Friday, March 12, 2010

දේශපාලකයා මාධ්‍යවේදියාගේ ඔළුවට ගහලා

ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මාස දෙක හමාරක් ගත වී ඇත. ඔහු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. ඔහුගේ අතුරුදහන්වීම ජනමාධ්‍යවේදියෙකුට සිදුවූ විපතක් වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ විට ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බලනු වෙනුවට ආණ්ඩුව පැත්තෙන් අසන ලද්දේ කැකිල්ලේ වර්ගයේ ප‍්‍රශ්නයකි.
”එක්නැලිගොඩ කියන්නේ කවුද ? ”
ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුව කිසියම් පුද්ගලයෙකුට ඔවුන්ගේ අමාත්‍යංශය විසින් නිකුත් කළ නිල හැඳුනුම්පතක් නැත්නම් ඔහු හෝ ඇය මාධ්‍යවේදියෙකු නොවේ. ජනමාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. හරියටම භික්ෂූන් වහන්සේ නමක් කිසියම් වරදකට චූදිතයකු වූ විට මාධ්‍යයට ඔහු චීවරධාරියෙකු වන පරිද්දෙනි.
ඒ විග‍්‍රහයට අනුව බලන විට 2008 මාර්තු 07 වනදා ත‍්‍රස්ත විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්ව පසුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා අවුරුදු විස්සකට සිරගත කරන ලද ජයප‍්‍රකාශ් තිස්සනායගම් මාධ්‍යවේදියෙකු නොවේ. එමෙන්ම ඊට වසර දෙකකට පසු ජනාධිපතිවරණය මුව විටේදි අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් එක්නැලිගොඩද මාධ්‍යවේදියෙකු නොවේ.
ජෝර්දානයේ ලිබරල් පුවත්පතක් වන අල්-ඝාඞ්හි ප‍්‍රධාන කර්තෘ මුසා බර්හවුමාට අනුව සෑම අරාබි පත්තරකාරයෙකු තුළම පොලිස්කාරයෙකු ජීවත් වෙයි. මේ පොලිස්කාරයා පත්තරකාරයාට නොලියනු, ප‍්‍රකාශ නොකරනු, ක‍්‍රියා නොකරනු යනුවෙන් නීති පනවමින් නියෝග නිකුත් කරයි, අනතුරු සංඥ දක්වයි. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් පත්තරකාරයාට පුළුල් නිදහසක් අවශ්‍ය කෙරෙයි. තමා තුළ සිටින පොලිස්කාරයා පාලනය කිරීමට ඔහුට හැකිවන්නේ එවිට පමණකි. බර්හවුමාට අනුව බලධාරීන්ගේ අතවර කිරීම් මඟහැරයාමට තරම් මාධ්‍යවේදියා දක්ෂ විය යුතු අතර ඔහු ඒ සඳහා මීට වඩා උත්සාහ දැරිය යුතුය.
ජෝර්දානයේ රාජාණ්ඩුවට අදාලව ලියැවුණු දේ ලංකාවේ රාජ-පක්ෂ ආණ්ඩුවට අදාලව බැලූ විට අපට කිව හැක්කේ බොහෝ පිළිගත් මාධ්‍යවේදීන් තුළ සිටින්නේ පොලිස් නිලධාරියකු නොව ආණ්ඩුවේ දේශපාලකයකු බවයි. ලිවිය යුතු, ප‍්‍රකාශ කළ යුතු සහ කළ යුතු දේ මාධ්‍යවේදියාට කියන්නේ එකී දේශපාලකයාය. ලංකාවේ මාධ්‍යවේදියා තුළ සිටින්නේ ජෝර්දානයේ මෙන් දරුණු පොලිස් නිලධාරියෙකු නොව සියළුදෙනාට රජයේ මුදලින් පිහිට වන ලොකු අයියා කෙනෙකු වැනි දේශපාලකයකු නිසා ඔවුන් ජෝර්දානයේදී මෙන් වැඩිපුර නිදහසක් ඉල්ලා සිටින්නේ නැති අතර තිබෙන නිදහසත් ඕනෑවට වැඩි යයි කියති.
සාම්ප‍්‍රදායික, සම්මත මාධ්‍යවේදීන් පවතින ක‍්‍රමයට හීලෑ වන විට, අතීතයේ විසූ රැඩිකල් මාධ්‍යවේදීන් පවතින ක‍්‍රමයේ සුපිරි ආරක්ෂකයන් බවට පත්වන විට, පවතින අසාධාරණයන්ට විරුද්ධව හඬ නගන්නට ඉදිරිපත් වන්නේ දේශපාලන වුවමනාවක් සහිත මිනිසුන්ය. ඔවුන්ට එරෙහිව මර්දනය මුදා හැරෙන විට නැගෙන ප‍්‍රශ්නය වනුයේ ඔවුන් ඇත්තටම මාධ්‍යවේදීන්ද යනුය. තිස්සනායගම් සිරගත වන විට, තිලක් කෝදාගොඩට රට හැර පළායාමට සිදු වූ විට, එක්නැලිගොඩ අතුරුදහන් වූ විට ඇසෙමින් පවතින්නේ එම ප‍්‍රශ්නයයි.
එක අතකින් මෙය ලංකාවට පමණක් අදාල ප‍්‍රශ්නයක් නොව ගෝලීය ප‍්‍රවණතාවයකි. අත්තනෝමතික, ඒකාධිපති පාලනයක් කරා ගමන් කරන බොහෝ රටවල මෙම තත්ත්වය දැකීමට පුළුවන. විශේෂයෙන්ම රට, ජාතිය, රාජ්‍යය, සමාජය, පාලක පක්ෂය සහ පාලක බල හවුල හෝ පාලක පවුල එකක් ලෙස සලකමින් එයට විරුද්ධ වන ඕනෑම කෙනෙකු ද්‍රෝහියෙකු ලෙස සැලකීමේ සම්ප‍්‍රදායක් සහිත රටක මෙම තත්ත්වය සුලබය.
මෙයට ඉතා හොඳ උදාහරණයක් සපයන රටක් ලෙස අපට ඉරානය හඳුනාගත හැකිය. ඉරාන ජනාධිපති මහ්මුද් අහ්මදිනෙජාද් දෙවන වරටත් බලයට පත් වූ ආකාරය පිළිබඳව විරෝධතා ඇති වූ විට ජාත්‍යන්තර මාධ්‍ය වෙනුවෙන් එ්වා වාර්තා කරන ලද මාධ්‍යකරුවන් දඩයම් කිරීමට ඉරානයේ විප්ලවීය හමුදාව කටයුතු කළේය. ඔවුන්ට එරෙහිව චෝදනා නගන ලද්දේ විරෝධතා ව්‍යාපාරයන් වාර්තා කිරීම පිළිබඳව නොව එම විරෝධතා ඇති කිරීමට දායක වූවා යැයි යන චෝදනාව මතය. වෙනත් වචනයකින් කිවහොත් ඡන්ද විමසීමෙන් අනතුරුව විප්ලවීය හමුදාව විසින් ජනමාධ්‍යවේදය අපරාධයක් බවට පත් කරන ලද්දේ ඉරාන ඉස්ලාමීය සමුහාණ්ඩුව තුළ විල්ලූද විප්ලවයක් ඇති කිරීම සඳහා දායකත්වය දැක්වීය යන චෝදනා නගමිනි.
2009 ජුනි මාසයේ සිට 80කට වැඩි ජනමාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් සමහරු කෙටි නඩු විභාගයකින් අනතුරුව වසර ගණනාවකට සිරගත කරනු ලැබ ඇත. 2009 වසරේදී ජනමාධ්‍යවේදීන් සිරගෙට යැවීම සම්බන්ධයෙන් ඉරානය දෙවැනි වූයේ චීනයට පමණකි.
මේ මාධ්‍යවේදීන්ට එරෙහිව චෝදනා එල්ල කොට නඩු පවරා ඔවුන් සිරගත කරන්නේ කැකිල්ලේ ක‍්‍රමවේදයක් අනුවය. සුප‍්‍රකට ‘නිව්ස්වීක්’ සඟරාවේ වාර්තාකරුවෙකු වන මසියාර් බහාරි ටෙහෙරාන්හි ඒවින් බන්ධනාගාරයේ දින 118ක් ගත කළේය. ජුනි මාසයේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ඔහු අන් සිරකරුවන්ගෙන් වෙන්කොට හුදකලා සිරකුටියක රඳවා තබන ලදි. දිනපතා ඔහුට පහරදෙන ලද අතර ප‍්‍රශ්න කිරීම් වලටද භාජනය විය. ඔහුට එරෙහිව එල්ල කළ චෝදනාව වූයේ බටහිර රටක ඔත්තු සේවාවකට ඔත්තු සැපයීම වුවද එය ඔප්පු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි ඔවුන්ට නොලැබිණි. ඉන්පසු ඔහුට එරෙහිව අමුතුම ආකාරයේ චෝදනාවක් ගොණු කරන ලදි. එනම් ‘මාධ්‍ය’ ඔත්තු බැලීමයි. මෙම වරද සම්බන්ධ නිසි අර්ථකථනයක් නැති වුවද සරල තර්කයක් මගින් එය තේරුම් කරගත හැකිය. මාධ්‍යවේදියාට වැටුප් ගෙවනු ලබන්නේ බටහිර ප‍්‍රවෘත්ති ආයතනයක් විසිනි. එම වැටුපට හිලව්වට ඔහු විදේශිකයන්ට - එනම් ඉරානයේ සතුරන්ට - වාර්තා යවයි. ඉතිං ඔත්තුකරුවනුත් කරන්නේ එපමණක් නොවේද? තව කතා කුමකටද?
මාධ්‍යවේදීන් දඩයම් කිරීමද සිදුවන්නේ දිය බොමින් සිටි බැටළු පැටවා මරා කෑමට සිතූ වෘකයා ඉදිරිපත් කළ ආකාරයේ තර්ක ක‍්‍රමයක් පදනම් කරගෙනය. වරද සොයාගෙන දඬුවම් කිරීම වෙනුවට සිදුවන්නේ පළමුව දඬුවම තිරණය කොට ඉන්පසුව වරදක් සොයා ගැනීමයි. එම දඬුවමට ලක්වන අය මාධ්‍යවේදීන් නොවන බවට නම් කර ගැනීම මගින් ඉතිරි වන සම්මත මාධ්‍යවේදීන්ට කිසිදු හිරිහැරයකට ලක් නොවී ජීවත්වීමට ඉඩ සැලසෙනු ඇත.

Back to Home
View Pdf

Tuesday, March 9, 2010

සමබිම 100 වන කඩඉම පසු කිරීම නිමිත්තෙන් මෙතෙක් සමබිම සමඟ රැඳී සිටි පාඨකයන් කිහිපදෙනෙකු මෙසේ සිය අදහස් දැක්වූහ.



විදර්ශා තිළිණි රත්නායක
මාතලේ විජය විද්‍යාලයේ පාසල් සිසුවියෙකි.

අද අපේ රටේ මානව හිමිකම් කියලා දෙයක් දකින්න නැහැ. රජය විසින් ආරක්ෂා කරන්න ඕන මානව හිමිකම් රජයමයි කඩන්නේ. ඒවා ආරක්ෂා කරන්න පියවර ගැනීමේ වගකීම ඔවුන් සතුව තියෙන්නේ. බලන්න අද මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කොච්චර කඩවෙනවාද? මාධ්‍ය මර්දනය කරනවා. මාධ්‍යවේදීන් ඝාතනය කරනවා. මාධ්‍යවේදීන් කී දෙනෙක් දැන් අතුරුදහන් වෙලා තියෙනවාද? රාවය පත්තරේම එ් වගේ සිදුවීම් කීයක් හෙළි කරලා තියෙනවාද? ඒත් සමහර මාධ්‍යවේදීන්ට මුහුණ දෙන්න වෙලා තියෙන සිදුවීම් ගැන ජනාධිපතිතුමා දන්නෙත් නැහැ. නීති හදන්නේත් ඔවුන් කඩන්නෙත් ඔවුන්මයි.
තමන්ගේ බලය රැක ගන්න ඕන නිසා මානව හිමිකම් සුරක්ෂිත කරන්න ඔවුන් යම් යම් පියවර ගන්නා බව අපට පෙන්නයි. ඒත් බලය තහවුරු වුණාට පස්සේ ඒ කිසිදෙයක් සිදුවෙන්නේ නැහැ. තිස්සනායගම් කියන මාධ්‍යවේදියා අත්අඩංගුවට අරන් රඳවා ගෙන හිටිය ආකාරයත් නිදහස් කරපු ආකාරයත් දිහා බැලූවම ඒක හොඳටම පැහැදිලියි. මේ රජය විතරක් නෙවෙයි හැම රජයක්ම, හැම පාලකයෙක්ම හැසිරෙන්නේ මෙහෙමයි.
මේ තත්ත්වය නැති කරන්න සිවිල් සංවිධාන අනිවාර්යයෙන්ම මැදිහත් වෙන්න ඕන. මේ ගැන කතා කරන සමාජයක් ඇති කරන්න ඕන. ඒ සඳහා අපි වගේ සාමාන්‍ය ජනතාව අතර කතිකාවක් ඇති කිරීම මුලින්ම කළයුතු දෙයක්. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. ඒ නිසා රටේ සියළු කරුණු කාරණා තීරණය වෙන්නේ මහජන කැමැත්තට අනුව. ඔවුන් අතර නැගිටීමක් ඇති කිරීම සිවිල් සමාජයේ වගකීමක්.

අමිල උදයංග බණ්ඩාර
කොළඹ විශ්ව විද්‍යාලය

රටක පවතින නීතියට ගරු කිරීම සෑම පුරවැසියෙකුගේ වගේම රජයේත් යුතුකමක්. වගකීමක්. මැතිවරණයකදී වගේම අනෙක් සෑම කටයුත්තකදීම ඊට අදාළ වෙන නීනියක් පවතිනවා. හිමිකම් කඩවීමකදීත් ඒකට පිළිතුරු නීතිය තුළ තියෙනවා. නමුත් රජය විසින්ම ඒවා කඩ කරනවා නම් නීතිය නොසලකා හරිනවා නම් රජය ඊට වගකිව යුතුයි.
දැනට සිදුවෙන දේවල් අනුව රජයට නීතිය සුරක්ෂිත කිරීමට හෝ මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ප‍්‍රබල ඕනෑකමක් තියෙන බවක් පේන්නේ නැහැ. මැතිවරණයකින් පසුව එළැඹෙන දින 14 තුළ පක්ෂ විපක්ෂ බව නොසළකා ප‍්‍රචණ්ඩ ක‍්‍රියා ගැන රජය සොයා බැලිය යුතුයි. නමුත් මෙතෙක් සාමාන්‍ය ජනතාවට ඒ සම්බන්ධව පැන නැඟුණ ප‍්‍රශ්නවලට රජය පිළිතුරු දීලා නැහැ.
රජය ඒ යුතුකම පැහැර හරින කොට රජයද, විරුද්ධ පාර්ශ්වයද කියලා නොබලා ඒවා ගැන සොයාබලා කටයුතු කරන්න සිවිල් සංවිධාන ක‍්‍රියා කළ යුතුයි. මහජනතාවට හෙළිදරවු නොවූ කරුණු යටපත් නොකර ඉදිරිපත් කිරීම, රජයේ වැරදි පෙන්වාදීම ඔවුන් කළ යුතුයි.

සසීන්ද්‍රන් සත්සිවන්
කොළඹ 06

මේ ආණ්ඩුව විතරක් නෙවෙයි ඉස්සර තිබුණ යූ. ඇන්.පී. ආණ්ඩුවත් කළේ එකම දේ. පුරවැසියන් විදිහට අපි හැමදාම දැන දැනම රට පාලනය කරන්න පත් කරන්නේ මැරයන්, දූෂීතයන්, වංචනිකයින්. නිවැරදි මිනිහට වගේම නිවැරදි දේට කවදාවත් ඉඩක් නැහැ. ඡුන්ද දායකයින් බුද්ධිමත්ව තීරණ ගන්නවා නම් මානව හිමිකම් ඉබේම සුරැකෙනවා. ලංකාව දකුණු ආසියාවේ උගත්කමෙන් ඉදිරියෙන්ම ඉන්න රටක්.හැබැයි මෝඩ තීන්දු ගන්න එකෙනුත් අංක එකට ඉන්නේ ලංකාව.
මගේ මතය නම් කවදාවත් මේ රටේ පාලකයෝ අපේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා දුන්නේ නැහැ. දෙන්නෙත් නැහැ. ලංකාවේ බහුතරයක් ඉන්නේ උගත් අය. ඉගෙන ගත්තම නූගත් අය රවටන්න ලේසියි. නූගත් මිනිස්සු ඉන්නේ සුළුතරයක්. ඉතිං අර උගත් 90% විසින් නූගත් 10% රවට්ටන්නයි බලන්නේ. ලංකාවේ මානව හිමිකම් සුරක්ෂිත වෙලා ස්ථාවර වුණොත් එදාට මම මගේ නම වෙනස් කරනවා. මොන ආණ්ඩුවක් ආවත් මානව හිමිකම් උල්ලංඝණය කරනවා. ඒක ස්ථීරයි. කාටවත් පවතින ක‍්‍රමය තුළ මේ කාර්යය කරන්න ඉඩක් නැහැ. මම මේ ආණ්ඩුවට දොස් කියනවා නෙවෙයි. මරණීය භය නිසා අද තමන්ගේ අයිතියවත් රැකගන්න මිනිස්සු ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ගැන කතා කරලාවත් වැඩක් නැහැ. මටයි, ඔබටයි, සමබිමටයි, රාවයටයි මේ රටේ මිනිස්සුන්ගේ අයිතීන් ආරක්ෂා කරලා දෙන්න බැහැ. ලංකාව අනාගතයේදී සූඩානය,සෝමාලියාව වගේ තත්ත්වයකට පත්වෙන එක ස්ථිරයි. සිවිල් සංවිධානවලටත් මේ අභියෝග ජයගන්න අමාරුයි. ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වය තුළත් විනිවිදභාවයක් දකින්න නැහැ. මාධ්‍ය ගත්තත්, මාධ්‍යවේදීන් ගත්තත්, වෙනත් ඕනෑම කෙනෙක් ගත්තත් වැඩ කරන්නේ එකම විදිහකට. ඊයේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මාධ්‍ය නිදහස කතා කරපු මාධ්‍යවේදීන් අද ඡන්දය ඉල්ලනවා. හෙට මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කඩනවා. රාවය කාලයක් චන්ද්‍රිකා පස්සේ ගියා. දැන් මහින්ද පස්සේ යනවා. එදා අපිට රාවය බලන්න තිබුණ කුතුහලය අද දියාරු වෙලා ගිහිං.

අම්බැවිලේ සෝරත හිමි

මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමේදී ප‍්‍රධාන වශයෙන්ම මිනිස්සුන්ට ලිවීමේ, කියවීමේ නිදහස තියෙන්න ඕන. ජනමාධ්‍ය මඟින් සත්‍ය දැනගන්න පුළුවන් වෙන්න ඕන. සත්‍ය දැනගන්න තියෙන අයිතිය මේ වෙලාවේ ආණ්ඩුව විසින් දැඩි ලෙස සීමා කරලා තියෙනවා. ඒ නිසා රජයේ ක‍්‍රියා පිළිවෙත ගැන මගේ කිසිම ප‍්‍රසාදයක් නැහැ. ජනතාවට ඇත්ත දැනගන්න තියෙන අයිතිය කප්පාදු කරමින් විද්‍යුත් මුද්‍රිත සෑම මාධ්‍යයක්ම පවතින රජයේ හොරණෑ බවට පත්වෙලා නම් මිනිස්සු කොහොමද ඇත්ත දැනගන්නේ ?
මට අනුව මේ රජය තුළ කිසිදු ආකාරයක සුභවාදී ආකල්පයක් දකින්න නැහැ. වරප‍්‍රසාද උදෙසා මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම බිංදුවට බස්සලා තියෙනවා. තමන්ගේ විරුද්ධවාදීන්ට එරෙහිව සැලසුම් කිරීම්, ඔවුන් කොටුකර ගැනීමට මාර්ග විවෘත කර ගැනීම් සහ ඔවුන් ඝාතනය කළ ආකාරය අනුව මානව හිමිකම් සුරක්ෂිත කිරීමට නිවැරදි දර්ශනයක් හා දැක්මක් රජයට අලූතෙන් පහළ වෙයි කියලා හිතන්න බැහැ.
මෙතනදී සිවිල් සමාජ සංවිධානවලට ඉටු කරන්න තියෙන කාර්යභාරය නම් ඉතාමත් වැදගත්. මම සමබිම පටන් ගත් දවසේ පටන් කියවන කෙනෙක්. දේශපාලන වරප‍්‍රසාද වලට ගැති නොවී හෘද සාක්ෂියට එකඟව සත්‍ය ප‍්‍රකාශ කරන්න, දැන ගන්න ඉඩක් විවෘත වීම ඉතා වැදගත්. තමන් කැමති දෙයට අනිත් මිනිසුන් නතුකර ගන්නට දත කන වරප‍්‍රසාද සහිත පංතියේ උවමනාවන් ඉෂ්ඨ කරන්න සමාජයේ පරමාදර්ශී මිනිසුන් විදිහට අපෙන් සැලකුම් ලැබූ කලාකරුවන්,විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ආගමික නායකයන් වැනි අය හෘද සාක්ෂියක් නැති පඹයින් පිරිසක් වගේ හැසිරෙනවා.
එවැනි තත්ත්වයක් තුළ සිවිල් සංවිධාන හෝ මේ කාර්යභාර්ය සිදු නොකළොත් මිනිස්සු සහ සමාජය කොතැනට ගිහිං නතරවෙයිද කියලා අනුමාන කරන්නවත් බැහැ. ඔවුන් මෙයට මැදිහත් නොවුණොත් දැවැන්ත සමාජ ඛේදවාචකයක් සිදුවෙන්නේ. නමුත් සිම්බාබ්වේ වාගේ රටවල්වල සිවිල් සමාජ අඩපණ කරලා තියෙන විදිහටම අපේ රටේ සිවිල් සමාජවලටත් අනතුරු අඟවමිනුයි දැන් රජය සිටින්නේ.

පී.වී.සෙල්වරාජ්
වවුනියාව

මහජනතාව ආරක්ෂා කරන්න ඕන රජය. ජනතාවගේ සියළුම ආකාරයේ අයිතිවාසිකම් රැුකීමට ඇති ආයතන පණ ගන්වලා සාධාරණය ඉටුවන ක‍්‍රියාකාරීත්වයක් සකස් කරන්න රජය පියවර ගන්න ඕන. රජයට මානව හිමිකම් ආරක්ෂා කරන්න වගකීමක් තිබුණත් ඔවුන්ගේ දේශපාලන අවශ්‍යතා ප‍්‍රමුඛවීම මත එ් වගකීම් ගිලිහී යන තත්ත්වයක් පේනවා.
අද මාධ්‍ය හරහා අපට දකින්න ලැබෙන දේවල් අනුව සියයට සීයක් මානව හිමිකම් ආරක්ෂා කරන්න රජය පෙළඹෙයි කියලා කියන්න අමාරුයි. ඔවුන් ඒක උවමනාවෙන්ම නොකළත් මූලිකත්වය දෙන්නේ වෙනත් කාරණා වලට නිසා ඔවුන් අතින් එ්වාට අඩු සැලකිල්ලක් යොමුවන බව පේනවා. මෙතනදී සිවිල් සමාජයට ලොකු වගකීමක් පැවරෙන බවයි මගේ අදහස. සිවිල් සමාජය තුළ විවිධ තරාතිරම්වල, විවිධ මට්ටම්වල පිරිස් ඉන්නවා. ඔවුන්ට රජයේ අඩුපාඩු පෙන්වා දී රජය නිවැරදි මාර්ගයේ ගමන් කරවීමේ හැකියාව තිබෙනවා.
ඊට අමතරව ඔවුන්ට ජනතාව දැනුවත් කරන්න පුළුවන්. රජය කරන වැරදි මුලින්ම පේන්නේ සිවිල් සමාජයට. ඔවුන් ඒ වරද ඉස්මතු කරල ජනතාවට පෙන්විය යුතුයි. ඒවාගේම එය නිවැරදි කර ගැනීමේ මාර්ගයත් පෙන්වා දිය යුතුයි. ඒක සංවිධානවලට වගේම පුද්ගලයන්ටත් කරන්න පුළුවන්. මේක කාටවත් ද්‍රෝහීවීමක් නිසා කරන ප‍්‍රකාශයක් නෙවෙයි. හොඳ සිවිල් සමාජයක් බිහිකර ගැනීමට හැමකෙනාම දායකත්වය දිය යුතුයි.

Back to home
view pdf