Thursday, January 14, 2010

රාජා හෝ මා හෝ ගංගා හෝ

ඵකමත් එක රටක ජීවත් වූ මහරජතුමෙකුට තිත්ත නැති කොහොඹ ගසක් අයිති කර ගැනීමට ආශාවක් පහළ විය. රටේ ඇති සියළු ජාතික ප‍්‍රශ්න මේ කොහොඹ ගස මඟින් විසඳිය හැකි බව ඔහුට විශ්වාසය. සිහිබුද්ධිය ඇති මිනිසුන් එය කිසිදාක කළ නොහැක්කක් බව ප‍්‍රකාශ කළහ. මේ අවස්ථාවේ එක් පුද්ගලයෙක් අභියෝගය බාර ගන්තේ ඇමතිවරුන් ඇතුළු සෙසු පුද්ගලයන් අන්දමන්ද කරමිනි.

ඒ අනුව ‘තිත්ත නැති කොහොඹ’ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා අදාළ පුද්ගලයා ඉල්ලා සිටි සියළු ප‍්‍රතිපාදන ලබාදෙන ලෙස නියෝග කෙරිණි. ඉල්ලා සිටි පරිදි ගඟ අසබඩ පහත් බිමක් කොහොඹ වගාව සඳහා ලබාදුන් අතර කොහොඹ පැළය එහි සිටුවා එය උදේ සවස නෑවීම පිණිස කිරි කළ හතක් ද, මී පැණි කළ හතක් ද දිනපතා සපයන ලදී. ව්‍යාපෘතිය නිම කොට තිත්ත නැති කොහොඹ ගසක් නිෂ්පාදනය කිරීම සඳහා ගතවන කාලය අවුරුදු හයක් ලෙස ප‍්‍රකාශ කොට ආරම්භ කළ දිනය සහ අවසන් කළයුතු දිනය සඳහන් ඵලකයක්ද සවි කරන ලදී.

කොහොඹ පැලය දළුලා වැඞී එන අතරතුර අසල පිහිටි ගඟ දෙගොඩතලා ගංවතුර ගැලීම නිසා කෙහොඹ පැලය සම්පූර්ණයෙන් ම විනාශ විය. දැන් ඉතිං වෙන කුමක් කරන්නද? අළුතින් පැලයක් සිටුවා සියල්ල නැවත මුලසිට ආරම්භ කරන්නට සිදුවිය. සෑම වසරකට වරක් ම ගඟ උතුරා යන නිසා නැවත නැවතත් අළුතින් පැලයක් සිටුවන්නට වැවිලිකරුට සිදුවිය. තිත්ත නැති කොහොඹ ගස ලැබෙන්නේ කවදාදැයි ජනමාධ්‍යවේදියෙකු ඇසූ ප‍්‍රශ්නයට අපේ වැවිලිකරුවා පිළිතුරු දී තිබුණේ ‘‘රාජා හෝ මා හෝ ගංගා හෝ ’’ කියාය.

‘‘කිසිදා නිමා නොවන මේ ව්‍යාපෘතිය අවසන් වන්නට නම් එක්කෝ රජතුමා පැන්ෂන් යා යුතුය. නැත්නම් අපේ වැවිලිකරුවා මිය යා යුතුය. එසේත් නැත්නම් සෑම වසරකටම වරක් ඇතිවන ගංවතුර වසර හයකට නතර විය යුතුය.
මේ වන විට කවුරුත් කතාකරන ජනප‍්‍රියම වචනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය බවට පත්ව ඇත. විපක්ෂයේ සියළු පක්ෂ ජෙනරාල්තුමාගේ නායකත්වයෙන් ඉදිරියට පැමිණ ඇත්තේ ජනාධිපතිවරණයේදී හොඳ සටනක් දී රජතුමා පරාජය කොට ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැවත පිහිටුවන්නටය. ඒ සඳහා බලයට පත් වූ වහාම රාජ්‍ය ආයතන දේශපාලන වශයෙන් පක්ෂාග‍්‍රාහීව ක‍්‍රියාකිරීම වැළැක්වීමට ද, රාජ්‍යයේ අතිරික්ත හිංසනය ඉවත් කිරීමට ද, යුද්ධයෙන් අවතැන්වූවන් තම ගම්බිම්වල නැවත පදිංචි කිරීමට ද මූලික පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වේ.

මේ අතර රජතුමාගේ අන්තේවාසිකයන් විසින් ද මරාගෙන මැරෙන මෙහෙයුමක් දියත් කොට ඇත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීමට ය. පවතින පක්ෂග‍්‍රාහී හා හිංසාකාරී රාජ්‍ය යන්ත‍්‍රය එලෙසම පවත්වා ගනිමින් ද එය ප‍්‍රතිසංස්කරණය කිරීම පිළිබඳව කිසිදු සංයුක්ත යෝජනාවක් ඉදිරිපත් නොකරමින් ද ඔවුන් සටනට බැස ඇත්තේ ජෙනරාල්තුමා බලයට පත් වුණොත් ඇතිවිය හැකි යැයි කියන අනාගත හමුදා පාලනයකින් දැන් පවතින තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය බේරා ගන්නටය.

රජතුමාගේ පැත්තේ සිට ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටනට බැස සිටින විමල්, රාජිත, මහින්දානන්ද වැනි කලිසම් අඳින මහත්වරුන්ගෙන් කිසිවෙකු නො අසන ප‍්‍රශ්නය මෙයයි: ‘‘රාජ්‍යය වනාහි මම්ම වේ යැයි (I am the State) යනුවෙන් කල්පනා කරන තනි පුද්ගලයෙකුගේ පැවැත්ම වෙනුවෙන් ඔබලා මෙතරම් සටන් කරන්නේ ඇයි?’’

2005 ජනාධිපතිවරණයෙන් පසු මේ දක්වා ගත වූ කාලය තුළ ලංකාවේ කිසිදු සමාජ ප‍්‍රශ්නයකට සංයුක්ත විසඳුමක් ඉදිරිපත් කරන්නට රජතුමාගේ පාලනය අපොහොසත් විය. බහුතර ජනතාවගේ අප‍්‍රසාදයට ලක්විය හැකි කිසියම් ජනප‍්‍රිය නොවන පියවරක් ඉදිරියට තැබුවහොත් තම පැවැත්ම සඳහා ඊළඟ වාරය ලබා ගැනීම අපහසුවෙතැයි යන දැක්මෙන් යුතුව සියළු ප‍්‍රශ්න සඳහා ලබාදෙන ලද්දේ දෙමළ ජනතාවගේ දැවෙන මානුෂික හා දේශපාලන ප‍්‍රශ්න ගැන කතා කරන්නට රජතුමා හමු වූ ඔභ් නායක සම්බන්ධන් මහතාට ලැබුණු ආකාරයේ පිළිතුරකි: ‘‘අපි හෙමිහිට පස්සේ බලමු’’

මේ තනි පුද්ගලයාගේ පැවැත්ම ආරක්ෂා කිරීම පිණිස,

1. යුද්ධය නිසා අවතැන් වූ මිනිසුන්ට යුද්ධය අවසානයෙන් පසුවද මාස හයකට අධික කාලයක් තම ගම්බිම්වලට යා නොහැකි ව කටුකම්බිවලින් වට කළ අවතැන් කඳවුරු වල ලඟින්නට සිදුවිය.
2. ස්වාධීන කොමිෂන් සභා පත් නොකිරීම නිසා රාජ්‍ය ආයතන අකර්මන්‍ය වීමෙන් ද, පක්ෂග‍්‍රාහී වීමෙන් ද මිනිසුන්ට පීඩා විඳින්නට සිදුවිය.
3. රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා නැතිව ලතවෙන්නට මෙන්ම මං මාවත් පුරා ගුටිකන්නට ද සිදුවිය.
4. ජී.එස්.පි ප්ලස් සහනය අත්හිටුවීමෙන් කම්කරුවන්ට රැුකියා ද, ව්‍යාපාරිකයන්ට ආයෝජන ද අහිමි වීම සිදුවිය.
5. දෙමළ සහ මුස්ලිම් ජනතාව සමඟ දේශපාලන බලය බෙදා හදා ගැනීම අනන්තය දක්වා කල් දැමීම සිදුවිය.

ඒ සියල්ල වෙනුවට සිදුවූයේ ජනරජය රාජධානියක් ද රාජ්‍ය නායකයා රජකෙනෙක් ද බවට පත්කොට රාජ්‍යයේ මතවාදී උපකරණ සහ මර්දන උපකරණ සම්පූර්ණයෙන්ම එක් පුද්ගලයෙකු අත සංකේන්ද්‍රණය කරගැනීමයි.
සාමාන්‍යයෙන් මැතිවරණයකදී ආණ්ඩු පක්ෂය තමා පසුගිය කාලයේදී ලබාගත් ජයග‍්‍රහණ පිළිබඳ ව සඳහන් කොට අනාගතය සඳහා වන සැලසුම් ඉදිරිපත් කරන අතර විපක්ෂය කරන්නේ ඒවා විවේචනය කිරීමය. අද ලංකාවේ සිදුව ඇත්තේ විපක්ෂය අනාගතය පිළිබඳ සැලසුම් ඉදිරිපත් කරන අතර අවුරුදු දහසයක් බලයේ සිටි ආණ්ඩු පක්ෂයේ ප‍්‍රකාශකයන් අද ඊයේ උපන් අය සේ විපක්ෂය විවේචනය කිරීම සහ මඩ ගැසීමය.
විපක්ෂය සමාජය මුහුණ දී ඇති ප‍්‍රශ්න සඳහා සංයුක්ත විසඳුම් යෝජනා කරන විට ආණ්ඩුව කරන්නේ විපක්ෂයේ නියෝජිතයා වන පොදු අපේක්ෂකයාට එරෙහි ව පහත සඳහන් ආකාරයේ අවලාද එල්ල කිරීමයි.
1. ඔහු තමාට කෑම උයන කෝකියන් හතලිස් අට දෙනෙකුට පහර දී ඇත.
2. බිත්තර ආප්පයක් කෝකියාගේ කනට තබා කහමදය කන ඇතුළට යන ලෙස පහරදීමෙන් ගිනස් වාර්තාවක් තබා ඇත.
3. තම කොණ්ඩය නිසි පරිදි නොකැපූ කරණවෑමියාගේ කන කපා දමා ඇත.
4. දකුණු ආසියාවේ ම වැඩිම ස්ත‍්‍රීන් ප‍්‍රමාණයක් ආශ‍්‍රය කල පුරුෂයා ලෙස වාර්තා තබා ඇත.
ආණ්ඩු පක්ෂයේ මෙම හැසිරීමෙන් පෙනී යන්නේ කුමක් ද? තව අවුරුදු හයකට බලය ඉල්ලන රජතුමාට රටට ඉදිරිපත් කොට රටේ ප‍්‍රශ්න විසඳිය හැකි ව්‍යාපෘතියක් නැති බවය. ඒ වෙනුවට ඇත්තේ මාතෘභූමිය, ස්වෛරීභාවය, පරමාධිපත්‍යය, ජාත්‍යන්තර කුමන්ත‍්‍රණ සහ සුභ අනාගතයක් වැනි හිස් වචන සෙට් එකක් පමණි.
රාජ්‍යය යනු මම්ම වේ යැයි සිතන සහ එලෙස ක‍්‍රියාකරන පුද්ගලයෙකු වෙනුවෙන් කඬේ යන දේශපාලකයන්, බුද්ධිමතුන් සහ කලාකරුවන් නොදන්නා නමුත් ඔවුන් තුළ අවිඥනිකව පවතින විශ්වාසය ‘හේගල්’ ප‍්‍රකාශ කළ අයුරින් පහත පරිදිය.
‘‘ආසියාවේ නිදහස ඇත්තේ එක් මිනිසෙකුට පමණි. එහි පවතින්නේ අත්තනෝමතිකත්වයයි. පුරාතන ග‍්‍රීසියේ දී කිහිපදෙනෙකුට පමණක් නිදහස පැවතුණි: එනම්, ඩිමෝස් නැමැති තීන්දු ගන්නා සභාවේ සාමාජිකයන්ට පමණකි. යුරෝපයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පවතින බැවින් එහි සියළු දෙනාම නිදහස් ය.’’

Back to Home
View Pdf

No comments: