Thursday, December 17, 2009
ඉල්ලාගත් කේතලය සහ රාජ්‍ය රහස් හෙළිකිරීම
රාජ්‍ය රහස් හෙළිකිරීම
යුද්ධයේ අවසාන අදියරේදී එල්.ටී.ටී.ඊ දේශපාලන අංශයේ නායක නඬේසන්, සාම මහ ලේකම් කාර්යාලයේ නායක පුලිදේවන් සහ රමේෂ් ඇතුළු කණ්ඩායමක් සුදු කොඩි රැගෙන ශ්‍රී ලංකා හමුදාව වෙත යටත්වීමට පැමිණි බවත්, එසේ වුවද යටත් වීමට ඉඩ නොදී ඔවුන් ඝාතනය කරන ලද බවත් පිළිබඳ වූ කතා ප්‍රවෘත්තියට නැවත පණ ලැබී, තටු ගසා, ගුවන සිසාරා පැතිරෙන්නට වී ඇත.
මෙම කතාව කරළියට එන්නේ යුද ජයග්‍රහණය සඳහා වගකිවයුතු සේනාධිනායකයා වු මහරජතුමාද, සෙන්පතියා වූ ජෙනරාල්තුමාද ප්රතිමල්ලවයන් වශයෙන් ජනාධිපතිවරණ සටනට අවතීර්ණ වී ඇති පසුබිම තුළය.
සන්ඬේ ලීඩර් පුවත්පත සමඟ පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවකදී ජෙනරාල්තුමා මේ පිළිබඳව පළ කළා යැයි කියන අදහස් නිසා ඇති වූ තත්ත්වය දෙබර කූඩයකට ගල් ගැසුවා සේ විය. ‘මගෝ ඩිගො ඩයි’ චිත්‍රපටයේ චරිත නිරූපනයට පවා සුදුසුකම් දක්වන්නා වූ ආණ්ඩුවේ ප්‍රකාශකයන් බුරුත්තක්ම එම ප්‍රකාශයට විරුද්ධව ගුවන් තරංග මඟින් යුද්ධ ප්‍රකාශ කරන ලදි. ඔවුන් කියා සිටියේ එම ප්‍රකාශය යුද රහසක් හෙළිදරව් කිරීමක් බැවින් ජෙනරාල්තුමා දේශද්‍රෝහියෙකු බවයි. ආණ්ඩුවට හිතවත් නීතිඥවරුන් ප්‍රකාශ කළේ ජෙනරාල්තුමාට විරුද්ධ ව රාජ්‍ය රහස් පනත යටතේ නඩු පවරා ඔහු සිරගෙට වුවද යැවිය හැකි බවයි.
කෙසේ වුවද,තමා එවැනි ප්‍රකාශයක් නොකළ බවත්,තම ප්‍රකාශය සන්ඬේ ලීඩර් පුවත්පත විසින් විකෘති කොට පළ කොට ඇති බවත් පසුව පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ජෙනරාල්තුමා ප්‍රකාශ කළේය. යුද්ධය මෙහෙයවූයේ තමා බැවින් එහි සියළු වගකීම් තමා භාරගන්නා බව ප්‍රකාශ කළ ඔහු වැඩිදුරටත් පැවසුවේ යුද්ධයේ අවසාන අදියරේදී කිසිවෙකුත් සුදු කොඩි රැගෙන යටත්වීමට නොපැමිණි බවයි.
ජෙනරාල්තුමා රාජ්‍ය රහස් හෙළිදරව් කර ඇතැයි රජයේ ඇමතිවරුන් විසින් ප්‍රකාශ කිරීම මඟින් ඉහත දැක්වෙන ආකාරයේ ඝාතනයක් සිදු වී ඇති බව රජය අනියම් ලෙස පිළිගෙන ඇතැයිද එය රටට අවාසිදායක යැයිද විදේශ ඇමතිවරයා කී බව වෙබ් අඩවියක පළ විය.තවත් වෙබ් අඩවියක පළ වූයේ ඉහත දැක්වෙන ආකාරයේ සිදුවීමක් නොවූ බව දැන් ජෙනරාල්තුමා විසින් ප්‍රකාශ කර ඇති බැවින් ප්රශ්නය මෙතනින් අවසන් කළ යුතු බව රජයේ ඇමතිවරුන් ප්‍රකාශ කර ඇති බවයි.
මෙහිදී පුරවැසියන් වශයෙන් අප විසින් ඇසිය යුතු ප්‍රශ්න කිහිපයක් වෙයි.
1. පසුගිය කාලයේ ලංකාවේ සියළුදෙනාම පාහේ දැනසිටි කරුණක් හදිසියේම රාජ්‍ය රහසක් බවට පත්වූයේ කෙසේද?
2. යුද්ධයේ අවසානය සිදු වූ ආකාරය රූපවාහිනි සහ වීඩියෝ දර්ශන ඔස්සේ හැමදෙනාම දන්නා තත්ත්වයක් යටතේ මේ ඊනියා රහස වසන් කරන්නට හදන්නේ කාගෙන්ද?
3. සෙසු මහජනයාට වඩා කලින් නිවැරදි තොරතුරු දැන ගැනීමට හැකියාවක් ඇති සත්ත්ව විශේෂයක් වන මාධ්‍යවේදීන් මේ ප්රශ්නයේදී කිසිවක් නොදන්නා ආකාරය අනුව ඔවුන් බබාලා පිරිසක්ද? (විශේෂයෙන්ම ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදිනී ෆෙඞ්රිකා ජෑන්ස් උක්කුං බබෙක්ද?)
4. මෙය අසා නින්දෙන් ඇහැරුනා සේ හැසිරෙන ඇමරිකාව, බි්රතාන්යය ප්රමුඛ ජාත්‍යන්තර ප්‍රජාව සිදු වූ කිසිවක් නොදන්නා තොත්ත බබාලා පිරිසක්ද?
ඉල්ලාගත් කේතලය
මෙහිදී අපගේ සිහියට එන්නේ ඇමරිකාව ප්රමුඛ මිත්‍ර හමුදා විසින් ඉරාකයට පහරදීම සාධාරණීයකරණය කිරීමට යොදාගත් තර්කනය පිළිබඳව ස්ලාවෝ ජිජැක්ගේ විග්රහයයි. සිග්මන් ෆ්‍රොයිඞ් සිහින තේරුම් කිරීම පිණිස යොදා ගත් ‘ඉල්ලාගත් කේතලය’ පිළිබඳව පැරණි විහිළු කතාවක් ජිජැක් මෙහිදී උපුටා දක්වයි.
කිසියම් පුද්ගලයෙකුගෙන් කේතලයක් ඉල්ලාගත් අයෙක් ඵ් පිළිබඳව පහත සඳහන් පිළිතුරු ලබා දෙයි.
1. මම කවදාවත් ඔබෙන් කේතලයක් ඉල්ලා ගත්තේ නැත.
2. මම කේතලය ආපසු දෙනවිට එය බිඳී තිබුණේ නැත.
3. මම ඔබෙන් කේතලය ඉල්ලා ගන්නා විටත් එය බිඳී තිබිණි.
මේ සෑම පිළිතුරකින්ම වසා දමන්නට තැත් කරන්නේ එක් කටුක සත්‍යයකි. එනම්, ඔබෙන් ඉල්ලාගත් කේතලය මා අතින් බිඳුණු බවයි. එකිනෙකට නොගැලපෙන මේ සියළු පිළිතුරු මඟින් උත්සාහ කරන්නේ අප දන්නා ඵ් සත්‍යය නොදැනුමක් බවට පත් කිරීමටය.
ස්ලාවෝ ජිජැක් ප්‍රකාශ කරන්නේ ඉහත දැක්වෙන එකිනෙකට නොගැලපෙන ස්වභාවය ඉරාකයට පහරදීම සාධාරණීයකරණය කිරීමට යොදාගත් තර්කයන්හිද පවතින බවයි.
පළමුව ප්‍රකාශ වූයේ ඉරාකයේ සදාම් හුසේන්ගේ රෙජීමය සහ අල්කයිඩා සංවිධානය අතර සබඳතාවයක් පවතින බැවින් ඉරාකයට පහරදිය යුතු බවයි. දෙවනුව, සමූල ඝාතක අවි (WMD) ඉරාකය සතුව තිබීම හේතුවෙන් මුළු ලොවටම සහ විශේෂයෙන්ම ඇමෙරිකාවට සහ බි්රතාන්යයට සදාම් හුසේන් රෙජීමය තර්ජනයක් බවයි. කිසිදු සමූලඝාතක අවියක් හමු නොවූ විට මිත්‍ර ජාතීන් ඉදිරිපත් කළ තර්කය වූයේ එවන් භයානක අවි හමු නොවූ බව සත්‍යයක් නමුත් සදාම් හුසේන් වැනි ප්‍රජා පීඩකයෙකු පෙරළා දැමීමට වෙනත් හේතු ඕනෑ තරම් පවතින බවයි.
සුදු කොඩි රැගෙන ආ පිරිසක් ඝාතනයට ලක්වීම පිළිබඳව කෙරෙන කතා බහ විමර්ශනය කරන විට ඵ් පිළිබඳව තර්ක ගොනු කිරීම සිදුවන්නේද ඉල්ලා ගත් කේතලය ආපසු දීමේදී නිදහසට කාරණා ඉදිරිපත් කළ පිළිවෙළටමය.එම හැම තර්කයකින්ම ප්‍රකාශ වන්නේ එමඟින් සඟවන්නට උත්සාහ දරන අප දන්නා කටුක සත්‍යයමය.
ප්රශ්නය වන්නේ කවුරුත් දන්නා මේ රහස සඟවන්නට උත්සාහ ගන්නේ ටී.ලොබ්සොං රම්පෝගේ ‘තෙවැනි ඇස’ වැනි අප දෙස බලා සිටින අදෘශ්‍යමාන බලවේගයකින්ද?
Back to home
View Pdf...
Monday, December 14, 2009
මඩෙන් එපා ගොඩෙන් එන්න
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් සමඟ ම රාජ්‍ය මාධ්‍ය ද එම මාධ්‍ය හසුරුවන දැළි පිහි අතින් ගත් හෙංචයියන් පිරිසද තමා මෙතෙක් කලක් කරගෙන ගිය මඩ මෙහෙයුම දෙගුණ තෙගුණ කර තිබේ.
මේ මෙහෙයුම මෙසේ දියත් වන්නේ, ජනාධිපතිතුමා මාධ්‍යවේදීන් අරලියගහ මන්දිරයට කැඳවා ඡන්ද සටන මඩ ගැසීම් වලින් තොරව ගෙන යමු යැයි ප්‍රකාශ කොට තිබියදීය.
පසුගිය කාලය තිස්සේම විපක්ෂ නායකවරයාට, ආණ්ඩුවට විරුද්ධව කට අරින අතළොස්සක් වූ විපක්ෂ මන්ත්‍රීන්ට, ජනමාධ්‍ය ක්‍රියාකාරීන්ට සහ විසම්මුතික මත දරණ සිවිල් සංවිධාන නායකයින් වෙත ලෝබ නැතිව එල්ල කළ මඩ බාල්දි ප්‍රහාරය දැන් යුද්ධය දිනූ මහා සෙන්පතියා වෙත ද එල්ල කිරීමට පටන් ගෙන ඇත.
ජනමාධ්‍ය සහ මාධ්‍යවේදීන් සැලකුණේ ජනතාවට යථාර්ථය වටහා ගැනීමට අවශ්‍ය දැනුම හා තොරතුරු සපයන ඉදිරිගාමී පිරිසක් වශයෙනි. නමුත් ශීඝ්‍රයෙන් එම භුමිකාව වෙනස් වී ගොස් අද මාධ්‍යවේදියා යනු ජනතාවට විනෝදය සපයන්නෙකු බවට පත්වී ඇත. එදා ප්රවෘත්ති කියැවුවේ, ශ්‍රවණය කළේ, නැරඹුවේ තොරතුරු ලබා ගැනීමට නම් අද එය කරන්නේ විනෝදය පිණිසය. පොදුවේ ගත් කළ මාධ්‍යවේදියා තවදුරටත් සමාජය වෙත පරමාදර්ශයක් සපයන පුද්ගලයෙකු නොව මිහායිල් ෂොලහෝව් ගේ ‘පෙරළූ නැවුම් පසෙ’ හි එන ෂුකාර් සීයා වැනි චරිතයක් බවට පත්ව ඇත.
යුද්ධයේදී මිනිසුන් විශේෂයෙන් දෙමළ මිනිසුන් මිය යන විට, අතපය අහිමි වන විට, ඔවුන්ගේ ගේ දොර වතුපිටි විනාශ වන විට ඒ ගැන කිසිදු සඳහනක් නොකොට, යුද්ධය තලූ මරමින් පේ‍්‍රක්ෂකාගාරයට, ශ්‍රාවක සමාජයට සහ පාඨක සමාජයට ගෙන ආවේ මාධ්‍යවේදීහුය.
ආණ්ඩුවේ සහ ආණ්ඩුවට හිතවත් මාධ්‍ය මේ ආකාරයේ මාධ්‍ය භාවිතයක යෙදීම ගැන අප පුදුම විය යුතු නැත. එයට හේතුව ආණ්ඩුව මෙහෙයවන අය ජීවත්වන්නේ ශිෂ්ඨාචාරයට පුර්ව යුගයේ බැවිනි. මානව ශිෂ්ඨාචාරය විසින් පිළිගෙන වර්ධනය කරන ලද මානව අයිතිවාසිකම්, නීතියේ ආධිපත්‍යය වැනි සංකල්ප තමන් තුට්ටුවකට මායිම් නොකරන බව ඔවුන් නැවත නැවතත් භාවිතයෙන් ම පෙන්නුම් කරන බැවිනි.
එහෙත්, විපක්ෂයෙන් එයට වඩා ඉහළ හැසිරීමක් බලාපොරොත්තුවීමට අපට අයිතියක් ඇති අතර, එය ඉටුකිරීමේ වගකීමක් විපක්ෂයට ඇතැයි අපි සිතමු. මක් නිසාද යත් ආණ්ඩුව මෙන් නොව විපක්ෂය මිනිස් ශිෂ්ඨාචාරයේ අග්‍ර ඵල වන මානව හිමිකම් සහ නීතියේ පාලනය පිළිගන්නා බවට පොරොන්දු වී ඇති බැවිනි.
ජනාධිපතිවරණ සටනේදී ආණ්ඩුව වෙනුවෙන් සටනට බැස සිටින චම්පික රණවක ඇමතිවරයාට ආපහාස වන ආකාරයට ඔහුගේ පෞද්ගලික ජීවිතය සම්බන්ධ යැයි හැෙඟන ආකාරයේ අශ්ලීල විස්තරයක් පසුගිය බදාදා එක්තරා වෙබ් අඩවියක පළ විය. ඡන්ද සටනේදී තම ප්‍රතිවාදියාගේ ආධාරකරුවකු ගේ යටි බඩට ඇණීම මඟින් බලාපොරොත්තු වනු ඇත්තේ ඔහුගේ විශ්වාසනීයභාවය බිඳ දැමීම හෝ ඔහු නිහඬ කිරීම විය හැකිය. එමඟින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ට වාසියක් සැලසීම එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමේ අරමුණ විය හැකිය.
චම්පික රණවක ඇමතිවරයා සහ ඔහු නියෝජනය කරන මතය පැරදවිය යුතුය. නමුත් එය කළ යුත්තේ මතවාදී අරගලයක් මඟිනි. එසේ නැතිව මෙවැනි අශ්ලීල පහරදීම් මඟින් නොවේ. සෑම මනුෂ්‍යයෙකුටම හිමි මානව අයිතිවාසිකමක් වන පවුල සහ පෞද්ගලිකත්වයට ඇති අයිතිය චම්පික රණවක ඇමතිවරයාටත් හිමිවිය යුතු අතර සමාජය ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතුය. මාධ්‍යවේදීන් එම අයිතිය පැහැර ගැනීම හෙළා දැකිය යුතුය. එමඟින් එවැනි ක්‍රියා මින් ඉදිරියට සිදු කිරීමට යමෙකු ක්‍රියා කරන්නේ නම් එය අධෛර්යය කළ යුතුය.
ඉහත වෙබ් අඩවිය විසින් චම්පික රණවක ඇමතිවරයා ගේ පෞද්ගලික චරිත ඝාතනය කිරීම විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් හෙළා දැකිය යුතුය යි අපි යෝජනා කරමු. ආණ්ඩුව හා ආණ්ඩුවේ මාධ්‍ය වැටී තිබෙන පහත් තත්ත්වයට ප්‍රතික්‍රියා දැක්විය හැක්කේ, විපක්ෂය ද එම තත්ත්වයට වැටීමෙන් නොව ඊට වඩා ඉහළ පරමාදර්ශයන් වෙනුවෙන් පෙනී සිටීමෙනි. ශිෂ්ඨ සම්පන්න ශ්‍රී ලංකාවක් අපේක්ෂා කරන මහජනයා විපක්ෂයේ දේශපාලන පක්ෂවලින් බලාපොරොත්තු වන්නේ එයයි.
Back to Home...
View Pdf...
Wednesday, October 28, 2009
සංක්‍රමණික ශ්‍රමය වහල් ශ්‍රමයක් නොවීමට නම්...
රැකියාවන් සඳහා විදේශගත වන සෑම කෙනෙක්ම පාස්පෝට් සාදා ගන්නා හැටි දනිති. වීසා ලබා ගන්නා හැටිද දනිති. සමහරුන් පුද්ගලයන් හට රට රැකියා ලබා දීමෙහි විශේෂඥයෝය. එහෙත් රැකියා සඳහා සංක්‍රමණය වන්නන්ගේ අයිතිවාසිකම් උදෙසා ජාත්‍යන්තර සම්මුතියක් පවතින බව දන්නේ කීයෙන් කීදෙනාද?
Tuesday, October 27, 2009
ප්රජාතන්ත්රවාදය දිනා ගැනීමේ උත්සාහය රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් නෙවෙයි
ප්රජාතන්ත්රීය අයිතීන් ලබා ගැනීම සම්බන්ධයෙන් මේ මොහොතේ වඩාත්ම සංවේදී ජනතාව බවට දෙමළ ජනතාව පත් වී සිටිනවා. මේ මොහොතේ පුරවැසියා ඉදිරියට ප්‍රශ්නයක් දාලා තියෙනව ඔබ දේශ පේ‍්‍රමියෙක්ද දේශ ද්‍රෝහියෙක්ද කියල. අපි සිය කැමැත්තෙන් දේශද්‍රෝහීන් කියල කියන්න කැමති නැහැ. කවුරුහරි අපිව දේශද්‍රෝහීන් කියල නම් කරනව නම් ඒක කරන්න ඕන අපේ රූප දිහා බලලා නෙවෙයි. මේ ශ්‍රී ලාංකීය කලා නිර්මාණ ක්‍රියාවලියේ අපි කරපු නිර්මාණ පිළිබඳව තීන්දු කරලා. ඒක පුරවැසියාට තීන්දු කල හැකියි. යම් කෙනෙකුට නීතිඥයෙක් අරගෙන ගිහින් ‘මම දේශද්‍රෝහියෙක් නෙමෙයි’ කියල නිර්දෝශී වෙන්න පුළුවන් වුණත් මේ එහෙම තීන්දු කරන අවස්ථාවක් නෙවෙයි. නමුත් අපිට කිසියම් ආකාරයක වේදනාවක් ඇති වෙනවා අපි අපේ ජීවිතය කැප කළේ කුමක් සඳහාද කියලා. එහෙම දැනෙන තව කලාකාරයෝ කිහිපදෙනෙක් මේ සමාජයේ ඉන්න පුළුවන්. හැබැයි බහුතරය හිතනවා නම් අපි දේශපේ‍්‍රමීන් කියලා ඒ අය සැබෑ ලෙසම හිතට එකඟව කල්පනා කරල බලන්න ඕන ඔවුන් දේශද්‍රෝහීන් ලෙස නම් කරන කලාකරුවන් මේ සමාජයට කරලා තියෙන්නෙ මොනවද කියල.
Friday, October 23, 2009
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන
ලංකාවෙ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ නීති ගැන කතා කරන කොට ප්‍රධාන වශයෙන්ම කාරණා දෙකක් විශේෂයි.
1. මහජන ආරක්ෂක පනත හා හදිසි නීති රෙගුලාසි
2. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
1947 අංක 25 දරණ මහජන ආරක්ෂක පනත පාර්ලිමේන්තුවේ සම්මත කළේ ලංකාවට නිදහස ලැබෙන්න මාස හයකට කලින්. ඒ කාලෙ හිටපු සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මෙහි අනාගතය ගැන අනාවැකි කිව්වා. දකුණු කොළඹ මන්ත්‍රීවරයාව සිටි බර්නාඞ් සොයිසා මහතා කිව්වා සදාචාරයක් නැති ඇමතිවරුන් වගේම රාජ්‍ය නායකයින් මේ නීතිය පාවිච්චි කරල අහිංසක මිනිස්සු සිරභාරයට ගැනීම නවත්වන්න බැහැ කියලා. ඔහු එදා කියූ දේ කොතරම් හොඳට අද සිදුවෙනවද කියල පැහැදිලියි.
මහජන ආරක්ෂක පනත අනුවයි හදිසි නීති රෙගුලාසි පනවන්න පුළුවන්. හදිසි නීති රෙගුලාසි කියන්නෙ එම පනත යටතේ රාජ්‍ය ආරක්ෂක ඇමතිවරයා හදන රෙගුලාසි වලට.
අද පාර්ලිමේන්තුවේ හදිසි නීති රෙගුලාසි ගැන කතා කරන්නේ මාසයකට සැරයක් පමණයි. නමුත් ඉස්සර හදිසි නීති රෙගුලාසි අමුතුවෙන් සම්මත කරන්න අවශ්‍ය වුණේ නැහැ. ලංකාවේ හදිසි අවස්ථාවක් තියෙනවා කියල හදිසි නීති විවාදයේදී ජනාධිපතිවරයා ප්‍රකාශ කරල එම ප්‍රකාශය සම්මත කරගත් විට අනෙකුත් සියළුම නීතිත් ඉබේම ඒත් සමඟම සම්මත වෙනවා.
බොහෝ දෙනෙක් හිතනවා හදිසි නීතිය කියන්නෙ රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධ නීති කියල. ලංකාවෙ හදිසි නීති රෙගුලාසි පරීක්ෂා කරල බැලූවම පේනවා රාජ්‍ය ආරක්ෂාවට කිසිසේත්ම සම්බන්ධ නොවන බොහෝ නීති හදිසි නීතිය තියෙනතාක් දුරට රටේ නීති බවට පත් කරගෙන තියෙන බව. උදාහරණයකින් පැහැදිලි කළොත් හදිසි නීතිය යටතේ ලංකාවේ පළාත් සභා ඡන්ද කල් දැමීම හඳුන්වන්න පුළුවන්.
ඒවගේම හදිසි නීති රෙගුලාසි වෙනුවට පාර්ලිමේන්තුවේදී කතා කරන්නෙ ජනාධිපතිවරයා කරනු ලබන ප්රකාශනය ගැන. පාර්ලිමේන්තුවේ යම් කෙනෙක් හදිසි නීතියට විරුද්ධ වෙනව නම් ඒ විරුද්ධ වෙන්නෙ මේ ප්රකාශනයට. ඒත් අවශ්‍ය නම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පුළුවන් හදිසි නීති සංශෝධනය කරන්න. නමුත් මේ වෙනකම් මේ තියෙන රෙගුලාසි වෙනස් කරන්න කියල පාර්ලිමේන්තුව තුළ යෝජනාවක් ගෙනල්ල එවැනි උත්සාහයක් කරපු අවස්ථාවක්වත් අපි දැකල නැහැ.
හදිසි නීතිය නිසා රටට වෙන යහපත හෝ අයහපත ගැන පාර්ලිමේන්තු විවාදවල දකින්න නැහැ.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පසුබිම ගැන කිව්වොත් 1978 අංක 16 දරණ පනතේ එල්.ටී.ටී.ඊ සංවිධානය හෝ එවැනි අනෙකුත් සංවිධාන තහනම් කිරීම කියල වගන්තියක් ගෙනාව. එහි අරමුණ වුණේ රට දෙකඩ කිරීමට යාපනය ප්‍රදේශයේ කැරළි ගසන සංවිධාන තහනම් කිරීම. මෙම පනත ගෙනාවෙ අවුරුද්දකට වලංගු කරමින්. එය සම්මත කරපු ගමන්ම එවකට හිටපු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා බි්රගේඩියර් වීරතුංගව සියළු බලතල සහිතව යාපනයට යැව්වා. ඒ මෙම සංවිධාන සමූලඝාතනය කරල සාමය ගේන්න. නමුත් සාමය අවුරුද්දකින් ගේන්න බැරි වූ නිසා නැවත සංශෝධනයක් ගෙනැල්ලා මෙම පනත තවත් අවුරුද්දකට කල් දාගත්තා.
එය එසේ දීර්ඝ කර තිබියදීම 1979 ජුලි මාසයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත කළා. එය සම්මත වූ පසුබිම සඳහන් කිරීමත් වැදගත්. එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සිටියේ එකසිය හැට අටයි. එදා හිටපු ආණ්ඩු පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණා. මේ විවාදය වන කාලයේ ප්‍රධාන විපක්ෂය වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ (TULF) පාර්ලිමේන්තුව වර්ජනය කරල තිබුණේ. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රිපාල සේනානායක මේ අළුත් පනතට විරුද්ධව ප්‍රකාශයක් කළා. එහිදී ඔහු ඇහුවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ මහජන ආරක්ෂක පනත තිබියදී ඇයි තව එකක් ගේන්නෙ කියලා. 1971 දී ආණ්ඩුවට කොතරම් ප්‍රශ්න තිබුණත් වෙනත් පනත් ගෙනාවෙ නැහැ. ත්‍රස්තවාදී ව්‍යාපාරය සමූල ඝාතනය කළේ මහජන ආරක්ෂක පනත මඟින්. මෙම ප්රශ්නය යාපනයේ පමණක් තියෙන නිසා මෙම පනත යාපනය දිස්ත්‍රික්කයට පමණක් අදාළ කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංශෝධනයක් ගෙනාවා. නමුත් රජය එය පිළිගත්තේ නැහැ. මෙම පනත් කෙටුම්පත ගේන අවස්ථාවේ කැබිනට් මණ්ඩලය පිළිගත්තා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ගැටෙන බව. ඒ නිසා ‘අපි මෙය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කලාම ප්‍රශ්නයක් නැහැ’ කියල එදා ඔවුන් කිව්වා.
1979 දී මේ පනත ගේනකොට මෙම නීතිය ඉදිරි අවුරුදු තුනකට පමණක් වලංගුයි කියල එහි ප්රතිපාදනයක් තිබුණා. නමුත් 1982 දී ගෙනාපු සංශෝධනයක් මඟින් ඒ ප්රතිපාදනයත් ඉවත් කලා. එදා ඉඳන් අද දක්වාම මෙම නීතිය සාමාන්‍ය නීතියක් ලෙස ලංකාවෙ පවතිනවා.
රාජ්‍ය ආරක්ෂක පනත් යොදාගැනීම දී මතුවන එක් ප්‍රධාන ගැටළුවක් තමයි මේක මිනිස්සුන්ගේ නිදහසට කොහොමද බලපාන්නේ කියලා. මෙම රාජ්‍ය ආරක්ෂක නීති අයත් වෙන්නෙත් අපරාධ නීති අතරටමයි. මේ නීති සහ සාමාන්‍ය නීති අතර ප්‍රධාන වෙනස්කම් රාශියක් තියෙනවා. එකක් තමයි මේක යටතේ අත්අඩංගුවට ගත්තම ඇප ලබාගත නොහැකි වීම. එවිට අත්අඩංගුවට ගෙන අවුරුදු විස්සක් ගියත් නඩුව අහලා ඉවර වෙනකම් ඇප ලැබෙන්නෙ නැහැ.
දෙවෙනි කාරණය පොලිසියේදී දෙනු ලබන කටඋත්තරය. සෑම නඩුවකදීම පොලිසිය කටඋත්තර ගන්නවා. අපි හැමෝම දන්නවා පොලිසිය කටඋත්තර ගන්න ආකාරය. සමහර වෙලාවට කියන ඒවා ලියන්නෙ නැහැ. ලියන ඒව කියන්නෙ නැහැ. සමහර වෙලාවට හරියට ලියනවා වෙන්න පුළුවන්. නමුත් අපරාධ නීතියේ අවුරුදු සිය ගණනක් පරණ සිද්ධාන්තය තමයි පොලිසියේදී දෙන කට උත්තරය මත කෙනෙකු වැරදිකරුවෙකු කරන්න බැහැ කියන එක. එවැනි කට උත්තරයක් සාක්ෂියක් ලෙස යොදාගන්නේ නැහැ. එම කට උත්තර යොදා ගන්නේ තවත් අපරාධකරුවෙකු හොයා ගන්න. එහෙම නැත්නම් පරීක්ෂණ කටයුතු සඳහා පමණයි. අධිකරණ කටයුතු වලදී යොදාගන්න බැහැ. නමුත් අවාසනාවකට මේ නඩු වලදී පාපොච්චාරණය යොදා ගන්න පුළුවන්.
ඒ නිසා කවුරු හරි කෙනෙක් මේ නීතිය යටතේ අත්අඩංගුවට ගත්තම හරිද වැරදිද නොබලාම ඒ පුද්ගලයාගෙන් කට උත්තරයක් අරගෙන උසාවියට ඉදිරිපත් කරනවා. එහිදි විත්තිකරුගේ ප්‍රකාශයම සාක්ෂි ලෙස ඔහුට එරෙහිව යොදා ගැනීම සිදු වෙනවා. එය මිනිස්සුන්ගේ නිදහසට අභියෝගයක්. දඞූවම් නියම කරනකොට සාමාන්‍ය නීතිවල සඳහන් වෙන්නේ උපරිම දඞූවම. උදාහරණයක් කිව්වොත් මිනීමැරීමකට දෙන උපරිම ද`ඩුවම මරණ දඞූවම. ස්ත්‍රී දුෂණයට අවුරුදු විස්සක සිරදඞූවම. නඩුවේ කරුණු අනුව දඞූවම අවුරුදු විස්සක් දෙනවද අවුරුද්දක් දෙනවද කියන එක තීරණය කරන්න විනිශ්චයකරුට අභිමතය තියෙනවා. නමුත් මේ කියන නඩුවල එවැනි කතන්දර නැහැ. මාධ්‍යවේදී තිස්සනායගම්ගේ නඩුව ගත්තොත් අවම දඞූවම අවුරුදු පහයි. උපරිම දඞූවම අවුරුදු විස්සයි. විනිශ්චයකරුට ඒක අවුරුද්දක් කරන්න බැහැ. ඒක තමයි මේ නීතියේ ස්වභාවය. මේ නඩු වලදී මුළු නඩුවම රඳා පවතින්නේ නීතිපති දෙපාර්තුමේන්තුව මත. ඒ නිසා එතුළ දේශපාලඥයන්ගේ ඉල්ලීම් වලට කටයුතු නොකරන, නීතියට අනුව කටයුතු කරන අවංක නීතිඥවරු සිටීම අත්‍යවශ්‍යයි.
අපි හැමදෙනාම නොදන්න කරුණක් මේ පනත යටතේ පවතිනවා. ඒ හදිසි නීතිය හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මත දහස් ගණනක් අත්අඩංගුවට අරගෙන නඩු දාන්නෙ නැතුව අවුරුදු දෙක තුන හිරේ ඉඳලා ගෙදර යන බව. එවැනි අති විශාල සංඛ්‍යාවක් ලංකාවේ ඉඳලා තියෙනවා. අදත් ඉන්නවා. අත්අඩංගුවට අරන් කෙනෙකුගේ නිදහස සීමා කරන්න පුළුවන් අධිකරණ තීන්දුවක් මත පමණයි. නමුත් අද එය තීරණය කරන්නෙ ආරක්ෂක ලේකම්වරයා එනම් විධායකය විසින්. ජාත්‍යන්තරව පිළිගත් නීතිමය සිද්ධාන්තයට අනුව අත්අඩංගුවට ගත් කෙනෙකු රඳවාගත හැක්කේ සාමාන්‍ය නීතිය යටතේ පැය විසිහතරයි. නමුත් මෙම ත්‍රස්තවාදී පනත මෙන්ම හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත් අය ආරක්ෂක ලේකම්ගේ අත්සන මත මාස තුනෙන් තුනට රඳවා ගන්න පුළුවන්. ඔවුන් රඳවන්නේ රිමාන්ඞ් බන්ධනාගාරවල නෙමෙයි. නමුත් වාසනාවකට වගේ අද දවස් අනූවකට වඩා රඳවා ගන්නා පුද්ගලයෙක් රැඳවිය යුත්තේ රිමාන්ඞ් බන්ධනාගාරවල. තිස්සනායගම් දවස් සීයක් පමණ උසාවියට ඉදිරිපත් නොකර පොලිසියේ රඳවාගෙන හිටියා. නමුත් නීතියට අනුව දවස් අනූවක් පමණයි පොලිසියේ රඳවගෙන ඉන්න පුළුවන්. පළමු දවස් තිහෙන් පස්සෙ උසාවියට ඉදිරිපත් කරන්න ඕන. එසේ කළ යුත්තේ ඔහු ඉන්න බව පෙන්වන්න විතරයි. නමුත් නිදහස් කරන්න බැහැ. නිදහස් කරන්න පුළුවන් නීතිපතිවරයාට. නැත්නම් නඩුව අවසන් වූ පසු මහාධිකරණ විනිසුරුවරයෙකුට පමණයි.
තිස්සනායගම් නඩුව පිළිබඳව අද යම්කිසි කතිකාවතක් ඇති වී තියෙනවා. මේ නීතිය යටතේ සිරගත වූ සහ රඳවාගෙන ඉන්න අතිවිශාල සංඛ්‍යාවක් ඳ්‍රවිඩ ජනතාව. එක කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ අය. අපිට මේ පිළිබඳ හඩක් නැහැ. ඒ අපට මේ නීති අවශ්‍යද නැද්ද කියල ප්රතිපත්තීන් වශයෙන් අපි වැනෙන නිසා. මෙය අවශ්‍ය නම් ඒ මොන සංශෝධන වලට යටත්වද. අවශ්‍ය නැත්නම් ඒ ඇයි කියන තර්කය ගෙන ඒම අවශ්‍යයි. මගේ මතය නම් ලංකාවෙත් ලෝකයෙත් මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත බලයෙ ඉන්න දේශපාලන පක්ෂ තමන්ගේ දේශපාලන පලිගැනීම් සහ උවමනාවන් වෙනුවෙන් ගෙන ආ දෙයක්. මේ පනත නීති පොතෙන් මකලා දාන්න ඕන. මේ ප්‍රබල නීති ඉවත් කරන්න අපි පාරට බහින්න ඕන. ඒ සඳහා ප්‍රබල කැපවීමක් අවශ්‍යයි. අපි අද කතාකරන තිස්සනායගම් හිරේ ඉන්නේ මේ නීතිය තිබුණු නිසා. ඔහුගේ නඩු තීන්දුව බැලූවම පේනවා මෙම නීතිය මත සිදුකරන ලද පාපොච්චාරණයක් නොවෙන්න මේ පුද්ගලයා හිරේ යන්න කිසිම හැකියාවක් නැහැ කියලා. මේ ඉරණම අත් වූ පළමු තැනැත්තා හෝ අවසන් තැනැත්තා මොහු කියල මම විශ්වාස කරන්නෙ නැහැ.
Back to Home
View PDF
ලංකාවේ අතීත මාධ්‍ය වීරයන්ගේ වර්තමාන භූමිකාව සහ හිට්ලර් සමඟ එකතු වුණු මාෂල් පෙටෝන්
‘පෙනෙන - නොපෙනෙන, දැනෙන - නොදැනෙන මාධ්‍ය මර්දනයට එරෙහිව’ යනුවෙන් නම් කර තිබූ මෙම සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා කර්තෘ සංසදය, ශ්‍රී ලංකා වෘත්තීය පත්‍ර කලාවේදීන්ගේ සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය, ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍යවේදීන්ගේ සංසදය, ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සන්ධානය සහ ජනමාධ්‍යවේදීන්ගේ ජාතික සංසදය යන මාධ්‍ය සංවිධාන විසින් සංවිධානය කර තිබුණි.
මෙහිදී පුවත්පත් මණ්ඩලය වහා අහෝසි කරන්නැයි බල කර ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත යැවීමට සූදානම් කර තිබූ සංදේශයට ජනමාධ්‍ය ප්‍රධානීන් සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ම’ පාර්ශ්වයේ නායක මංගල සමරවීර, එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරීය, ප්රජාතන්ත්රවාදී ජානතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්, නව සිහළ උරුමය පක්ෂයේ නායක සරත් මනමේන්ද්‍ර යන මහත්වරුද, සිවිල් සංවිධාන කි්රයාකාරිකයින් හා කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අත්සන් තැබූ අතර මෙම පෙත්සම ඉදිරියේදී ජනතාව ලවා අත්සන් කිරීමට ද නියමිතය.
පහත පළවන්නේ මෙම සම්මන්ත්‍රණයේදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් පළකළ අදහස් වලින් උපුටා ගන්නා ලද කොටසකි.
මේ රටේ ජනතාවට තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න, කැමති එකක් ලියන්න, කැමති එකක් කියවන්න, කැමති එකක් කතා කරන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. පොත්පත් වලින් කියවන්න පුළුවන්. පුවත්පත් වලින් කියවන්න පුළුවන්. වෙබ් අඩවි වලින් කියවන්න පුළුවන්. එය තනියම කරන්න බැහැ. ඒ සඳහා තොරතුරු හුවමාරු කරගන්න හැකියාවක් තියෙන්න ඕන. මේ අයිතිය ලැබෙන්නෙ මාධ්‍ය මාර්ගයෙන්. තොරතුරු ලබා දෙන්නෙ මාධ්‍ය විසින්. හැම මාධ්‍යයටම හැම තොරතුරක්ම ලබා දෙන්න බැහැ. එක් එක් මාධ්‍ය තමන් දන්න තොරතුරු ලබා දෙනවා. ජනතාවට අයිතියක් තියෙනවා ඒ අදහස් ලබා ගන්න. ඒ නිසා මාධ්‍ය මර්දනය කරනවා කියන්නෙ ජනතාව මර්දනය කරනවා කියන එකයි.
අද මාධ්‍ය දිහා බැලූවම මට මතක් වෙනවා පිලිප් පෙටෝන් ගෙ කතාව. පළමුවෙනි ලෝක යුද්ධයෙදි ප්‍රංශ හමුදා නායකයා විදිහට ජර්මන් හමුදාව පරාජය කරන්න කටයුතු කළේ පිලිප් පෙටෝන්. ඒ ජයග්‍රහණය නිසා ජෙනරල් පිලිප් පෙටෝන්ට මාෂල් කියන තනතුර දුන්නා. ඔහුට කිව්වෙ ප්‍රංශයේ ආරක්ෂකයා කියලා.
දෙවන ලෝක යුද්දෙදි ජර්මනිය හමුවේ ප්‍රංශ හමුදා පසු බහිද්දි ප්‍රංශ පාර්ලිමේන්තුව ජර්මනියට විරුද්ධව මුහුණ දෙන්න ජාතික ආණ්ඩුවක් සෑදීමට තීරණය කළා. එහි අගමැති වශයෙන් මාෂල් පිලිප් පෙටෝන් ව පත් කළා. එයා සමඟ සටන මෙහෙයවපු නියෝජ්‍ය යුද්ධ ඇමති චාල්ස් ඩිගෝල්වත් පත් කළා. නමුත් මොකක්ද සිදුවුණේ? මාෂල් පෙටෝන් ප්‍රංශයේ නිදහස ආරක්ෂා කරන්නෙ නැතුව හිට්ලර් එක්ක එකතු වෙලා ප්‍රංශය පාවල දීල හිට්ලර්ට යටත් වුණා. පළමුවෙන් ප්‍රංශයෙන් බාගයක් හිට්ලර්ට දුන්නා. ඉන්පසු ඉතිරි බාගෙනුත් බාගයක් දුන්නා. අන්තිමේ මුළු ප්රංශයම පාවල දීල ‘හිට්ලර් තමයි අපේ නායකයා’ කියල කිව්වා. හොඳ වෙලාවට එයාගෙ ගෝලයා ව හිටපු චාල්ස් ඩිගෝල් එංගලන්තයට පැනල ගිහිල්ලා, ආපහු ඇවිත් ප්‍රංශය නිදහස් කරගෙන විමුක්තිය ලබල දුන්නා.
ඉතින් මාෂල් පෙටෝන් ගෙ කතාව තුළින් පේන්නෙ එදා ප්‍රංශයේ නිදහස ආරක්ෂා ව වෙනුවෙන් පෙරමුණේ හිටපු පුද්ගලයාම පස්සෙ කාලෙක ප්‍රංශ නිදහස පාවා දුන් බවයි. මට කණගාටුයි කියන්න. අද ලංකාවෙ මාධ්‍යවේදීන් අතරත් මාෂල් පෙටෝන් ලා ඉන්නවා.
Back to Home
View PDF
Thursday, October 22, 2009
Friday, October 2, 2009
දේශපාලනයට එන කාන්තාවන්ට ලිංගිකත්වය ඈදා ගෙන පහර ගැසීම හෙළා දැකිය යුතය
තාරා ශ්‍රී රාම්
කුමුදුනී සැමුවෙල්
අධ්යක්ෂිකාකාන්තාව හා මාධ්‍ය සාමුහිකය
ලංකා දේශපාලනය තුළ සංඛ්‍යාත්මකව කාන්තා නියෝජනය අඩුයි කියන එක මමත් විශ්වාස කරනවා. නමුත් ඒකට හේතුව පක්ෂවලින් ඉදිරිපත් කරන කාන්තාවො ජයග්‍රහණය කරන්නෙ නැහැ කියන ප්‍රකාශය සහමුලින්ම වැරදි තර්කයක්. අපි මෙතෙක් කරල තියෙන පර්යේෂණ සහ විශ්ලේෂණ වලට අනුව ප්‍රධාන ධාරාවේ පක්ෂ ගත්තම හැමදාම ඔවුන් කාන්තාවන්ට ලබා දී තිබෙන්නෙ සීයට පහකට අඩු අපේක්ෂකත්වයක්. දේශපාලනය කළ හැකි දේශපාලනයේ නියැලෙන ගැහැණු නැහැ කියන්නෙ සම්පූර්ණයෙන් ම පුහු තර්කයක්. ඉදිරිපත් කළොත් කාන්තාවො දිනනවා. අනර්කලීගේ සුදුසුකම් ගැන මම කතා කරන්නෙ නැහැ. කුමන සාධක මත හෝ ඇය ඡන්දෙට ඉදිරිපත් වුණා වෙන්න පුළුවන්. මගේ ප්රශ්නය අනර්කලී වගේ කෙනෙක් දේශපාලන කරලියට ඇවිත් ඡන්දයට ඉදිරිපත් වෙනකොට ඇයි ඇයට මරණ තර්ජන කරන්නේ. ලිංගිකත්වය ඉස්මතු කරගෙන ඉතාම අසික්කිත ලෙස ඇගේ චරිතය ඝාතනය කරන්නෙ. අපි මේ ක්‍රියා සම්පූර්ණයෙන්ම හෙලා දකිනවා. දේශපාලනික වශයෙන් කාන්තාවන් මානසිකව හා ශාරීරිකව අඩපණ කිරීමේ උපක්‍රමයක් ලෙස අනර්කලීට විතරක් නෙවෙයි ලෝකෙ පළමු අගමැතිණිය වුණ සිරිමාවෝගේ පටන් ලිංගිකත්වය ඈදාගෙන පහර ගැසීම සිදු වුණා.අනර්කලී වෘත්තීය නිළියක්. ඈ අඳින්නෙ පළඳින්නෙ ඇගේ වෘත්තිය අනුව. ඒ මත පිහිටා දේශපාලනය තුළ ඇයව ගැරහීම අපි ප්‍රශ්න කළ යුතුයි. විජය සහ රන්ජන් කියන්නෙත් නළුවො. ඔවුන්ට මේ විදිහට අපහාස කළාද? මේවා ගෑණුන්ට කරන නින්දා. මට හිතාගන්න බැහැ ඇයි ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ දෙක ගමේ මහිලා සමිතියේ, සමෘද්ධි සමිතියේ, මරණාධාර සමිතියේ ක්‍රියාකාරීව කටයුතු කරන දක්ෂ දේශපාලන ඉතිහාසයක් තියෙන කාන්තාවන් සිටිත්දී දේශපාලනයේ නියැළී නැති කාන්තාවො පිටින් ගෙනත් ඉදිරිපත් කරන්න කියල. මේක කාන්තාවන්ට විතරක් නෙවෙයි අදාළ. ප්‍රවණතාවක් විදිහට කතා කළොත් පක්ෂ තුළ ගතානුගතිකව කාලයක් වැඩ කළ ගැහැණුන්ට සහ පිරිමින් සිටියදී සම්පූර්ණයෙන් ම වෙනත් කටයුතුවල නියැළී සිටි අය ඡුන්ද ලැයිස්තුවට දානවා අපි දකිනවා. මම අහනවා මේ පක්ෂවලින් එවැනි ගැහැණු පිරිමි තෝරා ගත හැකි අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදයක් ඔබලාගේ පක්ෂවල නැද්ද කියලා. පිරිසිදු යහ පාලනයක් ගැන කතා කරනවා එය සිදුවිය යුතුමයි. මම කියන්නෙ නැහැ ඉදිරිපත් වෙන හැම කෙනෙකුටම සුදුසුකම් තියෙනව කියල. නමුත් සුදුසුකම් ඇති අය හොයා ගන්න පක්ෂවලට හැකිවිය යුතුයි. ඒ වගේම අධිෂ්ඨානයක් තිබිය යුතුයි. එහෙම නොකරන තාක් ඔවුන්ට සිදුවෙනවා පිටින් ගෙනාපු ගැහැණු පිරිමි ඡුන්ද ලැයිස්තුවලට ඇතුළත් කරන්න.
Back to Home
View pdf
අනර්කලීගේ ආගමනය සමාජ ක්රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්
අනර්කලීගේ ආගමනය සමාජ ක්රමයේ අසාර්ථකත්වය පෙන්නුම් කිරීමක්
හසිනි හපුතන්ත්‍රි යොවුන් ලේඛිකා
ලාංකික ස්ත්‍රී දේශපාලනය තුළ ලංකාවෙ තීන්දු තීරණ ගන්නා ස්ථානයක ස්ත්‍රියගේ රික්තය පුරවන්න අනර්කලීට ඇති හැකියාව මට තාම පැහැදිලි නැහැ. ඇය වෙනත් ස්වරූපයකින් අපේ කම, ගමේ කම, සුචරිතවාදය මුල්කර ගත් සාම්ප්‍රදායික ස්ත්‍රී ආදර්ශයට අභියෝග කළ බව ඇත්ත. ඇඳුමෙන්, පැලඳුමෙන් හා ජීවන රටාවෙන් පමණක් නෙවෙයි ශ්‍රී ලංකාවේ ප්රගතිශීලියි කියා අපි අඳුනන කාන්තාවන්ට පවා කළ නොහැකි විදිහට තම පෞද්ගලික ජීවිතය ගැන විවෘතවීමට ශක්තියත්, එය මතභේදයට තුඩුදුන් චරිතයක් සේ හැගෙන පරිදි යොදා ගැනීමේ හැකියාවත් ඇයට තිබුණා. නමුත් එය ප්රගතිශීලියි වගේ පේන්නෙ ඇගේ ස්ත්‍රී භාවය අල්ලගෙන එයට මඩ ගහන්න තරම් සමාජය පසුගාමී හා කුහක වීම නිසා මිසක් ඈ තුළ ප්රගතිශීලී අදහස් තිබෙන නිසා කියා මට පිළිගන්න බැහැ. අනික් අතින් අපේ කාලයේ සෙක්ස් සිම්බල් එකක් වන ඇය ඊට හාත්පසින් ම ප්‍රතිවිරුද්ධ මත නියෝජනය කරන ප්රවාහයක අපේක්ෂිකාවක් වීම ඉතාම පරස්පරයි. ඉහළින් අනුමත වෙනතාක් ඕන කෙනෙකුට ඕන දෙයක් වෙනුවෙන් එක එක කාලවලදී පෙනී සිටින්නට පුලූවන්. ස්ත්‍රී පුරුෂ භාවය ඊට අදාළ නැහැ. ඇය හසුරුවන අයගේ හා ක්රමයේ උවමනාවන් මත ටික දවසකින් අනර්කලී සාරියක් ඇඳගෙන ශ්‍රී ලාංකික කුල කාන්තාවක් බවට පත් වෙන්නත් පුළුවන්. ඕනෑම ස්ත්‍රියක් අඳුනන කෙනෙක් අඩ ගහපු නිසා දේශපාලනය කිරීම ස්ත්‍රී දේශපාලනය නෙවෙයි. ඇය ජනතා නියෝජිතවරියක් විය යුතුයි. පවත්නා ක්රමයේ රූකඩ ගැහැනියක් නොවී ඉන්න අවශ්‍ය දේශපාලන ඥනය, බුද්ධිය, ශූර භාවය ඇයට ලැබුණොත් හොඳයි. නමුත් තවම ඒ ලක්ෂණ අනර්කලීගෙන් මම දැකල නැහැ. ඒ නිසා අනර්කලීගේ දේශපාලන ආගමනය ස්ත්‍රී අරගලයේ ජයග්‍රහණයක් නෙවෙයි. ඒක ඇගේ ආසාර්ථකත්වයට වඩා මේ සමාජය අපි පවත්වාගෙන යන ක්රමයේ අසාර්ථකත්වයයි.
Back to Home
View pdf
දේශපාලනයේ කාන්තා සහභාගීත්වය වර්ධනය කිරීම සහ අනර්කලී සාධකය
අවම මට්ටමක පවතින ශ්‍රී ලාංකික දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම අවශ්‍යයි යන්න කාන්තා අයිතිවාසිකම් හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් කටයුතු කරන අයගෙන් ඉදිරිපත් වන ඉල්ලීමකි. නමුත් මේ පිළිබඳ ව මෙතෙක් වඩාත් සාධනීය සංවාදයක් ඇති වුයේ නැත. මෙවර දකුණු පළාත් සභා ඡන්දයේදී නිළියන් දෙදෙනෙක් අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කිරීමත් සමඟ එය වඩා සංවාදයට බඳුන් විය. එනිසා මෙවර සමබිම තුළින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අපි තීරණය කළෙමු.
කුටුම්භය තුළ අනර්කලීගේ සාම්ප්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ
නිමල්කා ප්‍රනාන්දු
සාමය සහ ප්රජාතන්ත්රවාදය සඳහා කාන්තා සන්ධානයේ කැඳවුම්කාරිය
ඉන්දියාවේ සමහර ජන සමාජවල කාන්තාවක් පිරිමියෙක් අතින් දුෂණයට ලක්වුණාම ඇයට මාවත් දෙකක් තිබෙනවා. එකක් නීතිය හමුවට ගොස් ඒ මාර්ගයෙන් කටයුතු කර දුෂකයාට දඬුවම් දීම. කාන්තාවක් දුෂණය වීම නීති විරෝධී දෙයක්. ඒ අනුව, ඇය තෝරා ගන්නා පළමු මාවතේදී දුෂණයට විරුද්ධව නීතිය ඉදිරියට ගොස් සටන් වැද යුක්තිය ඉටු කරවා ගැනීමට හැකිය. එය අභියෝගයකි. එමඟින් මෙවැනි නීති විරෝධී ක්‍රියා පුද්ගලයා හෝ සමාජය අනුමත නොකරන්නේය යන පණිවිඩය ලබාදෙයි.
දෙවැනි මාවත තමාට සිදු වූ අපරාධයට විරුද්ධව නීතිය හමුවට ගොස් යුක්තිය ඉටු කර ගැනීම පසෙකලා දුෂකයා සමඟ විවාහ වී අපරාධය යටපත් කර අපරාධකරු සමඟ සම්මුතියකට පැමිණීමයි. එමඟින් ඈ තමාට සිදු වු හානිය හානි පූරණය කරගෙන පුරුෂාධිපත්‍යයට යටත් වන්නීය.
කාන්තාවන් දේශපාලනයට පිවිසීම හා අනර්කලී කියන සාධකය ගත්තම ඇය මේ රඟ දක්වන භූමිකාව වටහා ගැනීමට ඉහත සිදුවීම අපට මඟ පෙන්වයි.
සමාජයේ කාන්තා දේශපාලන නියෝජනය වැඩිවිය යුතුයි යන හඬ නැඟී එන්නේ, පවතින සමාජය වඩා යහපත් ලෙස වෙනස් විය යුතුයි යන අරගලය හරහා. එසේම වරප්‍රසාද අහිමි වූ අයටත් සමාජයේ ඉදිරියට පැමිණීමට ඉඩ ප්‍රස්තාවන් ලැබිය යුතුයි යන සමානාත්මතා සංකල්පය හරහායි. එහිදී කාන්තාවන්ට එකී දේශපාලන නියෝජනය ලබා ගැනීම සහ සමානාත්මතාව ලබා ගැනීම යන කාරණාවේදී ඇය දේශපාලනික ලෙස බලමුළු ගැන්වීම සහ වෙනත් පීඩිත ජන කොටස්වල අරගලයන් සමඟ කාන්තා අරගලය ඒකාබද්ධ වීම සිදුවිය. ඒ අනුව මුල් යුගයේ අපි ඇයගේ අයිතීන් හඳුන ගෙන ඇයව සංවිධානය කර බල ගන්වලා ඈ සතු අයිතිය ලබා ගන්න අරගල කළා.
නමුත් පන්ති අරගලය යන කාරණය යටපත් වීමත් සමඟ පවතින සමාජය විපර්යාසයට ලක්කළ යුතුයි යන සංවාදය බොඳවී ගිහින් එය එසේම පවතිද්දි නීතිමය හා ව්‍යවස්ථානුකූල වෙනස්කම් ඇති කිරීම මඟින් කාන්තාවගේ තත්ත්වය වැඩි දියුණු කිරීමට හා ඇගේ භූමිකාව ප්‍රවර්ධනය කිරීමට මැදිහත්විය යුතුයි යන අදහස පෙරට ආවා. නමුත් එහිදී ඈ එතෙක් කළ අරගලය, විමුක්තිය කියන අංග නිලීන වී නීති රාමුව තුළ අයිතිවාසිකම් දිනාගැනීම නැමැති කරුණ ප්රමුඛ වුණා. ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලය තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්ද දිනා ගැනීමට කටයුතු කළ යුතුය, ප්රජාතන්ත්රවාදී කාන්තා දේශපාලන නායකත්වය ප්‍රවර්ධනය කළ යුතුය යන්න යටපත් වී සංඛ්‍යාත්මකව කාන්තාවන් කී දෙනෙක් නියෝජනය වෙනවාද යන සූත්‍රයට වැඩි වටිනාකමක් ලැබුණා. මේ නිසා කාන්තා දේශපාලඥවරියන් වෙනුවට තාක්ෂණවේදිනියන් නැත්නම් ටෙක්නොක්රැක්ට්ලා බිහිවුණා.
ඒඅනුවයි කාන්තාව දේශපාලනයට වැඩිපුර කැන්ඳගෙන එන්න පටන් ගත්තෙ. සංඛ්‍යාත්මක නියෝජනය කියන කාරණය ඉස්මතු වෙනකොට පාලකයො අපිට කියන්න පටන් ගත්තා ‘උඹලට ඕන ගෑනු නියෝජනය වැඩි කරන්නනේ. මෙන්න එහෙනම් ගෑනු. දැන් ඡන්දය දීපල්ලා’ කියල. කාන්තා දේශපාලන නියෝජනය වැඩි කළ යුත්තේ ප්රජාතන්ත්රවාදී අරගලයක් තුළින්. තාක්ෂණවේදිනියන් බිහි කිරීමෙන් නෙවෙයි. ඒ නිසා අපි කියා සිටිනවා අපේ කාන්තාවො ඔය ඇම ගිලින්න ලැහැස්ති නොවිය යුතුයි කියලා.
අද මේ සූත්‍ර ක්‍රමයට වහල් වී බොහෝ දෙනෙක් කාන්තාවන් වැඩි පිරිසක් දේශපාලනයට පිවිසිය යුතුයි කියන මතය අනර්කලී කියන සාධකය හරහා සාධාරණීකරණය කරනවා. එසේම පුරුෂාධිපත්‍යය කියන සාධකයට දේශපාලනික ලෙස අභියෝග කළ හැක්කේ ඊට පරස්පර විරෝධීව කටයුතු කරන කාන්තාවන් එතුළට ගෙන ඒමෙන් යන කාරණය තෙක් සමාජය තල්ලූ වී ගොස් තිබෙනවා. නමුත් මෙයින් සිදු වෙන්නෙ කාන්තාවන් දේශපාලනයට පැමිණීම හා ක්‍රියාකාරී වීම ඉලක්කම් වලින් ගණනය කිරීම පමණයි. ඒ ඔස්සේ කෝටා එක කොපමණක් ද හා නියෝජනය කොපමණක්ද කියන ප්‍රමාණාත්මක කාරණා පස්සෙ දිවීමට පටන් ගත්තා මිස ගුණාත්මක කාරණා වන ප්රජාතන්ත්රවාදී කාන්තා දේශපාලනය ඉස්මතු වුණේහෝ වර්ධනය වුණේ නැහැ. එම පදනමෙන් ගත්තම කාන්තා නියෝජනය වැඩි වූවාට පවතින දේශපාලන සංස්කෘතිය උඩු යටිකුරු කිරීමට ඔවුන් සමත් වෙන්නෙ නැහැ.
ලංකාව වගේ වැඩවසම් පාලනයක් ක්‍රියාත්මක වෙන රටක කාන්තා දේශපාලනයට අනර්කලී වැනි චරිතයක් පැමිණීම ජනතාවට රස විඳින්නට ටොෆියක් ලබා දීමට සමානයි.
දේශපාලනය තුළට ලිංගිකත්වය යොදා ගැනීම ගැන අපිට බරපතල විවේචනයන් තියෙනවා. තමන්ට ප්රචණ්ඩත්වය එල්ල කළ පුද්ගලයින් සමඟම එකම දේශපාලන ව්‍යාපාරයක් තුළට එකතු වී කටයුතු කිරීම ඇතුළෙ බරපතල ව්‍යාජයක් තිබෙනවා. තමන්ට සිදු වුණු අපරාධයට යුක්තිය ඉටු කරවා ගන්නට හෝ හානි පූරණය කර ගන්නට ‘මටත් චාන්ස් එකක් දෙන්න’ කියා කේවල් කිරීමෙන් නීතිය පළ රහිත වෙනව. ඒ ස්ත්‍රී දේශපාලනයෙන් පළක් නැහැ. සමාජයේ හැම ස්ථරයකම මේ දේ සිදුවෙනව නම් දේශපාලනය කියන කාරණයේදීත් අපට වෙනවා ඒ ක්රමයම අනුගමනය කර ඉඩ පුරවා ගන්න.
අනර්කලී කියන ප්‍රතිරූපය පසුගාමී වැඩවසම් චින්තනයේ නිරූපණයක්. කුටුම්බය තුළ ඇගේ සාම්ප්‍රදායික භූමිකාව වෙනස් වෙලා නැහැ. ඇය කුටුම්බයේ නිරූපිත ප්රචණ්ඩත්වය අභියෝගයට ලක් කිරීම කියන මාවතේ නොගොස් අර ඇතැම් ඉන්දියානු කාන්තාවන් මෙන් හානි පූරණය කර ගැනීමට කේවල් කළ කාන්තාවක්. ඇය තමා කෙරේ මුදාහැරපු කුටුම්බ ප්‍රචණ්ඩත්වයට අභියෝග කරනවා නම් ඇගේ දේශපාලන ආගමනය සිදුවිය යුත්තේ එක්සත් ජාතික පක්ෂයෙන්. අද ඇය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ හැමදාම පුරුෂාධිපත්‍ය කුටුම්භය දේශපාලනගත කළ පක්ෂයක්.
ඒ නිසා අනර්කලීගේ දැක්ම වැරදියි. ඒක බය නැතුව කියන්න අපිට හයිය තියෙන්න ඕන. ඇයගේ දේශපාලන ආගමනයෙන් වෙන්නෙ මෙතෙක් අපේ කාන්තාවන් දිනාගත් අයිතීන් සුන්නද්ධුලි වී යාම. ඇයට ඡන්දය දෙන්න කියා සිටීමම පුරුෂාධිපත්‍යයට යටවීමක්. ඇයට දේශපාලන අපරාධයක් සිදුවෙලා තියෙනවා. ඇය දේශපාලනය නිසා අතරමං වූ, ඒ දේශපාලනයේම ගොදුරක් වූ කාන්තාවක්. එහෙනම් ඈ ගත යුතු වන්නේ විකල්ප මාවතක්.
ඇඳුමෙන් පැළඳුමෙන් ගැහැණියක් මොඩර්න් වෙන්නෙ නැහැ. ඊට වඩා ඔසරියක් ඇඳි ගැහැණියක් බොහෝ සෙයින් නවීන සිතුවිලි වලින් යුතු කෙනෙක් විය හැකියි. මේක ඇඳුමෙ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ දැක්මෙන් ලඝු නොකළ යුතු දෙයක්. අපිට වැදගත් වෙන්නෙ කාන්තාවන් දේශපාලනයට පැමිණීම තුළින් අවදි වන ඔවුන්ගේ සමාජ හැසිරීම සහ ඔවුන් ප්‍රවර්ධනය කරන අයිතීන් යන කාරණායි.
එම නිසා අනර්කලීගෙ භූමිකාව විවේචනය කරන්න මම කිසිසේත් බය වෙන්නෙ නැහැ. මේක ගැරහීමක් නෙවෙයි. විවේචනයක්. විවේචනය දේශපාලනයට අත්‍යවශ්‍ය දෙයක්. ඇය චරිතයක් විදිහට දේශපාලන වාසි තකා ඉදිරිපත් වීමට අපි විරුද්ධයි. මේ අවස්ථාවේ රටේ පවතින පාලනය අපරාධකරුවන් පෝෂණය කරන ඒකාධිකාරී පාලනයක්. ඒ තුළ අනර්කලී කළේ එකී පාලනය තුළට පැමිණ කේවල් කරමින් එය අනුමත කිරීමක්. එය කාන්තා දේශපාලනය නෙවෙයි.
Monday, September 28, 2009
මාස්ටර්ලට එක විදිහක් සාමාන්‍ය ජනතාවට තව විදිහක් ඇයි?
මේ කතාව ඇසුණේ ඉකුත් බදාදා කොළඹදී සිවිල් අධීක්ෂණ කොමිසම විසින් සියළු අතුරුදහන් වූ සහ නීති විරෝධී ලෙස රඳවා තබා ගෙන සිටින පුද්ගලයන් පිළිබඳව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් හා හිතවතුන්ගෙන් තොරතුරු රැස්කළ අවස්ථාවට පැමිණ සිටි වයස්ගත දෙමළ ජාතික මවකගේ මුවිනි. වවුනියාව, අනුරාධපුර, යාපනය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කෑගල්ල, කොළඹ, මූතූර්, කන්කසන්තුරේ හා පේදුරුතුඩුව වැනි ඉතා දුර බැහර සිට දෙදහසකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට පැමිණ සිටි අතර ඔවුන්ගේ තොරතුරු රැස්කිරීමෙන් අනතුරුව ප්රවෘත්ති සාකච්ඡුාවක් ද කැඳවා තිබුණි. ඉකුත් වසර කිහිපය තුළ මෙරට සිදු වූ අතුරුදහන් වීම්, ඝාතනය වීම්, නීති විරෝධී රඳවා තබා ගැනීම් ඇතුළු මානව හිමිකම් කඩ කිරීම් පිළිබඳ ජත්‍යන්තර මානව හිමිකම් සංවිධාන, එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් ආරක්ෂකයින් ඇතුළු සමස්ත ජාත්‍යන්තර ප්‍රජාව දැනුවත් කිරීම සඳහා සකස් කළ ලියවිල්ල ද මෙහිදී ප්‍රකාශයට පත් කරන ලදි. සිවිල් අධීක්ෂණ කොමිසමේ කැඳවුම්කරු මනෝ ගනේෂන්,විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, මංගල සමරවීර, ජයලත් ජයවර්ධන යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද, සිරිතුංග ජයසූරිය, එන්. කුමරගුරුබරන් හා නිදහසේ වේදිකාවේ කැඳවුම්කරු බි්රටෝ ප්‍රනාන්දු යන පිරිස ද මෙම මාධ්‍ය සාකච්ඡාවේදී අදහස් දැක්වූහ. එහිදී ඔවුන් පළ කළ අදහස් වලින් කොටස් කිහිපයක් මෙවර සමබිමෙ හි පළ කිරීමට අපි අදහස් කළෙමු.
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ
අද මනෝ ගනේෂන්, සිරිතුංග මේ අතුරුදහන්වීම් සහ මානව හිමිකම් කඩ කිරීම් ගැන කියන්න ලෝකෙ වටේ යන්න ලෑස්තියි. ඔවුන් ඒව ලෝකෙට රැගෙන යාම ගැන මම කිසිවක් කියන්නෙ නැහැ. මොකද, මෙවැනි කාරණා ලෝකෙට කියන්න මුලින් ම පුරුදු කළෙත්, ඒව අරගෙන ලෝකෙ වටේ යන සම්ප්රදාය ඇති කළෙත් මහින්ද රාජපක්ෂ. එදා ඔහු කිව්වෙ මානව හිමිකම් වෙනුවෙන් ජිනීවා වලට විතරක් නෙවෙයි නරකාදියටත් යන්න තමන් ලෑස්තියි කියල. අද රටේ ප්රජාතන්ත්රවාදය වේගයෙන් පිරිහීගෙන යනවා. නීතියට පිටින් කිසිවෙකුට කටයුතු කරන්න බැහැ. ඒ වෙනුවෙන් ජනතාව අවදි විය යුතුයි.
සිවිල් අධීක්ෂණ කොමිසමේ කැඳවුම්කරු හා බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන්
අද එල්.ටී.ටී.ඊ එකේ කරුණාඅම්මාන් පාර්ලිමේන්තුවේ ඇමති වරප්‍රසාද භුක්ති විඳිමින් ඉන්නවා. ඔහු ප්රජාතන්ත්රවාදී පාලන ක්‍රමයකට අවතීර්ණ වීම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. ජෝර්ජ් මාස්ටර්ට, දයා මාස්ටර්ට අධිකරණයෙන් ඇප දුන්නම ඉන්ටකූලර්වලින් ඇවිත් ඔවුන් එක්කරගෙන යනවා. ඒ මාස්ටර්ලට එහෙම සලකන්න පුලූවන්නම් චෝදනා ඔප්පු වී නැති මේ අහිංසක දෙමළ ජනතාවට සාධාරණයක් කරන්න බැරි ඇයි? ඒ නිසා මොවුන්ට සිදු කරන දේශපාලන පළි ගැනීම් වහා වැළැක්විය යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශ්වයේ නායක මංගල සමරවීර
මීට සති දෙකකට පෙර වවුනියාවෙ දිස්ත්‍රික් ලේකම්වරිය කිව්වා අවතැන් කඳවුරුවල රඳවාගෙන සිටින අයගෙන් දහ දාහක් අතුරුදහන් කියලා. ඒත් රජය කිව්වෙ මේ දහ දාහ අතුරුදහන් වෙලා නෙවෙයි පැනල ගිහින් කියල. කෙනෙකුට පැනල යන්න අවශ්‍ය වෙන්නෙ බලෙන් රඳවාගෙන ඉන්නවා නම් විතරයි. ඒ නිසා රජය තමන් කළ මේ ප්‍රකාශය තුළින්ම පිළි අරගෙන තියෙනවා අවතැන් ජනතාව ඔවුන් විසින් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව.
එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය
යුද්ධෙ දිනුවට පස්සෙ ගෝල්ෆේස් පිට්ටනියෙ මහ රැළියක් තියලා ජනාධිපති මහින්ද රාජපක්ෂ කිව්වා මේ රටේ සියළු ජනතාවගේ තාත්තා එයා කියල. එහෙම කිව්ව තාත්තගෙ දරුවො තමයි අද මේ අතුරුදහන් වෙලා නැත්නම් හිරගෙවල්වල, වධකාගාරවල රඳවාගෙන ඉන්නෙ. ඒ නිසා ජනාධිපති තාත්තට අපි කියනවා මෙතනට ඇවිත් මේ අසරණ ජනතාවගේ කඳුළු වලට උත්තර දෙන්න තාත්තේ කියලා.
Back to samabima
Back to platform
Thursday, September 17, 2009
ගෙදර ගියොත් අඹු නසී - මඟ සිටියොත් තෝ නසී
තවමත් විසඳා නැති බරපතල ගණයේ ගැටළු කිහිපයක් මෙම කඳවුරුවල පවතී. මූලිකම කාරණය නම් මේවාහි ජීවත් වන ජනතාව නිසි ක්‍රමවේදයකට ගණනය කර ලියාපදිංචි කිරීමට රජය තවමත් අපොහොසත් වීමය. රජය පවසන සහන සැලසීම, යළි පදිංචි කිරීම ඇතුළු සියළු වගකීම්වල සහ පොරොන්දුවල හරය එයින්ම බිඳී යයි. එසේම කාන්තාර මෙන් වූ භූමියක රෙදිවලින්, ටකරන්වලින් හා පොල් අතු වලින් එකකට එකක් අලවා ඉදිකර ඇති කූඩාරම් තුළ එකක මිනිසුන් දහ දෙනෙකු ජීවත් වෙති. ඒ එක කූඩාරමක ජීවත් විය යුත්තේ කවුද කියා තීරණය කරන්නට ඔවුන්ට අයිතියක් නැත. එකිනෙකා නාඳුනන ගැහැණු, පිරිමි හා දරුවන් දහ දෙනෙකු එක කූඩාරමක ජීවත්වීමෙන් කාන්තාවන්ට හා දරුවන්ට ලිංගික අතවර, අඩත්තේට්ටම් සිදුවිය හැකි බව වටහා ගැනීමට බලධාරීන්ට නොහැකි වුණේද?
Tuesday, September 8, 2009
අසභ්‍ය ප්‍රකාශන සහ අපරාධ අතර සම්බන්ධයක් නැහැ
ධර්මසිරි බණ්ඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල, එස්.ජී. පුංචිහේවා, චන්ද්‍රගුප්ත තේනුවර, සිරිමල් විජේසිංහ, සෞම්‍ය ලියනගේ, රාජිත දිසානායක ඇතුළු කලාකරුවන් රාශියකගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරගෙන යාම සඳහා ක්‍රියාකාරී කමිටුවක් ද පත් කර ගන්නා ලදි.පහත පළවන්නේ එම සාකච්ඡාවේදී වැලිඅමුණ මහතා ඉදිරිපත් කළ අදහස් වලින් කොටසකි.
ලෝකය පුරාම භාෂණයේ නිදහස නැත්නම් කථා කිරීමට තියෙන නිදහස පිළිබඳ නෛතික සංකල්පයක් මුලින්ම ගෙනාවෙ ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්. ඒ මඟින් නීතියක් ලෙස සංශෝධනයක් ගෙනාවා කොන්ග්රස් මණ්ඩලයට භාෂණයේ නිදහස සීමා කරන ආකාරයේ නීති පැනවිය නොහැකිය කියලා.
මේ සංශෝධනය තමයි ලෝකෙ භාෂණයේ නිදහස ආරක්ෂා කරන නීතිමය රටාවක් දැකිය හැකි පළමුවැනි වතාව. ඒ සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් මොකක්ද භාෂණයේ නිදහස කියන්නෙ කියල යම්කිසි කතිකාවතක් ඇතිවුණා. එහිදී මතු වුණා අදහසක්, සාමාන්‍යයෙන් භාෂණයේ නිදහස ගැන කථා කරන කොට දේශපාලනමය භාෂණයේ නිදහස ගැන විතරද සිතිය යුත්තේ කියල. ඉන් පසුව දේශපාලනමය භාෂණයේ නිදහසට අමතරව අනිකුත් අදහස් ප්‍රකාශ කිරීම්ද මේ අයිතිවාසිකම තුළට යටත් කියලා පිළිගන්න ටික කාලයක් ගියා. එ්කට පාදක වුණේ ඇත්ත වශයෙන්ම භාෂණයේ නිදහස පිළිබඳ ඓතිහාසික අධ්‍යයන. ඒ ඓතිහාසික අධ්‍යයන පසුකාලීනව නීතියේ පදනම් බවට පත්වුණා. දැන් භාෂණයේ නිදහස යන්නෙන් අඩු තරමින් අංග තුනක් ගැන කියවෙන බව පිළිගන්නවා. නමුත් මේවා කාලයෙන් කාලයට දියුණුවෙලා ආපු අදහස්.
අසභ්‍ය ප්‍රකාශන වලට එරෙහිව නැගෙන සමාජමය කතිකාවත තුළ සාකච්ඡා වෙනවා අසභ්‍ය ප්‍රකාශන සහ කලා කෘති සමාජයට අහිතකරද, එහෙම නැත්නම් සැහැසිකම් වලට හෝ අපරාධ වලට පිටුවහලක් සපයනවද කියල. මේ පිළිබඳව ලියැවී තියෙන නොයෙකුත් විද්‍යාත්මක පර්යේෂණ වලින් එක දෙයක් පැහැදිලි වී තියෙනවා. අසභ්‍ය ප්‍රකාශන හා කාම දර්ශන හේතුවෙන් කාම අපරාධ හෝ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වෙන බවට කිසිම සාක්ෂියක් කිසිදු විද්‍යාත්මක සමීක්ෂණයකින් හෝ පරීක්ෂණයකින් මෙතෙක් හොයාගෙන නැහැ. අසභ්‍ය ප්‍රකාශන හා අපරාධ අතර සම්බන්ධය හොයන්න 1967 දී ඇමෙරිකාවෙ ජනාධිපති ජොන්සන් කොමිසමක් පත්කළා. ඒ කොමිසම මේ පිළිබඳව දත්ත විශාල සංඛ්‍යාවක් රැස් කළා. එම පර්යේෂණ වලින් පෙනී ගියේ මේ කාරණා දෙක අතර කිසිදු සම්බන්ධයක් නැති බවයි. ඒ වගේම ඔවුන් එම පරීක්ෂණය අවසානයේ සොයාගත්තා සමාජයේ ඇති වී තියෙන ප්රශ්නය කාමුක චිත්ත රූප නිසා හටගත් එකක් නෙවෙයි, ඍජුව ලිංගික කටයුතු වලට මැදිහත් වීමට දක්වන මැලිකම නිසා හටගත් එකක් බව. ඒක මේ කොමිසමේ එක නිගමනයක්ද වුණා. ඉතිහාසය තුළ අසභ්‍ය ප්‍රකාශන හා වාරණය සම්බන්ධයෙන් සමාජය නොයෙක් විට විවිධාකාරයෙන් ප්‍රතිචාර දක්වා තියෙනවා. මම හිතන්නෙ පාලකයින් අතාර්කික සහ අවිද්‍යාත්මක පදනම් මත ඉදගෙන නීතිය සහ බලය හැසිරවීමේ ප්‍රතිඵල විදිහටයි මෙවැනි වාරණයන් ඇතිවන්නේ. ඒ වගේම කිව යුතුයි, මෙවැනි වාරණයන් පැනවීම සුදුසුකම් නැති මහජන නියෝජිතයින්ගේ ප්‍රශ්නයක් විතරක්ම නෙවෙයි. ජනතාවගේ උනන්දුවක් නොමැතිවීම, කලාකරුවන් සහ මාධ්‍යවල ඉන්න පිරිස් අතර තියෙන බෙදීම් වගේ කාරණාත් මීට බලපානවා.
Thursday, August 13, 2009
පහුගිය කාලයේ ගොඩක් මාධ්‍ය ජාතිවාදය මාකට් කළා
Thursday, August 6, 2009
අනේ අපේ ජනතාවට ගෙදර යන්න ඉඩ දෙන්න
මනෝ ගනේෂන්
බස්නාහිර ජනතා පෙරමුණ
අවතැන් වූ ජනතාවගේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් ඔබගේ විග්‍රහය මොකක්ද?
ජනාධිපති උපදේශක වාසුදේව නානායක්කාර මහතා මේ අනාථ කඳවුරු නරකාදියක් වගේ කියල ප්‍රකාශ කළා. ඒ වගේම හිටපු අගවිනිසුරු ඒවා එළිමහන් සිර කඳවුරු වගේ කිවුවා. මමත් මේවට ඊටත් වඩා සුදුසු තවත් වචනයක් සිංහල ශබ්ද කෝෂයේ තියෙනවද කියල හොයමින් ඉන්නේ. ඇත්තටම මේ අනාථ කඳවුරු පවත්වාගෙන යන්නේ දේශීය හා ජාත්‍යන්තර පිළිගත් සියළු නීති උල්ලංඝනය කරමින්. ඒ වගේම ප්‍රෞඩ ඉතිහාසයක් සහ සංස්කෘතියක් තියෙන අපේ ජාතියට අවමානයක් වන ආකාරයෙන්.
මේ වගේ අමානුෂික ක්‍රියාවන් අනුමත කරන්නේ, වෛරී දේශපාලනය කරන මිනිස්සු හා ජාතිවාදයෙන් හිස උදුම්මාගත් පිස්සන් පමණයි. සුළු පිරිසක් මාධ්‍ය හරහා මේක බහුතර මතය කියල පෙන්නන්න උත්සාහ ගන්නවා. නමුත් සිංහල බෞද්ධ බහුතර ජනතාව මේක අනුමත කරන්නෙ නැහැ. මුලින්ම ආණ්ඩුව තේරුම් ගන්න ඕන මෙය ආණ්ඩුවේ පෞද්ගලික ප්‍රශ්නයක් නොවන බව. ඒ වගේම ආණ්ඩුව ඉදිරිපත් කරන දේශපාලන සහ මිලිටරි න්‍යාය පත්‍රයට සීමා නොකළ යුතුයි. ලෝකෙ කොතැනකවත් නැති විදිහට ලක්ෂ තුනකට වඩා වැඩි අනාථ වුණ විශාල ජනතාවකගේ ප්රශ්නය අපේ ජාතික ප්‍රශ්නයක් බව ආණ්ඩුව තේරුම් ගන්න ඕන. මේ අවස්ථාවෙදි රජය වහාම සර්ව පාර්ශ්වික කමිටුවක් පත් කර ඒ කමිටුවට ස්වාධීනව තීරණ ගැනීමට ඉඩ ලබා දිය යුතුයි. ආණ්ඩුවේ විධායක තීන්දු හා ක්‍රියාවන් පිළිබඳ විනිවිදභාවය ලබා ගන්න මේ කමිටුවට බලය තිබිය යුතුයි. අපට ලැබෙන වාර්ථා අනුව ලක්ෂ දෙකහමාරක් වැඩි ජනතාවක් ස්වාධීනව ගිහින් තමන්ගේ ගම් බිම්වල පදිංචි වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. මේ පිරිසට ආණ්ඩුවේ කිසිම උදව්වක් අවශ්‍ය නැහැ. මේ ජනතාව මෙහෙම ඉල්ලීම් කරන්නෙ අවුරුදු දහස් ගාණකට හිමිකම් කියමින් ජීවත් වූ ජාතියක් හැටියට අපේ ජනතාවගේ ඒ පාරම්පරික අයිතිය උල්ලංඝනය කරන්න ආණ්ඩුවට හෝ වෙනයම් කෙනෙකුට කිසිම අයිතියක් නැති බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ආණ්ඩුව නිර්මාණය කරන්න උත්සාහ දරන නව ගම්මාන බිහිකිරීම හෙවත් ජන සංයුතිය විකෘති කිරීම අපි කිසිසේත් පිළිගන්නෙ නැහැ. ආණ්ඩුව තමන්ගේ පටු දේශපාලන උවමනාවල් සපුරා ගැනීමේ අවශ්‍යතාව නිසා මේ ප්ර්රශ්නය විශාල කර පෙන්වනවා. මම තවදුරටත් පැහැදිළි කරන්න උත්සාහ ගන්නේ ආණ්ඩුව මේ අනාථ වුණ ජනතාව වැසිකිළි යෑමේ සිට නිදි ඇඳ දක්වා, උපතේ සිට මරණය දක්වා වූ සියළුම පෞද්ගලික ජීවන රටාවන් අතට ගනිමින් ඔවුන් පාලනය කිරීම ඉතා නින්දා සහගත බවයි. මේ ජනතාව නැවත පදිංචි කිරීම ආණ්ඩුව උවමනාවෙන්ම කල් දානවා. ආණ්ඩුව පුන පුනා කියන බිම්බෝම්බ ඉවත් කිරීමේ මන්තරය මම පිළිගන්නෙ නැහැ. අපේ හමුදාව වන්නි මෙහෙයුමේදි හතර දිසාවෙන් ගමන් කළේ බිම් බෝම්බ ඉවත් කර ගනිමිනුයි. බුද්ධිමත් ජනතා දැනුම අනුව බිම් බෝම්බ තියෙන්නෙ ඒ බිමෙන් සීයට දහයක් විතරයි. මම ඒ සඳහන් කරපු කරුණු වලට අනුව මේ මොහොතේ සිදුවිය යුතු සහ අද සැළකිල්ලට ලක් කළ යුතු එකම කරුණ අපේ මිනිස්සුන්ට ගෙදර යන්න ඉඩ දීමයි. මම පළවැනිව, දෙවැනිව හා තුන්වැනිවත් ඉල්ලා සිටින්නේ ‘අනේ අපේ ජනතාවට ගෙදර යන්න ඉඩ දෙන්න’ කියන ඉල්ලිමයි.
මම දකුණෙ ජීවත් වන්නෙක්. නමුත් මම උතුරෙ ජීවත්වීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් උල්ලංඝනයන්ට අත්පුඩි ගැසූ කෙනෙක් නෙවෙයි. මම නොබෙදුනු ශ්‍රී ලංකාවාදියෙක්. නිරන්තරයෙන් අපගේ ජාතික කොඩියට උපරිම ගෞරව දක්වන්නෙක්. නමුත් උතුරේ ඔබ සඳහන් කළ අයිතීන් ප්‍රසිද්ධියේ උල්ලංඝනය වෙද්දි ජාතික කොඩිය උස්සගෙන ඊට අපහාස කරපු එකෙක් නෙවෙයි. ඒකාධිපතිවාදය ඔබේ ෙදාරට තට්ටු කරන තෙක් බලා නොසිට අවදියෙන් ඉන්න. සාමූහිකවන්න. අත්වැල් බැඳ ගන්න. ඒකයි මම ඉල්ලා සිටින්නෙ.
Wednesday, May 13, 2009
දෙමළ මිනිසුන් කොළඹින් පිට මං කළ විට අධිකරණය මැදිහත් වුණු හැටි
ශ්‍රී ලංකාවේ අධිකරණයේ මෑත ප්රවණතා ගැන අධ්‍යනයක් කිරීමේ දී එක් අතකින් සාධනීය ක්රියාකාරීත්වයක් ද අනික් අතින් විනිශ්චයක කඩිමුඩිය හා නොගැලපීම නිසා හානිකර ප්‍රවණතාවක් ද දැකිය හැකිය. මෙම ලේඛනයෙන් 2007-2008 ප්‍රධාන නඩු තීන්දු කෙරෙහි අවධානය යොමු කෙරෙමින් අධිකරණ ආකල්ප ගැන කරුණු රැස් කිරීමට උත්සාහ ගැනේ. කෙටියෙන් කියතොත් මෙම කාලය තුළ දෙන ලද ප්‍රධාන තීන්දුවලින් යහපාලනය හා නීතියේ ආධිපත්‍යය සම්බන්ධ මූලධර්ම ශක්තිමත්වීමක් යම් ප්‍රමාණයකට සිදුවී ඇත.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් රටවැසියන් වෙත සහතික කොට ඇති මූලික අයිතිවාසිකම් බල ගන්වන ඉතා වැදගත් තීන්දු ගණනාවක්ම දී තිබේ. මෙයින් වැඩි ප්‍රමාණයක් ආණ්ඩුව විසින් කරන ලද උල්ලංඝනයන් සම්බන්ධයෙනි. එමඟින් අධිකරණය ජාතික ආරක්ෂාව යටතේ මුලික අයිතිවාසිකම් කඩ කිරීමේ අවස්ථාවන්හි දී ඊට සීමා පනවා තිබේ.
කොළඹ නගරයේ ලැගුම් හල් වලින් දෙමළ ජනයා පිට මං කිරීම පිළිබඳ නඩුව ඉතා වැදගත් එකකි. එහිදී ජාතික ආරක්ෂාව සහ මුලික අයිතිවාසිකම් අතර සමබරතාව ඇති කිරීම ගැන අධිකරණයේ ස්ථාවරය පැහැදිලි විය. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 11, 12(1), 13(1), 13(2) සහ 14(1)(ඌ) ව්‍යවස්ථා උල්ලංඝනය වන බවට පැමිණිලි කළෝය. (SCFR 177/2007)මෙහිදී අධිකරණය විමසා බැලූවේ, 2007 ජුනි 07 වැනිදා, හමුදා සහ පොලිස් නිලධරයන් විසින් කොළඹ ලැගුම්හල් වලින් දෙමළ ජනයා බලහත්කාරයෙන් ඉවත් කිරීම පිළිබඳ පැමිණිල්ල ය. අලූයම කාලයේ දී ම ඔවුන්ගේ බඩු පොදිත් රැගෙන බස්වලට පැටවීම සඳහා දී තිබුණේ පැය භාගයක කාලයකි. මෙම චෝදනාව කෙලින් ම එල්ල වුයේ පොලිස්පති විසින් කරන ලද ප්‍රකාශයක් කෙරෙහි ය; එනම්, ‘‘දෙමළ ජනයාට වලංගු හේතුවක් නැතිව කොළඹ නැවතී සිටිය නොහැකි ය.’’ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කර තිබුණු චක්‍ර ලේඛයක, ‘උතුරු නැගෙනහිර පළාත්වලින් බස්නාහිර පළාතට එන දෙමළ ජනයා ඉවත් කරන ලෙස දී ඇති නියමය’ ගැන විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය අවධානය යොමු කළේය. මෙම පෙත්සම විභාග කොට අවසන් වනතුරු දෙමළ ජනයා කොළඹ නැවතී සිටීම සහ කොළඹට ඇතුළුවීම වැළැක්වීම හෝ ඔවුන් ඉවත් කිරීම නොකරන ලෙස අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
Monday, May 4, 2009
සරණාගත මහ කොමසාරිස් සිවිල් ජනතාව ගැන මෙසේ කියයි.
01. දස දහස් ගණනින් සිවිල් ජනයා ගැටුම් පවතින ප්‍රදේශයෙන් ඉවතට පැමිණෙමින් සිටින අතරතුර, සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් (UNHCR)ශ්‍රී ලංකාවේ උතුරු ප්‍රදේශයෙහි උග්‍ර වෙමින් පවතින හදිසි තත්ත්වයට ප්‍රතිචාර දක්වමින් සිටියි. මේ දක්වා 160,000ක් දෙනා ගැටුම් හේතුවෙන් රජයේ පාලන ප්‍රදේශයට අවතැන් වී ඇති අතර, එයින් 140,000 කට වැඩි පිරිසක් වවුනියාවෙහි ස්ථාන 32ක නවාතැන් ගෙන සිටී. තවත් 11,000ක් යාපනයට ද, 5000ක් පමණ ත්‍රිකුණාමලයට පැමිණ සිටිති.
අවතැන් වු ජනතාව සිටින ස්ථානවල තත්ත්වය බරපතළ බව අපගේ කාර්ය මණ්ඩල වාර්තා කරයි. එම ස්ථාන වලට දරාගත නොහැකි තරමට පිරිස් පැමිණ ඇති අතර, පවතින මානුෂවාදී සේවාවන්ට එමඟින් තදබල තෙරපුමක් ඇති ව තිබේ. හිසට වහළක් නොමැති මිනිසුන් ගිනි ගහණ අව්වේ එළිමහනේ කාලය ගත කරයි.
ආණ්ඩුවේ පාලන ප්‍රදේශයට පළා එන මිනිසුන්ට ශාරීරික පහරදීම් සිදුකරන බවට වාර්තා අපට ලැබී ඇත්තේය. තම සිවිල් ජනයාගේ ආරක්ෂාව සහතික කිරීම කෙරෙහි තමාට ඇති වගකීම පිළිබඳ ආණ්ඩුවට සිහිපත් කරදීමට අපි කැමැත්තෙමු. ඉහත දැක්වු ආකාරයේ සිදුවීම් පිළිබඳ පරීක්ෂණ පවත්වා වගකිව යුත්තන්ට එරෙහිව යුක්තිය ඉෂ්ඨ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.
හිටපු සටන්කාමීන් සිවිල් ජනතාව වෙතින් වහාම ඈත් කොට ඔවුන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව පුනරුත්ථාපනය කළ හැකිවන සේ වෙනත් ස්ථානයන්හි රඳවන ලෙසත් අපි තවදුරටත් ඉල්ලමු.
ශ්‍රී ලංකාවේ මෙහෙයුම් සඳහා අමතර වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 02ක් වැය කිරීම පිණිස මහ කොමසාරිස් අන්තෝනියෝ ගුටියරේම් අවසර දී ඇත. මේ අමතර අරමුදල් උතුරේ ගැටුම් කලාපයෙන් පළා එන සිවිල් වැසියන්ට නවාතැන්, ආරක්ෂාව සහ වෙනත් ආධාර සැපයීමට යොදා ගනු ඇත.
Wednesday, April 29, 2009
හුණුවටයේ කතාව
නීතීඥයෙක් - මහා විකාර නඩුවක් මහාධිකරණ තුමනි, විත්තිකාරිය දරුවෙක් හොරකම් කරගෙන ගිහින් දැන්ආපසු දෙන්න බැහැ කියනවා.
පළමු නීතිඥයා - මහාධිකරණ තුමනි, පැරණි කියමනක් තියෙනවා රුධිරය ජලයට වඩා දැඩිය කියලා. මේ මහඟු කියමන ....
අසඩක් - ඊට කලින් මහාධිකරණය දැන ගැනීමට ඕනි මුන්නැහැගේ ගාස්තුව කීයද කියල.පළමු නීතිඥයා - මේ ප්රශ්නය ටිකක් අසාමාන්‍ය ප්‍රශ්නයක් මහාධිකරණ තුමනි. ඒ ගැන දැනගන්න අවශ්‍ය ම නම් මගේ ගාස්තුව රීදි 500යි.
පළමු නීතිඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, සෑම බැම්මකට ම වඩා තද බැම්මක් තමයි රුධිර බැම්ම. මවකුත් දරුවෙකුත් අතර ඇති රුධිර බැම්ම! ඊට වඩා උත්තරීතර බැම්මක් මුළු ලෝක ධාතුවේම නැති බව මහාධිකරණතුමා පිළිගන්නවා ඇති. මහාධිකරණතුමනි, ඇයගේ ඇකයෙන් දරුවෙක් උදුරා ගැනීමට පුළුවන්ද? දරා සිටිය හැකි ක්‍රියාවක්ද එය ? මහාධිකරණ තුමනි, වනයේ සැරි සරන කෲරතර ව්යාඝ්ර ධේනුව පවා සිය දරුවා නැතිවු විට ශෝක ගින්න දරා ගනු බැරිව කෑළෑව දෙවනත් කරනවාලූ. මුළු ස්වභාව ධර්මයාම ........
අසඩක්- (කතාව නවතමින් ගෲෂාට) මොනවාද මේ වැල් වටාරම් ගැන යුෂ්මතියට කියන්න තියෙන්නෙ?
අසඩක් - හ්ම්, එච්චරද කියන්න තියෙන්නෙ? යුෂ්මතියට ඒක ඔප්පු කරන්න පුළුවන් වේවි කියල මම බලාපොරොත්තු වෙනව.
ගෲෂා - මම මට පුළුවන් හැටියට දැරුව ව බලාගත්තා. මම බඩගින්නේ තිබ්බේ නැහැ දරුවව. පුළුවන් දෙයක් කන්න බොන්න දුන්නා. හැමතිස්සේම වගේ කොහේහරි වහලක් යට ඉන්න සැලැස්සුවා. මම උණ බටවලින් සෙල්ලම් බඩු හදා දුන්නා දරුවාට. මගේ අතේ තිබුනු තුට්ටු දෙක වියදම් කරලා කිරි ටික අරන් දුන්නා.
පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි ඔබතුමාට පේනවා ඇති මේ තැනැත්තිය මේ දරුවා සම්බන්ධව කිසිම ලේ නෑකමකට හිමිකම් නොකියන බව.
අසඩක් - ඔව්,ඔව්, මට පේනවා.
පළමු නීතිඥයා- මහාධිකරණ තුමනි, මම තමුන්නාන්සෙගේන් බැගෑපත් ව ඉල්ලා සිටිනවා මේ දරුවාගේ මවට - මේ සියුමැලි කාන්තාවට- වචනයක් කතා කරන්න ඉඩ දෙන්න කියලා.
නටාලියා- (සෙමින්) මට අත් වී ඇති දරුණු ඉරණමින් මීදීමට මේ දරුවා නැවත ලබාදෙන ලෙස ඔබ තුමාගෙන් යටහත්ව ඉල්ලා සිටිනව නඩුකාරතුමනි. මවක් වශයෙන් මම වින්ද වේදනා හිරිහැර! නිදි නැතිව ගත කළ..
දෙවන නීතීඥයා- (කඩා පනිමින්) මේ ස්ත්‍රියට සලකන හැටි ඉතාම නින්දිතයි. මියගිය ඇගේ ස්වාමි පුරුෂයාගේ මාළිගාවටත් ඇතුළු වෙන්න ඉඩක් නැහැ මේ ස්ත්‍රියට ! වතු පිට වල ආදායම් ඇහිරිලා! කිසිම හිතක් පපුවක් නැතිව එයාට කියනවා ඔටුන්න හිමි කුමාරයා නැතිව ඒ කිසි දෙයක් ඇයට දෙන්න බැහැ කියලා. කිසිම දෙයක් කරගන්න බැහැ මේ මනුෂ්‍යාට කොලූ පැටියා නැති හින්දා! නීතීඥයන්ටවත් ගේවා ගන්න විදිහක් නැහැ
( ඒ වචන වලින් කලබව වු පළමු නීතිඥයා ඔහු වැළකීමට අතින් සංඥ කරන විට) මගේ මිත්‍ර ...... ඉලෝ සුබොලාඞ්සේ මොකද අපි මේ කාරණාව එළි කළාම ඇති වැරුද්ද? අබෂ්විල්ලි වතුපිටි වලට අයිතියක් නැද්ද ඔය කොලූ පැටියට වගේම මේ මනුස්සයට?
පළමු නීතීඥයා - කරුණාකර ඉඳ ගන්න සන්දො ඔබොලාඞ්සේ ! මේ ගැන සඳහන් නොකරන්න අපි එකඟ වුණා. මහාධිකරණ තුමනි, අබෂ්විල්ලි වතුපිටි සම්බන්ධ ප්‍රශ්ණයකුත් තියෙනවා තමයි මේ නඩුවේ තීන්දුව උඩ. ඒත් ඊට වඩා පෙරමුණේ තියෙන්නේ අර මම කලින් කිව්වා වගේ මේ මවක් පිළිබඳ ඇති මානුෂික ඛේදවාචකයයි.
අසඩක් - කරුණාකර පොඞ්ඩකට නවතින්න. වතුපිටි වල ඛේදවාචකය ගැන කතා කරන කොට මහාධිකරණ තුමාගේ පපුව පත්තු වෙනවා. පිරිසිදු මනුෂ්‍ය හැඟීම පිළිබඳ සංකේතයක්!
දෙවන නීතීඥයා - එහෙමයි මහාධිකරණ තුමනි, දරුවන් රැගෙන ගිය මෙම ස්ත්‍රිය දරුවගේ මව නොවන බව ඔප්පු කිරීමට මම සුදානම්. මහාධිකරණය ඉදිරියේ අපේ කරුණු දැන් ඉදිරිපත් කරනව..............................................
අසඩක් - (ගෲෂා අසලට කැඳවා) උඹ බොහෝම අපූරු කතාවක් කළා. ඒත් මේ දරුවා උඹේ නෙමෙයි බව මට පේනවා. ඉතින් උඹේ වුනායි කියලා යෝදියේ උඹ කැමති නැද්ද දරුවා පොහොසත් වෙනවට? උඹ මේ දරුවා උඹේ නෙමෙයි කියලා කියපු හැටියේ දරුවාට රජ මාලිගාවක් හම්බ වෙනවා. අස්ගාලේ අස්පයො ලැබෙනව! දොරකඬ හිඟන්නො ලැබෙනව! යුද්දෙට හේවායො ලැබෙනව! මිදුලෙ පෙත්සම් කාරයො ලැබෙනව. මොකද කියන්නෙ? උඹ කැමති නැද්ද දරුවා පෝසත් වෙනවට?
ගෲෂා- (හිටි හැටියේ උස් හඬින්) මම දෙන්නෙ නැ මගේ දරු පැටියව! මමයි ඌ හැදුවෙ! ඌ මාව අඳුනනව! (ෂවුවා දරුවා රැගෙන එයි.)
අසඩක්- විත්තියෙනුත් පැමිණිල්ලෙනුත් ඉදිරිපත් කළ කාරණාවලට මෙම අධිකරණය බොහොම ප්‍රවේසමෙන් ඇහුම්කන් දුන්න. ඒත් තීරණයකට එළඹෙන්න බැරි වුණා. අධිකරණයේ විනිශ්චයකරු වශයෙන් මෙම දරුවාට මවක් තෝරා දීම අපේ යුතුකමක්. ඒ නිසා අපි තීරණය කළා ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට.
ෂවුවා, හුණු කෑල්ලක් අරගෙන විනිශ්චය ශාලාව මැද හුණු වටයක් අදිමු. දැන් දරුවා හුණු වටය මැද්දේන් තියමු. (ෂවුවා එසේ කරයි. වටය මැද සිට දරුවා ගෲෂා හා සිනාසෙයි.) දැන් මේ ස්ත්‍රීන් දෙදෙනා හුණු වටය දෙපැත්තෙන් හිට ගනිමු. (ස්ත්‍රීහු දෙදෙනා එසේ කරති.) දරුවා හුණු වටයෙන් එළියට ඇද ගන්නට පුළුවන් තැනැත්තිය නියම මව හැටියට අපි විනිශ්චය කරනවා.
දෙවන නීතිඥයා - මහාධිකරණ තුමනි, මම මේ පරීක්ෂණයට විරුද්ධත්වය ප්‍රකාශ කරනව. ඔටුන්න හිමි කුමාරයා වශයෙන් අබෂ්විල්ලි වතුපිටි මාළිගා ධන ධාන්‍ය ආදී සියල්ලක් ම මේ දරුවා සමඟ බැඳී තියෙනව. එම ධන සම්භාරය මෙවැනි අවිනිශ්චිත පොරයක් මත විසඳීම අයුක්ති සහගත බව මම අවධාරණයෙන් කියා සිටිනවා. ඒ ඇරුණූ කොට අත පයේ වැඩ පළ කර පුරුදු විත්තිකාරියට තරම් සවි ශක්තියක් මේ සියුමැලි පැමිණිලිකාරියට ඇත්දැයි හිතා ගන්න අමාරුයි!
අසඩක් - එහෙම සෝමාරිකමක් පේන්නේ නෑ මට ! හ්ම්, අදිමු.
(නටාලියා තම පැත්තට දරුවා ඇද ගනී. දරුවා අතහරින ගෲෂා බිය පත්ව බලා සිටියි.) මොකද වෙලා තියෙන්නෙ? මම දැක්කේ නෑ අදිනවා.
ගෲෂා - මට හරියට අල්ල ගන්න බැරි වුණා.
පළමු නීතිඥයා - (නටාලියාට අතට අත දෙමින්) මොකද මම කිව්වෙ ? ලේ වල බැම්ම!
අසඩක් - හොඳයි මම තව එක සැරයක් මෙම පරීක්ෂණය පවත්වනව, හරියට ම දැන ගන්න. (ස්ත්‍රීහු දෙදෙන දෙපසින් සිට ගනිති.)හ්ම්, අදිමු! (යළිත් ගෲෂා දරුවා අත හරියි.)
ගෲෂා - (අසරණ ව ) මමයි හැදුවෙ ! දරුව දෙකට ඉරන්නද මට කියන්නෙ? මට බෑ එහෙම කරන්න!