නෙත් FM
නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී
වැඩසටහන්
සාකච්ඡා කළේ තාරා ශ‍්‍රී රාම්
මාධ්‍ය නිදහස කියන්නේ මොකක්ද?
මම සිතන දෙයින් වැඩි ප‍්‍රතිශතයක් අනිත් අයට දැනෙන විදිහට ප‍්‍රකාශ කරන්න මා සහ මගේ අවට පරිසරය විසින් මට නිර්මාණය කරල දෙන අවස්ථාව මාධ්‍ය නිදහස කියල මම අර්ථකථනය කරනවා. දෙවනුව වඩා මානුෂික, වඩා සදාචාර සම්පන්න, වඩා මිනිසුන් ගැන හිතන සමාජයක් කරා මගේ සමාජය ගෙනයන්න මා සහ මගේ පරිසරය තුළින් නිර්මාණය කර දෙන නිදහස මාධ්‍ය නිදහස කියල අර්ථ දක්වන්න පුළුවන්.
ලංකාවෙ ඔය කියන මාධ්‍ය නිදහස තියෙනව කියල ඔබ විශ්වාස කරනවද?
එතනදි මුලින්ම මට ගැටළුවක් පැන නඟිනවා. මගේ ප‍්‍රශ්නය අවංකවම සමාජයට මුදාහරින්න පෞද්ගලිකව මම සූදානම්ද කියන එක? ඇත්තටම මං දන්න තරමින් අපේ රටේ දැන් මාධ්‍යවේදීන් නැහැ. ඉන්නෙ මාධ්‍යකරුවන්.
අද අපි දකිනවා මාධ්‍යවේදීන්ට පහර දෙන්නේ, මාධ්‍යවේදීන් හෙළා දකින්නේ මාධ්‍යවේදීන්මයි. මෙහෙම ගහනකොට මාධ්‍යවේදියාගේ භූමිකාවට මොකක්ද වෙන්නේ ?
වෙන දේ තව අවුරුදු පහකින් විතර බලාගන්න පුළුවන්. පහුගිය දශක කිහිපයක් ගත්තොත්, කාලයක් තිබුණා මාධ්‍යවේදීන්ට බලයක් තිබුණේ නැහැ. 80 දශකය අග භාගයත් එක්ක මාධ්‍යවේදීන්ට ලොකු සිවිල් බලයක් ලැබුණා. ඔවුන් තමයි සමාජය දේශපාලන වෙනසක් කරා අරගෙන ගියේ. ඒ කියන්නේ අපි තමයි දේශපාලනඥයන්ට ගහ හොලවලා දුන්නෙ ගෙඩි අහුලා ගන්න. දැන් ඒ ගහ හොල්ලලා දුන්න කට්ටියට තමයි ගහන්නේ. සමාජය වෙනස් කරන්න මාධ්‍යයට පැවරුවේ සමාජය විසින්මයි. දැන් මාධ්‍යයට දීල තියෙන ඒ සිවිල් බලය මාධ්‍යය විසින් ම නැති කර ගන්නවා නම් වැරදියි.
මාධ්‍ය අපක්ෂපාතී විය යුතුයි කියනවා. ඒ ගැන මොකක්ද කියන්න තියෙන්නේ ?
ඒක අමූලික බොරුවක්. මම නම් එහෙම කියන්නෙ නැහැ. මම කියන්නෙ මාධ්‍ය කිසිවිටෙකත් අපක්ෂපාතී විය යුතු නැහැ. මාධ්‍ය පක්ෂග‍්‍රාහී විය යුතුමයි. අපක්ෂපාතී වෙනව කියන්නෙ හරිම ලේසි දෙයක්. මොකද එ් පැත්තෙන් ටිකක් ගත්තා. මේ පැත්තෙන් ටිකක් ගත්තා. දෙන්න හප්පනවා. ඊට පස්සෙ කියනවා ජනතාවට තීරණය කරන්න කියලා. ඕක බී.බී.සී සම්ප‍්‍රදාය.
මාධ්‍ය පක්ෂපාතී විය යුත්තේ කාටද?
ජනතාවට. මාධ්‍ය අනිවාර්යයෙන්ම ජනතාවගේ පැත්ත ගත යුතුයි. මනෝ විද්‍යාත්මකවම අපි යම්කිසි පැත්තකට වැටෙන මිනිස්සු. මාධ්‍යවේදීන් අපක්ෂපාතී වෙනව කියන්නෙ ඔහුට කොන්දක් නැත්නම් විතරයි. ඒ කියන්නෙ අවංකව ම මේක හරි මේක වැරදියි කියල කියන්න බැරි මිනිස්සුයි අපක්ෂපාතියි කියන්නේ. අපිට සමාජයේ මොකක් හරි වැරැද්දක් වෙනවා නම් කෙලින්ම ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් වෙන්න ඕන ‘තමුසෙ ඔය කරන දේ වැරදියි’ කියලා.
මෑත කාලයේ සමහර මාධ්‍යවේදීන් ජාතිවාදියි කියා චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් ඔබේ මතය මොකක්ද?
මට තියෙන ප‍්‍රශ්නය මාධ්‍යවේදීන්ට අවංකවම ජාතිවාදී වෙන්න පුළුවන්ද කියලා සහ එහෙම වෙච්ච අය මාධ්‍යවේදීන්ද කියලයි.ජනාධිපතිවරයා කියනවා ලංකාවෙ ඉන්නේ ජාතීන් දෙකයි. ඒ රටට ආදරය කරන ජාතිය හා නොකරන ජාතිය. මේ කියමන මාධ්‍යවේදීන්ටත් වලංගුයි. ඔබ අයත් මෙයින් කොයි ගොඩටද ?
ජනාධිපතිතුමාගේ කතාව ඉතා වැදගත් කතාවක්. මම ඒ කතාවට කැමතියි. ජනාධිපතිතුමා කිව්වේ හරි ලස්සන වචනයක්. මේ රටට ආදරය කරන ජාතිය හා නොකරන ජාතිය කියලා. මම මේ රටට ආදරය කරන මනුස්සයෙක්.
අද ලංකාවෙ මාධ්‍යවේදීන්ගෙන් පිරිසක් දේශද්‍රෝහී මාධ්‍යවේදීන් ලෙස නම් කර ලැයිස්තු ගත කර තියෙනවා.
මට මාර කණගාටුවක් තියෙනව මගේ රට ගැන. ඔය ලිස්ට් එක හදන්නෙ කවුද? ඔය ලිස්ට් එකේ ඉන්න බොහෝ මාධ්‍යවේදීන් මට දේශප්‍රේමී මාධ්‍යවේදීන්. රට යහපත් තැනකට ගෙනයන්න කටයුතු කරපු අය. ඔවුන් ලැයිස්තු ගතකළ අය එහෙම කරන්න ඇත්තේ සමහර විට පුද්ගලික තරහවල් හෝ ඊර්ෂ්‍යාවන් නිසා වෙන්න පුළුවන්. ඒ මාධ්‍යවේදීන් පාවිච්චි කරපු විධි ක‍්‍රම පිළිබඳ, දේශපාලනය ගැන සමාජයට සහ තවත් අයට විවේචන තියෙන්නත් පුළුවන්. හැබැයි ඔවුන්ට උවමනාවක් තිබුණා අපේ රට මීට වඩා දියුණු තත්ත්වයකට, මානුෂීය තත්ත්වයකට ගෙන එන්න. ඔය අතරතුර බිස්නස් කරගත්ත කට්ටියත් හිටියා. ඒ ගොල්ලො මාධ්‍යවේදීන් කියල මම කියන්නෙ නැහැ. මට තියෙන්නෙ කවුරුවත් හදපු ලිස්ට් එකක් නෙවෙයි. මම හදා ගත්ත ලිස්ට් එකක්. මම ඒ නම් කියන්න කැමති නැහැ.
පසුගිය කාලයේ බොහෝ මාධ්‍ය ජනතාව ඉල්ලන දේ නැත්නම් වෙළඳපල ඉල්ලූම අනුව සිය මාධ්‍ය භාවිතයේ යෙදවූවා. ඒ අනුව ඇතැම් මාධ්‍ය ජාතිවාදී අදහස් වැපිරීමට වැඩි උනන්දුවක් ගත්තා. ජාතිවාදය ඇත්තටම යමක් මාකට් කරන්න පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. අපි පහුගිය කාලෙ දැක්කා විවිධ අය ඒක පාවිච්චි කරනවා. ජාතික හැඟීම කියන එක මාකටින් එක්ක හොඳට පාවිච්චි කරල රටක් විදිහට ඉදිරියට ගෙනියන්න පුළුවන්. හැබැයි ඒ ටේරන්ඞ් එක හරිම පරිස්සමින් කරන්න ඕන. බැරිවෙලාවත් ජාතිවාදය මාකට් වුණොත් වෙන්නෙ රටක් අවගමනයට ගමන් කරන එක. රටක් ගෝත‍්‍රික වෙන එක. ජාතික හැඟීම් ඇති කරල කොහොම කතා කළත් වෙළෙඳපොළ අපිව යම් මට්ටමකින් පාලනය කරනවා. මෙහෙයවනවා.
ලංකාව මේ දෙකෙන් කොතනද ඉන්නේ ?
ඇත්තටම මම බය වුණා මේකෙ අවසානය ජාතිවාදය කියන තැනට ගමන් කරයි කියල. වාසනාවකට සීයට විසිපහක් විතර ජාතිවාදය දිහාට ගමන් කර නැවත හැරිල ජාතිකත්වය කියන සුභවාදී පැත්තට එය ගමන් ඇරඹුවා.
වඩා ජනතා හිතවාදී පාලනයක් බිහි කරන්න රජයකට බල කිරීමේ වගකීමක් මාධ්‍යයට තියෙනවා කියා පිළිගන්නවද?
මම හැමදාම කැමති මිනිස්සුන්ට මාළු දෙනවට වඩා මිනිස්සුන්ට මාළු අල්ලන්න උගන්වන එකට. මිනිස්සුන්ට මාළු දුන්නොත් මාළු දුන්න මනුස්සයා මැරුණු දවසට ගත්ත මනුස්සයා බඩ ගින්නේ. මාළු අල්ලන්න ඉගැන්නුවොත් කොහේ හරි තොටුපළකට ගිහින් මාළු අල්ලගන්නවා. පවතින රජය අවදි කරන එක හැමදාම මාධ්‍ය මඟින් කෙරෙනවා. වැඩි හරියක් ගත්තොත් මාධ්‍ය මඟින් කරන්නෙ රජයට යම් යම් දේ පෙන්නලා දෙන එක. ඒක විය යුතු කාරණයක්. නමුත් ඊටත් වැඩිය රටේ ජනතාව රට වැසියන් බවට පත් කිරීමේ වගකීම වැඩියි. ට්‍රොට්ස්කි කියපු දෙයක් මම හැමදාම කියනවා. ජනතාවට ලැබෙන්නේ ඔවුන්ට ගැලපෙන නායකයෙක්.
නමුත් ඔබ කියන ජනතා හිතවාදී මාධ්‍යයට බොහෝ විට ජනතාව වෙනුවෙන් අවදි වෙන්න මතක් වෙන්නේ සමාජයේ ගැටළුවක් ඇතිවුණාට පස්සේ? ඊට කලින් ක‍්‍රියාත්මක වීමේ වගකීමක් මාධ්‍යයට තියෙනවා නේද?
ඔය දෙකම වෙන්න පුළුවන්. මම නම් වඩා කැමති දුර දක්නයකින් ඉදිරිය දකින මාධ්‍යක් තියෙනවට. අපි බොහොම ක්ෂුද්‍ර වෙළඳපොළක්. එ් නිසා සමහර විට නැට්ට විසින් බල්ලා නටවන තත්ත්වයට පත්වෙනවා. ඉන්දියාව වගේ රටවල පුළුවන් බල්ලා විසින් නැට්ට නටවන්න. රටේ ආර්ථික ප‍්‍රශ්නයි, ලෝක ආර්ථික උණුසුමයි අනුව අවංක උවමනාවක් තිබ්බත් දුරදක්නා නුවණකින් සමාජය දිහා බලන්න ඉස්පාසුවක් නැති වෙලා තියෙනවා. නමුත් එ් මොහොතේ වෙන ප‍්‍රශ්න වලට අවධානය යොමු කරලා මෙහෙයවන මාධ්‍ය වගේම, යමක් වෙන්න කලින් අවධානය යොමු කරලා මෙහෙයවන මාධ්‍ය යන දෙකම සහිත මාධ්‍ය කලාවක් බිහි වේවා කියල ප‍්‍රාර්ථනයක් මට තියෙනවා.
උතුරේ අවතැන් වූවන්ගේ සැබෑ පසුබිම හෙළි කරන්න ඇතැම් මාධ්‍යවේදීන් කැමැත්තෙන් ඉන්නවා. නමුත් රජය ඊට ඉඩ ලබා දෙන්නේ නැහැ. මොකක්ද ඒ ගැන ඔබට කියන්න තියෙන්නේ ?
උතුරේ කඳවුරුවල ඉන්නෙත් අපේ ජනතාව. අපේ නෑදැයෝ. උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න මඟ හැරුණ නිසයි ජනතාව ඒකට වෙන විදිහකින් කතා කරන්න පටන් ගත්තේ. දැන් රට මොන විදිහකින් හරි සන්ධිස්ථානයකට ඇවිල්ල තියෙනවා. මම සෑහෙන්න කාලයක් උතුරේ අවතැන් ජනතාවත් එක්ක හිටිය. මම පිළිගන්නවා ඒ ජනතාවගේ ප‍්‍රශ්න මාධ්‍ය වගේම විශේෂයෙන්ම් දේශපාලනඥයන් විසින් කතා කළ යුතුයි. නමුත් ඒ පරිසරය බොහොම සංවේදී පරිසරයක්. ඒ තත්ත්වය තුළ මේක මීඩියා කානිවල් එකක් බවට පත් කරගන්න නරකයි. සත්ව උද්‍යානයක් බලන්න යනවා නෙවෙයි. හදවතක් තියෙන මනුස්සයෙක් එතනට ගිහිල්ලා කඳුලක් එන්නෙ නැත්නම් ඌ කාලකණ්ණියෙක්.
ඒත් දකුණේ ජනතාවට පහුගිය කාලය පුරාම මාධ්‍ය පෙන්නුවේ ඔවුන්ගේ ජීවිතවල සුන්දර පැත්තක් විතරයි නේද?
ඔව්. සාමාන්‍ය ජනතාව බොහෝ දේ දන්නෙ නැහැ. නමුත් මාධ්‍යයට ඒ පරිසරය විවෘත කරන්න ඕන ඉතාම පරිස්සමෙන්. ඇත්තටම මාධ්‍ය ගැන විශ්වාසයක් ඔවුන්ට නැහැ. ඔවුන්ට තමන්ගේ අභිමානය පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා.
ඔබට අනුව මේ ප‍්‍රශ්නයට දිය යුතු විසඳුම මොකක්ද?
සෑම ජනතාවකටම ඔවුන්ගේ අනන්‍යතාව හා අයිතිවාසිකම් රැකෙන පරිදි නිවැරදි පාලන ව්‍යුහයක් සකස් විය යුතුයි. ජනතාවට බලතල දීල ඔවුන්ගේ ප‍්‍රශ්න ඔවුන්ගේ නියෝජිතයන් ලවා විසඳවාගන්න පුළුවන් කියල අපි හිතුවද? ඒ සංකල්පය අපි තවම ක‍්‍රියාත්මක කරල නැහැනේ. මට හිතෙනවා එහෙම අත්හදා බැලීමකට යා යුතුයි කියල.
බහුතරය නියෝජනය කරන ඔබට ලංකාවෙ මාධ්‍ය සම්බන්ධයෙන් ප‍්‍රශ්න නැද්ද ?
තියෙනවා. ප‍්‍රධාන ප‍්‍රශ්නෙ තමයි මාධ්‍යවේදීන් වන අපි මේ තියෙන හතර මායිමේ මඤ්ඤොක්කා උගුල්ලා ගන්නවද කියන එක. තියෙන තත්ත්වය තුළ අපිට කරන්න පුළුවන් උපරිමය කරනවද කියන එක.
No comments:
Post a Comment