Monday, February 8, 2010

නීති බින්දෝ රැකීමට එය

සුදර්ශන ගුණවර්ධන

'Sri lanka, Play by Rules' යන වැකිය සඳහන් ක‍්‍රිකට් පන්දුවක් ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය විසින් 2007 ලෝක කුසලානය ආසන්නයේදී නිකුත් කරන ලදී. මෙය ශ‍්‍රි ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට එරෙහිව නිකුත් කරන ලද්දක් නොවීය. ශ‍්‍රී ලංකාවේ ඇති වූ තිබුණු සිවිල් යුදමය වාතාවරණය තුළදී, වෙනත් වචනයකින් කිව්වොත් ශ‍්‍රී ලංකාවේ රාජ්‍යය සහ එහි ජීවත්වන වාර්ගික ජන කොටසක් නියෝජනය කළ මිලිටරි - දේශපාලන සංවිධානය අතර පැවතුණු සන්නද්ධ ගැටුමේදී නීති රීති වලට එකඟව, එනම් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත් මානව හිමිකම් සහ මානවවාදී සිද්ධාන්තයන්ට අනුකූලව ක‍්‍රියා කරන ලෙස ශ‍්‍රී ලංකාවේ රාජ්‍යයට බලකිරීම සඳහා කරන උද්ඝෝෂණ ව්‍යාපාරයේ අංගයක් ලෙස නිකුත් කරන ලද්දකි.
මෙම උත්සාහයට විරුද්ධ ව ජාතික වශයෙන් ඇතිවූයේ විශාල උද්ඝෝෂණයකි. එහි තේරුම මෙසේ සාරාංශ ගත කළ හැකිය:
”රට හමුවේ තියෙන්නේ අති භයානක අභියෝගයක්. ‘විජාතික මරසෙන් ’ රටේ ඉන්න ද්‍රෝහීන්වත් යොදාගෙන රට විනාශ කිරීමට කුමන්ත‍්‍රණයක් දියත් කරලා. අපි මේ අපට තියෙන හැමදෙයක්ම පාවිච්චි කරලා ඒ අභියෝගය ඉවර කරන්න හදනවා. ඇම්නෙස්ටිකාරයෝ නීතියට අනුව කරන්න කියලා මඟුලක් කතා කරනවා.”
ශ‍්‍රී ලංකාවේ රජය යුද්ධය ජයග‍්‍රහණය කළේය. ඉන් මාස අටක් ගත වූ තැන ජනාධිපතිවරණය පවත්වන ලදි. තරගය පැවැත්වුණේ ජයග‍්‍රාහී යුද්ධය මෙහෙය වු සේනාධිනායකයා වු රජතුමා සහ සෙන්පතියා වූ ජෙනරාල්තුමා අතරය. යුද්ධයේදී Play by Rules සිද්ධාන්තය අදාල වෙන්නේ නැතැයි සිතූ සහ කියූ බොහෝ දෙනා බලපොරොත්තු වුයේ ඡන්දයේදී එය අදාල වෙනවා ඇතැයි කියාය. වෙනත් වචනයකින් කිව්වොත් ශ‍්‍රී ලංකාවේ පාලක පවුලේ සහ පාලක සන්ධානයේ නායකත්වය දරන රජතුමා සහ විපක්ෂය වෙනුවෙන් ඉදිරිපත් වූ පොදු අපේක්ෂකයා වන ජෙනරාල්තුමා අතර රටේ පාලන බලය උදෙසා ඇතිවු තරගයේදී ශ‍්‍රී ලංකා රාජ්‍යයේ මර්දන උපකරණ සහ මතවාදී උපකරණ අපක්ෂපාතීව , නීතියට අනුකූලව ක‍්‍රියා කරනු ඇතැයි කියාය.
මෙම අපේක්ෂාව පිළිබඳ ආණ්ඩුව පැත්තෙන් ලැබුණු ප‍්‍රතිචාරය නැවත මෙසේ සාරාංශ කළ හැකිය:
”රට හමුවේ තියෙන්නේ අති භයානක අභියෝගයක්. ‘ විජාතික මරසෙන් ’ රටේ ඉන්න ද්‍රෝහීන්වත් යොදාගෙන රට විනාශ කිරීමට කුමන්ත‍්‍රණයක් දියත් කරලා. අපි මේ අපට තියෙන හැමදෙයක්ම පාවිච්චි කරලා ඒ අභියෝගය ඉවර කරන්න හදනවා. තමුසෙලා නීතියට අනුව කරන්න කියලා මඟුලක් කතා කරනවා.”
මෙම ප‍්‍රතිචාරය මුළු මහත් මැතිවරණ කාලය තුළම එළිපිට සිදු වු නීති උල්ලංඝනය කිරීම් වලින් පැහැදිලි වූ අතර සමස්ත ප‍්‍රතිඵලය 27 වෙනිදා පාන්දර වනවිට කාට කාටත් පැහැදිලි විය.
සිදුවූයේ කුමක්ද? නිදහසින් පසුව පළමු වරට ඡන්දයක් පරාජය වීමෙන් පසු බෑග් එක පැක් කරගෙන ගෙදර යාමට නොහැකි පාලකයන් පිරිසක් ලංකාව තුළ බිහි වී තිබීමයි. අතීතයේදී රට පාලනය කළ ඩඞ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක, සහ රනිල් වික‍්‍රමසිංහ වැනි නායකයන් හට එසේ බෑග් පැක් කරගෙන පිටවී යාමට හැකියාවක් තිබිණි. හයිටියේ ඇරිස්ටයිට් වැනි පාලකයෙකුට බෑග් එක පැක් කරගෙන පිටරටවත් යාමට පුළුවන් විය. නමුත් වර්තමාන නායකයන්ට එසේ පිටව ගොස් රට තුළ හෝ පිටරට හෝ ජීවත්වීමට නොහැකි අතර යනවා නම් යා හැකි වන්නේ චීනයට පමණි. එහෙත් චීන භාෂාව සහ සිරිත් විරිත් නොදන්නා නිසා එසේ ගොස් ජීවත්වීමට නොපුළුවන් බැවින් විකල්පය වන්නේ නීති ිරීති යකාට ගියත් කෙසේ හෝ බලයේ රැඳී සිටීමයි.
මැතිවරණ ක‍්‍රියාවලිය තුළදී අප අත්වින්දේ මේ තත්ත්වයයි. මෙහිදී මේ ප‍්‍රතිඵලය දෙස බලා එය විශ්ලේෂණය කොට ”ගම ඡන්දේ දුන්නේ මෙහෙමයි, නගරය ඡන්දේ දුන්නේ අරෙහෙමයි, රජයේ සේවකයන් ඡුන්දේ දුන්නේ මෙහෙමයි ” යන නිගමන ඉදිරිපත් කිරීමට යන උදවිය පැටලෙන්නේ විශාල මායාවකය. ඇත්තවශයෙන්ම 27 වෙනිදා උදේ සිරස නාලිකාවේ ජනාධිපතිවරණ ප‍්‍රතිඵල විශ්ලේෂණය කරමින් සිටි මරික්කාර් - ශී‍්‍ර රංගා ජෝඩුවට සිදුවූයේද මෙම අලකලංචියයි. ටික වේලාවකින් ඔවුන්ට සිදුවුයේ වාඩි වී සිටි පුටු දෙකත් අරගෙන පල්ලම් බහින්නටය.
අප කල්පනා කරන අන්දමට මේ ප‍්‍රතිඵලය ඇතුළේ ඇති පොදු නිර්ණායකය පහත පරිදිය. රජතුමා විසින් ලාංකිකයන් වන අපට ඉතිහාසයෙන් නිවාඩුවක් ලබාදී ඇත. පාසලේ ඒකාකාරීත්වයෙන් මිදී අනුරාධපුර, පොළොන්නරුව හරහා නුවර එළියට යන විනෝද චාරිකාවක ගමන් කරන ළමයින් මෙන් අපි විනෝදයෙන් සිටිමු. අවරුදු දහස් ගණනක් තිස්සේ අප රටට එල්ල වුණු විදේශ බලපෑම් සම්පූර්ණයෙන් ම මැඩ පවත්වා ඇත. තිස් වසරක බෙදුම්වාදී කැරලිකාරීත්වය කුඩු පට්ටම් කර ඇත. රාජ්‍ය දේපල තවදුරටත් පුද්ගලීකකරණය නොවේ. වරාය, ගුවන් තොටුපල, ගුවන් පාලම්,කොන්ක‍්‍රීට් පාලම් ගොඩ නැගේ. පාතාලය අහෝසිය. මතට තිතය. නිල් චිත‍්‍රපට තහනම්ය. දැන් සියළු ප‍්‍රශ්න විසඳා ඇති බැවින් ඉතුරුව ඇත්තේ සංවර්ධන සංග‍්‍රාමය පමණකි.
මෙසේ විනෝදයෙන් ඉන්නා ලාංකිකයන් ඉදිරියට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පැමිණි ජෙනරාල්තුමා සිහින ලෝකයෙන්, නිවාඩුවෙන්, විනෝද චාරිකාවෙන් ලාංකිකයා අවදි කරන්නට තැත් කළේය. නිදාගෙන සිටින මිනිසුන් අති විශාල ප‍්‍රමාණයක් අවදි කිරීම වනාහි සංවිධිත දේශපාලන ව්‍යාපාරයක් විසින් පමණක් මෙහෙයවිය හැකි අවදානම් ක‍්‍රියාවකි. එහෙත් ජෙනරල් ෆොන්සේකා මේ අමාරු කටයුත්තේ ආරම්භක කාර්යභාර්ය නිර්භීතව ඉටු කළේය. එහි සම්පූර්ණ ගෞරවය ඔහුට හිමිවිය යුතුය.
නමුත් තමන්ගේ මේ ආතල් එක කැඩීම ගැන විශ්ව විද්‍යාල ගුරුවරු, කලාකරුවන්, දේශපාලකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු සමාජයේ බොහෝදෙනා ජෙනරල් ෆොන්සේකා සමඟ තරහ විය. ඔහුට අකමැති විය. ආතල් එකේ ටි‍්‍රප් එකක් යන අතරතුර විභාගය ළඟයි කියා නැවත හරවා පාසලට යවන එකට කවුද කැමති වෙන්නේ නේද?
ජෙනරාල් ආගමනයෙන් ඇතිවූ කැළඹීම කොපමණද යත් මුලින් ”කොළපාට සමාජය” ලියා කන, බොන, රමණය කරන ලාංකිකයෙකු වෙනුවෙන් පෙනී සිටි නමුත් පසුව ලාංකිකයන් විමල්ගේ බණ අසා බඩට උඩින් රට තියනු දැක නිල් පැහැයට හැරුණු සී.ඒ.චන්ද්‍රපේ‍්‍රම පවා එකවරම රනිල් වාදියෙකු වී ඇත. මෙසේ චන්ද්‍රපේ‍්‍රමට එකවරම රනිල් වික‍්‍රමසිංහ මහතා යහපත් මිනිසෙකු සේ පෙනෙන්නේ වෙන කිසිදු න්‍යායික හේතුවක් නිසා නොව ජෙනරාල් විසින් චන්ද්‍රපේ‍්‍රම ගේ ආතල් එක කඩන නිසාය. සමහර මෝඩ ජනමාධ්‍යවේදීන් මේවා දේශපාලන න්‍යායන් ලෙස සිතන නමුත් හන්දිවල සිටින ත‍්‍රීරෝද රියදුරන් කලින් කලට වෙනස් මත නිපදවා ඒවා ප‍්‍රචාරය කිරීම සහ මේ අතර ඇත්තේ එතරම් විශාල වෙනසක් නොවේ.

ලබන සතියට ....

Back to Home
View Pdf

No comments: