අවම මට්ටමක පවතින ශ‍්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
කුටුම්භය තුළ අනර්කලීගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ
නිමල්කා ප‍්‍රනාන්දු
සාමය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා කාන්තා සන්ධානයේ කැඳවුම්කාරිය
ඉන්දියාවේ සමහර ජන සමාජවල කාන්තාවක් පිරිමියෙක් අතින් දුෂණයට ලක්වුණාම ඇයට මාවත් දෙකක් තිබෙනවා. එකක් නීතිය හමුවට ගොස් ඒ මාර්ගයෙන් කටයුතු කර දුෂකයාට දඬුවම් දීම. කාන්තාවක් දුෂණය වීම නීති විරෝධී දෙයක්. ඒ අනුව, ඇය තෝරා ගන්නා පළමු මාවතේදී දුෂණයට විරුද්ධව නීතිය ඉදිරියට ගොස් සටන් වැද යුක්තිය ඉටු කරවා ගැනීමට හැකිය. එය අභියෝගයකි. එමඟින් මෙවැනි නීති විරෝධී ක‍්‍රියා පුද්ගලයා හෝ සමාජය අනුමත නොකරන්නේය යන පණිවිඩය ලබාදෙයි.
දෙවැනි මාවත තමාට සිදු වූ අපරාධයට විරුද්ධව නීතිය හමුවට ගොස් යුක්තිය ඉටු කර ගැනීම පසෙකලා දුෂකයා සමඟ විවාහ වී අපරාධය යටපත් කර අපරාධකරු සමඟ සම්මුතියකට පැමිණීමයි. එමඟින් ඈ තමාට සිදු වු හානිය හානි පූරණය කරගෙන පුරුෂාධිපත්‍යයට යටත් වන්නීය.
කාන්තාවන් දේශපාලනයට පිවිසීම හා අනර්කලී කියන සාධකය ගත්තම ඇය මේ රඟ දක්වන භූමිකාව වටහා ගැනීමට ඉහත සිදුවීම අපට මඟ පෙන්වයි.
සමාජයේ කාන්තා දේශපාලන නියෝජනය වැඩිවිය යුතුයි යන හඬ නැඟී එන්නේ, පවතින සමාජය වඩා යහපත් ලෙස වෙනස් විය යුතුයි යන අරගලය හරහා. එසේම වරප‍්‍රසාද අහිමි වූ අයටත් සමාජයේ ඉදිරියට පැමිණීමට ඉඩ ප‍්‍රස්තාවන් ලැබිය යුතුයි යන සමානාත්මතා සංකල්පය හරහායි. එහිදී කාන්තාවන්ට එකී දේශපාලන නියෝජනය ලබා ගැනීම සහ සමානාත්මතාව ලබා ගැනීම යන කාරණාවේදී ඇය දේශපාලනික ලෙස බලමුළු ගැන්වීම සහ වෙනත් පීඩිත ජන කොටස්වල අරගලයන් සමඟ කාන්තා අරගලය ඒකාබද්ධ වීම සිදුවිය. ඒ අනුව මුල් යුගයේ අපි ඇයගේ අයිතීන් හඳුන ගෙන ඇයව සංවිධානය කර බල ගන්වලා ඈ සතු අයිතිය ලබා ගන්න අරගල කළා.
නමුත් පන්ති අරගලය යන කාරණය යටපත් වීමත් සමඟ පවතින සමාජය විපර්යාසයට ලක්කළ යුතුයි යන සංවාදය බොඳවී ගිහින් එය එසේම පවතිද්දි නීතිමය හා ව්‍යවස්ථානුකූල වෙනස්කම් ඇති කිරීම මඟින් කාන්තාවගේ තත්ත්වය වැඩි දියුණු කිරීමට හා ඇගේ භූමිකාව ප‍්‍රවර්ධනය කිරීමට මැදිහත්විය යුතුයි යන අදහස පෙරට ආවා. නමුත් එහිදී ඈ එතෙක් කළ අරගලය, විමුක්තිය කියන අංග නිලීන වී නීති රාමුව තුළ අයිතිවාසිකම් දිනාගැනීම නැමැති කරුණ ප‍්‍රමුඛ වුණා. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්ද දිනා ගැනීමට කටයුතු කළ යුතුය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කාන්තා දේශපාලන නායකත්වය ප‍්‍රවර්ධනය කළ යුතුය යන්න යටපත් වී සංඛ්‍යාත්මකව කාන්තාවන් කී දෙනෙක් නියෝජනය වෙනවාද යන සූත‍්‍රයට වැඩි වටිනාකමක් ලැබුණා. මේ නිසා කාන්තා දේශපාලඥවරියන් වෙනුවට තාක්ෂණවේදිනියන් නැත්නම් ටෙක්නොක්රැක්ට්ලා බිහිවුණා.
ඒඅනුවයි කාන්තාව දේශපාලනයට වැඩිපුර කැන්ඳගෙන එන්න පටන් ගත්තෙ. සංඛ්‍යාත්මක නියෝජනය කියන කාරණය ඉස්මතු වෙනකොට පාලකයො අපිට කියන්න පටන් ගත්තා ‘උඹලට ඕන ගෑනු නියෝජනය වැඩි කරන්නනේ. මෙන්න එහෙනම් ගෑනු. දැන් ඡන්දය දීපල්ලා’ කියල. කාන්තා දේශපාලන නියෝජනය වැඩි කළ යුත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අරගලයක් තුළින්. තාක්ෂණවේදිනියන් බිහි කිරීමෙන් නෙවෙයි. ඒ නිසා අපි කියා සිටිනවා අපේ කාන්තාවො ඔය ඇම ගිලින්න ලැහැස්ති නොවිය යුතුයි කියලා.
අද මේ සූත‍්‍ර ක‍්‍රමයට වහල් වී බොහෝ දෙනෙක් කාන්තාවන් වැඩි පිරිසක් දේශපාලනයට පිවිසිය යුතුයි කියන මතය අනර්කලී කියන සාධකය හරහා සාධාරණීකරණය කරනවා. එසේම පුරුෂාධිපත්‍යය කියන සාධකයට දේශපාලනික ලෙස අභියෝග කළ හැක්කේ ඊට පරස්පර විරෝධීව කටයුතු කරන කාන්තාවන් එතුළට ගෙන ඒමෙන් යන කාරණය තෙක් සමාජය තල්ලූ වී ගොස් තිබෙනවා. නමුත් මෙයින් සිදු වෙන්නෙ කාන්තාවන් දේශපාලනයට පැමිණීම හා ක‍්‍රියාකාරී වීම ඉලක්කම් වලින් ගණනය කිරීම පමණයි. ඒ ඔස්සේ කෝටා එක කොපමණක් ද හා නියෝජනය කොපමණක්ද කියන ප‍්‍රමාණාත්මක කාරණා පස්සෙ දිවීමට පටන් ගත්තා මිස ගුණාත්මක කාරණා වන ප‍්‍රජාතන්ත‍්‍රවාදී කාන්තා දේශපාලනය ඉස්මතු වුණේහෝ වර්ධනය වුණේ නැහැ. එම පදනමෙන් ගත්තම කාන්තා නියෝජනය වැඩි වූවාට පවතින දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කිරීමට ඔවුන් සමත් වෙන්නෙ නැහැ.
ලංකාව වගේ වැඩවසම් පාලනයක් ක‍්‍රියාත්මක වෙන රටක කාන්තා දේශපාලනයට අනර්කලී වැනි චරිතයක් පැමිණීම ජනතාවට රස විඳින්නට ටොෆියක් ලබා දීමට සමානයි.
දේශපාලනය තුළට ලිංගිකත්වය යොදා ගැනීම ගැන අපිට බරපතල විවේචනයන් තියෙනවා. තමන්ට ප‍්‍රචණ්ඩත්වය එල්ල කළ පුද්ගලයින් සමඟම එකම දේශපාලන ව්‍යාපාරයක් තුළට එකතු වී කටයුතු කිරීම ඇතුළෙ බරපතල ව්‍යාජයක් තිබෙනවා. තමන්ට සිදු වුණු අපරාධයට යුක්තිය ඉටු කරවා ගන්නට හෝ හානි පූරණය කර ගන්නට ‘මටත් චාන්ස් එකක් දෙන්න’ කියා කේවල් කිරීමෙන් නීතිය පළ රහිත වෙනව. ඒ ස්ත‍්‍රී දේශපාලනයෙන් පළක් නැහැ. සමාජයේ හැම ස්ථරයකම මේ දේ සිදුවෙනව නම් දේශපාලනය කියන කාරණයේදීත් අපට වෙනවා ඒ ක‍්‍රමයම අනුගමනය කර ඉඩ පුරවා ගන්න.
අනර්කලී කියන ප‍්‍රතිරූපය පසුගාමී වැඩවසම් චින්තනයේ නිරූපණයක්. කුටුම්බය තුළ ඇගේ සාම්ප‍්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ. ඇය කුටුම්බයේ නිරූපිත ප‍්‍රචණ්ඩත්වය අභියෝගයට ලක් කිරීම කියන මාවතේ නොගොස් අර ඇතැම් ඉන්දියානු කාන්තාවන් මෙන් හානි පූරණය කර ගැනීමට කේවල් කළ කාන්තාවක්. ඇය තමා කෙරේ මුදාහැරපු කුටුම්බ ප‍්‍රචණ්ඩත්වයට අභියෝග කරනවා නම් ඇගේ දේශපාලන ආගමනය සිදුවිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්. අද ඇය නියෝජනය කරන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ හැමදාම පුරුෂාධිපත්‍ය කුටුම්භය දේශපාලනගත කළ පක්ෂයක්.
ඒ නිසා අනර්කලීගේ දැක්ම වැරදියි. ඒක බය නැතුව කියන්න අපිට හයිය තියෙන්න ඕන. ඇයගේ දේශපාලන ආගමනයෙන් වෙන්නෙ මෙතෙක් අපේ කාන්තාවන් දිනාගත් අයිතීන් සුන්නද්ධුලි වී යාම. ඇයට ඡන්දය දෙන්න කියා සිටීමම පුරුෂාධිපත්‍යයට යටවීමක්. ඇයට දේශපාලන අපරාධයක් සිදුවෙලා තියෙනවා. ඇය දේශපාලනය නිසා අතරමං වූ, ඒ දේශපාලනයේම ගොදුරක් වූ කාන්තාවක්. එහෙනම් ඈ ගත යුතු වන්නේ විකල්ප මාවතක්.
ඇඳුමෙන් පැළඳුමෙන් ගැහැණියක් මොඩර්න් වෙන්නෙ නැහැ. ඊට වඩා ඔසරියක් ඇඳි ගැහැණියක් බොහෝ සෙයින් නවීන සිතුවිලි වලින් යුතු කෙනෙක් විය හැකියි. මේක ඇඳුමෙ ප‍්‍රශ්නයක් නෙවෙයි. ඒ දැක්මෙන් ලඝු නොකළ යුතු දෙයක්. අපිට වැදගත් වෙන්නෙ කාන්තාවන් දේශපාලනයට පැමිණීම තුළින් අවදි වන ඔවුන්ගේ සමාජ හැසිරීම සහ ඔවුන් ප‍්‍රවර්ධනය කරන අයිතීන් යන කාරණායි.
එම නිසා අනර්කලීගෙ භූමිකාව විවේචනය කරන්න මම කිසිසේත් බය වෙන්නෙ නැහැ. මේක ගැරහීමක් නෙවෙයි. විවේචනයක්. විවේචනය දේශපාලනයට අත්‍යවශ්‍ය දෙයක්. ඇය චරිතයක් විදිහට දේශපාලන වාසි තකා ඉදිරිපත් වීමට අපි විරුද්ධයි. මේ අවස්ථාවේ රටේ පවතින පාලනය අපරාධකරුවන් පෝෂණය කරන ඒකාධිකාරී පාලනයක්. ඒ තුළ අනර්කලී කළේ එකී පාලනය තුළට පැමිණ කේවල් කරමින් එය අනුමත කිරීමක්. එය කාන්තා දේශපාලනය නෙවෙයි.
No comments:
Post a Comment