ප‍්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් වී මාස දෙක හමාරක් ගත වී ඇත. ඔහු ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ විශේෂාංග කර්තෘවරයා වශයෙන් කටයුතු කළේය. ඔහුගේ අතුරුදහන්වීම ජනමාධ්‍යවේදියෙකුට සිදුවූ විපතක් වශයෙන් ජාතික හා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළ විට ඔහුට සිදුවූයේ කුමක්දැයි සොයා බලනු වෙනුවට ආණ්ඩුව පැත්තෙන් අසන ලද්දේ කැකිල්ලේ වර්ගයේ ප‍්‍රශ්නයකි.
”එක්නැලිගොඩ කියන්නේ කවුද ? ”
ජනමාධ්‍ය අමාත්‍යංශයට අනුව කිසියම් පුද්ගලයෙකුට ඔවුන්ගේ අමාත්‍යංශය විසින් නිකුත් කළ නිල හැඳුනුම්පතක් නැත්නම් ඔහු හෝ ඇය මාධ්‍යවේදියෙකු නොවේ. ජනමාධ්‍යවේදියෙකු යැයි කියාගන්නා පුද්ගලයෙකි. හරියටම භික්ෂූන් වහන්සේ නමක් කිසියම් වරදකට චූදිතයකු වූ විට මාධ්‍යයට ඔහු චීවරධාරියෙකු වන පරිද්දෙනි.
ඒ විග‍්‍රහයට අනුව බලන විට 2008 මාර්තු 07 වනදා ත‍්‍රස්ත විමර්ශන අංශයේ අත්අඩංගුවට පත්ව පසුව ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු පවරා අවුරුදු විස්සකට සිරගත කරන ලද ජයප‍්‍රකාශ් තිස්සනායගම් මාධ්‍යවේදියෙකු නොවේ. එමෙන්ම ඊට වසර දෙකකට පසු ජනාධිපතිවරණය මුව විටේදි අතුරුදහන් කරන ලද ප‍්‍රගීත් එක්නැලිගොඩද මාධ්‍යවේදියෙකු නොවේ.
ජෝර්දානයේ ලිබරල් පුවත්පතක් වන අල්-ඝාඞ්හි ප‍්‍රධාන කර්තෘ මුසා බර්හවුමාට අනුව සෑම අරාබි පත්තරකාරයෙකු තුළම පොලිස්කාරයෙකු ජීවත් වෙයි. මේ පොලිස්කාරයා පත්තරකාරයාට නොලියනු, ප‍්‍රකාශ නොකරනු, ක‍්‍රියා නොකරනු යනුවෙන් නීති පනවමින් නියෝග නිකුත් කරයි, අනතුරු සංඥ දක්වයි. මේ තත්ත්වය වෙනස් කිරීමට නම් පත්තරකාරයාට පුළුල් නිදහසක් අවශ්‍ය කෙරෙයි. තමා තුළ සිටින පොලිස්කාරයා පාලනය කිරීමට ඔහුට හැකිවන්නේ එවිට පමණකි. බර්හවුමාට අනුව බලධාරීන්ගේ අතවර කිරීම් මඟහැරයාමට තරම් මාධ්‍යවේදියා දක්ෂ විය යුතු අතර ඔහු ඒ සඳහා මීට වඩා උත්සාහ දැරිය යුතුය.
ජෝර්දානයේ රාජාණ්ඩුවට අදාලව ලියැවුණු දේ ලංකාවේ රාජ-පක්ෂ ආණ්ඩුවට අදාලව බැලූ විට අපට කිව හැක්කේ බොහෝ පිළිගත් මාධ්‍යවේදීන් තුළ සිටින්නේ පොලිස් නිලධාරියකු නොව ආණ්ඩුවේ දේශපාලකයකු බවයි. ලිවිය යුතු, ප‍්‍රකාශ කළ යුතු සහ කළ යුතු දේ මාධ්‍යවේදියාට කියන්නේ එකී දේශපාලකයාය. ලංකාවේ මාධ්‍යවේදියා තුළ සිටින්නේ ජෝර්දානයේ මෙන් දරුණු පොලිස් නිලධාරියෙකු නොව සියළුදෙනාට රජයේ මුදලින් පිහිට වන ලොකු අයියා කෙනෙකු වැනි දේශපාලකයකු නිසා ඔවුන් ජෝර්දානයේදී මෙන් වැඩිපුර නිදහසක් ඉල්ලා සිටින්නේ නැති අතර තිබෙන නිදහසත් ඕනෑවට වැඩි යයි කියති.
සාම්ප‍්‍රදායික, සම්මත මාධ්‍යවේදීන් පවතින ක‍්‍රමයට හීලෑ වන විට, අතීතයේ විසූ රැඩිකල් මාධ්‍යවේදීන් පවතින ක‍්‍රමයේ සුපිරි ආරක්ෂකයන් බවට පත්වන විට, පවතින අසාධාරණයන්ට විරුද්ධව හඬ නගන්නට ඉදිරිපත් වන්නේ දේශපාලන වුවමනාවක් සහිත මිනිසුන්ය. ඔවුන්ට එරෙහිව මර්දනය මුදා හැරෙන විට නැගෙන ප‍්‍රශ්නය වනුයේ ඔවුන් ඇත්තටම මාධ්‍යවේදීන්ද යනුය. තිස්සනායගම් සිරගත වන විට, තිලක් කෝදාගොඩට රට හැර පළායාමට සිදු වූ විට, එක්නැලිගොඩ අතුරුදහන් වූ විට ඇසෙමින් පවතින්නේ එම ප‍්‍රශ්නයයි.
එක අතකින් මෙය ලංකාවට පමණක් අදාල ප‍්‍රශ්නයක් නොව ගෝලීය ප‍්‍රවණතාවයකි. අත්තනෝමතික, ඒකාධිපති පාලනයක් කරා ගමන් කරන බොහෝ රටවල මෙම තත්ත්වය දැකීමට පුළුවන. විශේෂයෙන්ම රට, ජාතිය, රාජ්‍යය, සමාජය, පාලක පක්ෂය සහ පාලක බල හවුල හෝ පාලක පවුල එකක් ලෙස සලකමින් එයට විරුද්ධ වන ඕනෑම කෙනෙකු ද්‍රෝහියෙකු ලෙස සැලකීමේ සම්ප‍්‍රදායක් සහිත රටක මෙම තත්ත්වය සුලබය.
මෙයට ඉතා හොඳ උදාහරණයක් සපයන රටක් ලෙස අපට ඉරානය හඳුනාගත හැකිය. ඉරාන ජනාධිපති මහ්මුද් අහ්මදිනෙජාද් දෙවන වරටත් බලයට පත් වූ ආකාරය පිළිබඳව විරෝධතා ඇති වූ විට ජාත්‍යන්තර මාධ්‍ය වෙනුවෙන් එ්වා වාර්තා කරන ලද මාධ්‍යකරුවන් දඩයම් කිරීමට ඉරානයේ විප්ලවීය හමුදාව කටයුතු කළේය. ඔවුන්ට එරෙහිව චෝදනා නගන ලද්දේ විරෝධතා ව්‍යාපාරයන් වාර්තා කිරීම පිළිබඳව නොව එම විරෝධතා ඇති කිරීමට දායක වූවා යැයි යන චෝදනාව මතය. වෙනත් වචනයකින් කිවහොත් ඡන්ද විමසීමෙන් අනතුරුව විප්ලවීය හමුදාව විසින් ජනමාධ්‍යවේදය අපරාධයක් බවට පත් කරන ලද්දේ ඉරාන ඉස්ලාමීය සමුහාණ්ඩුව තුළ විල්ලූද විප්ලවයක් ඇති කිරීම සඳහා දායකත්වය දැක්වීය යන චෝදනා නගමිනි.
2009 ජුනි මාසයේ සිට 80කට වැඩි ජනමාධ්‍යවේදීන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, එයින් සමහරු කෙටි නඩු විභාගයකින් අනතුරුව වසර ගණනාවකට සිරගත කරනු ලැබ ඇත. 2009 වසරේදී ජනමාධ්‍යවේදීන් සිරගෙට යැවීම සම්බන්ධයෙන් ඉරානය දෙවැනි වූයේ චීනයට පමණකි.
මේ මාධ්‍යවේදීන්ට එරෙහිව චෝදනා එල්ල කොට නඩු පවරා ඔවුන් සිරගත කරන්නේ කැකිල්ලේ ක‍්‍රමවේදයක් අනුවය. සුප‍්‍රකට ‘නිව්ස්වීක්’ සඟරාවේ වාර්තාකරුවෙකු වන මසියාර් බහාරි ටෙහෙරාන්හි ඒවින් බන්ධනාගාරයේ දින 118ක් ගත කළේය. ජුනි මාසයේ පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් අනතුරුව අත්අඩංගුවට ගත් ඔහු අන් සිරකරුවන්ගෙන් වෙන්කොට හුදකලා සිරකුටියක රඳවා තබන ලදි. දිනපතා ඔහුට පහරදෙන ලද අතර ප‍්‍රශ්න කිරීම් වලටද භාජනය විය. ඔහුට එරෙහිව එල්ල කළ චෝදනාව වූයේ බටහිර රටක ඔත්තු සේවාවකට ඔත්තු සැපයීම වුවද එය ඔප්පු කර ගැනීමට අවශ්‍ය සාක්ෂි ඔවුන්ට නොලැබිණි. ඉන්පසු ඔහුට එරෙහිව අමුතුම ආකාරයේ චෝදනාවක් ගොණු කරන ලදි. එනම් ‘මාධ්‍ය’ ඔත්තු බැලීමයි. මෙම වරද සම්බන්ධ නිසි අර්ථකථනයක් නැති වුවද සරල තර්කයක් මගින් එය තේරුම් කරගත හැකිය. මාධ්‍යවේදියාට වැටුප් ගෙවනු ලබන්නේ බටහිර ප‍්‍රවෘත්ති ආයතනයක් විසිනි. එම වැටුපට හිලව්වට ඔහු විදේශිකයන්ට - එනම් ඉරානයේ සතුරන්ට - වාර්තා යවයි. ඉතිං ඔත්තුකරුවනුත් කරන්නේ එපමණක් නොවේද? තව කතා කුමකටද?
මාධ්‍යවේදීන් දඩයම් කිරීමද සිදුවන්නේ දිය බොමින් සිටි බැටළු පැටවා මරා කෑමට සිතූ වෘකයා ඉදිරිපත් කළ ආකාරයේ තර්ක ක‍්‍රමයක් පදනම් කරගෙනය. වරද සොයාගෙන දඬුවම් කිරීම වෙනුවට සිදුවන්නේ පළමුව දඬුවම තිරණය කොට ඉන්පසුව වරදක් සොයා ගැනීමයි. එම දඬුවමට ලක්වන අය මාධ්‍යවේදීන් නොවන බවට නම් කර ගැනීම මගින් ඉතිරි වන සම්මත මාධ්‍යවේදීන්ට කිසිදු හිරිහැරයකට ලක් නොවී ජීවත්වීමට ඉඩ සැලසෙනු ඇත.
Back to Home
View Pdf
Friday, March 12, 2010
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment