Friday, January 8, 2010

පොදු අපේක්ෂාව ඃ විමල්ට චම්පිකට බය නැති නායකයෙක්

සුදර්ශන ගුණවර්ධන

අළුත් අවුරුද්ද එළැඹීමත් සමඟම ජනාධිපතිවරණ සටන උණුසුම් වී ඇත. අවුරුදු දහහතකට වරක් එළැඹෙන මේ සංක‍්‍රාන්ති සමයේදී තාක්ෂණයේ ඇති වී ඇති දියුණුවත්, මිනිසුන් වයසට යාමත් නිසා සිදු වී ඇත්තේ අමුතු විපර්යාසයකි. 1977 දී යූ.එන්.පී නිල ප‍්‍රකාශනය වූ ‘සියරට’ පත්තරය විසින් සිදුකළ වෙනසක් සඳහා වන ආශාව නියෝජනය කිරීමේ කාර්ය භාරය 1994 දී ‘රාවය’ සහ ‘යුක්තිය’ වැනි විකල්ප පත්තර වලටත්, ‘බී.බී.සී සංදේශය’ සහ ‘වෙරිටාස්’ ගුවන් විදුලිය වෙතටත් මාරු වූ අතර අද ඒ කාර්ය භාරය ‘ලංකා ඊ නිව්ස්’ සහ ‘ලංකා නිව්ස් වෙබ්’ ආදී වෙබ් අඩවි අතට පත් වී ඇත.
ජනාධිපතිවරණය ගැන කතා කරන දේශපාලකයන්, බුද්ධිමතුන්, මාධ්‍යවේදීන් සහ වික්ටර් අයිවන් (සමාවෙන්න, තව පොඞ්ඩෙන් අමතක වෙනවා. ඇයි කලාකරුවන්) ඇතුළු සියළු දෙනාම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න පුළුවන්ද -බැරිද? දූෂණ හා හොරකම් ඇත්තටම සිදුවෙනවාද -නැද්ද? ඒ 9 මහාමාර්ගය ට තාර දමනවාද - කොන්ක‍්‍රීට් දමනවාද? දකුණේ මිනිස්සුන්ට ලැබෙන පරිප්පු කිසිදු වෙනස්කමකින් තොරව උතුරු මිතුරු දුම්රිය මාර්ගය ඔස්සේ ගෙනගොස් උතුරේ මිනිස්සුන්ටත් ලබා දෙන්නේ කෙසේද? වැනි ප‍්‍රශ්න ගැන තොරතෝංචියක් නැතිව සාකච්ඡා කරන නමුත් කතා නොකරන මාතෘකා දෙකක් ඇත. පළමුවැන්න ධනවාදයයි. දෙවැන්න දෙමළ ජනයා සමඟ දේශපාලන බලය බෙදා ගැනීමයි.

ලොකුම බාධාව
ජනාධිපතිතුමා කලින් කීවේ යුද්ධය අවසන් වන තුරු දේශපාලන විසඳුම ගැන කතා කිරීම කළ නොහැකි බවය. දේශපාලන විසඳුමකට ඇති ලොකුම බාධාව උතුරේ එල්.ටී.ටී.ඊ ය (සහ දකුණේ ජනතා විමුක්ති පෙරමුණ) යැයි කල්පනා කළ බුද්ධිමත්තුද එම මතය අනුමත කළහ. එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කිරීමත් සමඟ ජනාධිපතිතුමා මහරජ පදවිය ලද අතර ඉන්පසු එතුමා ප‍්‍රකාශ කළේ දේශපාලන විසඳුම ලබා දෙන්නේ ජනවරමක් ලබා ගැනීමෙන් පසු බවයි. කාලයාගේ ඇවෑමෙන් රජතුමා මහා භාරකාරතුමා බවට පරිවර්තනය වූ අතර ඡන්දයට දින ගණනාවක් තිබෙන මේ අවස්ථාවේදී පවා බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුම ගැන එතුමාගෙන් හාංකවිසියක්වත් ප‍්‍රකාශ නොවේ. රජතුමා කියන්නේ තමන් දෙමළ ජනතාව ගැන බලාගන්නා බව පමණකි. ඒ කතා ඇසෙන විට අපට සිහියට එන්නේ නූතන යුගයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලකයෙකු නොව තාත්තා මිය ගිය පසු පවුලේ බාලයන්ගේ වගකීම් සියල්ල කරට ගන්නා ලොකු අයියා කෙනෙකි.
ඇත්ත වශයෙන්ම ආණ්ඩුවේ පසුමුණේ සිටින තිස්ස විතාරණ, ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර සහ රතු කමිසයක් ඇඳගෙන රූපවාහිනී සාකච්ඡාවලට සහභාගී වන නිසා වාමාංශිකයෙකු ලෙස බොහෝ දෙනා විසින් වරදවා වටහා ගනු ලබන රාජිත සේනාරත්න වැනි මහත්වරුන් විටින් විට මොන මොනවා කිව්වත් ආණ්ඩුවේ පෙරමුණු බලඇණිය වශයෙන් ක‍්‍රියාකළ විමල් වීරවංශ, චම්පික රණවක ආදීන් කතා කළේත්, ක‍්‍රියා කළේත් දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් දිනා ගැනීම පිළිබඳ අරගලය යුදමය වශයෙන් පොඩිපට්ටම් කිරීම වෙනුවෙනි. යුද්ධය අවසානයත් සමඟ දකුණේ විසූ බොහෝදෙනා එම මතයට සම්මාදම් වූ අතර ඔවුන් කල්පනා කළේ දෙමළ ජනතාවගේ දේශපාලන අරගලය නන්දිකඩාල් කලපුවේදී අවසන් වූ බවයි. මින් පසු මේ රටේ සුළු ජාතීන් කියා ජාතියක් නැති බවද, සිටින්නේ රටට ආදරය කරන බහුතරය සහ රටට ආදරය නොකරන සුළුතරය යන දෙවර්ගය පමණක් බවද රජතුමාගේ විජයග‍්‍රහණයේ කතාව රචනා කළ පිටපත් රචකයා විසින් ලියන ලද්දේ හුදු අහම්බයකින් නොවේ.

වැල යන අතට මැස්ස ගැසීම
මේ දෛවෝපගත කාල පරිච්ඡේදය තුළ බොහෝ දේශපාලකයන් හැසිරුණේ දෙමළ ජනතාව සමඟ දේශපාලන බලය බෙදා ගැනීම තවදුරටත් සිය න්‍යාය පත‍්‍රයේ අඩංගු නොවන කරුණක් ලෙස සලකමිනි. ආණ්ඩුවට ඇතුළු නොවී බේරී සිටින වාමාංශික නායකයන් දෙතුන් දෙනා හැරුණු විට එවැනි බලය බෙදා ගැනීමක අවශ්‍යතාවය අවධාරණය කළේ විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පමණකි. එසේ ප‍්‍රකාශ කිරීම නිසා ඔහුට තම පාක්ෂිකයන්ගෙන් පවා ලැබුණේ යහපත් ප‍්‍රතිචාර නොවේ. කවුරු කවුරුත් අමතක කර තිබෙන ප‍්‍රශ්නයක් නැවත මතු කිරීමෙන් තිබෙන ඡන්ද ටිකටත් කෙළවෙන බව කී සමහරු ටයිකෝට් අඳින රනිල් ඉවත් කොට ගමෙන් පැමිණ රෙද්ද බැනියම අඳින කෙනෙකු නායකත්වයට පත්කර වැල යන අතට මැස්ස ගැසිය යුතුයැයි ප‍්‍රකාශ කළහ.
යුද්ධය අවසන් වී ගත වී ඇත්තේ මාස හතකි. යුද ජයග‍්‍රහණය පිළිබඳ සම්පූර්ණ අයිතිය තනි බුක්තියට තමන් සතු කරගෙන සිටි රජතුමා සහ එතුමාගේ ආණ්ඩුව එය තමන්ගේ පවුලේ බූදලයක් බවට පත් කරගෙන අවුරුදු හැත්තෑවක් එකදිගට බලයේ රහ බැලීමට කල්පනා කළත් මාස හතක් තුළ සියල්ල උඩු යටිකුරු වී ඇත. යුද ජයග‍්‍රහණයට උරුමකම් කිව හැකි අනෙක් ප‍්‍රධාන තරඟකරුවා වූ හිටපු යුද හමුදාපති ජෙනරාල්තුමා රජතුමාගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වශයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඇත. දේශපේ‍්‍රමී දේශද්‍රෝහී සහසම්බන්ධ ප‍්‍රතිපක්ෂය බිඳගෙන එක්සත් ජාතික පෙරමුණ ද, ජනතා විමුක්ති පෙරමුණ ද, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය ද, දෙමළ ජාතික සංධානය ද ජෙනරාල්තුමාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් එකට එක් වී සිටිති.
බහුතරයේ කැමැත්ත මත පදනම් වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සිංහල බහුතරයේ කැමැත්ත මත පදනම් වූ සිංහල ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවට පත් වී, සිංහල ජන මතය නැමැති අසු පිට නැඟ රට පාලනය කළ යුගය අද අභියෝගයට ලක්ව තිබේ. සිංහල රාජ්‍යයේ පාලනය හොබවන සිංහල නායකයන්ගේ කටු ලෙවකන විහිළුකාරයන් රෑනක් බවට සුළුතර ජාතීන්ගේ දේශපාලන නායකයන් පත් කළ යුගය අවසන් වෙමින් තිබේ. කෙටියෙන් කිවහොත් ඞී.බී. විජේතුංග ජනාධිපතිවරයා වරක් කී පරිදි මහජාතිය නමැති වෘක්ෂයේ එතී පවතින වැල් මෙන් සුළු ජාතිය ජීවත්විය යුතුය යන මතය පරාජයට පත් වෙමින් තිබේ.
දැන් සාකච්ඡාව යොමු වී ඇත්තේ සියළු (විරුද්ධ) පක්ෂ එකට එක් වී ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයෙක් මඟින් මහ රජතුමාගේ සහ පවුල් සමාගමේ පාලනය පරාජය කොට නිදහස් හා සාධාරණව පවත්වනු ලබන මහ මැතිවරණයක් මඟින් නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගෙන, එමඟින් පොදු සම්මුතියක් යටතේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම පිළිබඳවය. කවර නමකින් හැඳින්වුවද අවතැන් වූ දෙමළ ජනතාව තම ගම් බිම්වල නැවත පදිංචි කිරීම ද, දෙමළ ජනතාව සමඟ දේශපාලන බලය බෙදා හදා ගැනීම ද එම ප‍්‍රතිසංස්කරණ වලට ඇතුළත් විය යුතු බව මෙම මැතිවරණය විසින් පෙන්නුම් කරනු ලබන භෞතික යථාර්ථයයි.

දෙවියන් දුන් වරම
රාජ්‍ය මාධ්‍ය සියල්ලද, පුද්ගලික මාධ්‍ය අතිබහුතරයද තමන්ගේ වසඟයට ගෙන ඇති ආණ්ඩුව රූපවාහිනී විවාද යනුවෙන් හඳුන්වන මාධ්‍ය සංදර්ශන වලට යවන තම නියෝජිතයන් මඟින් කරන්නේ රට ගොඩනඟන හැටි මහජනයාට ප‍්‍රකාශ කිරීම පසෙක තබා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම ඇතුළු ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම නොකළ හැකි දේවල් බවට පරසක්වල ගසමින් විපක්ෂයේ නියෝජිතයන්ට ඔලොක්කු කිරීමය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු මහරජ පදවිය වැනි දෙවියන් විසින් ලබා දුන් දායාදයක් නොව ජනාධිපති තනතුර වැනි මිනිසුන් විසින් ගොඩනැඟූ ආයතනයක් බවත්, අවශ්‍යතාවය හා කැපවීම ඇත්නම් ගොඩනැඟූ මිනිස්සුන්ටම එය වෙනස් කිරීමද කළ හැකි බව ඔවුහු නොදනිති.
රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ප‍්‍රතිසංස්කරණයක් ක‍්‍රියාත්මක කිරීමේ හැකියාව හෝ උවමනාව රජතුමාට නැති බව දැන් ඉතාම පැහැදිලිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේගයන්හි හෝ සුළු ජාතික ජන කොටස්වල හෝ සහයෝගය සහ ආකර්ෂණය ලබා ගැනීමට එතුමාට හැකියාවක් නැති බව ද එතරම්ම පැහැදිලිය.
රට ඉදිරියට ගෙන යාම සඳහා දේශපාලන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීම පිණිස අවකාශයන් පාදා ගැනීමට ඇති එකම මාර්ගය වැටී ඇත්තේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා එළැඹෙන ජනාධිපතිවරණයේදී ජයග‍්‍රහණය කිරීමෙන් බවට විපක්ෂය අද පොදුවේ එකඟ වී ඇත.
පොදු අපේක්ෂකයාට සහාය දක්වන විපක්ෂ ක‍්‍රියාකාරීන්ට අද එල්ල වී ඇති ප‍්‍රධාන අභියෝග දෙකකි. පළමුවැන්න රාජ්‍ය යන්ත‍්‍රය අතිශයින් දේශපාලන වශයෙන් පක්ෂපාතී වීමයි. පොලිස්පති, නීතිපතිගේ සිට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති දක්වා රාජ්‍ය නිලධාරීන් වෙතින් නිර්ලජ්ජිතව ප‍්‍රකාශ වන්නේ මෙම හිංසාකාරීත්වයයි. දෙවැන්න රාජ්‍ය යන්ත‍්‍රයෙහි ඇති අධික හිංසාකාරී බලයයි. එක්සත් ජාතික පක්ෂයේ සුදුවැල්ල සංවිධායකයාට එරෙහිව මෙන්ම මන්නාරමේ මුස්ලිම් කොංග‍්‍රසයේ සංවිධායකවරයාට එරෙහිවද පාවිච්චි වන්නේ මෙම බලයයි.
රාජ්‍ය යන්ත‍්‍රයේ පක්ෂග‍්‍රාහීභාවය සමනය කොට එය ස්වාධීන කිරීම පිණිස සියළුම පක්ෂ ඒකමතිකව සම්මත කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනයද එමඟින් පිහිටුවා ඇති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභාද රජතුමාගේ ආණ්ඩුව විසින් හිතාමතාම අක‍්‍රීය කොට ඇත.එම ආයතන විපක්ෂයේ පොදු අපේක්ෂකයාගේ ජයග‍්‍රහණයත් සමඟ වහාම සක‍්‍රීය කිරීමට විපක්ෂය දැනටමත් එකඟ වී ඇත.

දේශපේ‍්‍රමී හදිසි නීතිය
ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැමැති යුක්තියට නිගා දෙන ඩ‍්‍රැකෝනියානු නීතිය ඉවත් කිරීමත්, මාසෙන් මාසයට පාර්ලිමේන්තුව විසින් දිගු කරන දේශපේ‍්‍රමී හදිසි නීතිය ඉවත් කිරීමත් මඟින් රාජ්‍ය යන්ත‍්‍රයේ අධික හිංසාකාරීත්වය සමනය කිරීම සඳහා ආරම්භක පියවර ගැනීමට විපක්ෂයට පුළුවන. එහිදී අසාධාරණ ලෙස විසිවසරක සිර දඬුවම් ලබා සිටින ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිස්සනායගම්ට ජනාධිපති සමාව දීම සහ නඩු නැතිව රඳවාගෙන සිටින දෙමළ සහ සිංහල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම මඟින් ඔවුන්ට ප‍්‍රායෝගික පියවරක් තැබිය හැකිය.

Back to Home
View pdf

No comments: