Thursday, February 18, 2010

ඉතිහාසයේ නිවාඩුව ඉවරයි. දැන් ඉතිං ඔළුවෙන් හිටගන්න වෙලාවයි

සුදර්ශන ගුණවර්ධන

අප කවුරුත් පාහේ අසා ඇති උපහාස කතාවකට අනුව එක්තරා පුද්ගලයන් පිරිසක් පෙර කළ අකුශල කර්මයන් හි ආනුභාවයෙන් මරණින් මතු අපායේ උපත ලැබූහ. අපායේ ඇති විවිධාකාර වධ වේදනා විඳීමේ දඬුවම් අතරින් කැමති එකක් තෝරා ගැනීමේ දුර්ලභ වරය ඔවුනට හිමිවිය. වධකාගාරයේ එක් එක් ස්ථානවල වධ විඳිමින් සිටින අපාගාමීන් අතරේ නිරීක්ෂණ චාරිකාවක යෙදුණු ඔවුන්ට පෙනී ගියේ එක තැනක පිරිසක් අසූචි වළක් අසල ගැට්ටක් මත ඉඳගෙන දුම්පානය කරන ආකාරයයි. අපායේ දුමට තිත නැතිවීම ගැන අමන්දානන්දයට පත් අප කතානායකයන් පිරිස සියළු දඬුවම් අතරින් මේ දඬුවම කෙතරම් ආතල්දැයි සිතා තමන්ට ද එම දඬුවම ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ඔවුන්ගේ පැතුම සැණෙකින් ඉටු වී ඔවුන්ට සිගරැට් ලැබිණි.
කෙසේවුවද,විනාඩි පහක් ගතවන විට සීනුවක් නාදවිය. එතැනට පැමිණි යම පල්ලෙක් ඔවුන් සියළුදෙනාටම මෙසේ විධානය කළේය.”ඉන්ටර්වල් එක ඉවරයි. දැන් ඉතින් අසූචි වළේ ඔළුවෙන් හිටගනියව්.”
රජතුමාගේ පාලනය යටතේ ඉතිහාසයෙන් නිවාඩු ලැබ සිටින ලාංකිකයන්ද වළ ගැට්ට මත වාඩි වී සිගරැට් බොන අපාගාමීන් මෙන්ම විනෝදයෙන් කාලය ගත කරයි. ලෝකය තුළ සිදුවන කිසිදු චලනයක් තමන්ට අදාළ නොවෙතැයි කල්පනා කරන ලාංකිකයා දැන් ඉතින් ඉතිරිව ඇත්තේ අධිවේග බෝට්ටුවක නැඟී තුන්වන ලෝකයේ සිට පළමුවන ලෝකය කරා ශීඝ‍්‍රයෙන් සංවර්ධනය වීමට පමණකැයි සිතයි.
නමුත්, ඒ ස්වර්ණමය අවස්ථාව ළඟා කර ගැනීම සඳහා තවත් එක් බාධකයක් පසුකළ යුතුය. එනම් මහ මැතිවරණයයි.
මහ මැතිවරණය අවසාන වීමට පෙරම ඉතිහාසයෙන් ලබාගත් විවේක කාලය හමාර කරමින් සීනුව වදින හඬ දැන් සිටම ඇසෙන්නට පටන්ගෙන ඇත. මීට පෙර මේ තීරුවෙන් දක්වන ලද පරිදිම ජාත්‍යන්තර බලවේග විසින් විවිධාකාරයේ බලපෑම් එල්ල කිරීම අරඹා ඇත. රටේ මානව හිමිකම් තත්ත්වය වර්ධනය කළහොත් මිස අන් කිසිදු හේතුවක් මත ජී.එස්.පී.ප්ලස් සහනය නැවත ලබා නොදෙන බව කියමින් එය අත්හිටුවීමට යුරෝපා පාර්ලිමේන්තුව තීරණය කර ඇත. ඇමෙරිකා ජනාධිපතිවරණය අවසන් වූ වහාම ප‍්‍රකාශ කළ කරුණු නැවත පුනරුච්චාරණය කරමින් ඉන්දියානු විදේශ ඇමති ප‍්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් දේශපාලන ක‍්‍රියාවලියක් ආරම්භ කරනු දැකීම තමන්ගේ අපේක්ෂාව බවයි. අසූචි වළ මත ඔළුවෙන් සිට ගැනීමට සිදුවන කාලය වැඩි ඈතක නොවන බවට ලක්ෂණ පහළ වී ඇත.
මහ මැතිවරණයේ ප‍්‍රතිඵල අනුව Scenarios හෙවත් අනාගතය පිළිබඳ අයහපත් චිත‍්‍ර තුනක් ගොඩනැඟීමට පුළුවන.

1. මහ මැතිවරණයෙන් ආණ්ඩුව ජයග‍්‍රහණය ලබාගනී. එම ජයග‍්‍රහණයෙන් අනතුරුව පළමුව ඉන්දියාව සහ ඊළඟට ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල බලපෑම මත දෙමළ කතා කරන ජනතාව සමඟ බලය බෙදා හදා ගැනීමේ දේශපාලන විසඳුමක් වෙත යාමට ආණ්ඩුවට සිදුවේ. මෙතෙක් කලක් ‘අද නොවේ හෙට’ බාලගිරි දෝෂයට හසු වී තිබුණු බලය බෙදීමේ දේශපාලන විසඳුම තවදුරටත් ප‍්‍රමාද කිරීම සඳහා ඉදිරිපත් කළ හැකි කිසිදු හේතුවක් ආණ්ඩුවට නැති තත්ත්වයක් යටතේ මෙය අනිවාර්ය තත්ත්වයකි. එහිදී එම බලය බෙදා ගැනීමේ ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා විරුද්ධ පක්ෂයේ දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගැනීමට රජයට සිදුවෙයි.

2. මහ මැතිවරණයෙන් විපක්ෂ කණ්ඩායම් ජයග‍්‍රහණය ලබා ගනී. මෙම තත්ත්වය යටතේ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීම සඳහා සංශෝධන ගෙන ඒමට කටයුතු කළ හැකි අතර, වසරක් ගත වන තුරු විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හළ නොහැකි නිසා එම කාලය තුළදී දෝෂාභියෝග යෝජනාවක් මඟින් ජනාධිපතිවරයා ඉවත් කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට විපක්ෂයට පුළුවන. කෙසේවුවද ආණ්ඩු බලය ලබා ගත් විපක්ෂයට දේශපාලන විසඳුමක් වෙත ගමන් කිරීමට සිදුවන බැවින් ඒ වන විට විපක්ෂයට ගොස් සිටින වර්තමාන ආණ්ඩු පක්ෂයේ සහාය ලබා ගැනීමට ද ඔවුන්ට සිදුවේ.
ඉහත දැක්වෙන ඉදිරි දර්ශනයන් දෙකට අමතරව තුන්වන ඉදිරි දර්ශනයක් ද අපට ප‍්‍රක්ෂේපනය කළ හැකිය.
3. මහ මැතිවරණයෙන් ආණ්ඩු පක්ෂය ජයග‍්‍රහණය ලබා ගනී. එම ජයග‍්‍රහණයෙන් පසු බලය බෙදා ගැනීමේ වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට සිදුවේ.එවිට එම ව්‍යාපෘතියට විරුද්ධවද,ආණ්ඩුවේ අනෙකුත් ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාකාරකම්වලට විරුද්ධවද සිංහල ජනකොටස් එකතු කරන විශාල දේශපාලන ප‍්‍රතිරෝධයක් ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කිරීම.මෙහිදී ඉතිහාසය නැවතත් පුනරාවර්තනය විය හැකි අතර නියම දේශපේ‍්‍රමියා තේරීමේ තරගයෙන් ජනතා විමුක්ති පෙරමුණ නිතරගයෙන් ජයග‍්‍රහණය කරයි.වර්තමාන කාලයේ දී විශාල දුෂ්කරතා සහ අපහාස, උපහාස විඳිමින් ජනතා විමුක්ති පෙරමුණ දුෂ්කර ක‍්‍රියාවක නොහොත් කාලතරණයක යෙදෙන්නේ ඉහළ ගිය දේශප්‍රේමී ඔන්චිල්ලාව පහළ බසින කාලයක් ද උදාවන බව දන්නා හෙයින් එම දවස උදාවෙන තුරු ඇඟිලි ගනිමිනි.
ආණ්ඩුවේ සමීප උපදේශකයන් මේ තත්ත්වය ගැන දැනුවත් නොවීමට හේතුවක් නැත. ජනාධිපතිවරණයෙන් පසු ජෙනරාල් ෆොන්සේකා හමුදා අත්අඩංගුවට ගෙන මැතිවරණය නිමාවන තුරු රඳවා තබා ගැනීමට ආණ්ඩුව අධිෂ්ඨාන කරගෙන සිටීම පසුපස ඇති උපාය මාර්ගික අරමුණ පොදු විපක්ෂය බෙදා වෙන් කිරීමට කටයුතු කිරීමයි. එයට හේතුව තමන්ට එරෙහිව ඇති හදිසි තර්ජනය පැමිණෙන්නේ තනි පුද්ගලයෙකු වන ජෙනරාල් සරත් ෆොන්සේකා වෙතින් නොව ජනතා විමුක්ති පෙරමුණ වෙතින් බව ආණ්ඩුව දනී. එනම්, ඔවුන්ගේ අදිසි සතුරා ජ.වි.පෙ.ය. ජෙනරාල් අත්අඩංගුවට ගැනීමට හේතු වශයෙන් ඉදිරිපත් කර ඇති හමුදා කුමන්ත‍්‍රණය පිළිබඳ කතාව හෝ රාජපක්ෂ පවුලට එරෙහි තර්ජනය පිළිබඳ කතාව අඩුගණනේ හදිසි අභියෝගයක් නොවන බව දන්නා ආණ්ඩුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් කරමින් වුවද ජෙනරාල් රඳවාගෙන සිටින්නේ එ.ජා.ප.ය සහ ජ.වි.පෙ. අතර ගොඩනැඟිය හැකි මැතිවරණ සන්ධානය බිඳ දැමීමටය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් වෙනමද, සුළු ජාතික පක්ෂ වෙන වෙනමද, ජ.වි.පෙ. සහ ජෙනරාල් හංසයා හෝ රාජාලියා හෝ වෙනත් ඕනෑම පොදු ලකුණකින් වෙනමද තරඟ කරන තත්ත්වයක් ගොඩනැඟී ඇත.
ආණ්ඩුවේ අභිප‍්‍රාය වන්නේ මැතිවරණයෙන් තමන් බලය ලබාගෙන ඉන් පසු පොදු විපක්ෂය කොටස් දෙකකට බෙදෙනු දැකීමටය.
1. බලය බෙදීම සඳහා එකඟ කරවාගත හැකි විපක්ෂය.
2. බලය බෙදීම සඳහා එකඟ කරවාගත නොහැකි විපක්ෂය.
සාකච්ඡාමය දේශපාලන ක‍්‍රියාවලිය ඉදිරියට ගෙනගොස් (සර්ව පාක්ෂික සමුළුව වැනි) බලය බෙදීමේ දේශපාලන විසඳුමක් ඉදිරිපත් කල විට රනිල්, හකීම්, මනෝ, සම්බන්ධන් ප‍්‍රමුඛ විපක්ෂය ඒ සඳහා එකඟ කරවා ගත හැකි බව ආණ්ඩුවේ විශ්වාසයයි. එවිට ජෙනරාල් ෆොන්සේකා, ජ.වි.පෙ. සහ යුද හමුදාව ශේෂගත වේ.විසඳුමට විරුද්ධ සිංහල ජන බලවේගයන් ඉහත කී සංඝටකය විසින් මෙහෙයවනු ඇතැයි උපකල්පනය කරන ආණ්ඩුව එහිදී ඉහත කොටස් පොදු විපක්ෂයෙන් වෙන්කොට ඔවුන් මර්දනය කිරීමට බලාපොරොත්තු වනු ඇති බව අපගේ විග‍්‍රහයයි.
අවසාන විග‍්‍රහයේදී ඉහත දැක්වෙන උභතෝකෝටිකය නැමැති අසීරු විභාග ප‍්‍රශ්න පත‍්‍රයට මුහුණ දී ජයග‍්‍රහණය ලැබීමට බලාපොරොත්තු වන ප‍්‍රධාන ශිෂ්‍යයන් තුන්දෙනෙකු හඳුනා ගත හැකිය.
1. මහින්ද රාජපක්ෂ
2. රුවන් ෆර්ඩිනැන්ඩස්
3. පේ‍්‍රමකුමාර් ගුණරත්නම්

මේ තුන්දෙනාගෙන් විභාගය සමත් වන්නේ කවුද යන්න මත ලංකාවේ අනාගතය තීරණය වීමට නියමිතය.එමෙන්ම අනාවැකියක් වශයෙන් මේ අවුරුද්දේ දෙසැම්බර් මාසයට පෙර මෙම අවසාන විභාගයේ ජයග‍්‍රාහකයා වන්නේ කවුරුන්ද වන්න තීරණය වීමට නියමිත බවද සටහන් කර තබමු.

No comments: