Thursday, February 11, 2010

ලකුණු කියඤ්ඤයි - නම නොකියඤ්ඤයි

නීති බින්දෝ රැකීමට එය - 02

සුදර්ශන ගුණවර්ධන

කුමන්ත‍්‍රණ ගැන උත්තර නැති ප‍්‍රශ්නයට දොවන් අයියාගෙන් පිළිතුරක්

මීට අඩසියවසකට පෙර හිනිදුම් පත්තුවේ දොවන් අයියා නම් තරමක මෝඩ පහේ පුද්ගලයෙකු ජීවත්විය. ගම් පළාතේ සිදුවූවා යැයි කියන කිසියම් සොරකමකට වගකිව යුත්තා කවුරුදැයි තමා දන්නා නමුත්, ඒ නම නම් කිසිසේත් හෙළිදරව් කරන්නට බැරි බව කියා සිටි දොවන් අයියා අවශ්‍යම නම් අදාල පුද්ගලයා හඳුනා ගැනීමට අවශ්‍ය හෝඩුවාවල් කිහිපයක් ලබාදිය හැකි බව ප‍්‍රකාශ කළේ පහත පරිදිය.

”හොරකම කළේ කවුදැයි මම නං දන්නං
ඒත් නම නොකියන්නං
ලකුණු කියන්නං
අපේ නගා සහේට අරන් තියෙන්නං
එගොඩ ගොඬේ ඉන්නං
තට්ටෙත් ටිකක් තියෙන්නං
ඒත්,නම නං නොකියන්නං
ලකුණු කියන්නං
මැරුවත් නම නොකියන්නං”

සරම අඳින දොවන් අයියාට මුහුණපෑමට සිදුවූ තත්ත්වයට තරමක් සමාන සිදුවීමක් ටයිකෝට් අඳින විදේශ කටයුතු පිළිබඳ ඇමති තැන්පත් රෝහිත බෝගොල්ලාගම මහතාට පසුගියදා මුහුණදීමට සිදුවිය. ශ‍්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් කුමන්ත‍්‍රණයක් දියත් කර ඇතැයි උදේ හවස මාධ්‍ය මඟින් ප‍්‍රචාරය කරන හෙයින් එකී කුමන්ත‍්‍රණයට සම්බන්ධ බටහිර රට හෝ රටවල් මොනවාදැයි නම් කරන ලෙස බී.බී.සී. රූපවාහිනියේ මාධ්‍යවේදියෙකු ඔහුගෙන් විමසන ලදී. එවිට විදේශ ඇමතිවරයා කීවේ කුමන්ත‍්‍රණයක් තිබෙන බව තමා දන්නා නමුත් ඒ රටේ නම නං කොහොමවත් නොකියන බවය.

”කුමන්ත‍්‍රණයක් නං තියෙන්නං
කරන්නේ කවුද කියලත් දන්නං
ඒත් නම නං නොකියන්නං
ලකුණු කියන්නං
මැරුවත් නම නොකියන්නං”

දැන් ආණ්ඩුව පවත්වාගෙන යාම හා ආණ්ඩුව කරන ඕනෑම ක‍්‍රියාවක් සාධාරණීයකරණය කිරීමට යොදාගන්නා කෝකටත් තෛලය වී ඇත්තේ කුමන්ත‍්‍රණයයි. ආණ්ඩුව පෙරළීමට ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් දියත් වී ඇති නිසා එය පාරජය කිරීමට ප‍්‍රති කුමන්ත‍්‍රණයක් දියත් කිරීම සාධාරණ යැයි කියන තරමට තත්ත්වය දුර දිග ගොස්ය. ඒ නිසා නීති රීති, ආචාර ධර්ම පිළිබඳව කිසිම තැකීමක් නැතිව ක‍්‍රියාකොට ඒ සියල්ලම හරි යැයි ලැජ්ජා නැතිව කියන්නට ආණ්ඩුවේ ක්ෂමාලාපකයන්ට පුළුවන් වී තිබේ. කුමන්ත‍්‍රණ කතා ඉදිරියේදී විපක්ෂයටද කටඋත්තර නැති වී ඇති බව පෙනෙන්නට ඇත.‘බඩුත් හාමුදුරුවන්ගේ - නඩුත් හාමුදුරුවන්ගේ’ යන න්‍යායට අනුව ක‍්‍රියාත්මක වන රාජ-පක්ෂ ටී.වී.චැනල් වලට පැමිණ ආණ්ඩු පාක්ෂික නිවේදකයන්ගේ ෆුල් ටොස් පන්දුවලට දෑත බදා හයේ පහරවල් ගහන මහත්වරුන්ට අපට කීමට ඇත්තේ කුමන්ත‍්‍රණ කතාවලට පිළිතුරු දීමට අපට ද අවස්ථාවක් ලබාදෙන ලෙසයි. එහිදී අපි විසින් ඇසිය යුතු ප‍්‍රශ්නය මෙපමණය.
ලංකාවට විරුද්ධව බටහිර රටවල් කුමන්ත‍්‍රණය කරන්නේ මෙහි ඇති කිසියම් වටිනා දෙයක් පැහැර ගැනීමට විය යුතුය. නැත්නම් මෙහි ඇති තමන්ගේ කිසියම් උවමනාවක් ආරක්ෂා කර ගැනීමේ අටියෙන් විය යුතුය.
ලංකාවේ ඉරාකයේ මෙන් ඛනිජ තෙල් නැත. සියෙරා ලියොන්හි මෙන් දියමන්ති නැත. රත්තරන්, ප්ලැටිනම්, තඹ, පිත්තල, ඇලූමිනියම්, යුරේනියම් හෝ වෙනත් නිධිද නැත. සිම්බාබ්වේහි මෙන් ආරක්ෂා කර ගත යුතු ‘සුදු ගොවියන්’ ද නැත. එහෙනම් බටහිර රටවල් කුමන්ත‍්‍රණය කරන්නේ අපේ මොනවා පැහැර ගැනීමටද? ලංකාවට කිසියම් සුවිශේෂීතාවයක් ලැබුණා නම් ඒ ථෙරවාදී බුද්ධාගම නිසාය. නමුත්, බුද්ධාගම අදහන රටට අද සිදු වී ඇති දෙය මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් මේ සතියේ නිකුත් කළ ප‍්‍රකාශ වලින් පැහැදිලි වනු ඇත.
යම් හෙයකින් බටහිර රටවලට අවශ්‍ය අප නොදන්නා කිසියම් සම්පතක් හෝ අවශ්‍යතාවයක් හෝ ලංකාව තුළ ඇතැයි උපකල්පනය කළත්, වර්තමාන ගෝලීය ධනවාදය තුළ එය ලබා ගැනීමට කුමන්ත‍්‍රණ කරමින් මහන්සි විය යුතු නැත. ශිෂ්ඨ සම්පන්න ව්‍යාපාරික ගනුදෙනුවක යෙදීම මඟින් ඒ අවශ්‍යතාවය සපුරා ගත හැකිය. ඒ සඳහා කළ යුත්තේ ප‍්‍රතික්ෂේප කිරීමට අපහසු තරමේ හොඳ ලංසුවක් තැබීම පමණකි. (Make an offer they can't refuse) මේ සඳහා වැඩිදුර උදාහරණ අවශ්‍ය නම් ඉන්දියානු අයි.පී.එල්. තරඟාවලියේදී අපේ ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ විරුවන් වෙන්දේසියේ විකුණන ආකාරය දෙස බැලීම ප‍්‍රමාණවත්ය.
මේ සියල්ල තිබියදීත් ලංකාව යටත් කර ගැනීමට කිසියම් බලවත් බටහිර රටකට අවශ්‍ය නම් ඒ සඳහා ගතවනුයේ පැය කිහිපයක් පමණකි. එම ආක‍්‍රමණය ‘මානුෂික මෙහෙයුමක් ලෙස’ සාධාරණීයකරණය කිරීමට අවශ්‍ය හේතු ලංකාව විසින් පසුගිය කාලයේ දී ඕනෑතරම් ලබාදී ඇත.ඉන්දියාව 1987දී ලංකාවට පරිප්පු දැම්මේ මානුෂීය හේතු දක්වමින් වන අතර කිසිදු රටක් ඒ ගැන කටක් හෙල්ලූවේ නැත. අන්තිමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට සිදුවූයේ ගිවිසුමක් මාර්ගයෙන් ඉන්දියානු ආක‍්‍රමණය පිළිගැනීමට යි. මෙයට අමතරව ඇමෙරිකාව සහ බි‍්‍රතාන්‍යය විසින් බලවත් හමුදාවක් සතු ඉරාකය ආක‍්‍රමණය කොට තවමත් එය යටත් කොටගෙන සිටින්නේ කාගෙන්වත් ලයිසන් ගෙන නොවේ. එමෙන්ම වසර 2000 දී ඇමරිකාව ප‍්‍රමුඛ නේටෝ හමුදාව ලෝකයේ පස්වන පාබල හමුදාව සතු ව සිටි යුගෝස්ලාවියාව කොසෝවෝ ප‍්‍රශ්නයේදී මට්ටු කළේද ඒ ආකාරයටමය.
ඊළඟට කිසියම් ආකාරයකින් එසේ ලංකාව ආක‍්‍රමණය කිරීම කෙසේවෙතත්,සම්බාධක පැනවීමක් හෝ කළහොත් ලාංකිකයා හැසිරෙන ආකාරය උපකල්පනය කිරීම ද අපහසු නැත. ඊනියා දේශපේ‍්‍රමීන්ගේ කටේ නරිවාදම් හැරුණුවිට ඔවුන්ගේ නොකියා ජංගම දුරකථනයේ සිට මොන්ටෙරෝ ජීප් රථය දක්වා මුළු මහත් ජීවන රටාවම සංවිධානය වී ඇත්තේ බටහිර රටවලින් ආනයනය කරන පාරිභෝගික භාණ්ඩ හා සේවා පදනම් කරගෙනය. ඒවාට පහර වැදුණොත් ඔවුන්ගෙන් (සහ ඔවුන්ගේ භාර්යාවන්ගෙන්) මතුවිය හැකි ප‍්‍රතිචාරය අති භයානකය.
අවසන් වශයෙන් බටහිර රටවල් අප ආක‍්‍රමණය කළොත් කළගුණ සැලකීම මනා සේ පුරුදු පුහුණු කර ඇති ලාංකිකයන් විශාල පිරිසක් ඔවුන් වෙතට පැන ඉඹලා පිළිගෙන ‘අනේ ඔයාලා කවදා හරි එනකං තමයි අපි මේ බල බලා හිටියේ’ යැයි කියා තොප්පි මාරු කරගනු ඇත. අපේ ජාතියේ කළගුණ සැලකීම කෙතරම් ද යන්න යුද්ධය අවසන් වී අවුරුද්දක් ගතවන්නටත් පෙර හිටපු හමුදාපති ජෙනරාල් ෆොන්සේකා අත් අඩංගුවට ගත් ගෞරවනීය අකාරයෙන්ම පැහැදිලි වේ.
නමුත් ඉතා ආචාරශීලි, ශිෂ්ඨ සම්පන්න වැදගත් මහත්වරුන්ගෙන් සමන්විත විපක්ෂයේ දේශපාලකයන් මෙවැනි ප‍්‍රශ්න ඇසීමට තරම් නිර්භීත වන්නේ නැත. අප ඉල්ලා සිටින්නේ මීළඟ රූපවාහිනී විවාදයේදී කුමන්ත‍්‍රණ කතා කියන අයගෙන් ”කොහේ තියෙන ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් ද ඕයි ? ” කියා අසන ලෙසයි. එවිට මේ අයට සිදුවනු ඇත්තේ දොවන් අයියාට සිදු වූ දේය.

ලබන සතියට .....

Back to Home
View Pdf

No comments: