Sunday, January 24, 2010

දේශපාලනය සහ විශ්වාස කිරීම

සුදර්ශන ගුණවර්ධන


ජෙනරාල්ව විශ්වාස කරන්න පුළුවන්ද? ඒ ගැන සහතිකයක් දෙන්න පුළුවන්ද?කවුරුත් අහන පිළිතුරු නොදෙන ප‍්‍රශ්නයට පිළිතුරක්

දේශපාලන නායකයන් බෙර ගසා, බුලත් හුරුළු දී පිළිගෙන පෙරහැරින් වඩම්මාගෙන ගොස් සංවාද භූමියට පිවිසවා, චියරින් ස්කොඞ් ද වටේට වාඩි කරවා දේශපාලන සංවාදය සුපර් ස්ටාර් තරඟය වැනි ප‍්‍රසාංගික අත්දැකීමක් බවට පත් කළ සිරස රූපවාහිනියේ ‘සටන’ වැඩසටහනේ එක් ප‍්‍රසංගයකදී එහි වන ප‍්‍රශ්න විචාරකයෙකු වන (විනිශ්චය මණ්ඩල සාමාජිකයෙකු ) මරික්කාර් නැමැති දේශපාලන විශ්ලේෂකයා විපක්ෂයේ නියෝජිතයෙකුගෙන් නිර්භීත ප‍්‍රශ්නයක් ඇසීය. ‘‘ජෙනරාල් ෆොන්සේකා බලයට ආවොත් ඔය කියන ප‍්‍රතිසංස්කරණ කරාවි යැයි ඔබට විශ්වාස ද? එසේ විශ්වාස කරන්නේ කෙසේද?” ආණ්ඩුවේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පිළිවෙත පරාජය කොට ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමට අවකාශයක් ලබා ගනු පිණිස විරුද්ධ පක්ෂ විසින් ඒකාබද්ධව ඉදිරිපත් කරන පොදු අපේක්ෂකයා ජයග‍්‍රහණය කරවිය යුතු යැයි යමෙකු කියන විට ඔහුට හෝ ඇයට ද නිසැකව ම මෙම ප‍්‍රශ්නයට මුහුණ දීමට සිදුවේ. මග තොට දී හමුවන අය පමණක් නොව හදිසියේම ‘ස්කයිප් ’ තාක්ෂණය හරහා නොමිළේ ම පරිගණක තිර මතට කඩා පාත්වන විදේශ ගත ශ‍්‍රී ලාංකිකයන් ද මේ ප‍්‍රශ්නය ම නැවත නැවතත් වරනගති. ”ජෙනරාල් ව විශ්වාස කරන්න පුළුවන් ද? ඒ ගැන ඔයාලා ට සහතිකයක් දෙන්න පුළුවන් ද?” දේශපාලන විශේෂඥ මරික්කාර් මහතා විසින් නැවත නැවතත් අසනු ලැබූ ඉහත කී ප‍්‍රශ්නයට විශ්වසනීය ලෙස පිළිතුරක් දීමට විපක්ෂය නියෝජනය කරමින් පැමිණ සිටි දේශපාලන නියෝජිතයා ට නොහැකි විය. මේ ප‍්‍රශ්නයට දිවා ? මුහුණ දෙන විපක්ෂයේ හිතවතුන්ට ද බොහෝ විට අත්වන්නේ මේ ඉරණම මය. ඇත්ත වශයෙන්ම, මාධ්‍ය සංදර්ශනයේ සිටින මාධ්‍යවේදීන්ට කීකරු වී ඔවුන් නඟන ඕනෑම මෝඩ තකතීරු ප‍්‍රශ්නයකට තාර්කික පිළිතුරු දෙන්නට යාමේ බොරු මාධ්‍ය සදාචාරයෙන් වැළකී විපක්ෂ නියෝජිතයා විසින් මරික්කාර් මහතාට දිය යුතුව තිබුණේ මෙවැනි පිළිතුරකි. ” මරික්කාර් මහත්තයෝ, ඔයා ඉස්ලාම් භක්තිකයෙකු වශයෙන් අල්ලා දෙවියන් අදහනවා නේද? එතකොට අල්ලා දෙවියන් විශ්වාස කරන්නේ කොහොමද? අතගාලා බලන්න පුළුවන්ද? නැත්නම් පරීක්ෂණයකින් ඔප්පු කරන්න පුළුවන්ද? ඔයා දෙවියන් ඇදහීමේ දී කරන්නේ ඔයාගේ විශ්වාසය දෙවියන් වෙත තල්ලූ කිරීමයි. නැත්නම් ඔයාට ආගම අදහන්න බැහැ නේද?” මෙවැනි පිළිතුරක් දුන්නොත් මරික්කාර් මඤ්ඤං වී යන අතර අදාළ විපක්ෂ දේශපාලනඥයාට මේ සම්ම ජාතියේදී රූපවාහිනී සාකච්ඡා සඳහා ආරාධනා නො ලැබී යනු ඇත. නමුත්, විහිළුවක් වගේ ඔබට පෙනෙන මේ පිළිතුර අපි ටිකක් විශ්ලේෂණය කර බලමු. බෞද්ධයන් අතරින් බොහෝ දෙනෙක් පාලි ගාථා දන්නා නමුත් ඒවායේ තේරුම නොදනී. නමුත්, ඔවුන් එම ගාථා කියා වඳින්නේ එහි තේරුම විශ්වාස කරන බැවිනි. දන්ත ධාතුන් වහන්සේට හෝ ශ‍්‍රී මහා බෝධීන් වහන්සේට වන්දනාමාන කරන්නේ ඒවා බුදුන් වහන්සේ ගේ ශාරීරික ධාතූන් හා පාරිභෝගික වස්තූන් යැයි විශ්වාස කරන බැවිනි. දේවාලයකට ගොස් වැඳුම් පිදුම් කරන්නේ තිරය පිටුපස දෙවියන් වැඩ සිටී යැයි විශ්වාස කරන බැවිනි. හින්දු හෝ කි‍්‍රස්තියානි ආගම් වලට අදාළව ද මේ ලැයිස්තුව ඕනෑ තරම් දිගු කළ හැකිය. ඒ කිසිදු අවස්ථාවක් පිළිබඳ විශ්වාස කරන්නේ විද්‍යාත්මක පරීක්ෂණයක් මඟින් තහවුරු කරගෙන ඉන් පසුව නොවේ. ඇත්ත වශයෙන් ම සිදුවන්නේ පළමුව විශ්වාස කොට අනතුරුව එම විශ්වාසය තහවුරු කර ගැනීම සඳහා සාධක සොයා ගැනීමයි. මෙහිදී මරික්කාර් මහතා සහ තව බොහෝ දෙනෙක් ආගම සහ දේශපාලනය එකට පටලවා ගන්නට එපා යැයි අපට කියනු ඇත. සමහර විට ආගමට අපහාස කළා යැයි අපට විරුද්ධව පිකටින් එකක් පවා සංවිධානය කිරීමට ඉඩ ඇත. ඒ නිසා අපි ආගමෙන් පරිබාහිර උදාහරණයකට යමු. ඔබ ස්ත‍්‍රියකට ආදරය කරන්නේ යැයි සිතමු. එවිට ඔබගේ ඉතාම හෘදයාංගම හැඟීම් ඇයට ප‍්‍රකාශ කරන්නේ ඔබ ඇය විශ්වාස කරන බැවිනි. නමුත් එම විශ්වාසය ඇති කරගන්නේ කිසියම් විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කොට ඇය පිළිබඳ ව හරියටම දැනුම ලබාගෙන නොවේ. මෙය තවත් ඈතට ගෙන ගියහොත් කිසියම් පුරුෂයෙකු තම භාර්යාවට උපන් දරුවාගේ පියා තමා යැයි විශ්වාස කරන්නේ කිසියම් පරීක්ෂණයකින් පසුව නොවන බව අපට පැහැදිලි වේ.

අශ්ව ලාඩමේ රහස
නීල්ස් බෝර් යනු පරමාණුවේ ව්‍යුහය පිළිබඳ න්‍යාය ඉදිරිපත් කළ ඩෙන්මාර්ක් ජාතික විද්‍යාඥයෙකි. ඔහු භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් ද පිදුම් ලැබුවේය. දිනක් ඔහුගේ නිවසට ගිය අමුත්තෙකු දුටුවේ නිවස ඉදිරියේ අශ්ව ලාඩමක් එල්ලා ඇති අයුරුය. සාම්ප‍්‍රදායික විශ්වාසයට අනුව අශ්ව ලාඩමක් එල්ලන්නේ බාහිරව පවතින දුෂ්ඨ බලවේග නිවසට ඇතුළුවීම වැළැක්වීමටය. මෙයින් පුදුමයට පත් වූ අමුත්තා නීල්ස් බෝර් ගෙන් විමසුවේ ඔබ වැනි කීර්තිමත් විද්‍යාඥයෙකු මෙවැනි අශ්ව ලාඩමක් එල්ලාගෙන සිටින්නේ ඇයිද යන්නයි. මෙහිදී බෝර් මෙසේ කීවේය. ”ඔබ මෙය විශ්වාස කළත් නොකළත් අශ්ව ලාඩමෙන් බලාපොරොත්තු වෙන කටයුත්ත කෙරෙනවා යැයි මේ අශ්ව ලාඩම මට දුන් තැනැත්තා කිව්වා.”
මේ දීර්ඝ පැහැදිලි කිරීම් නිසා ඔබට අපේ ප‍්‍රශ්නය අමතක වෙන්නත් ඇති. ඒ වුණත් දීර්ඝ දේශපාලන සංවාද ප‍්‍රසාංගික අත්දැකීමක් වශයෙන් නරඹන අතරතුරදී විරාමයක් සඳහා ඔවුන් පාලක මැදිරියට ගොස් එන තෙක් වෙළෙඳ දැන්වීම් පෝලිමක් ද නරඹන ඔබට මෙසේ බලා සිටීම දැන් හොඳට පුරුදු ඇති. අපේ ප‍්‍රශ්නය වුණේ ‘පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා විශ්වාස කරන්නේ කෙසේද?’ කියන අමාරු ගැටළුවයි.

විශ්වාසය අනෙකා වෙතට
ඇත්තටම, විශ්වාසය යනු අනෙකා වෙතට අප විසින් තල්ලූ කරන දෙයකි. අප අනෙකාව විශ්වාස කරනවා යැයි කියන්නේ අප තුළ ඇති විශ්වාසය අනෙකා වෙතට තල්ලූ කිරීමයි. ආගම ඇදහීමේදී හා ආදරය කිරීමේදී මෙන් ම දේශපාලනයේදී ද ඕනෑම කෙනෙක් කරන්නේ මෙයයි. එනම්, තමාගේ විශ්වාසය අනෙකා වෙතට තල්ලූ කිරීමයි.
දේශපාලන විශේෂඥ මරික්කාර් මහතා නොදන්නේ මෙයයි. සාකච්ඡාවට එන දේශපාලන නායකයන් මෙය ප‍්‍රායෝගික ව දන්නා නමුත් අවාසනාවකට එය ඔවුන්ට කියා ගැනීමට භාෂාවක් නැති නිසා මරික්කාර් මහතාට මෙය ඉගෙන ගැනීමට ලැබෙන්නේ නැත. එනිසාම දස ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනතාවට ද මෙය දැන ගැනීමට අවස්ථාව හිමි නොවේ.

ලෙනින්,චර්චිල්,.......?
පාරේ තොටේ දී හමුවන විවේචකයන් ගේ සිට ‘ස්කයිප්’ මඟින් හමුවන විචාරකයන් දක්වා සියළු දෙනාටම දිය හැකි උත්තරයක් දැන් අපට ගොනු කර ගත හැකිය. එනම් විශ්වාස නොකර, තමන්ගේ විශ්වාසය අනෙකා වෙතට තල්ලූ කරන්නේ නැතිව දේශපාලනය කළ නොහැකි බවය. ලෙනින් ගේ සිට වින්සන්ට් චර්චිල් හරහා වර්තමානයේ සිටින දේශපාලන නායකයන් දක්වා සියළුදෙනාම දේශපාලනය සංවිධානය කරන්නේ ඒ ආකාරයටය.
දෙවන ලෝක යුද්ධ සමයේදී මිත‍්‍ර පාර්ශ්වයේ ප‍්‍රධාන බලවේගයක් වූ මහා බි‍්‍රතාන්‍යයට නායකත්වය දුන් අගමැති වින්සන්ට් චර්චිල් ගේ මේසය මත දිනපතා ම ගොඩ ගැසෙන ලිපි ගොනු රාශියකි. ඒ අතර යුද හමුදා විශේෂඥයන්ගේ සිට කාලගුණ විශේෂඥයන් දක්වා විශාල පිරිසක් යුද්ධය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන වාර්තා සහ නිර්දේශ ඇතුළත් වේ. ඒ සියල්ල කියවා හෝ නොකියවා යුද්ධය මෙහෙයවීම සම්බන්ධ අවසාන තීන්දුව ගනු ලබන්නේ තනි පුද්ගලයෙකු ලෙස වින්සන්ට් චර්චිල් ය. බි‍්‍රතාන්‍ය ජනතාව ඇතුළු මිත‍්‍ර පාර්ශ්වයේ සියළුදෙනා එම තීරණය විශ්වාස කළේ තම විශ්වාසයන් වින්සන්ට් චර්චිල් වෙත තල්ලූ කරමිනි. එසේ විශ්වාස කරන අවස්ථාවේදී යුද්ධය කෙළවර වන්නේ ජයග‍්‍රහණයෙන් ද පරාජයෙන් ද යන්න කල්තියා දැන ගතහැකි දැනුමක් කිසිවෙකුටත් නොතිබුණු අතර පැවතුණේ ‘විශ්වාසය’ පමණකි.

මෙය මායාවක් ද?
ඇත්ත වශයෙන් ම අප කැමති වුවත් නැතත් මිනිසුන් සමූහයක් වශයෙන් එකට එකතුව ක‍්‍රියාකාරී වන එකම ආකාරය මෙයයි. මෙහිදී සිදුවන්නේ තනි තනි පුද්ගලයා තම විශ්වාසය අනෙකා වෙතට තල්ලූ කොට ඔහු හෝ ඇය කෙරෙහි විශ්වාසය තැබීමයි. මෙය මායාවක් යැයි කෙනෙකුට කිව හැකිය. නමුත් දේශපාලනයේදී සිදු වන්නේ නිකම්ම අපේ ඔළුව තුළ ඇතිවන මායාවක් නොව අප ක‍්‍රියාත්මක වීමේදී අනිවාර්යෙන්ම අප තුළට ඇතුළු වනු ලබන මායාවකි.
(Illusion in action) අපගේ විශ්වාසය අනෙකා වෙත තල්ලූ කරන්නේ ඒ නිසයි.
මෙහිදී තාර්කිකව සිතන පාඨකයකු මෙම ලිපිය ඉවත දැමීමට පුළුවන. නමුත් අප ආරාධනා කරන්නේ ඉවසීමෙන් අවසානය දක්වා රැඳී සිටින ලෙසය. දයාසිරි සහ විමල් සමඟ සහායට ඩැනී ලෙස රාජිත රඟ පෑ රතු ඉර වැඩසටහන රතු කට්ට පන්නා ගන්නේ නැතිව පැය දෙකක් පුරාවට බලා සිටි ඔබට රැඳී සිටීමට අවශ්‍ය ඉවසීම ඇති බව අපි විශ්වාස කරමු.
අනෙකා විශ්වාස කිරීමට අප බය වන්නේ ඇයි? අප අනෙකා ගැන දැනුම ලබා ගැනීමට මෙතරම් වෙහෙසෙන්නේ ඇයි? ඔබ වැඩියෙන් ම ආශා කරන අනෙකාට ඔබ ආදරය කරන්නේ වීජ ගණිතය හෝ ජ්‍යාමිතිය යොදාගෙන ඔහු හෝ ඇය පිළිබඳ ව දැනුමක් ලබාගැනීමෙන් පසුව ද?
මේ ප‍්‍රශ්නයට පිළිතුරක් නැතිවීම නිසා ම මරික්කාර් මහතාට මෙන් ම අපේ විවේචකයන්ට ද මේ ප‍්‍රශ්නය නැවත නැවතත් අසමින් විපක්ෂයේ දේශපාලන ක‍්‍රියාධරයාට කෝචොක් දැමිය හැකිය. එමෙන් ම බොහෝදෙනෙකු මේ අවස්ථාවේදී ඉතාම යුක්ති සහගත ලෙස නිකං ඉන්නේ ද මේ ප‍්‍රශ්නයට උත්තර නැති බැවිනි.
මෙම ප‍්‍රශ්නය ම ආණ්ඩු පක්ෂයට හා ජනාධිපතිතුමාට අදාළව ද ඇසිය හැකි බව බොහෝදෙනාට අමතක වී ඇත්තේ හොඳ වෙලාවටය. නැත්නම් මලූ අරගෙන, ගෝනි අරගෙන සහ පැදුරු අරගෙන කඬේ යාමට පෝලිමේ ඇවිත් සිටින කලාකරුවන්, බුද්ධිමතුන් වැනි අයට සිදුවන්නේ විශාල අලකලංචියකි.
විවිධ ප‍්‍රතිපත්ති සහිත දේශපාලන පක්ෂ, සංවිධාන සහ පුද්ගලයන් පොදු අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටින්නේ ගිවිසුම් අත්සන් කොට නොව විශ්වාසය මතය. ජෙනරල් ෆොන්සේකා පෙරළා පවසන්නේ ද අප අතර ඇත්තේ ගිවිසුමක් නොව විශ්වාසයක් බවයි. වෙනත් අයුරකින් කිව්වොත් සියළුදෙනාම පොදු අපේක්ෂකයා වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ගේ විශ්වාසය ඔහු වෙතට තල්ලූ කිරීමෙනි.
පොදු අපේක්ෂක ජෙනරාල් ෆොන්සේකා සුපර් මෑන් කෙනෙකු හෝ ඉන්ක්‍රෙඩිබල් හල්ක් කෙනෙකු නොවේ. අඩුතරමේ ඔහු කුංෆු පැන්ඩා කෙනෙකු ද නොවේ. ජනාධිපතිවරණයෙන් ජෙනරාල් ෆොන්සේකා බලයට පත් වුවහොත් ලංකාවේ සියළුම ප‍්‍රශ්න එකවර විසඳී අටානූවක් රෝග සහ නවානූවක් ව්‍යාධි සුව වන්නේ නැත. ලංකාව එකවරම කේතුමතී රාජධානිය බවට පත්වන්නේ ද නැත. එහෙමත් නැත්නම් ආණ්ඩුවේ ප‍්‍රචාරක දැන්වීමක කියවෙන ආකාරයට ලංකාව එකපාරටම තුන්වෙනි ලෝකයේ සිට පළවෙනි ලෝකයට මාරු වන්නේ ද නැත. නිදසුනකින් කිව්වොත් නිදහසේ වේදිකාව ඇතුළු සිවිල් සංවිධාන නියෝජිතයන් සහ පොදු අපේක්ෂකයා ද විපක්ෂයේ නියෝජිතයන් ද අතර පැවැති සාකච්ඡාවේදී විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා විහිළුවට මෙන් ප‍්‍රකාශ කළ පරිදි සමාජයේ සියළු ප‍්‍රශ්න සරත් ෆොන්සේකා මහතා විසින් විසඳුව හොත් සිවිල් සමාජයට අනාගතයේදී කරන්නට දෙයක් නැතිව ගොස් ඔවුන්ගේ රැකියා අහිමි වනු ඇත.

නරකාදියෙන් එළියට
එහෙත්, එම ජයග‍්‍රහණය හේතුවෙන් මේ සමාජයට අවශ්‍ය අවම ප‍්‍රජාතාන්ත‍්‍රික ප‍්‍රතිසංස්කරණ ප‍්‍රමාණයවත් ඇතිකර ගැනීම පිණිස ප‍්‍රජාතාන්ත‍්‍රික අවකාශයක් ද, පොදු සම්මුතියක් ද ඇති කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. තමාට හෝ තමාගේ අන්තේවාසිකයන්ට හැර අනෙක් සියළුදෙනාටම දේශපාලනය කිරීම තහනම් කර ඇති, කලා නිර්මාණ කිරීම තහනම් කර ඇති, (හඳගමට චිත‍්‍රපට හැදීම තහනම් කර ඇති බව ඔහුගේ ‘අක්ෂරය’ චිත‍්‍රපටියේ ප‍්‍රධාන නළුවා ද ඇතුළු සහෝදර කලාකරුවන් නොදනී. එහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් නෝ වයි?) වෙළෙඳ ව්‍යාපාර කිරීම තහනම් කර ඇති, මත්පැන් දුම්වැටි බීම පමණක් නොව මත්පැන් දුම්වැටි ඇති දර්ශනයක් වත් නැරඹීම හෝ ප‍්‍රදර්ශනය කිරීම තහනම් කරන ශාරියා නීති ඇති වර්තමාන නරකාදියෙන් එළියට විත් හුස්මක් ගැනීමට තරම් අවකාශයක් විවෘත වනු ඇත.
දේශපාලනය ආගමක් බවට පත් කර ගන්නට එපා යැයි කියන අය නොදන්නේ දේශපාලනයට ආගමික හරයක් ඇති බවයි.

Back to HOME
VIEW PDF

No comments: