකක් බව. ඒක මේ කොමිසමේ එක නිගමනයක්ද වුණා. ඉතිහාසය තුළ අසභ්‍ය ප‍්‍රකාශන හා වාරණය සම්බන්ධයෙන් සමාජය නොයෙක් විට විවිධාකාරයෙන් ප‍්‍රතිචාර දක්වා තියෙනවා. මම හිතන්නෙ පාලකයින් අතාර්කික සහ අවිද්‍යාත්මක පදනම් මත ඉදගෙන නීතිය සහ බලය හැසිරවීමේ ප‍්‍රතිඵල විදිහටයි මෙවැනි වාරණයන් ඇතිවන්නේ. ඒ වගේම කිව යුතුයි, මෙවැනි වාරණයන් පැනවීම සුදුසුකම් නැති මහජන නියෝජිතයින්ගේ ප‍්‍රශ්නයක් විතරක්ම නෙවෙයි. ජනතාවගේ උනන්දුවක් නොමැතිවීම, කලාකරුවන් සහ මාධ්‍යවල ඉන්න පිරිස් අතර තියෙන බෙදීම් වගේ කාරණාත් මීට බලපානවා.

No comments: