Wednesday, February 3, 2010

නඩු නැති රටට මොට පායාද සූරියා ?

”සමහරු මට චෝදනා කළා මට අයිති වැඬේ ඡන්ද පෙට්ටි රැකගැනීමත්, ඒවා ගණන් කිරීමත් විතරයි කියලා. දැන් සමහර විට ඡන්ද පෙට්ටිවත් රැකගන්න බැරි වෙනවා. එය ගැටළු සහගත තත්ත්වයක්. මේ නිසා ඉතාම අපහසුවෙන් එම කටයුතු කිරීමට සිදුවීම ගැන කණගාටු වෙනවා.”
” කෙසේ නමුත් ඉදිරි දින කිහිපය ඇතුළත මේ සියලූ කටයුතු එකලාසයක් කිරීමෙන් පසු මා තවදුරටත් මෙම ධූරයේ රැඳී සිටීම සුදුසු යැයි කල්පනා කරන්නේ නැහැ. යම් යම් කරුණු ගණනාවක් මත ආතති තත්ත්වයන් තුළ මට කටයුතු කරන්න බැහැ. එම නිසා මෙම ධූරයෙන් ඉවත් වීමේ තීරණයකට මා පැමිණ සිටින බව ඉතාමත් කණගාටුවෙන් වුවත් කිව යුතුයි.”

(මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා ජනවාරි 27 දින ජනාධිපතිවරණ ප‍්‍රතිඵල ප‍්‍රකාශයට පත් කරමින්)...



සුදර්ශන ගුණවර්ධන
එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙම මැතිවරණයට මුහුණ දුන්නේ රටම යුද පිටියක් බවට පත් කරමිනි. මැතිවරණ නීති සහ සමාජ චර්යාධර්මයන් නොතකන නව දේශපාලන සමප‍්‍රදායක් ගොඩ නගමින් ආධිපත්‍යවාදී අණසක තහවුරු කිරීම එහි එකම අරමුණ විය. දෙවන වටයේ සිය බලය ගිලිහී ගියහොත් නැතිවෙන සියල්ල රැක ගැනීම සඳහා සන්ධානය සටන් වැදුණි.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් නොපැවැත්වුණු බව සියළුම නිලධාරීන් දන්නා කරුණකි. තමාට ඡන්ද පෙට්ටි පවා රැකගැනීමට නොහැකි වුණු බවද ඇතුළුව කොමසාරිස්තුමාගේ ප‍්‍රකාශ වලින් මේ බව තහවුරු කර ඇත. ඒ නිසා අප ලේ ගංගා මැද කිරිබත් කා ජයග‍්‍රහණය සමරන රටක් බවට පත්වූ ලෙසම ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරා දැමීමේ අසිරිය වෙනුවෙන් ද ජයපැන් බොන සිංහලයන් නිර්මාණය කිරීමේ කාර්යභාරය සම්පූර්ණ කර ඇත.
මේ පටන් ගැනීම පමණකි. හමුදා කුමන්ත‍්‍රණ ගැන මොවුන් කතා කරන්නේ මහින්ද රාජපක්ෂ පාලනය පසුගිය කාලය මුළුල්ලේ පවත්වා ගෙන යන ලද්දේ රාජ්‍ය බලය මත සම්පූර්ණයෙන්ම රඳා පැවතීම නිසාය. ඉතාම අඩු ඡන්ද ප‍්‍රමාණයකින් බලයට පත් මහින්දගේ මුල් කාලය දියත් වුයේ යුද්ධය හරහා රාජ්‍ය බලය තහවුරු කර ගැනීමටය. දේශපාලන ප‍්‍රතිවාදීන් මෙන්ම විවේචකයන් ද අහවර කළේ මර්දන නීති මෙන්ම රාජ්‍ය මර්දන උපාංගයන් සියල්ලම, අතුරුදහන් කරවීම්, පැහැරගෙන යාම්, ඝාතනය කිරීම් වලින් සමන්විත සංස්කෘතිය වැපිරීම සාධාරණීය කරමිනි. ඒවා පිළිබඳව රජය විසින් කිසිදු වග විභාගයක් නොකළේ ද මෙම සියල්ලටම රජයේ පූර්ණ අනුගහය ලැබුණු නිසාවෙනි.
එහෙත් යුද්ධය අවසන් වීමත් සමඟම සිය බලය ඒ ආකාරයෙන්ම පවත්වා ගෙන යා නොහැකි තත්ත්වයක් නිර්මාණය විය. විශේෂයෙන්ම හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා පාලක බල හවුලෙන් එළියට පැමිණීමෙන් පෙනී ගියේ රාජ්‍ය බලයේ ඒකාධිකාරය තව දුරටත් කලින් පරිදිම ඔවුන් අත නොමැති බවය. රජයේ ප‍්‍රධාන උපදේශකයන් ස්ටැලින්වාදී දේශපාලන න්‍යායාචාර්යවරුන්ය. ජාතීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කළ සෝවියට් රුසියාවේ ඊනියා අධිරාජ්‍ය විරෝධී දේශපාලනය යොදා ගනිමින් සූක්ෂම ලෙස ප‍්‍රගතිශීලි ජනතාවගෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදුරා ගැනීමට ඔවුහු කටයුතු කළෝය. මහින්ද පාලනය ජාතීන් අතර භේදයේ මල් ඵල නෙළා ගත්තේ රාජ්‍ය පාලනය ඒ මත පෝෂණය කරමිනි. දේශපාලන විසඳුම මඟ හරවා ගත්තේ ඉතාමත්ම නිර්දය අයුරිනි. යුද්ධයේ ජයග‍්‍රහණය රාජ්‍ය බලයේ ජයග‍්‍රහණය වුවද එය ජාතියේ ජයටැඹ බවට පත් කළේය. ඒ හරහා හමුදා බලයට රට භාර දුන්නේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයට රණවිරු නමින් තවත් බලවේගයක්ද එකතු කරමිනි. ජෙනරාල් ෆොන්සේකාට එරෙහිව මොවුන් අවි අමෝරා ගත්තේ මේ නිසාවෙනි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේ එක්කාසු කරගනිමින් පසුගිය මාස කිහිපය තුළ රට තුළ ඇතිවූ නිදහස් වාතාවරණය මහින්ද හෝ ඔහුගේ ආඥාදායකවාදී නඩයට රුස්සන්නේ නැත. ඒ නිසාම හමුදා පාලනය නැවත රට තුළ පෙරට ගත හැක්කේ කුමන්ත‍්‍රණ කතා වලිනි. තමන්ගේ අදක්ෂ පාලනය සහ දුර්වලකම වසා ගත හැක්කේ ද මහා කුමන්ත‍්‍රණයක් නිර්මාණය කර මර්දනයේ හස්තය නැවත මුවහත් කිරීමෙනි. ආරක්ෂක පලිහක් නැතුව මොවුන්ට ගමන් කළ නොහැක. ඒ නිසාම ගිලිහෙමින් තිබූ තත්ත්වය නැවත ස්ථාපිත කළේ මේ අයුරිනි. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකගැනීම වෙනුවෙන් පෙරට එන පිරිස රජය පෙරලීමට ඉදිරිපත්වන කොටස් වශයෙන් හංවඩු ගසා ඔවුන්ට විරුද්ධව යොදා ගනු ඇත.
ඒ සඳහා හමුදාව යොදා ගනු ඇත. මහින්ද පාලනයට විරුද්ධ වන පිරිස ත‍්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසමින් දෙවැනි මර්දනය ඇරඹෙන්නේ මෙතැන් පටන්ය. එල්.ටී.ටී.ඊ යට විරුද්ධ යුද්ධයෙන් සිය ධූරයේ ඔලු යුගය පවත්වාගෙන ගියා සේ කැරැල්ලක් නිර්මාණය කරවමින් දෙවැනි වාරය පවත්වාගෙන යාම සඳහා පිඹුරුපත් සකස් කර අවසන්ය.

මොවුන් ෆොන්සේකා මහතා වට කරමින් අපට පෙන්වූයේ රාජ්‍ය බලයේ හස්තයේ විශිෂ්ට ජයග‍්‍රහණයක සුබ අනාගතයක පෙර නිමිති අපට මෙසේ ලැබී ඇත.
මේ වන විට 1994 පටන් ආණ්ඩු බලයේ රැඳී සිටින ශී‍්‍ර.ල.නි.ප දේශපාලනඥයන් අයිතිවාසිකම් ක්ෂේත‍්‍රයේ නිර්වින්දනය වූවන්ය. අවුරුදු පහළොවක අත්දැකීම දැන් අවුරුදු විසිඑකක් දක්වා අපට ලබා දුන් බව ද ජාතිමාමක බලවේග දැනගත යුතුය. හිට්ලර් සහ ඉඩි අමීන්ලා අප බිහි කර අවසන්ය. ඔවුන් ඉන්නේ අප අතරය.
ජාතීන් අතර ගැටුම බරපතල ලෙස අද කරලියට පැමිණ ඇත. උතුර සහ නැගෙනහිර ඡන්දවල ස්වරූපය අප තේරුම් ගත යුතුය. දෙමළ සන්ධානයට විරුද්ධ පක්ෂයේ අපේක්ෂකයාට සහයෝගය දෙන බව පවසන්නට බල කළේ උතුරු නැගෙනහිර වැසියන්නේ ආවේගයයි. ඒ විෂයබද්ධ තත්ත්වය මෙම තීන්දුව ගන්නට ඔවුන්ව තල්ලු කළේය. ඉතාමත්ම විශිෂ්ට අයුරින්ම ජ.වි.පෙ මේ දේශපාලන යථාර්තයට මුහුණ දුන්නේය.
මේ තත්ත්වය ගැන සමහර ප‍්‍රගතිශීලී කොටස් මහත් ඊර්ෂ්‍යාවට පත්වූහ. වසර ගණනාවක් තිස්සේ දෙමළ සන්ධානය ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලවේග සමඟ මුසු කිරීමට තානාපති කාර්යාල සහ වට මේස පවත්වමින් ව්‍යාපෘති කරගෙන ගිය ඇතැමුන් මේ එකමුතුකම කඩා බිඳ දැමීමට රජය සමඟ කුමන්ත‍්‍රණය කිරීමට දායක වුණි. නිරන්තරයෙන්ම මොවුන් මාන බැලූවේ විතාරණ වාර්තාවට දෙමළ ජාතික සන්ධානය හසු කරවා ගැනීමටය.
එහෙත් සියලූ දෙනාම මවිතයට පත් කරවමින් ඇතිවූ සිංහල, දෙමළ, මුස්ලිම් ඇත්ත කරුණු මත පදනම් වුණු සංවාදය සහ සමගිය මොවුන්ට රිස්සුවේ නැති බව අපි දනිමු.
ජ.වි.පෙ දේශපාලන අනාගතය පිළිබඳ ගත් තීන්දුවේ ඇති ප‍්‍රබලත්වය විනාශ කිරීම සඳහා රාජ්‍ය බලය කරා ඔවුන් හමුදා කුමන්ත‍්‍රණයකින් ලඟා වීමට උත්සාහ කරන බවට කරුණු දක්වමින් මහින්ද මුලා කරන්නට ද ඇත. මන්ද මේ සමගිය ජයගතහොත් තමන්ගේ සියලු ව්‍යාපෘති අකුලා ගැනීමටත් ගැටුම් නිරාකරණය කිරීමේ සිතියමෙන් ඔවුන්ගේ කාර්යභාරය නැතිවී යාමත් සිදුවන හෙයිනි. එහෙයින් නැති ගැටුමක් මවා පා තමන්ගේ පැවැත්ම මොවුන් සාධාරණය කර ගත්තේ මේ අයුරිනි.

අප මුහුණ දෙන්නේ බරපතල අභියෝගයකටය. එක පැත්තකින් ඉදිරි කාලය තුළ උතුරු නැගෙනහිර ජනතාවට දේශපාලන විසඳුමක් ලබා ගැනීමට නොහැකි වනු ඇත. එය ලබාදීමට මහින්දට කිසිදු උවමනාවක් ද නැත. සංවර්ධනය සඳහා ලැබෙන මුදල් මේ අයුරින්ම නාස්ති වී යනු ඇත. ආර්ථික අර්බුදය හමුවේ ජනතාව පෙළ ගැසුනද රජය පෙරලීමේ ඊනියා කුමන්ත‍්‍රණ කතාවලට මුවා වෙමින් අප දරුණු මර්දනයක් අත් දකිනු ඇත. ප‍්‍රතිවාදීන් ඝාතනය කිරීම සඳහා විනාශය දියත් වනු ඇත. දෙමළ ජනතාව බේරා ගැනීමට විදේශිකයන් ඉදිරිපත් නොවුණි. අපව බේරා ගැනීමට කවුරුත් මැදිහත් නොවනු ඇත. දිළිඳුකම වර්ධනය වන ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති තවත් රටක් බවට ලංකාව පත්වනු ඇත. දෙමළ ජන විරෝධය කෙසේ නැවතත් හිස ඔසවන්නේ දැයි අපි නොදනිමු. වෙන රටවල මෙවැනි ගැටුම් නිරන්තරයෙන්ම විටින් විට මතුවේ. ශ‍්‍රී ලංකාව තුළද එය එසේ ගලා යනු ඇත.
ජාත්‍යන්තරයට අප අමතක වනු ඇත. මහින්ද ඇතුළු නඩයට අවශ්‍ය වන්නේද එම සිතියමෙන් අප මෑත් කර තැබීමටය. අධිරාජ්‍ය විරෝධී කතාවේ ඇත්ත හරය වන්නේ මෙයය.

Back to Home
View Pdf

No comments: