Tuesday, October 27, 2009

ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගැනීමේ උත්සාහය රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් නෙවෙයි

ධර්මසිරි බණ්ඩාරනායක
සාකච්ඡා කළේ - චතුරි තරංගනී
ලංකාවට නිදහස ලැබෙන්න මූලිකවම බලපෑවේ ඉන්දියානු නිදහස් අරගලය. බි‍්‍රතාන්‍යයන් ඉන්දියාව අතහැර යන මොහොතේ ලංකාවටත් ඒ ආකාරයේම නිදහසක් දීලයි පිටව ගියේ. නමුත් ඉන්දියානු නිදහස් අරගලය දැවැන්ත අරගලයක්. මම හිතනවා කිසිම අරගලයකින් තොරව ලංකාවට නිදහස ලැබුණෙ ඉන්දියාවට නිදහස ලැබුණ නිසා කියලා.

ඉන්දියානු නිදහස් අරගලයේ අභ්‍යන්තරයට ගිහින් බැලූවොත් එහි කලාකරුවන් සාහිත්‍ය, නාට්‍ය, කවිය හා සංගීතය කියන සෑම ආකාරයකින්ම නිදහස් සටන මුවහත් කළා. ලාංකීය සමාජය තුළ එවැනි මුවහත් තැබීම් ඉතාමත් සීමිතයි. ඒ නිසා නිදහස ලැබුණට පස්සෙ අපේ ජනතාව ප‍්‍රධාන ගැටළුවකට මුහුණ දුන්නා. ඒ‘මේ නිදහස අපි රැක ගන්නේ කාගෙන්ද’ කියන අර්බුදයට.අද මේ රටේ ජීවත් වෙන කිසිම මිනිහෙක්ට සංස්කෘතික ජීවිතයක් නැහැ. ඒ ප‍්‍රශ්නය කලාකරුවන්ටත් පොදුයි. අපිට පේනවා පාලක පංතිය සෑම විටම නිර්මාණකරුවාගේ අදහස් ප‍්‍රකාශනයට එරෙහිව අවි දරමින් කලා කෘති නිශේධනය කිරීමක යෙදෙනවා. මේ තනි වීම, හුදකලා වීම නිසා කලාකරුවො පවා අපේක්‍ෂා භංගත්වයට පත් වෙනවා. ඊට පස්සෙ ඒ අපේක්ෂාවන්, අභිලාෂයන් ඉෂ්ඨ කර ගන්න දේශපාලකයින් පසුපස යා යුතුයි කියා කලාකරුවන් හිතනවා. ඊට හොඳම උදාහරණය වර්තමානය. දෙවන ලෝක යුද්දෙන් පස්සෙ සාත්‍රේලා, කැමූලා එදා සමාජයේ ඇති වූ හිඩැස මත දර්ශනවාදයක් ගොඩ නැඟූ ආකාරයටම දැන් ලාංකීය සමාජය තුළත් එවැනි දර්ශනවාදයක් ගොඩ නැඟීය යුතු අවස්ථාවක් නිර්මාණය වෙලා තියෙනවා.

හැම අරගලයක්ම පරාජයට පත් වීම කියන්නේ තියෙන අභිලාෂයන් බිඳ වැටීමක්. අද මම හැම දේශපාලන කණ්ඩායමකම දකින්නේ බෙදී වෙන්වීම. ඔවුන් තුළ ජනතා අභිලාෂ ඉටු කිරීම සහ මිනිසුන්ට වැඩ කීරීමේ ශක්තිය හීන වෙලා. එය ඛේදවාචකයක්. අපට ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනා ගත හැක්කේ බිඳ වැටුණු බලාපොරොත්තු යළි දිනා ගැනීම මතයි. ඒක රාජ්‍ය විරෝධී කුමන්ත‍්‍රණයක් නෙවෙයි. අද මානව හිමිකම් කියල දෙයක් මේ රටේ තියෙනවද කියලා පිරිසක් ප‍්‍රශ්න කරන කොට දැනුවත් භාවයෙන් තොර වූ තවත් පිරිසක් එය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේප කරන තත්ත්වයක ඉන්නේ. ඒක ජන සමාජයක් ඉතා දරුණුම තැනකට ඇද දමන භයානක විපතක්. මම හිතන හැටියට පාලක පන්තියෙන් ඈත් වෙලා අපිට මේ කථාව ගොඩ නඟන්න බැහැ. ඇත්ත වශයෙන්ම මෙයින් ජනයා ගැලවීමට නම් පාලක පන්තිය මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන ජනතාවට නැවත මානව හිමිකම් ප‍්‍රදානය කළ යුතුයි. අසූ හතේ දී සිදු වූ පැහැර ගැනීම්, අතුරුදහන් කරවීම්, ඝාතනය කිරීම් ඉදිරියේ සිවිල් සමාජය පෙරමුණ අරන් කටයුතු කරන කොට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිය ආකාරය අපි දැක්කා. ඒවායින් ජනතාවට ශක්තියක් ලැබුණා.

හැබැයි අද ඒක ජනතාවට ශක්තියක් නොවන ආකාරයට ඉස්මත්තට ඇවිත් තියෙනවා. ඒකට හේතුව තිස් අවුරුදු යුද්ධය. එය බරපතල විනාශයක් ඇති කරල තියෙනවා. යුධ ජයග‍්‍රහණ වලින් පස්සේ ඒක අපට විපතක් ලෙස හඳුන්වන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් යම් නිශ්චිත අවසානයක් කරා පැමිණ තියෙනවා. අළුත් සංවාදයක් නැවත පටන් අරන් තියෙනවා. නමුත් අළුත් වුනාට ඒක පරණ එකක්. මාතෘකාව බලය බෙදා හැරීම. නැවත මේකට විරුද්ධ වෙන කණ්ඩායම් දකින්න ලැබෙනවා. මේ අද ඊයේ නෙවෙයි හැමදාම දකින්න තියෙන දෙයක්. දේශපාලනය තුළ වගේම සිවිල් සමාජයේත් මේ තත්ත්වය තියෙනවා. සිවිල් පුරවැසියෙක් විදිහට මේ සමාජය තුළ වර්තමානයේ සිදුවන හැම සිදුවීමකින්ම මම දැඩි කම්පනකට සහ කලකිරීමකට පත් වෙනවා. එක අවුරුද්දක් දෙකක් නෙවෙයි 71 කැරැල්ලේ සිට ජීවිත කාලෙම. මෙයට විසඳුමක් දීමේදී අවශ්‍ය කරන්නේ දෙමළ ජනයාටත් ඉහල සංස්කෘතික අංගෝපාංග තියෙන බව සිංහල ජනයාට ඒත්තු ගැන්වීම. ඒ වගේම සිංහල ජනයාගේ සංස්කෘතික ලක්‍ෂණත් දෙමළ ජනයාට ඒත්තු ගැන්වීම. මේක කලාව ඇතුළේ කල හැකි දෙයක් කියලා මම විශ්වාස කරනවා. ඒ සඳහා මේ මොහොතේ මම උත්සාහයක නිරත වෙලා ඉන්නවා.

ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ මොහොතේ වඩාත්ම සංවේදී ජනතාව බවට දෙමළ ජනතාව පත් වී සිටිනවා. මේ මොහොතේ පුරවැසියා ඉදිරියට ප‍්‍රශ්නයක් දාලා තියෙනව ඔබ දේශ පේ‍්‍රමියෙක්ද දේශ ද්‍රෝහියෙක්ද කියල. අපි සිය කැමැත්තෙන් දේශද්‍රෝහීන් කියල කියන්න කැමති නැහැ. කවුරුහරි අපිව දේශද්‍රෝහීන් කියල නම් කරනව නම් ඒක කරන්න ඕන අපේ රූප දිහා බලලා නෙවෙයි. මේ ශ‍්‍රී ලාංකීය කලා නිර්මාණ ක‍්‍රියාවලියේ අපි කරපු නිර්මාණ පිළිබඳව තීන්දු කරලා. ඒක පුරවැසියාට තීන්දු කල හැකියි. යම් කෙනෙකුට නීතිඥයෙක් අරගෙන ගිහින් ‘මම දේශද්‍රෝහියෙක් නෙමෙයි’ කියල නිර්දෝශී වෙන්න පුළුවන් වුණත් මේ එහෙම තීන්දු කරන අවස්ථාවක් නෙවෙයි. නමුත් අපිට කිසියම් ආකාරයක වේදනාවක් ඇති වෙනවා අපි අපේ ජීවිතය කැප කළේ කුමක් සඳහාද කියලා. එහෙම දැනෙන තව කලාකාරයෝ කිහිපදෙනෙක් මේ සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි බහුතරය හිතනවා නම් අපි දේශපේ‍්‍රමීන් කියලා ඒ අය සැබෑ ලෙසම හිතට එකඟව කල්පනා කරල බලන්න ඕන ඔවුන් දේශද්‍රෝහීන් ලෙස නම් කරන කලාකරුවන් මේ සමාජයට කරලා තියෙන්නෙ මොනවද කියල.

No comments: