Thursday, February 11, 2010

මාධ්‍යයට එරෙහි කුමන්ත‍්‍රණ සහ කුමන්ත‍්‍රණකාරී මාධ්‍ය

ටෙරිබල්,ටෙරිබල්” බොයානා ලෙකිච් රූපවාහිනි තිරයේ ඇලී ගිය නෙතු පියන් ඉවතට ගත නොහැකිව මෙන් කියයි. ඇය රූපවාහිනියේ විකාශය වන විවාදයක සටහන් තබා ගන්නේ හරියට ඇගේ මුළු ජීවිතයම ඒ මත රැඳී ඇත්තාක් මෙනි. ”ටෙරිබල්, දැන් නම් මුන් තොණ්ඩුව බෙල්ලටම හිර කරන්නයි යන්නේ.”
විවාදය පැවැත්වෙන්නේ මිලොසෙවිච් ජනාධිපතිතුමා විසින් පාලනය කරන ආර්.ටී.එස්. හෙවත් ‘රාදියෝ ටෙලිවිෂියා සර්බියා’ නාලිකාව ඔස්සේය. සමහරවිට විවාදය යන්න වැරදි යෙදුමකි. මක්නිසාද යත් ආර්.ටී.එස්.හි සෑමදෙනාම සෑමවිටම එකඟ වෙති. එහි ඇත්තේ එකම දෘෂ්ටිකෝණයකි. එනම් ආණ්ඩුවේ දෘෂ්ටිකෝණයයි. අද රාත‍්‍රියේ සාකච්ඡාව සර්බියාවේ ස්වාධීන මාධ්‍ය හෙවත් සමහරු කියන විදිහට රජයට විරුද්ධ පාක්ෂික මාධ්‍ය ගැනය. ආණ්ඩුවේ හැඳින්වීම අනුව නම් ඒවා දේශද්‍රෝහී මාධ්‍යය. ”ඔය මාධ්‍ය බටහිර රටවල කුලීකාර ගැත්තෝ. උන්ට පඩි ගෙවන්නේ ඇමෙරිකන්කාරයෝ”
සර්බියාවේ ජනමාධ්‍ය ඇමති ඇලෙක්සැන්ඩර් වූචික්ට යන්තම් වයස අවුරුදු තිහක් ඇත. තරුණ නළුවෙක් වැඩිහිටි චරිතයක් රඟපෑමට ඇන්දාක් මෙන් ඔහු අභිනය දක්වන්නේ ”වෙන්නේ මොනවද කියලා හරියටම කියන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ” කියන්නාක් මෙනි. ඔහු කැමරාව දෙස හරි කෙළින් බලා, දබරැඟිල්ල උරුක් කොට බටහිර රටවල ඒජන්තයන්ට හා ඔත්තුකාරයන්ට හොඳ පාඩමක් උගන්නන බවට සහතික වෙයි. පුටුවෙහි වාඩි වී සිටින බොයානා ආතතියෙනි. ඇගේ සම්පූර්ණ අවධානය රූපවාහිනි තිරය මතට යොමු වී ඇත. ඇය මෙහි විවාද වන මාතෘකාවෙහි කොටසකි. ස්වාධීන නාලිකාවක් වන බී 2-92 මාධ්‍ය ජාලයේ ප‍්‍රධාන සංස්කාරිකාව සහ ප‍්‍රධාන වාර්තාකාරිය ඇයයි.
”ඔවුන් බටහිර ගැත්තෝ, ඔවුන්ට ඕනෑ සර්බියාව විනාශ කරන්නයි.” යුගෝස්ලාවියානු ජනමාධ්‍ය ඇමති ගොරාන් මැටිච් එකඟ වෙයි. සර්බියාවේ වෘත්තීය පත‍්‍ර කලාවේදී සංගමයේ නායක මිලොරාද් කොම්රාකොව් සිය එකඟතාවය පළ කරමින් හිස වනයි. ඔහු ආර්.ටී.එස්. මාධ්‍ය ජාලයෙහි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු වන අතර මිලොසෙවිච් ජනාධිපතිතුමා නායකත්වය දරන සර්බියානු සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙකි. වැඩසටහන මෙහෙයවන්නා ඇවිලෙන ගින්නට පිදුරු දමන අතර සියළුදෙනාම කලින්ම දැනගෙන එකඟ වී ඇති ප‍්‍රශ්න නිර්භීතව ඉදිරිපත් කරයි.
”ඔබ කොහොමද හරියටම කියන්නේ විරුද්ධ පාක්ෂික මාධ්‍යවලට බටහිර රටවල් වලින් සල්ලි ලැබෙන බව?”
”මෙන්න තියෙනවා සාක්කි.” ලියවිල්ලක් ඔසවා පෙන්නමින් ඇලෙක්සැන්ඩර් වූචික් ගුඟුරයි. කැමරාව වූචික්ගේ මුහුණට සූම් වෙයි. ”මෙන්න බලන්න, බී 2-92 චැනල් එක ඇමෙරිකාවෙන් ඩොලර් දහස් ගාණක් අරගෙන තියෙනවා.”
ඔහු ලියවිල්ල ඇඟිලි තුඩුවලින් ඔසවන්නේ හරියට එය ගඳ ගසනවාක් මෙනි. ”මෙන්න තියෙනවා බි‍්‍රතාන්‍ය තානාපති කාර්යාලය එක්ක ගහපු ගිවිසුම. එතකොට මේ තියෙන්නේ සෝරොස් ෆවුන්ඬේෂන් එකත් එක්ක ගහපු ඞීල් එක. මේ ඔක්කොම ලියවිලි අත්සන් කරලා තියෙන්නේ සාෂා මිර්කොවිච්.” ඔහු පිළිකුලෙන් යුතුව පෙන්වා දෙයි. දිගින් දිගටම සාෂා මිර්කොවිච් හඳුන්වා දෙනු ලබන්නේ තම මාතෘ භුමිය බටහිරට විකුණන්නට අර අඳින ඳුෂිත ද්‍රෝහියෙකු ලෙසය. ඔහු බී 2-92 මාධ්‍ය ජාලයේ ප‍්‍රධානියාය.
”එයාලට ඕන වෙලා තියෙන්නේ අපිව බය කරන්න.” පැහැදිලිවම කලබලයට පත්ව සිටින බොයානා කියයි. වෙලාව මධ්‍යම රාත‍්‍රියට ආසන්නයි.
බී 2-92 මාධ්‍ය ජාලය ආණ්ඩුව විසින් තහනම් කිරීමෙන් පසුව එහි සංස්කාරක මණ්ඩලයට බෙල්ගේ‍්‍රඞ් මහනගර සභාවට අයත් ස්ටුඩියෝ බී හි කාර්යාල පරිශ‍්‍ර සහ තරංග මාලා ඉල්ලා ගැනීමට අවස්ථාව ලැබුණි. එය පාලනය වන්නේ විපක්ෂ නායක වුක් ද්‍රස්කොවිච්ගේ අයෝමය හස්තයෙනි. වසර දෙදාහේ ශීත සෘතුව දක්වා ස්ටුඩියෝ බී පැවතුනේ ද්‍රස්කොවිච්ගේ හොරණෑවක් ලෙසය. නමුත් වසන්ත සමයේ සිට අනෙකුත් විපක්ෂ මාධ්‍ය ආයතන වලටද එම ආයතනය ප‍්‍රයෝජනයට ගත හැකි විය.
මේ වසර දෙදාහේ මාර්තු මාසයයි. මාධ්‍ය පාලනය කිරීම සර්බියානු ආණ්ඩුවේ බරපතලම ප‍්‍රශ්නය බවට පත්ව තිබේ.
” ඔව් මං බයයි. මට තර්ජන තියෙනවා. ඒත් මට ආපහු හැරෙන්න බැහැ. මං විශ්වාස කරන දේ වෙනුවෙන්, ඒ කියන්නේ සර්බියාව නිදහස් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක් විය යුතුයි කියන අදහස වෙනුවෙන් මම සටන් කරන්න ඕන.” බොයානා සුසුමක් හෙලයි. ප‍්‍රවෘත්ති සංස්කාරකගේ ලේකම්වරිය පිටත්ව යාමට පෙර පිළිගැන්වූ කෝපි කෝප්පය තොල ගාන අතර ඇයට මතක් වන්නේ මුළු දවසටම ඇය කිසිදු ආහාරයක් නොගත් බවයි. ඇය කණගාටුවෙන් මා දෙස බලයි. ”එයාලා අපිව ආයෙත් තහනම් කිරීම කාලය පිළිබඳ ප‍්‍රශ්නයක් විතරයි. නමුත් මම සටන අතාරින්නේ නැහැ.”
කාර්යාලය තුළ ඇත්තේ පරණ මේස දෙකක්, කොම්පියුටරයක් සහ දුරකතනයක් පමණි. නේටෝ හමුදාව බෙල්ග්‍රෙඞ් නගරයට බෝම්බ දැමීමට පෙර දිනයේ ආණ්ඩුවේ හෙංචයියන් පිරිසක් වන බෙල්ග්‍රෙඞ් හි ‘තරුණ බලකාය’ බී 2-92 මාධ්‍ය ජාලයේ කාර්යාල උපකරණ සහ තරංග මාලා බලෙන් අත්පත් කරගෙන එවකට පැවති බී 92 ජාලය ඔවුන්ගේ ප‍්‍රචාරක හොරණෑවක් බවට පත්කර ගන්නා ලදී. ඔවුන් තම කාර්යාල වලින් එලවා දමා ලැබීමෙන් පසුව බී 92 ජාලය තම නම බී 2-92 වශයෙන් වෙනස් කරන ලද අතර ඉන්පසු ගතවූ වසර මුළුල්ලේම බී 2-92 හි මූලස්ථානය වූයේ මෙම කාර්යාලයයි. මාස කිහිපයකට පසු තම වැඩසටහන්වල කෙටි සංස්කරණයක් විකාශය කිරීමට සංස්කාරක මණ්ඩලයට හැකිවිය. මේ සර්බියානු ආණ්ඩුව මිනී මැරුම්, සිරගත කිරීම්, මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ආයතන වසා දැමීම් තුළින් විරුද්ධ පාක්ෂික අදහස් සඳහා නැවතීමේ ලකුණ තබමින් සිටි කාලයක් විය.
1998 ඔක්තෝම්බර් මාසයේදී සමස්ත යුරෝපයම ඉතාම සීමාකාරී මාධ්‍ය නීතිය සර්බියානු පාර්ලිමේන්තුව විසින් පනවන ලදි. මිලොසෙවිච් ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුවේ ආසන 250න් 200ක් පමණ පාලනය කරන තත්ත්වයක් යටතේ එම පනත විවාදයකින් තොරව සම්මත විය. රූපවාහිනි සහ ගුවන් විදුලි විකාශන නිහඬ කිරීමටත්, පුවත්පත් වසා දැමීමටත් මෙම පනත විසින් ඉඩ සැලසිණ. නිසි කාර්ය පටිපාටියකින් හෝ තමා වෙනුවෙන් අධිකරණයේ නිසි ලෙස පෙනී සිටීමට අවසරයකින් තොරව නඩු විභාගයකට ලක් කර මාධ්‍ය ආයතනවලට දඬුවම් පැනවීමට මෙම පනතින් ඉඩකඩ සැලසිණ. 2000 වසරේ වසන්ත සමය තුළ දුසිම් ගණනක් පුවත්පත්, ගුවන් විදුලි සහ රූපවාහිනි වසා දමන ලද අතර අනෙක්වාට බරපතල දඩ මුදල් ගෙවීමට සිදුවිය. පැය 24 ක් ඇතුළත අදාළ දඩ මුදල් නොගෙවන ලද්දේ නම් එම මාධ්‍ය ආයතනවල දේපල සහ උපකරණ ආණ්ඩුවට පවරා ගැනීමට හැකිවිය. මාධ්‍ය සංස්කාරකවරුන් සහ මාධ්‍යවේදීහු ගණනාවක් සිරගත කරනු ලැබිණි. ද්නේවුනි ටෙලිග‍්‍රාෆ් කර්තෘ ස්ලවුකෝ කුරුවියා 1999 අප්‍රේල් 11 වැනිදා බෙල්ගේ‍්‍රඞ්හි ඔහුගේ නිවස අසලදී ඝාතනයට ලක් වන විට අවස්ථා ගණනාවකදීම ඔහුට මේ ඊනියා මාධ්‍ය නීති යටතේ දඬුවම් කර තිබුණි.
සර්බියාවේ උප අගමැති සහ අන්ත ජාතිවාදී වෙයිස්ලාව් සෙසෙලි ස්වාධීන ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ප‍්‍රසිද්ධියේම තර්ජනය කළේය. ”අප තවදුරටත් ඔබව හුරතල් කරන්නේ නැහැ” : මාධ්‍ය හමුවකදී ඔහු ප‍්‍රකාශ කරන ලද්දේ බොස්නියා යුද්ධයේදී සර්බියානු ස්වේච්ඡා බලකායට නායකත්වය දුන් සෙලිකෝ රස්නොක්ට්‍රොවික්ගේ සහ ආරක්ෂක ඇමති පාවුලේ බුලටොවිච්ගේ ඝාතන පිළිබඳ මාධ්‍යවේදීන් පිට වරද පටවමිනි. ”අවශ්‍ය වුණොත් අපි එම ක‍්‍රමවේදයම ඔබ වෙනුවෙන්ද පාවිච්චි කරනවා” යැයි ඔහු සහතික විය.
බොයානාගේ දෙමව්පියන් ඇයට වඩා බියපත් ව ඇත. ”ඔයාව මැරුවොත් කිසි කෙනෙක් ඔයාගේ නමින් පාරක් නම් කරන එකක් නැහැ. නමුත් අපට අපේ එකම දුව නැතිවෙනවා.” ඇගේ පියා දින කිහිපයකට පෙර පැවසීය.
මධ්‍යම රාත‍්‍රියත් පසු වී සෑහෙන වෙලාවක් ගත වී ඇත. දුරකතනය නාද වෙයි, බොයානාගේ හඬ මෘදුව ඇසෙයි.
”ඔයා ගෙදර ආවද?” ඇය දුරකතනයෙන් අසයි.
”තව වෙලා යනවා” ඇය කියයි. ”මම එනකම් ඇහැරගෙන ඉන්න එපා”
”මගේ මහත්තයා කතා කළේ” සිගරට්ටුවක් දල්වා ගනිමින් ඇය පැහැදිලි කරයි. ”අද මම ගෙදර එනවාදැයි බලන්නයි එයා කතා කළේ” අද රාත‍්‍රියේ විරුද්ධ පාක්ෂික ජනමාධ්‍ය ආයතන ගණනාවක් එකට එකතු වී ආණ්ඩුවේ තර්ජනවලට එරෙහිව විරෝධය පෑමේ මහා පරිමාණයේ සන්ධ්‍යා විකාශනයක් පවත්වයි. ”මර්දනයෙන් අත් මිදෙමු, බියෙන් අත් මිදෙමු” එම විරෝධතාවයේ තේමාව වන අතර සමස්ත ව්‍යාපෘතියේ නායකත්වය දරන්නේ බොයානා යි.

නොර්වීජියානු ලේඛිකා ඔස්නි සීස්ටාර්ඞ් ලියූ with thier backs to the world -portaits from Serbia කෘතියෙහි first lady of treason පරිච්ඡේදය ඇසුරෙනි.

Back to Home
View Pdf

No comments: