අනර්කලීගේ ආගමනය සමාජ ක‍්‍රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්
හසිනි හපුතන්ත‍්‍රි යොවුන් ලේඛිකා
ලාංකික ස්ත‍්‍රී දේශපාලනය තුළ ලංකාවෙ තීන්දු තීරණ ගන්නා ස්ථානයක ස්ත‍්‍රියගේ රික්තය පුරවන්න අනර්කලීට ඇති හැකියාව මට තාම පැහැදිලි නැහැ. ඇය වෙනත් ස්වරූපයකින් අපේ කම, ගමේ කම, සුචරිතවාදය මුල්කර ගත් සාම්ප‍්‍රදායික ස්ත‍්‍රී ආදර්ශයට අභියෝග කළ බව ඇත්ත. ඇඳුමෙන්, පැලඳුමෙන් හා ජීවන රටාවෙන් පමණක් නෙවෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතිශීලියි කියා අපි අඳුනන කාන්තාවන්ට පවා කළ නොහැකි විදිහට තම පෞද්ගලික ජීවිතය ගැන විවෘතවීමට ශක්තියත්, එය මතභේදයට තුඩුදුන් චරිතයක් සේ හැගෙන පරිදි යොදා ගැනීමේ හැකියාවත් ඇයට තිබුණා. නමුත් එය ප‍්‍රගතිශීලියි වගේ පේන්නෙ ඇගේ ස්ත‍්‍රී භාවය අල්ලගෙන එයට මඩ ගහන්න තරම් සමාජය පසුගාමී හා කුහක වීම නිසා මිසක් ඈ තුළ ප‍්‍රගතිශීලී අදහස් තිබෙන නිසා කියා මට පිළිගන්න බැහැ. අනික් අතින් අපේ කාලයේ සෙක්ස් සිම්බල් එකක් වන ඇය ඊට හාත්පසින් ම ප‍්‍රතිවිරුද්ධ මත නියෝජනය කරන ප‍්‍රවාහයක අපේක්ෂිකාවක් වීම ඉතාම පරස්පරයි. ඉහළින් අනුමත වෙනතාක් ඕන කෙනෙකුට ඕන දෙයක් වෙනුවෙන් එක එක කාලවලදී පෙනී සිටින්නට පුලූවන්. ස්ත‍්‍රී පුරුෂ භාවය ඊට අදාළ නැහැ. ඇය හසුරුවන අයගේ හා ක‍්‍රමයේ උවමනාවන් මත ටික දවසකින් අනර්කලී සාරියක් ඇඳගෙන ශ‍්‍රී ලාංකික කුල කාන්තාවක් බවට පත් වෙන්නත් පුළුවන්. ඕනෑම ස්ත‍්‍රියක් අඳුනන කෙනෙක් අඩ ගහපු නිසා දේශපාලනය කිරීම ස්ත‍්‍රී දේශපාලනය නෙවෙයි. ඇය ජනතා නියෝජිතවරියක් විය යුතුයි. පවත්නා ක‍්‍රමයේ රූකඩ ගැහැනියක් නොවී ඉන්න අවශ්‍ය දේශපාලන ඥනය, බුද්ධිය, ශූර භාවය ඇයට ලැබුණොත් හොඳයි. නමුත් තවම ඒ ලක්ෂණ අනර්කලීගෙන් මම දැකල නැහැ. ඒ නිසා අනර්කලීගේ දේශපාලන ආගමනය ස්ත‍්‍රී අරගලයේ ජයග‍්‍රහණයක් නෙවෙයි. ඒක ඇගේ ආසාර්ථකත්වයට වඩා මේ සමාජය අපි පවත්වාගෙන යන ක‍්‍රමයේ අසාර්ථකත්වයයි.
Back to Home
View pdf
No comments:
Post a Comment