Wednesday, February 3, 2010

දැන් ඉතිං වෙන කුමක් කරන්නද? පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක ජීවත්වීම සහ පැවතීම

සුදර්ශන ගුණවර්ධන

ජනාධිපතිවරණය අවසන් විය. ප‍්‍රතිඵල නිකුත් විය. ප‍්‍රතිඵල ඉතා පැහැදිලිය. ඒත් පරාජිත විපක්ෂයේ සංවිධායකයන් අතර පමණක් නොව ජයග‍්‍රාහී ආණ්ඩු පක්ෂයේ ඡන්ද දායකයන් අතර පවා ඇත්තේ කුකුසකි, කුතුහලයකි, කාංසාවකි.
මොකක්ද මේ සිද්ධ වුණේ? ඒ ප‍්‍රශ්නයට පිළිතුරු නැත. මොකක්ද මේකට කරන්න පුළුවන්? නැවතත් ඒ ප‍්‍රශ්නයට ද පිළිතුරු නැත.
සුප‍්‍රකට ගෝඞ් ෆාදර් ලියූ මාරියෝ ෆූසෝ ගේ අවසන් නවකතාව වන ඔමෙර්තා හි කුර්ට් සිල්කේ යනු එෆ්.බී.අයි හෙවත් අමෙරිකානු ෆෙඩරල් විමර්ශන බියුරෝවේ නිව්යෝර්ක් කාර්යාලයේ ප‍්‍රධානියාය. නිව්යෝර්ක් නුවර මාෆියා හෙවත් සංවිධානාත්මක අපරාධ කල්ලි විනාශ කිරීම හේතුවෙන් ඔහු විශාල කීර්තියක් හිමිකරගත්තේය. නමුත් නීති විරෝධී සංවිධානාත්මක අපරාධ මැඬලීමෙන් ඔහු මේ සාර්ථකත්වය ලබා ගන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ටිමෝනා පෝටෙලාගේ සහාය ලබා ගනිමිනි. එම සහාය සඳහා හිලවු වශයෙන් මාෆියා නායකයා සිදු කරන නීති විරෝධී අපරාධවල අපරාධ සහායකයෙකු වශයෙන් කටයුතු කිරීමට ද ඔහුට සිදු වේ. නීතියේ රැකවලා වශයෙන් ක‍්‍රියා කරන අතරම එම නීතියම කඩ කිරීමට හවුල් වෙමින් සිල්කේ ගත කරන දෙබිඩි ජීවිතය එෆ්.බී.අයි හි ඉහළ නිලධාරීන්ද දනිති. ඔවුන්ගේ තේමාව මෙයයි.
”අපරාධ වැළැක්වීම පිණිස සමහර අපරාධ සිදු වීමට ඉඩ හැරිය යුතුය.” (To protect law one has to allow to break the law).
පශ්චාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් බවට පත්ව ඇති ලංකාවේ පාලක පවුලට අදාළව ඉහත තේමාව මෙසේ සංශෝධනය කර ඉදිරිපත් කළ හැකිය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක ගැනීම පිණිස සමහර අවස්ථාවලදී ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියා කළ යුතුය.
මැතිවරණ ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසු ඇති වී තිබෙන බරපතල නිහඞතාවය ඉදහිට දැල්වෙන රතිඤ්ඤ හඩින් පවා බිඳී නොයයි. ඒ නිහඬතාවය මත අපට ප‍්‍රධාන ප‍්‍රවාද දෙකක් මතු වන බව පෙනෙයි.
1. මේ ජනාධිපතිවරණය ආරම්භයේ සිට ප‍්‍රතිඵල ප‍්‍රකාශ කිරීම දක්වාම කිසිදු ආකාරයේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් නොව වංචා ඳුෂණ වලින් සහ නීතිය නොතකා හැරීමෙන් ජයග‍්‍රහණය කළ අසාධාරණ සහ අයුක්ති සහගත මැතිවරණයකි. එයින් බිහිවී ඇත්තේ ජනමතය කොල්ල කා ගොඩනැගූ නීති විරෝධී ආණ්ඩුවකි.
2. දැන් ඉතිං මැතිවරණ ප‍්‍රතිඵලය ප‍්‍රකාශයට පත් වී ඇති නිසා කළ යුත්තේ එය ඒ ආකාරයට බාරගෙන ඉදිරියේදී එන එන හැටියට උපයෝගීතාවාදී ආකාරයට කි‍්‍රයාකිරීමය. ඒ අනුව දේශපාලන පක්ෂ ඉදිරි මැතිවරණ සඳහා සූදානම් වීමත්, සිවිල් දංවිධාන තරඟයට මැතිවරණ නිරීක්ෂණ සඳහා සූදානම් වීමත් කළ යුතුය.
පළමුවෙනි කි‍්‍රයාමාර්ගය තෝරාගැනීම ‘ජීවත්වීම’ ලෙස ද, දෙවැනි ක‍්‍රියාමාර්ගය තෝරාගැනීම හුදෙක් ‘පැවතීම’ ලෙස ද නම් කිරීමට අපට හැකිය. ලාංකිකයන් තෝරා ගනු ඇත්තේ ඉහත මාර්ග දෙකෙන් කවරක්ද යන්න මත ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අනාගතය තීරණය වනු ඇත.
පිලිපීනයේ, සිම්බාබ්වේ හි හෝ කෙන්යාවේ ජනතාව හුදෙක් පැවතීම පමණක් ප‍්‍රමාණවත් යැයි කල්පනා කරන ලද්දේ නම් කොරසෝන් අකිනෝ, මෝගන් ට්වංගරායි, රයිලා ඔඩිංගා කිසිවිටෙකත් බලයට පත් නොවනු ඇත. ඉරානයේ ජනාධිපති අහමඞ් නෙජාඞ් ගේ පාලනයේ සුජාතභාවය අභියෝගයට ලක් නොවනු ඇත.
සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව හරියටම කිව හැක්කේ අදාළ ක‍්‍රියාවලියට සෘජුව හා වක‍්‍රව දායකත්වය සැපයූ අයට පමණකි. ඒ අය අතර ස්ටාලින්වාදීන්, ට්‍රොට්ස්කිවාදීන්, ගාන්ධිවාදීන්, ජාතිකවාදීන් ඇතුළු තවත් බොහෝ අය සිටින බව අපි දනිමු. කවුරු කතා නොකළත් මේ මහා අපරාධය ගැන ඔවුන්ගේ හෘද සාක්ෂිය කතා කරනු ඇත.

Back to Home
View Pdf

No comments: