Friday, October 23, 2009

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන

’නිදහසේ වේදිකාවේ’ කැඳවුම්කරු ජ්‍යේෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ හදිසි නීති රෙගුලාසි පිළිබඳ ව පසුගිය දා කොළඹ සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පවත්වන ලද දේශනයක් ඇසුරෙනි.



ලංකාවෙ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නීති ගැන කතා කරන කොට ප‍්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් විශේෂයි.

1. මහජන ආරක්ෂක පනත හා හදිසි නීති රෙගුලාසි
2. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත

1947 අංක 25 දරණ මහජන ආරක්ෂක පනත පාර්ලිමේන්තුවේ සම්මත කළේ ලංකාවට නිදහස ලැබෙන්න මාස හයකට කලින්. ඒ කාලෙ හිටපු සමහර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු මෙහි අනාගතය ගැන අනාවැකි කිව්වා. දකුණු කොළඹ මන්ත‍්‍රීවරයාව සිටි බර්නාඞ් සොයිසා මහතා කිව්වා සදාචාරයක් නැති ඇමතිවරුන් වගේම රාජ්‍ය නායකයින් මේ නීතිය පාවිච්චි කරල අහිංසක මිනිස්සු සිරභාරයට ගැනීම නවත්වන්න බැහැ කියලා. ඔහු එදා කියූ දේ කොතරම් හොඳට අද සිදුවෙනවද කියල පැහැදිලියි.

මහජන ආරක්ෂක පනත අනුවයි හදිසි නීති රෙගුලාසි පනවන්න පුළුවන්. හදිසි නීති රෙගුලාසි කියන්නෙ එම පනත යටතේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හදන රෙගුලාසි වලට.
අද පාර්ලිමේන්තුවේ හදිසි නීති රෙගුලාසි ගැන කතා කරන්නේ මාසයකට සැරයක් පමණයි. නමුත් ඉස්සර හදිසි නීති රෙගුලාසි අමුතුවෙන් සම්මත කරන්න අවශ්‍ය වුණේ නැහැ. ලංකාවේ හදිසි අවස්ථාවක් තියෙනවා කියල හදිසි නීති විවාදයේදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කරල එම ප‍්‍රකාශය සම්මත කරගත් විට අනෙකුත් සියළුම නීතිත් ඉබේම ඒත් සමඟම සම්මත වෙනවා.

බොහෝ දෙනෙක් හිතනවා හදිසි නීතිය කියන්නෙ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ නීති කියල. ලංකාවෙ හදිසි නීති රෙගුලාසි පරීක්ෂා කරල බැලූවම පේනවා රාජ්‍ය ආරක්ෂාවට කිසිසේත්ම සම්බන්ධ නොවන බොහෝ නීති හදිසි නීතිය තියෙනතාක් දුරට රටේ නීති බවට පත් කරගෙන තියෙන බව. උදාහරණයකින් පැහැදිලි කළොත් හදිසි නීතිය යටතේ ලංකාවේ පළාත් සභා ඡන්ද කල් දැමීම හඳුන්වන්න පුළුවන්.

ඒවගේම හදිසි නීති රෙගුලාසි වෙනුවට පාර්ලිමේන්තුවේදී කතා කරන්නෙ ජනාධිපතිවරයා කරනු ලබන ප‍්‍රකාශනය ගැන. පාර්ලිමේන්තුවේ යම් කෙනෙක් හදිසි නීතියට විරුද්ධ වෙනව නම් ඒ විරුද්ධ වෙන්නෙ මේ ප‍්‍රකාශනයට. ඒත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට පුළුවන් හදිසි නීති සංශෝධනය කරන්න. නමුත් මේ වෙනකම් මේ තියෙන රෙගුලාසි වෙනස් කරන්න කියල පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් ගෙනල්ල එවැනි උත්සාහයක් කරපු අවස්ථාවක්වත් අපි දැකල නැහැ.

හදිසි නීතිය නිසා රටට වෙන යහපත හෝ අයහපත ගැන පාර්ලිමේන්තු විවාදවල දකින්න නැහැ.ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පසුබිම ගැන කිව්වොත් 1978 අංක 16 දරණ පනතේ එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ එවැනි අනෙකුත් සංවිධාන තහනම් කිරීම කියල වගන්තියක් ගෙනාව. එහි අරමුණ වුණේ රට දෙකඩ කිරීමට යාපනය ප‍්‍රදේශයේ කැරළි ගසන සංවිධාන තහනම් කිරීම. මෙම පනත ගෙනාවෙ අවුරුද්දකට වලංගු කරමින්. එය සම්මත කරපු ගමන්ම එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බි‍්‍රගේඩියර් වීරතුංගව සියළු බලතල සහිතව යාපනයට යැව්වා. ඒ මෙම සංවිධාන සමූලඝාතනය කරල සාමය ගේන්න. නමුත් සාමය අවුරුද්දකින් ගේන්න බැරි වූ නිසා නැවත සංශෝධනයක් ගෙනැල්ලා මෙම පනත තවත් අවුරුද්දකට කල් දාගත්තා.

එය එසේ දීර්ඝ කර තිබියදීම 1979 ජුලි මාසයේදී ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළා. එය සම්මත වූ පසුබිම සඳහන් කිරීමත් වැදගත්. එවකට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සිටියේ එකසිය හැට අටයි. එදා හිටපු ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණා. මේ විවාදය වන කාලයේ ප‍්‍රධාන විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පාර්ලිමේන්තුව වර්ජනය කරල තිබුණේ. එදා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රිපාල සේනානායක මේ අළුත් පනතට විරුද්ධව ප‍්‍රකාශයක් කළා. එහිදී ඔහු ඇහුවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මහජන ආරක්ෂක පනත තිබියදී ඇයි තව එකක් ගේන්නෙ කියලා. 1971 දී ආණ්ඩුවට කොතරම් ප‍්‍රශ්න තිබුණත් වෙනත් පනත් ගෙනාවෙ නැහැ. ත‍්‍රස්තවාදී ව්‍යාපාරය සමූල ඝාතනය කළේ මහජන ආරක්ෂක පනත මඟින්. මෙම ප‍්‍රශ්නය යාපනයේ පමණක් තියෙන නිසා මෙම පනත යාපනය දිස්ත‍්‍රික්කයට පමණක් අදාළ කරන්න කියලා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සංශෝධනයක් ගෙනාවා. නමුත් රජය එය පිළිගත්තේ නැහැ. මෙම පනත් කෙටුම්පත ගේන අවස්ථාවේ කැබිනට් මණ්ඩලය පිළිගත්තා එය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ගැටෙන බව. ඒ නිසා ‘අපි මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කලාම ප‍්‍රශ්නයක් නැහැ’ කියල එදා ඔවුන් කිව්වා.

1979 දී මේ පනත ගේනකොට මෙම නීතිය ඉදිරි අවුරුදු තුනකට පමණක් වලංගුයි කියල එහි ප‍්‍රතිපාදනයක් තිබුණා. නමුත් 1982 දී ගෙනාපු සංශෝධනයක් මඟින් ඒ ප‍්‍රතිපාදනයත් ඉවත් කලා. එදා ඉඳන් අද දක්වාම මෙම නීතිය සාමාන්‍ය නීතියක් ලෙස ලංකාවෙ පවතිනවා.

රාජ්‍ය ආරක්ෂක පනත් යොදාගැනීම දී මතුවන එක් ප‍්‍රධාන ගැටළුවක් තමයි මේක මිනිස්සුන්ගේ නිදහසට කොහොමද බලපාන්නේ කියලා. මෙම රාජ්‍ය ආරක්ෂක නීති අයත් වෙන්නෙත් අපරාධ නීති අතරටමයි. මේ නීති සහ සාමාන්‍ය නීති අතර ප‍්‍රධාන වෙනස්කම් රාශියක් තියෙනවා. එකක් තමයි මේක යටතේ අත්අඩංගුවට ගත්තම ඇප ලබාගත නොහැකි වීම. එවිට අත්අඩංගුවට ගෙන අවුරුදු විස්සක් ගියත් නඩුව අහලා ඉවර වෙනකම් ඇප ලැබෙන්නෙ නැහැ.

දෙවෙනි කාරණය පොලිසියේදී දෙනු ලබන කටඋත්තරය. සෑම නඩුවකදීම පොලිසිය කටඋත්තර ගන්නවා. අපි හැමෝම දන්නවා පොලිසිය කටඋත්තර ගන්න ආකාරය. සමහර වෙලාවට කියන ඒවා ලියන්නෙ නැහැ. ලියන ඒව කියන්නෙ නැහැ. සමහර වෙලාවට හරියට ලියනවා වෙන්න පුළුවන්. නමුත් අපරාධ නීතියේ අවුරුදු සිය ගණනක් පරණ සිද්ධාන්තය තමයි පොලිසියේදී දෙන කට උත්තරය මත කෙනෙකු වැරදිකරුවෙකු කරන්න බැහැ කියන එක. එවැනි කට උත්තරයක් සාක්ෂියක් ලෙස යොදාගන්නේ නැහැ. එම කට උත්තර යොදා ගන්නේ තවත් අපරාධකරුවෙකු හොයා ගන්න. එහෙම නැත්නම් පරීක්ෂණ කටයුතු සඳහා පමණයි. අධිකරණ කටයුතු වලදී යොදාගන්න බැහැ. නමුත් අවාසනාවකට මේ නඩු වලදී පාපොච්චාරණය යොදා ගන්න පුළුවන්.

ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ නීතිය යටතේ අත්අඩංගුවට ගත්තම හරිද වැරදිද නොබලාම ඒ පුද්ගලයාගෙන් කට උත්තරයක් අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. එහිදි විත්තිකරුගේ ප‍්‍රකාශයම සාක්ෂි ලෙස ඔහුට එරෙහිව යොදා ගැනීම සිදු වෙනවා. එය මිනිස්සුන්ගේ නිදහසට අභියෝගයක්. දඞූවම් නියම කරනකොට සාමාන්‍ය නීතිවල සඳහන් වෙන්නේ උපරිම දඞූවම. උදාහරණයක් කිව්වොත් මිනීමැරීමකට දෙන උපරිම ද`ඩුවම මරණ දඞූවම. ස්ත‍්‍රී දුෂණයට අවුරුදු විස්සක සිරදඞූවම. නඩුවේ කරුණු අනුව දඞූවම අවුරුදු විස්සක් දෙනවද අවුරුද්දක් දෙනවද කියන එක තීරණය කරන්න විනිශ්චයකරුට අභිමතය තියෙනවා. නමුත් මේ කියන නඩුවල එවැනි කතන්දර නැහැ. මාධ්‍යවේදී තිස්සනායගම්ගේ නඩුව ගත්තොත් අවම දඞූවම අවුරුදු පහයි. උපරිම දඞූවම අවුරුදු විස්සයි. විනිශ්චයකරුට ඒක අවුරුද්දක් කරන්න බැහැ. ඒක තමයි මේ නීතියේ ස්වභාවය. මේ නඩු වලදී මුළු නඩුවම රඳා පවතින්නේ නීතිපති දෙපාර්තුමේන්තුව මත. ඒ නිසා එතුළ දේශපාලඥයන්ගේ ඉල්ලීම් වලට කටයුතු නොකරන, නීතියට අනුව කටයුතු කරන අවංක නීතිඥවරු සිටීම අත්‍යවශ්‍යයි.

අපි හැමදෙනාම නොදන්න කරුණක් මේ පනත යටතේ පවතිනවා. ඒ හදිසි නීතිය හා ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත දහස් ගණනක් අත්අඩංගුවට අරගෙන නඩු දාන්නෙ නැතුව අවුරුදු දෙක තුන හිරේ ඉඳලා ගෙදර යන බව. එවැනි අති විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. අත්අඩංගුවට අරන් කෙනෙකුගේ නිදහස සීමා කරන්න පුළුවන් අධිකරණ තීන්දුවක් මත පමණයි. නමුත් අද එය තීරණය කරන්නෙ ආරක්ෂක ලේකම්වරයා එනම් විධායකය විසින්. ජාත්‍යන්තරව පිළිගත් නීතිමය සිද්ධාන්තයට අනුව අත්අඩංගුවට ගත් කෙනෙකු රඳවාගත හැක්කේ සාමාන්‍ය නීතිය යටතේ පැය විසිහතරයි. නමුත් මෙම ත‍්‍රස්තවාදී පනත මෙන්ම හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය ආරක්ෂක ලේකම්ගේ අත්සන මත මාස තුනෙන් තුනට රඳවා ගන්න පුළුවන්. ඔවුන් රඳවන්නේ රිමාන්ඞ් බන්ධනාගාරවල නෙමෙයි. නමුත් වාසනාවකට වගේ අද දවස් අනූවකට වඩා රඳවා ගන්නා පුද්ගලයෙක් රැඳවිය යුත්තේ රිමාන්ඞ් බන්ධනාගාරවල. තිස්සනායගම් දවස් සීයක් පමණ උසාවියට ඉදිරිපත් නොකර පොලිසියේ රඳවාගෙන හිටියා. නමුත් නීතියට අනුව දවස් අනූවක් පමණයි පොලිසියේ රඳවගෙන ඉන්න පුළුවන්. පළමු දවස් තිහෙන් පස්සෙ උසාවියට ඉදිරිපත් කරන්න ඕන. එසේ කළ යුත්තේ ඔහු ඉන්න බව පෙන්වන්න විතරයි. නමුත් නිදහස් කරන්න බැහැ. නිදහස් කරන්න පුළුවන් නීතිපතිවරයාට. නැත්නම් නඩුව අවසන් වූ පසු මහාධිකරණ විනිසුරුවරයෙකුට පමණයි.

තිස්සනායගම් නඩුව පිළිබඳව අද යම්කිසි කතිකාවතක් ඇති වී තියෙනවා. මේ නීතිය යටතේ සිරගත වූ සහ රඳවාගෙන ඉන්න අතිවිශාල සංඛ්‍යාවක් ඳ්‍රවිඩ ජනතාව. එක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ අය. අපිට මේ පිළිබඳ හඩක් නැහැ. ඒ අපට මේ නීති අවශ්‍යද නැද්ද කියල ප‍්‍රතිපත්තීන් වශයෙන් අපි වැනෙන නිසා. මෙය අවශ්‍ය නම් ඒ මොන සංශෝධන වලට යටත්වද. අවශ්‍ය නැත්නම් ඒ ඇයි කියන තර්කය ගෙන ඒම අවශ්‍යයි. මගේ මතය නම් ලංකාවෙත් ලෝකයෙත් මෙම ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලයෙ ඉන්න දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන පලිගැනීම් සහ උවමනාවන් වෙනුවෙන් ගෙන ආ දෙයක්. මේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන. මේ ප‍්‍රබල නීති ඉවත් කරන්න අපි පාරට බහින්න ඕන. ඒ සඳහා ප‍්‍රබල කැපවීමක් අවශ්‍යයි. අපි අද කතාකරන තිස්සනායගම් හිරේ ඉන්නේ මේ නීතිය තිබුණු නිසා. ඔහුගේ නඩු තීන්දුව බැලූවම පේනවා මෙම නීතිය මත සිදුකරන ලද පාපොච්චාරණයක් නොවෙන්න මේ පුද්ගලයා හිරේ යන්න කිසිම හැකියාවක් නැහැ කියලා. මේ ඉරණම අත් වූ පළමු තැනැත්තා හෝ අවසන් තැනැත්තා මොහු කියල මම විශ්වාස කරන්නෙ නැහැ.

Back to Home
View PDF

No comments: